ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරයන් සහ රංගනවේදිණී චන්ද්‍රා කළුආරච්චි යන දෙපළ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට දායද කල නිර්මාණයන් බොහොමයි. ඒ දෙපළගේ එකම පුතනුවන් වන විහඟ විජේසේකර තම පියාගේ අඩිපාරේ යමින් දැන් ගායන ශිල්පියෙකු ලෙස කළඑළි බැස සිටී. කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කලක් විදෙස් ගතව අධ්‍යාපයන ලැබීය. ලංකාවට පැමිණ රැකියා කිහිපයක්ම කළ අතර මේ වෙද්දි ඔහු පුර්ණකාලීනවම සංගීත ක්ෂේත්රයේ කටයුතු අරභා ඇත.
කලාව ඔබේ පරම්පරා උරුමයක් ඇයි ඒ ක්ෂේත්රයට එන්න පරක්කු වුණේ?
ඇත්තටම ඒක පරක්කු වීමක් නෙමෙයි. අපේ දෙමව්පියන්ගෙන් ලැබුණ ආභාෂය නිසාත්, එයාලා දීර්ඝ කාලයක් කලා ක්ෂේත්රයේ හිටපු නිසාත් අපිත් පොඩි කාලේ ඉදන්ම ඒ කලා කටයුතු වලට දායක වුණා. මම රංගනයට දායක වෙලා තියනවා ඉතාම පොඩි කාලේ දඩබිම
කියන රූපවාහිනී නාට්‍යයේ චරිතයක් නිරූපණය කළා. ඊට පස්සේ තවත් ටෙලි නාට්‍ය කීපයකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඊට පස්සේ කාලයක් යනකම් මම රංගනයට ක්ෂේත්රයට සම්බන්ධ වුෙණ් නෑ. ඒ වගේම හැම දේකටම කාලයක් තියනවා.මම හිතනවා මේ තමයි මගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න ඕනේ කාලය කියලා. ඒ නිසා මම තීරණය කලා පූර්ණ කාලීනව කලා ක්ෂේත්රයට පිවිසෙන්න. මේ තමයි මගේ ජීවිතයේ කලා පරිජේදය.
දෙමව්පියන්ගෙන් ඔබව කලාව පැත්තට නැඹුරු කරන්න දායකත්වයක් ලැබුණද?
ඔව් අනිවාර්යයෙන්ම . අම්මත් තාත්තත් මගේ සහ අක්කාගේ කලා රසඥතාව ඉතාම ඉහළ මට්ටමකට හදලා තිබුණේ. එයාලා කරන හැම වැඩකටම අපිව සහභාගී කරගෙන ඒවායේ ගුණ දොස් අභියෝග ආදී දේවල් අපිට කියලා දුන්නා. අම්මා එයාගේ හැම නාට්‍ය දර්ශනයකටම මාවත් අක්කවත් ගෙනියනවා. තාත්තත් එහෙමයි. ඒ දේවල් වලින් තමයි අපේ කලාව පෝෂණය වෙන්නේ.
දැනට සංගීත ක්ෂේත්රයේ සිටින ඔබේ සමකාලීන මිතුරන් කවුද ?
අවුරුදු 15 දී විතර අපි කට්ටියක් එකතු වෙලා බෑන්ඩ් එකක් හැදුවා චාමින් කප්ස් කියලා. ඒ බෑන්ඩ් එකේ රෝහණ වීරසිංහයන්ගේ පුතා කළිඳු වීරසිංහ, සුනිල් එදිරිසිංහයන්ගේ පුතා වූ සංඛ, බිලී ප්‍රනාන්දු, නදීක ජයවර්ධන, දර්ශන වික්‍රමතුංග වැනි දැනට සංගීත ක්ෂේත්රයේ ඉන්න අය දායකත්වය දැක්වුවා. ඊට පස්සේ මමත් කලිඳුත් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ තමයි බෑන්ඩ් එකේ වැඩ කටයුතු නතර වුණේ.
තාත්තාගේ ගීත පුතා කියන එක ගැන ඔබ දරන අදහස මොකක්ද?
මම ඇත්තටම තාත්තාගේ ගීත ගායනා කළා. නමුත් ඒවා එතරම් ජනප්‍රියත්වයට පත්වුණේ නැහැ. අනික මට ඒ වගේ අවස්ථාවක් ලැබුණෙත් නෑ. මගෙත් එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නෑ… තාත්තාගේ ගීත විතරක්ම ගායනා කරන්න. මට අවශ්‍ය වුණේ මගේම කියලා අනන්‍යතාවයක් ගොඩ නඟන්න. මගේම කියලා සින්දු කීපයක් කිරිමේ දැඩි අවශ්‍යතාවයක් තිබුණා. අනික තාත්තාගේ සින්දු පුතා කියන එක ගැන මම ඇත්තටම වැරැද්දක් දකින්නේ නෑ. ඒක පරම්පරාවේ උරුමයක්. අනික ඕනෑම ගායකයෙක්ට ඉන්න රසික පිරිස බලාපොරොත්තු වෙනවා ඒ ගීත පියාගෙන් පසු පුතා විසින් ඒ කාර්යය කරගෙන යයි කියලා.
ලක්ෂ්මන් විජේසේකරයන් ගේ ගීත රීමෙක් කරන්න කවුරු හරි ඉල්ලුවොත් එම ගීතවල වර්තමාන අයිතිකරු ලෙස ඔබ එය ලබා දෙනවාද?
ඇත්තටම රීමෙක් කියන එක ගැන මට තියෙන්නේ හොඳ චිත්‍රයක්. මොකද රී මේක් කලාම ඒ සින්දුවට එතැනින් එහාට පැවැත්මක් තියනවා. මම තාත්තාගේ ගීත රීමේක් කරන්න ලබා දෙන්න සූදානම් එක කොන්දේසියක් උඩ. ඒ තමයි ඒ ගීතයේ මුල් නිර්මාණයට කිසිම හානියක් නොවෙනවා නම්, නියමිත ප්රමිතීන් අනුව ඒවා සිදු වෙනවා නම් මට ගැටලුවක් නෑ. රීමෙක් කියන
එකෙන් තව දෙයක් වෙනවා. ඒ තමයි පැරණි ගීත තව පරම්පරා ගණනකට අහන්න ලැබීම. ඒ නිසා මම එහි කිසිම වැරැද්දක් දකින්නේ නෑ
නව ගීත රැල්ල ගැන ඔබ දරණ මතය මොකක්ද?
ඒක සාපෙක්ෂයි. ඉස්සරත් ඔය වගේ වෙනස් වෙනස් රසයන් තිබුණා. නව රැල්ලෙත් ඉතාම දක්ෂ ගාකයන්, ගේය පද රචකයන් සංගීත අධ්‍යක්ෂකවරුන් බොහොමයක් ඉන්නවා. ඉතාම ලස්සන නිර්මාණ මේ කාලේ බිහිවෙනවා. මමත් පෞද්ගලිකවම කැමති නිර්මාණ ගොඩක් තියනවා. මම දකින්නේ රසිකයන්ගේ කැමැත්ත සහ රුචිකත්වය මත තමයි හැමදේම තීරණය වෙන්නේ.
දෙසැම්බර්යේදී එළි දකින අලුත් වැඩේ ගැන කිව්වොත්?
දෙසැම්බරයේ දී මම තාත්තා කළ “සඳ කිණිති“ නැමී ප්‍රසංගය නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. එතැනදී තාත්තාගේ ගීත කීපයක් නව නාද සිත්තම් එක්ක ඔබට අහන්න පුළුවන් වෙයි. මෙම ප්‍රසංගයේ සංගීතය සපයන්නේ නාද සංගීත කණ්ඩායම, දෙසැම්බර් 10වැනිදා බිෂොප් ශාලාවේදී තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.
ඔබේම නිර්මාණයක් ඉදිරියේදී අහන්න දකින්න ලැබෙයි ද?
“සඳ කිණිති“ නැමී ප්රසංගයේදී මගේ නව ගීත එකක් හෝ දෙකක් එළිදක්වන්න මම බලාපොරොත්තු වෙනවා. මම තාත්තාගේ රසිකයන්ට බොහෝම ආදරයෙන් ආරාධනා කරනවා, එන්න මේ ප්‍රසංගය නරඹන්න කියලා. තාත්තාගේ රසිකයන්ගෙ බලාපොරොත්තුවලට සම්මානයක් දෙන්න පුළුවන් වෙයි.
මොහාන් සුරවීර