බුද්ධි කීර්තිසේන අප හැර ගොස්ය. ව්‍යවසායකයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, මාධ්‍යවේදියෙක්, ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති සිනෙසිටි සිනමා අධිපති වූ ඔහු අපේ රටට කලාත්මක කර්මාන්තයක් නිර්මාණය කර දුන් විශිෂ්ටයෙක් ලෙස හදුන්වා දිය හැකි විපුල මනුෂ්‍යයෙක් වූ බුද්ධි කීර්තිසේනයන් අප හැර ගොස්ය. දිවි සැරියෙන් සමුගන්නා විට ඔහු 83 වැනි වියෙහි පසු වූයේය.
1940දී බුද්ධි උපන්නේ මීගමුව ප්‍රදේශයේය. ඔහු අධ්‍යාපනය ලැබුවේ මීගමුව ලොයෙලා විද්‍යාලයෙනි. ඔහු කලාව විෂයෙහි මහා මනුෂ්‍යයෙකි. ‘යසෝමා, ඇය ඔබට බාරයි, සුජාතා‘ වැනි සිනමා නිර්මාණ රැසක නිෂ්පාදකයා ඔහුය.
එමෙන්ම ඔහු දශක හයකට පෙර ‘ඇත්ත‘ පත්තරේ 1966 සිට වර්ෂ 1970 තෙක් උප කර්තෘවරයෙක් ලෙසද, දවස පුවත් පතේ හා ලංකාදීප පුවත්පතේ ලේඛකයකු ලෙසද, මනහර පුවත් පතේ කතුවරයා ලෙස ද කටයුතු කර තිබිණි.
නිර්මාණශීලි ව්‍යවසායකයෙක් ලෙස ‘බුද්ධි බතික්, සමඟ සිය ගමන බුද්ධි පටන් ගන්නේ හැටේ දශකයේ අග භාගයේ සිටය. මේ රටේ බතික් කලාව ගැන කතා කරන කිසිම අවස්ථාවක ‘බුද්ධි බතික්‘ මඟ නොහැරෙන සේ ඒ විශිෂ්ට සන්නාමය බිහි කළේ බුද්ධි කීර්තිසේනය. එය දශක ගණනක ගමනක ප්‍රතිඵලයකි. බතික් කලාව මුල් වරට ලංකාවට හඳුන්වා දුන්නේ සෝමා උඩබාගේය. එය අලුත් හඳුන්වා දීමක් වූයේය. ‘බුද්ධි බතික්’ ආරම්භ කරන විට බතික් අලංකාර භාණ්ඩයක් පමණක් විය. බිත්ති සැරසිලි, සරොම්, කමිස, කෆ්තාන් සහ කුර්තා සඳහා පමණක් යම් වර්ණ හැඩතල සහිතව බතික් සීමා විය.
අනතුරුව බුද්ධි කීර්තිසේන ඇතුළු නිර්මාණශීලි කණ්ඩායමක් බතික් නිර්මාණ ගවේෂණය කරමින් ෆින්ලන්තය, ස්විඩනය, ප්‍රංශය, ඔස්ට්‍රියාව ඇතුළු ලෝකය පුරා රටවල් 24ක වෙළෙඳ ප්‍රදර්ශනවල, සැරිසැරූහ. ඒ 1970 දශකයේ දී ය. මාරවිල ප්‍රදේශය ආශ්‍රිත ව කෙරුණු ‘බුද්ධි බතික්’ ව්‍යාපාරය හැත්තෑවේ අග හා අසූවේ දශකයේ මුල සිටම ලංකාවේ ව්‍යාප්ත වෙමින් පැවැති සංචාරක ව්‍යාපරය සමඟ ද බද්ධ වී තිබිණි. ඒ ආභාසයෙන් බතික් නිර්මාණ අන්තර්ජාතික තලය තෙක් රැගෙන යන්නට ඔහුට හැකි වූයේය.
විවෘත වෙෙළඳ ආර්ථිකයෙන් පසු 1983 වන විට ලංකාවේ බතික් සඳහා ඇති ඉල්ලුම නැති වී රට තුළ මතුවන ජනවාර්ගික ගැටලු හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීමත් සමඟ බතික් කර්මාන්තය බිඳවැටිණි. ඒ බිඳ වැටුණු කර්මාන්තය විවර කර ගත හැකි නව මාවතක් විවර කරගන්නට බුද්ධිට හැකි විය.
සුප්‍රසිද්ධ කීර්තිමත් කලා කරුවෝ බතික් විලාසිතාවෙන් සැරසුණහ. සිනමා කර්මාන්තයේ ප්‍රසිද්ධ නිරූපකයින් බතික් අඳින්නට වූහ. විජය කුමාරතුංග, ශ්‍රියානි අමරසේන, ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, මාලනී ෆොන්සේකා, ලකී ඩයස්, රවීන්ද්‍ර රන්දෙණිය, සබීතා පෙරේරා, සනත් ගුණතිලක වැනි ශිල්පීහු බුද්ධි විසින් විශේෂයෙන් නිර්මාණය කළ බතික් මෝස්තර අඳින්නට වූහ. වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටින නිරූපක නිරූපිකාවන්ට නොමිලේ බතික් විලාසිතා සැපයිනි. එය සිනමාවට, කලාවට පමණක් නොව කර්මාන්තයකට ද නව ජීවයක් දුන්නේය. වරක් ප්‍රතික්ෂේප වූ බතික් කර්මාන්තය බුද්ධි කීර්තිසේන මේ රට තුළ ගොඩනැඟුවේ එලෙසය.
බොහෝ පියවරුන් ගොඩනැගූ ජීවිත පදනම දරු මුනුපුරන් අතර ව්‍යසනයට ලක්වන ආකාරය අපි දැක ඇත්තෙමු. එහෙත් බුද්ධි කීර්තිසේන විෂයෙහි එය එසේ නොවේ. ඔහු මේ රටේ ගොඩනැඟූ බතික් කර්මාන්තය අන්තර්ජාතික ලාංකේය අනන්‍යතාවක් සහිතව අන්තර්ජාතික තලයට රැගෙන යන්නට ඔහුගේ දියණිය මෙන්ම මේ වන විට බුද්ධි බතික් මෙහෙයවන දර්ශී කීර්තිසේන සමත් වූවාය. ඇය විලාසිතා පිළිබඳ අන්තර්ජාතික තලයේ අධ්‍යාපනයක් සහිතව බුද්ධි බතික් හා සම්බන්ධ වන්නේ එහි නිර්මාණ අධ්‍යක්ෂවරිය ලෙසය. තාත්තා පටන් ගත් දේ ඇය උඩටම ඔසවා තැබුවාය.
චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස සිනමා කර්මාන්තයට අති මහත් සේවයක් කළ බුද්ධි කීර්තිසේනගේ භූමිකාව ඊට වඩා ගැඹුරු නිර්මාණාත්මක මානයකින් ඉදිරියට ගෙන යන්නට ඔහුගේ පුත් බූඩී කීර්තිසේන සිටින්නේය. ඔහු මේ රටේ අපට සිටින විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයෙකි. යුගයක් නිමා කරමින් මේ අපූරු මිනිසා තමන් රට වෙනුවෙන් කළ භූමිකාව තමන් ගෙනා තැනට වඩා ඉහළට ඔසවා තබන්නට පරිචයක් ඇති සිය දරුවන්ට භාර දී සිය ජීවන මඟ නිමා කොට අවසන් ගමන් ගියේය.
ටානියා මෝසස්