Home » කන්දක් තරම් වේදනාවක් රූප අතර දිය කළ කන්දක් සේමා

කන්දක් තරම් වේදනාවක් රූප අතර දිය කළ කන්දක් සේමා

නොවැම්බර් 2 වැනිදා සිට තිරගත වේ

by gayan
October 28, 2023 12:30 am 0 comment

සුන්දර ෂිනානෝ ගඟ අසබඩ මම ඉඳගෙන සිටින්නෙමි. රැලි සරැලි නඟමින් ගං දිය ගලා බසින්නේ නිහඬ ව හා සුන්දරව ය. එහෙත් බොහෝ නිහඬ සුන්දර දෑ කලක් ඉවසීමෙන් දරා ගත් පසු පුපුරා යන්නා සේ ෂිනානෝ ගං දිය ද වරෙක ප්‍රචණ්ඩ වන්නී ය. ඒ ප්‍රචණ්ඩත්වය විසින් දායාද කළ ගං දිය පිටාර ගැලීමෙන් වෙන ගැටලුව තාවකාලික එකක් වුව ද, දීර්ඝ කාලීන සමාජ හා සංස්කෘතික ගැටලුවකට පාර කැපුවේ ය. නිහඬ වෘතයෙන් ගං දිය දෙස බලා සිටිය ද මේ සමාජ සංස්කෘතික ව්‍යසනය ගැන සිතද්දිම සිත නම් නිහඬ වූයේ නැත. ඒ ව්‍යසනය මා මනසේ ටිකෙන් ටික දිග හැරෙන්නට වූයේ රූ පෙළක් ලෙසිනි.

නීගතාවේ කලක් තිස්සේ නිසි කලට විවාහ වීම අතපසු වූ පුරුෂ පිරිස්හි ශීඝ්‍ර වර්ධනයක් වූහ. ෂිනානෝ ගඟ සුන්දරත්වය හා සශ්‍රීකත්වය තිළිණ කළේ යම් සේ ද ඒ හා සමාන ව අභාග්‍යය ද නීගතාවට උදා කළා ය. වැසි සමයට නීගතාව මැදින් ගලනා ෂිනානෝ ගං දියට මුහුද කරා සිය දිය බර මුදා හැර නිදහස් වන්නට නොහැකි වූයේ මුහුදත් ගං දියත් අතර තිබූ විසල් කන්දක් නිසා ය.

ගංඟාව මුහුදට වැටෙන්න පෙර මේ කන්ද බාධකයක් ලෙසින් නැඟී සිටියේ ස්වභාව ධර්මීය පිහිටීමක් ලෙසිනි. එනිසා ෂිනානෝ ගං දිය වාන් දැමුවේ ගම්වාසීන්ගේ සිත් බර කරවමින්; වගා පාළු කරමිනි. එක ම බාධකය වූයේ කන්ද ය. එනිසා ම නීගතාවේ පිරිමි මේ ස්වභාවික බාධකයක් වූ කන්ද කපා ඉවත් කරන්නට පටන් ගත්හ. ස්වභාවික වුව ද සමහර බාධක ඉවත් නොකළ හොත් ඒවා මහමේරු පර්වත වැනි වන බැව් ඔබ දනී.

යන්ත්‍ර සූත්‍ර, යානවාහන නොතිබුණු ඒ කාලයේ කන්දෙන් ටිකෙන් ටික කපන පස් තම පිට මත තබා ගෙන කිලෝමීටර් ගණනාවක් දුර යෑමට නීගතාවේ කාන්තාවන්ට සිදු විණි. ඒ කාර්යය කිසිසේත් පහසු නොවුණු බව ඔබට වැටහෙනු ඇත; දැනෙනු ඇත. එහෙයින් නීගතාවේ පිරිමි සමඟ විවාහ නොවීමට කාන්තාවන් පොදු සම්මුතියකට එළැඹුණෝ ය. එය සම්ප්‍රදායක් වී නීගතාවේ කාන්තාවෝ නීගතාවත් එහි පිරිමිත් ප්‍රතික්ෂේප කර වෙනත් නගර කරා සංක්‍රමණය වූහ.

තිත්ත වුවත් ඇත්ත කතාව ඇරඹෙන්නේ එතැනිණි. මේ සංස්කෘතික අභාග්‍ය නිසා තනිකඩ වුණු නීගතාවේ පිරිමින්ගේ ගැටලුව විසඳුණු ආකාරය ගැන කියැවෙන නවකතාවක් ලංකාවේ ලියැවෙන්නේ ය. ඒ එහි ප්‍රතිඵලයට ලංකාව ද ඈ‍ෙඳන බැවිනි. කෘතිය කන්දක් සේමා ය. කතුවරිය සුමිත්‍රා රාහුබද්ධ ය. එය 2010 වසරේ රාජ්‍ය, ස්වර්ණ පුස්තක, ගොඩගේ සහ විද්‍යෝදය යන සියලු සම්මාන උලෙළහි හොඳ ම නවකතාව ලෙස අබිසෙස් නැංවෙන්නේ ය.

කතාව ලියැවෙන්නට පදනම දැමූ තිත්ත ඇත්ත ගැන ඔබ දැනගත යුතු ම ය. නවකතාව හුදු කතන්දර කීමක් නොවන බවත්, ඊට එහා ගිය පරිකල්පනීය, පර්යේෂණමය හා සවිඥානිකත්වයෙන් යුතු වූවක් බැව් ඔබට කියන්නට මට අවැසි ය. එනිසා මේ කතාව සටහන් කර තබන්නට සිතුණි.

නීගතාවේ තනිකඩ පිරිමින් හා විවාහ වීමට ලංකාව, ඉන්දියාව, පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් කැඳවා ගන්නට ජපන් රජයෙන් අවසර ලැබිණි. මහලු වියට එළැඹ සිටි නීගතාවේ ගොවීන්ට විවාහ වීමට යවනු ලැබූයේ ලංකාවේ ළාබාල තරුණියන් ය. එසේ මසායා සං නම් මහලු වියට එළැඹ සිටි ජපන් ජාතිකයාගේ බිරිය වශයෙන් නීගතාවට යන නූපා නම් තරුණ ලාංකික කතගේ කතාව කන්දක් සේමා නමින් වියමන් වන්නේ ඒ අනුව ය. නොවැම්බර් 02 වැනිදා සිට තිරගත වන කන්දක් සේමා චිත්‍රපටය ගොඩනැඟෙන්නේ මේ නවකතාව ඇසුරෙනි.

කන්දක් තරම් ම දුක් ඉහිලූ හා කන්දක් තරම් ම ඉවසූ නූපාගේ කතාව සේම මසායා සං ගේ දයාබරිත භාවය ද හරි හරියට මේ නවකතාවේ සේම චිත්‍රපටයේ ද ගෙතෙන්නේ පොදුවේ මනුෂ්‍යත්වය පිළිබඳ දායාලූ බැල්මක් පාඨක, ප්‍රේක්ෂක සිත්හි ජනිත කරවමිනි. මනුෂ්‍යත්වයට ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ හෝ දෙස් විදෙස් කියා සීමා නැත. මනුෂ්‍යත්වය යනු මනුෂ්‍යත්වය ම පමණකි.

ජපානය කියූ සැණින් අප මතකයට නැඟෙන්නේ සුන්දර සකුරා මල් ය. සකුරා මල් තරම් ජපානයේ ජීවිත සුන්දර නැත. අප ඇසූ කතාව සේ ම එහි ජන ජීවිතය දුෂ්කර ය. සකුරා මල් වුණත් පිපෙන්නේ දින හතක් පමණී. කන්දක් සේමා රූගත කරද්දි සකුරා මල් පිපෙනකම් බලා ඉන්නට චිත්‍රපට කණ්ඩායමට සිදු විණි. නූපා ඔස්සේ හෙළි වෙන ස්ත්‍රී චිත්ත සන්තානගත කතාව පමණක් ම නොව ඇය නිසා හෙළි වන සංස්කෘතික කලාපය ද අපට චිත්‍රපටයෙන් හමු වෙන්නේ ඒ නිසා ය. එය සංස්කෘතික කලාපයෙන් ද ඔබ්බට ගොස් දේශපාලනික කතන්දරයක් ද නිර්මාණය කරන්නකි. නූපාට පණ පොවන නිරෝෂා පෙරේරා ආත්මීය ව ඒ හා බද්ධ වෙන්නේ ඇයට මේ ගැටලුවත් සමඟ ඇති වන සහකම්පනය නිසා ය. එය හුදු රංගනයකින් එහා ගිය ජීවත් වීමක් සේ දැනෙන්නේ එබැවිනි. ඇයගේ මනෝ පෙම්බරා ඇගේ හද ඇතුළාන්තය සුන්දර කරන්නේ ය. තත්‍ය ලෝකයට වඩා කොහොමත් සිහින ලෝකය විචිත්‍ර ය. මසායා සංගේ හදවතේ හංගා ගත් ආදරයට වඩා ඇය ආසක්ත වෙන්නේ මනසේ මවාගත් පෙම්බරාට ය. එහෙත් යථාර්ථය හිතන තරම් සුන්දර නැත. ඇතුළු හදට නැවුණු මසායා සංගේ හදවත, ඇයගේ පෙම්වතාගේ ආලේපිත ආදරයට වඩා බර බැව් දැනෙද්දී නූපා ගැන වන අනුකම්පාව හා සමාන අනුකම්පාවක් හා ආදරයක් මසායා සං ගැන ද ප්‍රේක්ෂකයාට ඇති වීම වළක්වනු නොහැකි වනු ඇත. නිර්මාණකරුවාගේ විසල් හදවත ගැන අප්‍රමාණ ආදරයක් මේ ඔස්සේ ඇති වීම ද වළකනු නොහේ. තමන්ගේ ම සිතිවිලි බරෙන් වරෙක සිනාවෙන, වරෙක හඬා වැලපෙන, වරෙක ආත්මානුකම්පාවෙන් පීඩිත වන නිර්මාණකරුවන් අපට හමු වෙන්නේ එබැවිනි. මේ ද එවන් නිර්මාණයකි.

සිරිල් වික්‍රමගේ, චාන්දනී සෙනෙවිරත්න, ජුන් ඉතෝ, වීණා ජයකොඩි, දසුන් පතිරණ, වසන්ත කොටුවැල්ල, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ඇතුළු ප්‍රවීණ හා නවක රංගන ශිල්පීන් රැසක් සිය රංගන දායකත්වය සපයන මෙය සම අදියුරු නිර්මාණයකි. ඒ අසෝක අතාවුදහෙට්ටි සමඟින් තාඕ නශිමොටෝ ය.

මෙහි තිරපිටපත කන්දක් සේමා නවකතාව ලියූ සුමිත්‍රා රාහුබද්ධ විසින් ලියන ලද අතර, ඇගේ තිර රචනය ජපන් බසට පරිවර්තනය කරන්නේ කනෝ මිත්සුරු විසිනි. කැමරාකරණය රුවන් කොස්තා වන අතර සංස්කරණය අජිත් රාමනායක ගෙනි. සුරේෂ් මාලියද්ද සංගීතයෙන් දායක වෙයි. ජයන්ත හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ, සමන්මලී පද්මකුමාර සහ සුමිත්‍රා රාහුබද්ධ නිෂ්පාදනයෙන් දායක වී ඇත.

කන්දක් සේමා චිත්‍රපටය ගැන එහි මුල් කෘතියේ ලේඛිකාව සේම චිත්‍රපටයේ දෙබස් හා තිර රචනය හා සම නිෂ්පාදනයට දායක වූ සුමිත්‍රා රාහුබද්ධ නිර්මාණවේදිනිය ස්වකීය ව්‍යායාමය ගැන පැවසුවේ මෙවැන්නකි.

‘ඇත්තටම කන්දක් සේමා චිත්‍රපටයක් කරන්න මට මුලින් බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. කවුරුහරි ඒක චිත්‍රපටයක් විදියට කරනවා නම් පිටපත ලියන්න මගේ හිතේ තිබුණා. ආශු මාරසිංහ තමයි මේක ජපානෙට ඉදිරිපත් කළේ. උමාලි තිලකරත්න ඒ කාලෙ ජපානෙ හිටියෙ. උමාලි තමයි මේකෙ සියලු සම්බන්ධීකරණ කටයුතු කළේ. ඇය මේ ගැන හරියට වෙහෙසුණා. මෙහි සම අධ්‍යක්ෂණයෙන් දායක වෙන තාඕ තෂිමටෝ මේක කොහොම හරි කරන්න ඕන කියන තැනම හිටියා. මම හිතුවෙ මේකෙන් මගේ නිදහස සීමා වෙනවා කියලා. ඒකෙන් මට මේක කරන්න බෑ කියලා හිතුණා. අවුරුදු 8ක් තිස්සේ අපි මේ චිත්‍රපටයට ම විතරයි හිර වෙලා හිටියෙ. හැබැයි ජපානෙන් අපිට මේක අතහරින්න ම දුන්නෙ නෑ. පස්සෙ සමන්මලී පද්මකුමාරයි, ජයන්ත හෙට්ටිආරච්චියි, ආශු මාරසිංහයි මමයි මේකට නිෂ්පාදනයෙන් දායක වෙලා චිත්‍රපටය කරන්න ම ඕන කියලා හිතුවා. ඇත්තට ම ඒකට බලපෑවෙ පාඨක ප්‍රජාව අතර කන්දක් සේමා නවකතාවට තිබුණු ආදරය කියලා කිව්වොත් මම නිවැරදියි. ඒක තමයි අපිව පෙලඹුවෙ මේක චිත්‍රපටයක් කරන්න.

තමන්ගේ පොතක් චිත්‍රපටයක් වෙනවට ඕනෑ ම ලේඛකයෙක් කැමතියි. මමත් එහෙමයි. නමුත් ඒ වගකීම හා බර දරන්න අසීරුයි කියලා හැඟීමකුයි මට මුලින් තිබුණෙ. නමුත් අවසානෙ මම තීරණය කළා කොහොම හරි කරනවා කියලා. චිත්‍රපටයේ හතරෙන් තුනකටත් වඩා රූගත කිරීම් සිද්ධ වෙන්නේ ජපානයේ නීගතාවෙ. ඇත්ත සිදුවීමේ තියෙන සියලු ස්ථානවල මම ඇවිද්දා. ඒ අය හමු වුණා. මේකෙ ඉන්න චිත්‍ර ශිල්පිනියත් චරිතයක සේයාවක්. එයාව පවා මම හමු වුණා. මම නවකතාව ලියන්න කලින් මේ සියලු තැන්වල අස්සක් මුල්ලක් නෑර ඇවිද්දා. මට හිතුණා චිත්‍රපටයේ තිර පිටපත ලියන්න වෙන කෙනකුට දුන්නොත් එයා මේ සේරම ගන්නෙ සහ දකින්නෙ පොතෙන් නේද කියලා. මම ලිව්වෙ මගේ මතකයෙන්. මම දැකපු, හමු වුණු ඒ තැන් සහ මිනිස්සු හිතෙන් මවාගෙන. ඉතින් ඒ නිසා පොතේ තියෙන චරිත, රූප විදියට මවන්න අපහසු වුණේ නෑ. මේක ඇත්තට ම දැඩි වෙහෙසක ප්‍රතිඵලයක්. ඒ වගේම අධික පිරිවැයක් දරපු චිත්‍රපටයක්. ඒ සියල්ලට වඩා මිනිස් හැඟීම් කියන දේ ගැන මම හිතුවා. ඒක කාන්තාව ද පිරිමියා ද කියන එක නෙවෙයි, ඒ අයගේ හැඟීම් පොදු මානව ධර්මතාවලට කැටි කළ චිත්‍රපටයක් කරන්නයි මම උත්සාහ කළේ.‘

මෙහි තිරගත කිරීම් සිදු කර ඇත්තේ ජපානයේ නීගතාවේ ෂිනානෝ ගං ඉවුර දෙපස, ඖකියගාරා වනාන්තරය, උගියාමා පන්සල ඇතුළු ස්ථානවල ය. බොහෝ දර්ශන රූගත කර ඇත්තේ ජපානයේ දී වන අතර, සීමිත දර්ශන කිහිපයක් ලංකාවේ රූගත කර තිබේ. නූපාගේ මවගේ මළ ගෙදර ආදිය ඊට නිදසුන් ය.

කන්දක් සේමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අසෝක අතාවුදහෙට්ටි ය. එය සම අධ්‍යක්ෂණයකි. ජපන් ජාතික තාඕ නශිමොටෝ ද මේ සඳහා සම අධ්‍යක්ෂණයෙන් දායක වී තිබේ. මේ අදියුරු අසෝක අතාවුදහෙට්ටි කන්දක් සේමා චිත්‍රපටය ගැන දැක්වූ අදහස් ය.

‘ මම ඇත්තට ම සුමිත්‍රා රාහුබද්ධගේ ආරාධනයෙන් තමයි චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ. මම කන්දක් සේමා කියෙව්වෙ 2010 වර්ෂයේ දී. තිර පිටපත ලිව්වේ සුමිත්‍රා රාහුබද්ධ. එයා මට කිව්වා ‘මල්ලි මේක ඔයාගෙ එකක් විදියට කරන්න කියලා.‘ ඉතින් අපි කතා කරමින් සමහර තැන් වෙනස් කරමින්, එකඟ වෙමින්, නොවෙමින් චිත්‍රපටයට අවශ්‍ය මූලික සූදානම් වීම් කළා. චිත්‍රපටයක් කරද්දි අපිට සුන්දර වගේම අසුන්දර අත්දැකීම් එකතු වෙනවා. ඒක මේ චිත්‍රපටයෙදිත් වුණා. ඒ වැඩක් කරද්දි ස්වභාවය. තුන් පාරක් විතර අපි ජපානයට ගියා. රුවන් කොස්තාත් ගොඩක් මහන්සි වුණා.

නිර්මාණාත්මක චිත්‍රපටයක් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මම සිංහල සිනමාවට ආවෙ 1978 දී තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ චිත්‍රපටයේ සහය සංස්කාරකවරයා විදියට. සෑහෙන කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් විදියට හැමෝම එක්කසහයෝගයෙන් මම වැඩ කරනවා. කන්දක් සේමා චිත්‍රපටයේ සියලු ම ශිල්පීන් එක්ක අපි සහයෝගයෙන් වැඩ කළා. වෙනස් පරිසරයක, වෙනස් අත්දැකීම් එක්ක වුණත් ඒ නිර්මාණය කරන්න හැමෝම කැප වුණා. උපරිම සහයෝගය ලැබුණා. මම ආරාධනා කරන්නේ හැමෝට ම මේක බලන්න, ඒ ගැන අදහස කියන්න කියලා. අපි මේ පහුගිය කාල වකවානුවෙ සිනමාවේ ඉතා අසීරු කාලයක් ගෙව්වෙ. දැන් පොඩ්ඩක් අපිට ඉස්පාසුවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මඟ නොහැර කන්දක් සේමා චිත්‍රපටය බලන්න කියලා තමයි ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නෙ‘

70 දශකයේ මුල් භාගයේ සිදු වූ සිදුවීම් මාලාවක කොටස්කාරිනියකගේ සංවේදී කතා පුවත සුමිත්‍රා ලේඛිකාවට කියන්නේ ඇගේ පාඨකයෙකි. ඇගේ කතාව අසන ලේඛිකාව මේ කතාවේ බර පිළිබඳ නිවැරදි ම අවබෝධය ලබා ගන්නට ජපානයට යන්නී ය. ටෝකියෝ සිට පැය දෙකහමාරක දුරක් යන ඇය ඒ විශේෂිත ගැහැනියගේ අත්දැකීම් සඳහා පාදක වූ සියලු ස්ථාන නරඹන්නී ය. ලේඛිකාව පවසන්නේ ඇය ජීවමාන ව දැකීමත්, ඇගේ කතාවට අදාළ සියලු තැන් දැකීමත් ඇයට සහකම්පනයක් ඇති කරන්නට සමත් වූ බව ය.

ඇය ඒ කතාව වියමන් කරන්නේ සිය පරිකල්පනය ද ඒ හා මුසු කරමිනි. ප්‍රබන්ධය ඇත්තේ යථාර්ථයත් පරිකල්පනයත් අතරමැද තැනක බැව් ඔබ දැනටමත් දනී. කන්දක් සේමා ලෙසින් ඔබ අතට පත් වූයේ ඒ සංස්කෘතික, දේශපාලනික ඛේදවාචකයේ එක්තරා ස්වරූපයකි. සිනමා රූප බවට පත් වෙන්නේ එකී ගද්‍යමය ආඛ්‍යානය ය. ඒවා පොත කියැවූ ඔබේ මනසේ ඇඳි චිත්ත රූපවලට කෙතෙක් සමාන ද යන්න බැලීමට නම් ඔබ මේ සිනමා කෘතිය නැරඹිය යුතු ම ය.

එහෙත් අවසන් වශයෙන් ඔබට යමක් කිව යුතු ය. ලෝකයේ බොහෝ චිත්‍රපට පොත් ඇසුරෙන් සැකසී ඇත. ඒවා පොතේ අනුවාදයක් තරම් සමාන වෙන අවස්ථා ද, වෙන ම අර්ථ සම්පාදනය කරන අවස්ථා ද ඇත. පුද්ගලික ව මම පොත වෙනමත්, සිනමා කෘතිය වෙනමත් විඳීමට කැමැත්තෙමි. පුද්ගල ස්වරූප විවිධ වන්නා සේම පුද්ගල රුචි අරුචි කම් ද විඳීම් පරාස ද වෙනස් විය හැකිය. එබැවින් කන්දක් සේමා නවකතාව සේම සිනමා නිර්මාණය ද ඔබට විවිධ අර්ථ සම්පාදනය කරනු ඇත. මේ හුදෙක් ඒ පිළිබඳ පසු විපරමක් පමණකි.

කන්දක් සේමා නවකතාවේ කතුවරිය ම ලියූ දැක නෙක විලස කෘතියේ සඳහන් වූ කුඩා ඡේදයක් මට මෙහිදී සිහිපත් වේ. එය ඔබ අබිමුව තබන්නේ ඉතිහාසයේ සමහර සිදුවීම් කෙතරම් රිදුම් සහගත ද යන්නත්, ඒ රිදුම් පිරිමදින්නට හැක්කේ නිර්මාණකරුවන්ට පමණක් ම බවත් ඔබට සිහිපත් කරන්නට මට අවැසි නිසා ය.

‘ජීවිතය, වෙනස් කළ හැකි බොහෝ දේ තිබේ. කිසියම් එක් සිදුවීමක් වෙනස් කළහොත්, ඉන් ඉදිරියට සිදුවිය හැකි බොහෝ දේ නිතැතින්ම වෙනස් වනු ඇත. ඉතිහාසය ද වෙනස් කිරීමට ඉඩ තිබුණ අවස්ථා එක්කෝ අප මඟහැර ඇත. නැත්නම් අප නොදැනම ඒ සිදුවීම් අපගේ ඇඟිලි අතරින් ඉහිරී ගොස් ඇත.’

ඒ දේ නොවන්නට නම් මේ වැනි සිනමා කෘති ඔබ නැරඹිය යුතු යැයි ආරාධනා කරමි. නොවැම්බර් 2 වැනිදා සිට කන්දක් තරම් බර කතාවක් කන්දක් සේමා නමින් සිනමාපටයක් ව ඔබ ඉදිරියට එන්නේ ඉතිහාසයක කඳුළු බර මතින් පමණක් ම නොව, ඒ බර විසින් බිහි කරන ලද සංස්කෘතික හා දේශපාලන බර ද දරා ගනිමින් බව අවසන ලියා තබමි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division