බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ මෙරට ගිරිහඬු සෑය හා මහියංගණ සෑය ඉදිකළ බවට ජනප්‍රවාදවල සඳහන් වුවත් ඓතිහාසික සාධක අනුව මෙරට පළමු බෞද්ධ ස්තූපය ලෙස සැලකෙන්නේ ථූපාරාමයයි.
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු උන්වහන්සේට වන්දනාමාන කිරීම සඳහා පුජා වස්තුවක් නොමැති වීම නිසා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් වැඩමවා ස්තූපයක් කරවීමට අදහස් කළ බව ජනප්‍රවාදයන්හි දැක්වේ. ඒ අනුව දෙවනපෑතිස් රජතුමා එම ස්තුපය ඉදිකිරීම භාරගෙන ඇති අතර මිහිඳු හිමියන් සුමන සාමණේරයන් වහන්සේ ලවා සක්දෙව්පුර සිළුමිණි සෑයෙන් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූව වැඩම කරවා ගෙන තිබේ.
ධාතූන් වහන්සේ ස්තූප ස්‌ථානයට වැඩම කරමින් සිටියදී සධාතුක කරඬුව රැගත් ඇතා බිම් මට්ටමට බැසීම ප්‍රතික්ෂේප කළේය. මිහිඳු මාහිමියන් රජුට අවවාද කළේ ධාතූන් වහන්සේ වැඩම කරවීමට ඉඩ සලසමින් ඇතාට සරිලන උසින් මැටි කන්දක් ඉදිකරන ලෙසයි. අභය වැවෙන් මැටි ගෙන්වා ගත් දේවානම්පියතිස්ස රජතුමා ස්තූපය ධාන්‍ය ගොඩක් ලෙසින් ඉදි කළේය.
ආරම්භයේදී මෙම ස්‌තූපයට විශේෂ නමක් නොතිබූ අතර එවකට අනුරාධපුරයේ වෙනත් ස්‌තූප නොවූ බැවින් “ථූප” යන නම එයට යොදා ඇති බව අනාවරණය වී ඇත. දේවානම්පියතිස්ස රජතුමා මෙම ස්තූපය පෙරටුකොට විහාරයක්‌ද කරවූ බැවින් මෙයට ථූපාරාමය යන නම ලැබුණු බව පැහැදිලිය.
ස්තුපයේ ධාතුන්වහන්සේලා තැන්පත් කිරීමේදී බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨානය අනුව පෙළහර පෑබව මහා වංශයේ සඳහන්වේ.
රුවන්වැලි මහාසෑයට උතුරෙන් අභය වැව හෙවත් බසවක්කුලම වැවට නැඟෙනහිරින් ථූපාරාම මාවත ආසන්නයේ අක්කර තුනහමාරක් පමණ භුමි ප්‍රදේශයක් පුරා ථූපාරාම ආරාම සංකීර්ණය පිහිටා තිබේ. එහෙත් රජ දවස අතිවිශාල භූමි ප්‍රදේශයක මේ ආරාම සංකීර්ණය පිහිටා තිබෙන්නට ඇති බව විශ්වාස කෙරේ.
ලංකාවේ භික්ෂුණි ශාසනය පිහිටුවීමෙන් පසු මෙය භික්ෂුණි ආරාමයක් වන්නට ඇතැයි ද ඉතිහාසඥයෝ අදහස් කරති. ථූපාරාම ආරාම සංකීර්ණයේ ඇති ප්‍රධානතම ස්මාරකය වන්නේ ථූපාරාම දාගැබයි.
ස්‌තූපය ගොඩනංවා ඇත්තේ කවාකාර මළුවක් මතය. මෙහි විෂ්කම්භය අඩි 164 අඟල් 6 කි. අඩි 11 අඟල් 4 ක් වූ පොළව මට්‌ටමින් උස්‌වන මළුව මත ඇති ස්‌තූපයේ උස අඩි 63 ක් වන අතර විෂ්කම්භය අඩි 59 කි. අනුරාධපුර යුගයේ පසුකාලීනව ඉදි වූ සුවිසල් දාගැබ් සමඟ සසඳන කල මෙය ඉතා කුඩා වුවත් හැඩය හා නිර්මාණය අතින් අතිවිශිෂ්ටය. විශේෂයෙන්ම මළුව මත වටදාගෙයක් හෙවත් චේතියඝරයක් ථූපාරාමයට ඉදි කර ඇත.
මෙම කුලුනුවල යට කොටස හතරැස් වන අතර කුලුනේ උසෙන් තුනෙන් එකකදී කුලුනේ ඉහළ කොටස අටපට්‌ටම් හැඩයට නෙළා තිබීම විශේෂත්වයක් ගනී. එසේම මෙම එක් එක් කුලුනු පන්තිවල උස ක්‍රමයෙන් අඩු වන ආකාරයට පිහිටුවා ඇත්තේ පියැස්‌ස ක්‍රමයෙන් පහත් වී යන ලෙසටය.
ස්‌තූපය වක්‍ර පරාල සහිත ගෝලාකාර වහලයකින් ආවරණය වී තිබෙන්නට ඇතැයි සැලකේ. සමස්‌ත නිර්මාණය දෙස විමසා බලන විට අපට පෙනී යන්නේ කවාකාර උස් මලුවක් මත කුඩා ස්‌තූපය තනා ඇති බවයි. කුලුනු වටයන් 4 ක් උපයෝගී කරගෙන ස්‌තූපයට පියස්‌ස සාදා තිබෙන්නට ඇති බව පෙනේ.
දේවානම්පියතිස්‌ස රජතුමාගෙන් පසුව දීර්ඝ කාලයක් ථූපාරාමය ඉතා හොඳින් පැවතුණද පසුකාලීනව ක්‍රමයෙන් පරිහානියට පත්ව තිබේ. පසුව ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ විසූ ලඤ්ජතිස්‌ස මහරජතුමා ගර්භය වටේට ගල් ආවරණයත් යොදා ඇත. එසේම රජු විසින් ස්තූපයේ ශෛලමය මළුව ද අලුත්වැඩියා කර ඇත. එසේම ලජ්ජිතිස්ස රජු ශෛලමය ආසන තුනක් හා ශෛලමය කංචුකයක් කරවා ඇත.
එමෙන්ම 1 වන සියවසේදී වසභ රජතුමා මේ ස්තූපයට මනරම් වටදාගෙයක් හෙවත් චේතිය ඝරයක් කරවා සිවු බුදුවරුන්ගේ පිළිම තැන්පත් කරවිය. වටදාගෙය ඉදි කරන ලද්දේ අලංකාරව සරසන ලද කුළුණුවලිනි.
එහෙත් අද අපට දක්නට ලැබෙන වටදාගෙයි නටබුන් විවිධ රජවරුන් අතින් වරින්වර ප්‍රතිසංස්‌කරණය වූ ඒවා බව ද පැවසිය යුතුය. එසේම වසභ රජතුමා මෙහි කුලුනු දැවයෙන් තනන්නට ඇති බවත් 8 වන සියවස පමණදී බොහෝ වටදාගෙවල්වලට එක් වූ සමාන ලක්‍ෂණ සහිත ගල් කුලුනු මෙයටත් එක් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
විශේෂයෙන්ම මැදිරිගිරියේ වටදාගෙය අටවන සියවසට අයත්ය. එහි කුලුනුත් අම්බස්‌තල, ලංකාරාමය හා ථූපාරාමයේ කුලුනුද සමාන හෙයින් ථූපාරාමයේ දක්‌නට ලැබෙන කුලුනුද 8 වන සියවසටම අයත් වන බවට පිළිගැනේ.
එමෙන්ම මෙරට මාඝාතය මුලින්ම පැනවූ (සත්ත්ව ඝාතනය) 1 වන සියවසේ මුල් භාගයේ විසූ ආමණ්‌ඩ ගාමිණී අභය මහරජතුමා ථූපාරාමයට පෝය ගෙයක් කරවීය. (උපෝසථාගාරයක්) එසේම ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේදී 6 වන අග්‍රබෝධි රජතුමා විසින් මෙහි ගල් ටැම් පරිවර්තනය කළේ යයි කියන විස්‌තරයට අනුව අද අප දකින සියලුම කුළුනු අප පෙර සදහන් කළ 8 වන සියවසේ එක් කළ ගල් කුලුනු බව විශ්වාස කළ හැකිය.
පසුව ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 249-262) ථූපාරාමයේ ථූපඝරය ප්‍රතිසංස්‌කරණය කළේය. එසේම ථූපාරාමයේ පොහොය ගෙයද මේ රජතුමා විසින් ප්‍රතිසංස්‌කරණය කරන ලදී. ගෝඨාභය රජතුමාගේ පුත් 1 වන ජෙට්‌ඨතිස්‌ස රජතුමා (ක්‍රි.ව. 263-273) විසින් ථූපාරාමයේ තිබූ විශාල ගල් පිළිමයක් රැගෙන ගොස් පාචීනතිස්‌ස පබ්බතයේ ස්ථාන ගත කරන ලදී.
එමෙන්ම 1 වන උපතිස්‌ස (ක්‍රි.ව. 365 – 406) රජතුමා ස්‌වර්ණමය කඤ්චුකයකින් ස්තූපය ආවරණය කළේය. පසුකාලයේ ධාතුසේන මහ රජතුමන්ගේ සමයේ (ක්‍රි.ව. 604 – 614) ජෝතිපාල නම් හිමි නමක් ථූපාරාමය වන්දනා මාන කරමින් සිටින අතර සෑයෙන් කොටසක් හදිසියේ කඩා වැටිණ. ඒ බව උන් වහන්සේ රජතුමාට සැලකිරීමෙන් පසුව මෙහි තිබූ ධාතූන් වහන්සේ හා අනිකුත් දේ ඉවත් කර ධාතුඝරයේ සිතුවම් ඇද, දකුණු අකු ධාතුව නැවතත් එහි තැන්පත් කොට සෑය ප්‍රතිෂ්ඨාපනය කර තිබේ.
ථූපාරාමයට අභාග්‍ය උදාවූයේ මෙරට ඇති වූ දේශපාලන අරගලයන් නිසාය.
1 වන දාඨෝපතිස්‌ස රජු (ක්‍රි. ව. 639-650) හා 3 වන අග්‍රබෝධි (ක්‍රි.ව. 628-639) රජු අතර රාජ්‍යත්වය වෙනුවෙන් ඇරැඹි අරගලය දුරදිග යාමෙන් දාඨෝපතිස්‌ස රජු ඉන්දීය හමුදාවල සහාය ලබා ගත් අතර ඒ වෙනුවෙන් ගෙවීමට අවශ්‍ය වූ ධනය සොයා ගැනීම පිණිස ථූපාරාමයේ රන්කොත කඩා මුදල් සොයා ගත් බව ඉතිහාසයේ දැක්වේ.
එමෙන්ම කුලී හමුදාවන් සමඟ මුහුණ දීමට නොහැකිව දඹදිවට පලා ගොස් සිටි 3 වන අග්‍රබෝධි පසුව මෙරටට පැමිණ 1 වන දාඨෝපතිස්‌ස සමඟ යළි සටන් ඇරඹීය. 3 වන අග්‍රබෝධිගේ සහෝදරයා වූ 2 වන කාශ්‍යප යුව රජු ද බලය ලබා ගැනීමේ අදහසින් එම අරගලයට එක් විය. ඔහු තම සේනාව නඩත්තු කිරීමට ථූපාරාමයේ ස්‌තූප ගර්භය කඩා නිධන් වස්‌තු පැහැර ගත් බව ඉතිහාසයේ දැක්වේ.
කෙසේ වෙතත් 2 වන කාශ්‍යප රජු (ක්‍රි.ව. 650-659) බලයට පත්වීමෙන් පසු ථූපාරාම ස්‌තූපය යළි ගොඩ නංවා ඊට ගම්වරයක්ද පූජා කර තිබේ.
පසුකාලීනව මානවම්ම රජතුමා (ක්‍රි.ව. 684-718) ථූපාරාමෙය් වටදාගෙයි වහලය පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ඇති අතර ථූපාරාමයට අයත් බොහෝ ආරාම ද ප්‍රතිසංස්‌කරණය කර තිබේ. එසේම ථූපාරාමයේම ප්‍රාසාදයක් ඉදිකොට පාංශුකූලිකාංගය රකින භික්‌ෂූන් වහන්සේලාට එය පූජා කිරීම සිදු කර ඇත.
එසේම 6 වන අග්‍රබෝධි මහරජතුමා (ක්‍රි.ව. 733-772) ථූපාරාම වටදාගෙයි දිරාගිය කොටස් ප්‍රතිසංස්‌කරණය කර කුලුනු ද අලුතින් ස්ථාපිත කර තිබේ.
2 වන මිහිඳු මහරජතුමා (ක්‍රි.ව. 777-797) රන් හා රිදීමය කඤ්චුකයකින් දාගැබ වැසීය. එමෙන්ම 2 වන දප්පුල මහ රජතුමා (ක්‍රි.ව. 815-831) ථූපාරාමයෙහි වටදාගෙයි වහලය රන් උළු වලින් සෙවිලි කර එහි දොරටු ද රන් වලින්ම ස්‌ථාපනය කර ඇත.
එහෙත් 9 වන සියවසදී ශ්‍රී මාර වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු (ක්‍රි.ව. 815-862) දිවයින ආක්‍රමණය කොට වෙහෙර විහාර විනාශ කොට වටිනා වස්‌තුව කොල්ලකා ගත් අතර එහිදී ථූපාරාමයද ඊට ගොදුරු විය.
එහෙත් 10 වන සියවසේදී 4 වන මිහිඳු රජතුමා ස්තූපය ප්‍රතිසංස්කරණය කර (ක්‍රි.ව. 956-972) ස්තූපය රන් හා රිදී පටවලින් අලංකාර ලෙස සරසා රුවන්මය දොරටුවක්‌ද ථූපඝරය සඳහා පිහිටුවීය.
යළිත් 5 වන මිහිඳු රජතුමාගේ (ක්‍රි.ව. 982-1029) කාලයේ 1 වන රාජ රාජ නමැති සොළී රජු විසින් ලංකාව ආක්‍රමණය කොට පොළොන්නරුව සිය අගනුවර කරගෙන එය ජනනාථපුරම් යනුවෙන් නම් කර පාලනය ගෙන ගිය අතර එහිදී අනුරාධපුරයේ මහා දාගැබ් විහාරාරාම කඩා බිඳ දමා ඒවා තුළ තිබූ නිධන් වස්‌තු කොල්ල කෑහ. ථූපාරාමයත් ඊට ගොදුරු විය.
පසුව ථූපාරාමය නැවත ගොඩනඟන්නේ 1 වන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) බලයට පත්වීමෙන් පසුවය.
මීට අමතරව 1 වන උපතිස්ස, 11 අග්‍රබෝධි, 1 වන දාඨෝපතිස්ස, 11 කස්සප, , 1 වැනි මහින්ද, 11 වැනි දප්පුල, 11 වැනි සේන සහ ඇතුළු රජවරුන් කිහිප දෙනෙකු විසින් ථූපාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත.
ථූපාරාමයේ ඉපැරැණි පුරා වස්තු අතර පිළිම ගෙයද බෙහෙවින් වැදගත් වේ. ස්තූපයේ නැගෙනහිර දොරටුව සමීපයේ ඇති ‘පටිමාඝරය‘ හෙවත් පිළිම ගෙය ඉදිකිරීමට යොදා ඇති ගල් කුලුණුවල විශේෂ ලක්ෂණයක් වන්නේ ඒවායේ හිස වක්‍ර ආකාරයෙන් නිමවා තිබීමයි. මේ ආකාරයේ කුලුනු වෙනත් ස්ථානයකින් හමුව නොමැත. එසේම ථූපාරාමයේ පිළිම ගෙය සමීපයේ ගල් පුවරු පිහිටුවා තනන ලද පටු දිගටි ළිඳක් දක්නට ලැබේ. නාගලු ළිඳ යනුවෙන් හැඳින්වෙන මේ ළිඳෙන් ථූපාරාම වාසී ජල අවශ්‍යතා සපුරා ගන්නට ඇතැයි සැලකේ.
ථූපාරාම දාගැබට නැඟෙනහිරින් පිහිටා ඇති කුඩා ස්තූපය පාද ලාංඡන චේතිය, සිලා චේතිය, දීඝ ථූපය ආදී නම්වලින් හැඳින්වේ. ලජ්ජතිස්ස රජතුමා විසින් මෙය ඉදිකරවන්නට ඇතැයි සැලකේ.
ථූපාරාම ආරාම සංකීර්ණයටම අයත් වන සංඝමිත්තා චෛත්‍යය නමින් හැඳින්වෙන කුඩා ස්තූපය ඉදි කර ඇත්තේ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන්පෑමෙන් පසු ආදාහනය කරන ලද ස්ථානයේ බව සඳහන්ය.
උත්තිය රජතුමා මහ රහතන් මෙහෙණියගේ ශ්‍රී දේහය ආදාහනය කොට එහි බඳවන ලද ස්තූපය ථූපාරාම දාගැබට මඳක් නැඟෙනහිරට වන්නට පිහිටුවා ඇත.
භාතිකාභය හා භාතියතිස්ස රජවරුන් විසින් ථූපාරාමයට පොහොය ගෙවල් දෙකක් කරවූ බව දැක්වෙන අතර ඒවායේ නටබුන් ථූපාරාම චෛත්‍යයට දකුණින් ථූපාරාම අදත් දැකගත හැකිය.
ථූපාරාම ආරාම සංකීර්ණයේ තිබුණු ඉතා වැදගත් ස්ථානයක් වන්නේ රෝහල් සංකීර්ණයයි. අදත් ඉතා හොඳ තත්ත්වයේ බෙහෙත් ඔරු දැකගත හැකිය. එමෙන්ම රෝහලේ භාවිතා කළ ඇඹරුම් අත්ගල් හා ඖෂධ ඇඹරීමට යොදා ගන්නා ලද ගල් පුවරු, ලෝහමය පිහි තල, ගල්මංජුසා ආදිය ථූපාරාම භූමියෙන් සොයාගෙන ඇත.
මීට අමතරව ඉතා අලංකාර බෝධි ඝරය, පොකුණු ආරාමික ගොඩනැඟිලි ආදී ආරාම සංකීර්ණයකට අයත් විය යුතු සියලු අංගෝපාංගයන්ගෙන් ථූපාරාමය සමන්විත වී ඇති බව පැහැදිලිය.
රජ සමයෙන් පසුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී ථූපාරාමය කෙරෙහි යළි විශේෂ අවධානය යොමුව තිබේ. ඒ අනුව 1842 – 1862 අතර කාලයේ සිදු කරන ලද ප්‍රතිසංස්‌කරණයකින් පසු ධාන්‍යාකාර හැඩයෙන් අද පවත්නා මෙම ඝණ්‌ටාකාර හැඩය ස්තූපයට ලැබී ඇත. ආරම්භයේදී ථූපාරාම ස්තූපය වත්මන් ස්‌තූපය තරම් උසින් වැඩි වූවක් නොවන අතර එය ඇත්රජුගේ උස මට්ටමට තිබෙන්නට ඇතැයි සැලකේ. ඒ බව පැහැදිලි වන්නේ එයට පියස්සක් තිබු හෙයිනි.
වත්මන් ථූපාරාමාධිකාරී කහල්ලේ ඤාණින්ද හිමියන් පවසන්නේ ථූපාරාමය මෙරට පළමු ස්තූපය වශයෙන් ඒ අභිමානය තවමත් රැකගෙන සිටින බවයි. නව අලුත්වැඩියාවන් සියල්ල සිදු කරන්නේ වන්දනාකරුවන්ගේ පහසුව පිණිස බවත් එහිදී පෞරාණිකත්වයට කිසිදු ආකාරයක හානියක් සිදුවන්නට ඉඩ ලබා නොදෙන බවත් උන් වහන්සේ පවසති.
ථූපාරාමයට ගමන් මාර්ගය
අනුරාධපුරයට දුම්රියෙන් හෝ බස් රථයෙන් ගමන් කර රුවන්වැලි මහාසෑයට උතුරෙන් අභය වැව හෙවත් බසවක්කුලම වැවට නැඟෙනහිරින් ථූපාරාම මාවත ආසන්නයේ ථූපාරාම ස්තූපය පිහිටා තිබේ.
ඡායාරූප – අන්තර්ජාලයෙනි
තාරක වික්‍රමසේකර