දකුණු ඉන්දියානු සිනමා ආභාසයෙන් ආකර්ෂණීය හා විචිත්‍ර සිංහල සිනමාවක් බිහි කළ 1947-1969 ලාංකේය සිනමා අධ්‍යක්ෂවරු 22ක් පිළිබඳ සනිදර්ශනාත්මක මුද්‍රිතයක් ජනගත වී තිබේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සිනමා උපදේශක සභාවේ නිෂ්පාදනයක් වන එම ග්‍රන්ථයේ සංස්කාරකවරුන් වන්නේ අරුණ ලොකුලියන, අරුණ ගුණරත්න, නදීකා ගුණසේකර සහ රාජ් රණසිංහ යි. “සැඟවුණි පායා” නම් වූ ඒ පිළිබඳ අප කතා බහ කළේ එහි සංස්කාරකවර, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජනසන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා සමඟිනි.
දශක ගණනාවක් සැඟවී සිටි මේ අය ගැන මතකාවර්ජනයක් ඇයි..?
ලංකාවේ සිනමාවේ1947-1969 කාලවල ජනප්‍රියමය සිනමාව නියෝජනය කළ අධ්‍යක්ෂවරු 22ක් ගැනයි අපි මේ පොත ලිවුවේ. ඔවුන් ගැන සිනමා සාහිත්‍ය. තුළ ඉතා ම අඩු සඳහනක් තිබෙන නිසා අපි ඒ අය ගැන සෙවුවා. සමහර අයගේ නම් විතරයි තිබුණේ. මේ පොතේ උපදේශක සංස්කාරවරයා වුණේ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා යි. මේ පර්යේෂණය අවසානයේදී මෙම සිනමාකරුවන් පිළිබඳ තොරතුරු බොහෝමයක් අපට හමු වුණා. ඒ යුගයේ සිනමා නිර්මාණවල විචිත්‍රත්වයට මුල් තැන දීලා තිබුණා. අපේ සිනමා කර්මාන්තයට මේ අයගේ නිර්මාණ අතිශය වටිනාමක් එක් කරනව
සැඟවුණි පායා ග්‍රන්ථයට පාදක වුණු සිනමා අධ්‍යක්ෂවරුන් කවුරුද…?
ජ්යේපතිෂ් සින්තා, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, ඩී. ඒ. ඩබ්. ජයමාන්න, ඒ. ඩී. රාජ්, ඩී.ආර්. සුන්දරම්, ඒ.එස්. ත්‍යාගරාජන්, සිරිල් පී. අබේරත්න, ටී. සෝමසේකරන්, එම්. මස්තාන්, එල්. එස්. රාමචන්ද්රින්, ඩබ්.එම්.එස්. තම්පෝ, රොබින් තම්පෝ, සේතු මාධවන්, කිංස්ලි රාජපක්ෂ, එස්. රාමනාදන්, එම්. එස්. ආනන්දන්, එල්. එම්. පෙරේරා, ක්ලොරීඩා ජයලත්, ධර්ම ශ්‍රී කල්දේරා, ලෙනින් මොරායස්, රෝහිණී ජයකොඩි සහ එම්. වී. බාලන්.”
1947-1969 කාල පරාසයේ මෙරට සිනමාව වැදගත් වන්නේ ඇයි..?
සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 80 දශකයේ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වයට හේතු වෙන්නේ 47-69 යුගවල සිනමාවෙන් ගොඩනැගුණු ජන ආකර්ෂණය යි. ඒ වගේ ම 80 දශකයට පෙර සිනමාවේ ගීත සහ ඒ ආශ්‍රිත ජවනිකා අදටත් ඉතාම ජනප්‍රියයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1956 දී රේඛාව නිර්මාණය කරන තුරු අපගේ සිනමාව නිර්මාණය වුණේ දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල සහ පසුකාලීන ව ලංකාවේ චිත්‍රාගාරවලයි. ඒ සිනමාව අතිශය ජනප්‍රිය වුණා. ජන ආකර්ෂණයක් තිබුණා. විශාල වශයෙන් ජනතාව චිත්‍රපට නරඹන්න සිනමා ශාලාවලට ගියා. ඒ සිනමාව කලාත්මක බවට වඩා වින්දනීයත්වයට මුල් තැන දුන්නා. මේ නිසා සිනමාව කර්මාන්තයක් වශයෙන් විශාල දියුණුවක් ලැබුවා. නමුත් අද වන විට ජනතාව සිනමා ශාලාවලට යාම අඩු වීම සහ තවත් හේතු නිසා සිනමා කර්මාන්තය බිඳ වැටිලා. ඒ තත්ත්වයෙන් ගොඩ ගන්න අපට අපේ සිනමා අතීතයෙන් ම ආදර්ශ ගත හැකියි.
80 දශකයෙන් පස්සේ සිනමාව කඩා වැටුණේ ඇයි?
ප්‍රධාන ම කාරණාව වුණේ විශාල වශයෙන් චිත්‍රපට නිෂ්පාදනය වීම නිසා චිත්‍රපට පෝලිමක් ඇති වුණා. චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා විශාල කාලයක් බලා ඉන්න නිෂ්පාදකවරුන්ට සිදු වුණා. වාණිජ ධාරාවේ චිත්‍රපටවලට වඩා කලාත්මක චිත්‍රපට වැඩි වුණා. කලාත්මක චිත්‍රපටවලට ජාත්‍යනතර වශයෙන් ඇගැයීම්, සම්මාන ලැබෙන්න ගත්තාම පසු පෙළත් එවැනි ධාරාවේ චිත්‍රපට වැඩි වැඩියෙන් නිර්මාණය කරන්න පටන් ගත්තා. චිත්‍රපට සංස්ථාවේ ණය යෝජනා කිරීම නිසා චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරුණා. සිනමා විචාරකයින් පවා කතා කළේ කලාත්මක චිත්‍රපට ගැනයි. ජනප්‍රිය සිනමාවේ අධ්‍යක්ෂවරුන් ව අගය කිරීමක් කළේ නැහැ. සරල. වින්දනීය, ආකර්ෂණීය වාණිජ සිනමාව සමඟ අත්වැල් බැඳන් සිටි සාමාන්‍ය පුරවැසියන්ට කලාත්මක බැරෑරුම් ගැඹුරු සිනමාව ගැළපුණේ නැහැ. ඔවුන් දෛනික කර්කශ ජීවනෝපාය අවසානයේ සිනමා ශාලාවකට ඇවිත් චිත්‍රපටයක් නැරඹුවේ ගත වෙහෙස නිවා ගනිමින් විනෝදාස්වාදයක් ලබා ගැනීම සඳහා යි. එවැනි රසයක් නැති වුණා ම ඔවුන් චිත්‍රපට නැරඹීමෙන් ඈත් වුණා. කලාත්මක චිත්‍රපට ජනප්‍රිය නොවූ නිසා ආදායම් උත්පාදනය අතින් අසාර්ථක වුණා. රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් එකක් ම ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලින් ඈත් වූණා. සිනමා ශාලා වැසී ගියා.”
අතීත සිනමාවේ චිත්‍රපටවල විචිත්‍රත්වයට සිනමා ගීත යොදා ගැනීම විශේෂයක් වුණා නේද..?
දකුණු ඉන්දියානු සිනමාවේ ආභාසය නිසා අපේ සිනමාවට හරි අපූරු ගීත රැසක් එකතු වුණා. අදටත් ඒ ගීත ජනප්‍රියයි.යි සහ වින්දනීය යි. ප්‍රීති ප්‍රීති, අන්න සුදෝ අර පාට වළා,ප්‍රේමාලෝකය නිවී ගියා, පෙම් පහන නිවී, ආදර නදිය ගලා, සුරතලියේ සුකුමලියේ, ගිරි හෙල් මුදුනේ……. වගේ ගීත සිය ගණනක් බිහි වුණා. ඒ ගීතවල කතාවක් තිබුණා. මේ ගීත ඇතුළත් වුණු චිත්‍රපටවල කතන්දරයක් තියෙනවා. පෙම්වතෙක්, පෙම්වතියක්, දුෂ්ටයෙක් ඉන්නවා. අදටත් ඉන්දියානු සිනමාවේ විශාල ආදායම් වාර්තා තබන්නේත්, රංගන ශිල්පීන් ජනප්‍රිය වන්නේත් මේ කියන වාණිජ සිනමාව නිසයි. එ් සිනමාවේ විචිත්‍රත්වයට ගීත අත්‍යවශ්‍යයි. ඒ ගීත චිත්‍රපටයෙන් ඉවත් කරලා වෙන වෙන ම ගීත වශයෙන් රසවිඳින්නත් පුළුවන් නිසා චිත්‍රපටය අභිභවා ගීත ජනප්‍රිය වුණා. සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනඟන්න නම් අපට අතීතයේ තිබුණු වාණිජ සිනමාව දෙස යළි හැරී බලා අධ්‍යයනය කිරීමට අවශ්‍යයි.
වාණිජ ධාරාවේ අතීත සිනමා අධ්‍යක්ෂවරුන් ජනප්‍රිය නොවුණේ ඇයි..?
අපේ සිනමා විචාරයන් සියල්ල ම වාගේ සිදු වුණේ යුරෝපීය සිනමා මූලධර්ම මත පදනම්වයි. ඒ මිනුම්දඬුවලින් ම වාණිජ ධාරාවේ සිනමාවත් විචාරය කරන්න ගත්තා ම ඒ චිත්‍රපටවල ඌනතා තමයි ඔවුන් දැක්කේ. නමුත් මේ ජනප්‍රිය සිනමාවට මේ තරම් ප්‍රේක්ෂකයින් ඇදී එන්නේ ඇයි කියලා කිසියම් ආකාරයක සමාජ විද්‍යාත්මක ගවේෂණයක් කිරීමට කිසි කෙනෙක් පෙලඹුණේ නැහැ. ඒ උන්මාදය ගැන ප්‍රමාණවත් විචාරයක් වුණේ නැහැ. සිනමා කලා අධ්‍යයන පාඨමාලාවලදීත් සිදු කළේ කලාත්මක සම්භාව්‍ය සිනමාව ගුරුකොට තබා සිනමාව ඉගැන්වීම යි. සමාජ කතිකාව ඇති වුණේ කලාත්මක සිනමාවට යි. මේ නිසා වාණිජ ධාරාවේ චිත්‍රපට වගේ ම එ්වා නිර්මාණය කළ නිෂ්පාදන කණ්ඩායම පිළිබඳවත් තොරතුරු වැළලී ගියා. සමහරු ඒ සිනමාව ගැරහුමට ලක් කළා. ඒ නිසා වාණිජ සිනමාවට සම්බන්ධ වූ අය පවා ඒ ගැන කතා නොකර සිටියා. රූපවාහිනී සම්ප්‍රාප්තියත් එක්ක හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට පුංචි තිරයට එන්න පටන් ගත්තා. ඊට පස්සේ අනුකරණ චිත්‍රපට බිහි වුණා. අපේ වාණිජ සිනමාව බිංදුවට ම කඩා වැටුණා. නමුත් වර්තමානය වන විට අපේ වාණිජ සිනමාවේ නව පිබිදීමක් ඇති වෙමින් තිබෙන බව පේනවා. සමාජය සුවපත් කිරීමට, මානසික වින්දනයක් ලබා දීමට වාණිජ සිනමාව අත්‍යවශ්‍යයි.
තුෂාරී කළුබෝවිල