වැසි අඳුර මුළු අහසම ගිලගෙන ඇත. පාසලෙහි සිසු සිසුවියන්ගේ පැමිණීමෙහිද අඩුවක් තිබේ. මාඔය පිටාර ගැලීමටද ඉඩ ඇති බැව් කීප දෙනෙක්ම කියනවා ඇසීමි. පසුගිය දවස්වල අධික රස්නය මේ වන විට අධික සීතලක් බවට පරිවර්තනය වී ඇත. සියල්ල අනිත්‍ය බැව් නිතර පසක් වන විවිධ මානසික, පාරිසරික, සාමාජයීය හේතු මා අබිමුව වෙයි. කලෙක සියල්ල හැර දමා මහණදම් පිරීමට සිත් වුණු කාලයට මගේ සිත දිව යයි. පන්ති කිහිපයක සිසුන් පොදු ඉගැන්වීම් කරනුයේ පැමිණීමේ අඩුව නිසාවෙනි. ගමගේ මහත්මයා ඒ රාජකාරිය බාරගෙන ඇති නිසා මා පුස්තකාලය දෙසට පිය මැන්නෙමි.
පුස්තකාලය තුළ වටිනා කියන පතපොත දුලබය. පොත්පත් කීපයක් පුස්තකාලයට පරිත්‍යාග කරන්න සිතුවත් මේ දවස්වල පොත්පත්වල මිලෙහි හැටියට එය අපහසු කාර්යයක් වී තිබේ. එහෙත් මගේ පෞද්ගලික එකතුවෙන් කිසියම් පොත් ප්‍රමාණයක් මෙහි ගෙනා ආ යුතු යැයි මා නැවත සිතුවෙමි. හිත යන කුමක් හෝ පොතක් වේදැයි විමසමින් සිටින විට එහි පැමිණියේ සිරිවර්ධන මහත්මියය. ඇය මාටින් ගුරුන්නාන්සේගේ ඥාති සොහොයුරියකි. මා එහි යන බව ඇය දනී.
“ආ කොහොමද කමල් මේ සතියේ එහෙ ගියාද?“ යැයි ඇය ඇසුවාය.
“ඔව්… ඔව් ටිකක් රෑ වෙනකම්ම ඉඳල තමයි ආවේ.“
“කමල් දන්නවද වැඩක් අපේ අයිය කුඩා කාලෙ… ඉස්කෝලෙ එනකොට අර කුඩා බෝක්කුව තියෙන්නෙ… ඒ පාර ඒ කාලේ හරි පටුයි.”
“දැනුත් ඉතින් මහ ලොකු නැහැනේ.“ ඇය කතාව වෙනතක ගෙන යනවාදැයි සිතත්ම. “ඒ බෝක්කුව ගාව අලියෙක් බැඳල තිබිලා පාර හරස් කරලා. අපේ අයියා උගේ බඩ යටින් රිංගලා ඇවිත් එයා ඉතින් පෝරිසාදයනේ“
“කවුද ගුරුන්නාන්සේ ද? අලිය ද?“ මා සිනාසෙමින් ඇසුවෙමි.
“අලියා නෙවී අපේ අයියා පොඩ්ඩා” ඇය එසේ කියනුයේ තරමක් ආඩම්බරයෙන්ද යුතුවය.
ඒ අතර “කාව්‍ය සංග්‍රහය” නමින් කුඩා කවි සඟරාවක් මා අතට පත්විය. එය දුටු ඇය පැවසුයේ අපූර්ව කතාවකි. මාටින් ගුරුන්නාන්සේ කවියටද දක්ෂ බවය. කිට්ටුව විහාරස්ථානයක් වේ. බොහෝ කලකට ප්‍රථම මාටින් ගුරුන්නාන්සේගේ තාත්තාගේ කාලයේ එම පන්සලේ ඝාණ්ටාරය සොරකම් කර තිබුණු අවස්ථාවක පන්සලේ ස්වාමීන් වහන්සේ මාටින් ගුරුන්නාන්සේගේ අප්පච්චිගෙන් උදවු ඉල්ලු බවත්, එහිදී ඔහු කියන ලද වස්කවක් නිසා සොරකම් කරගෙන ගිය ඝාණ්ටාරය කරෙහි තබාගෙන සොරා පිස්සුවෙන් පැමිණි ඇති බවත් ඇය පැවසුවාය. ඔහුද අප්පච්චි සේම කවියට දක්ෂ බව සිරිවර්ධන මහත්මිය මට පවසන විට මම මහත් ආශාවෙන් අසා සිටියෙමි. ඊළඟ කාල පරිච්ඡේදය මාගේ රාජකාරිය බවට පත්ව තිබෙන නිසා සීනු හඬ සමඟ මා ඇයට සමු දුන්නෙමි.
පාසලේ වැඩ කටයුතු හමාර කළ මා නවාතැන් පළට පිවිසුණත් පරිසරයේ අඳුර නිසා කම්මැළිකමක් ඇති වී ඇති සෙයකි. මේ සතියේ නිෙවසට යන්නට වෙන්නේ නැත. අප්පච්චි මේ ඉරිදා මාටින් ගුරුන්නාන්සේ බැහැදැකීමට එන්නේ වෙනත් රාජකාරියකටත් එක්කමය. සෙනසුරාදා දවල්ට අප්පච්චි සමඟ වෙන්නප්පුවට යාමට සිදු වේ. එහි එදා රාත්‍රිය ගෙවීමට සිදුවන බව අප්පච්චි මට කලින්ම කියා තිබිණි. නොයෙකුත් සිතිවිලි අතරේ සිර වනවාට වඩා ඉස්කෝලේ හාමිනේ හමුවන එක හොඳ යැයි සිතුවෙමි. මඳ වැස්සේම මා එදෙසට පිය මැන්නෙමි.
මා එහි යන විට ඇය පොත් ගොඩක් අල්ලාගෙනය. “බලන්නකෝ පුතේ මේවට කාවො ඇවිත්නේ… කපුරු බෝල දැම්මත් ඒකත් ටික කාලයයි.“ ඇය මැසිවිලි නැඟුවාය. “කරාබු නැටි ටිකක් තළල තැනින් තැනට දැම්මමත් කාවෝ ටිකක් අඩුවෙනවා” මම කීවෙමි. “පුතා අද ඉස්කෝලෙ ගියා ද?“ ඇය එය ඇසුවේ නිකමට විය යුතුය. මා අනවශ්‍ය පරිදි නිවාඩු නොගන්නා බව පූර්වයේදීම මා ඇයට පවසා තිබුණි.
“ඔව්. අම්මා ගියා. ඒත් කම්මැළියි… ළමයි අඩුයි… වැස්ස නිසා වෙන්න ඇති” මා ඇයට පැවසීමි. “පුතාට වැදගත් පොතක් තියේනම් ගත්තට කමක් නැහැ.“ ඇය ආදරයෙන් පැවසුවාය. ඒ බලාපොරොත්තුවෙන් තොරව ඇයට උපකාර කිරීමේ බලාපොරොත්තුවෙන් පොත් පෙරළා බැලුවෙමි. “අම්මා මේ සීතලට කාවො එළවන්න අමාරුයි. අව්ව තියෙන දවසක අව්වට දාල ටිකක් පෙරළුවනම් කාවො එළියට එනවා” මම කීවෙමි. “පුතා මගෙ ගාව පුස්කොළ පොත් කීපයක් තියෙනවා. බුදුගුණ තියෙන ඒව ටිකකුත් තියෙනව. බෙහෙත් පොත් කීපයකුත් තියෙනව. මම වෙලාවක පුතාට දෙන්නම්. මා ගාව තිබුණයි කියල වැඩකුත් නෑනේ. පුතා… මාටින් පුතාලගෙ පැත්තේ ගියා ද?“ ඒ එක්කම ඇය ඇසුවාය.
“ඔව් අම්මා ගියා. ගොඩක් හොඳට කියලා දෙනවා. මාත් ආශාවෙන් ඉගෙන ගන්නවා. අම්මට ගොඩක් පින්. අම්ම නිසානේ ඒ අවස්ථාව ලැබුණෙ.“ මම කියාගෙන ගියෙමි.
“පුතාට කියන්න මමත් ඔය පොඩි පොඩි මන්තර වැඩ කරල තියෙනවා. එක පාරක් මගෙ අත පිච්චුණා උණු වතුරට. මාටින් කොලුව ඇවිත් වතුර ටිකක් මතුරල කුල්ලට දාල කුලු මුල්ලෙන් අතට පෙරෙන්න දැම්මා. දැවිල්ල කොහෙන් ගියාද දන්නෙ නෑ. අනේ මාටින් පුතා ඒ මන්තරය මට දීල කීව ඕනම වෙලාවක අතක් කකුලක් පිච්චුණොත් වතුර ටිකක් පෙරළ අරන් කුලු මුල්ලෙන් පිච්චුණ තැනට දාන්න කියලා. මාත් කීප පාරක් කරල තියෙනවා. ‘ඕං නමෝ අග්නි පානී ජල පානී සිසිල සිසිල ඒස්වාහඃ‘ ඔන්න පුතේ ඔච්චරයි මන්තරය ඇය කීවාය.
පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු