පසුගිය SLIM Awards – 2023 සම්මාන උලෙළේ දී SME අංශයෙන් වසරේ හොඳම අපනයනකරුට හිමි, The Best Exporter of the year සහ හොඳම ව්‍යවසායකයාට හිමි The Best Enterprise of the year යන සම්මාන ද්විත්වය ම කටු අනෝදා බීම නිෂ්පාදනය ප්රමුඛ කොට ගත්, CAP Organic (Pvt) Ltd විසින් දිනා ගන්නා ලදී.
තරුණ ව්‍යවසායකයකු වන රන්ජන් හංචාපොළ විසින්, ආරම්භ කරන ලද මෙම කටු අනෝදා නිෂ්පාදනය ප්රමුඛ කොට ගත් පලතුරු නිෂ්පාදන සමාගම, අද වන විට වාණිජමය වශයෙන් කටු අනෝදා වගා කරන ලංකාවේ විශාලතම සමාගම ලෙස ද කටයුතු කරයි.
ඔහු විසින් ආරම්භ කරන ලද මෙම CAP Organic පුද්ගලික සමාගමෙන් පලතුරු වැවීම, අගය එකතු කොට සකස් කිරීම සහ පිටරට යැවීම සිදු කරයි. මෙම සමාගමේ වගා කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන Cultivation Arm හෙවත්, ප්‍රධාන ක්‍රියාකාරී සමාගම වන්නේ, 2017 වසරේ ආරම්භ කරන ලද CAP Green (Pvt) Ltd ආයතනයයි. ඒ යටතේ සමාගමට අයත් ගොවීන්, පලතුරු සැපයුම්කරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් ඒකාබද්ධව සිටින අතර, සියලු වගා පාලනය, කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු සිදුවන්නේ එම සමාගමෙනි.
සිය සමාගමේ ව්‍යාප්තිය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, රන්ජන් හංචාපොළ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“අප මව් සමාගමේ තවත් දිගුවක් ලෙස, 2019 වසරේ දී, කටු අනෝදා සහ පැෂන් ෆෘට්වලින් කළ value added හෙවත් ‘අගය එකතු කළ’ නිෂ්පාදන අපනයනය සඳහා, CAP Organic (Pvt) Ltd නමින් තවත් සමාගමක් ආරම්භ කළා.
ඊළඟට සබරගමු විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද නවෝත්පාදනයක් වූ කටු අනෝදාවලින් වයින් නිෂ්පාදනය කිරීම සඳහා, වාණිජ සහකරු වශයෙන් බලපත්‍රය අප විසින් ලබා ගත්තා. ඒ අනුව, ලංකාවේ පළමු වරට කටු අනෝදා වයින් නිෂ්පාදනය කරන්නේ අපගේ CAP Vinery (Pvt) Ltd සමාගම විසින්.
ඊළඟට කටු අනෝදාවලින් පමණක් නොනැවතී තැඹිලි වතුර, දෙහි, වරකා, පැෂන්, කොමඩු සහ රඹුටන් වැනි පලතුරුවලින් ගන්නා සාරය කිලෝ 10 සිට 250 දක්වා ලොකු බ්ල්ක් ලෙස අප නිෂ්පාදනය කරනවා.
විශේෂයෙන් කටු අනෝදා ගෙඩිය දින දෙක තුනක් ඇතුළත ප්‍රයෝජනයට නොගත්තොත් ආහාරයට ගන්නට බැරි තත්ත්වයක් උදා වනවා. ඒ නිසා, නෙළා ගත් සැණින් අප වෙත එන කටු අනෝදා, හොඳින් සෝදා පිරිසුදු කර ඇට සහ පොතු ඉවත් කර පියුරි එකක් හෙවත් පල්ප් එකක් ලෙස සකස් කරනවා. එම පල්ප් එක ශීත කාමරවල තැන්පත් කර, අපට අවශ්‍ය පරිදි නිෂ්පාදන ක්‍රියාවලියට එක් කර ගන්නවා. මෙය කටු අනෝදා කල් තබා ගැනීමට, අප විසින්ම සොයා ගන්නා ලද ක්‍රමයක්.
ඒ වගේම කටු අනෝදා ජූස් එකක් විදියට කෙලින්ම ගත්තොත් සාන්ද්‍රණය වැඩි නිසා, මෙය සකසන්නේ අප විසින් ම හඳුන්වා දුන් වට්ටෝරුවකට සහ ක්‍රමයකට අනුවයි. එසේ සකසා වීදුරු බෝතල්වල අසුරන කටු අනෝදා, බීමක් ලෙස සකස් කරන්නේත්, ඩොලර් ඉපැයීමට පිට රට යවන්නේත්, එම කාර්යය සඳහා ම ආරම්භ කළ CAP Puree පුද්ගලික සමාගමෙන්.
“ ඇත්තටම කටු අනෝදා වගාව පිළිබඳව මමත් කිසිවක් දැන සිටියේ නැහැ. නමුත් මම කැමැති ම පලතුරක්. තණමල්විල පිහිටි අපගේ කටු අනෝදා වගාව අක්කර 50ක්. අක්කරයක ගස් 1,000ක් පමණ වවා තිබෙනවා. මුල් අවුරුදු තුන ඉතා හොඳින් ගහ බලාගන්න වෙනවා. අවුරුදු තුනක් යන කල් ඵලදාවක් ලැබෙන්නේ නැති එක තරමක් ගැටලුවක්.
කොහොම වුණත්, දැන් තමයි අපගේ වතුවලත් අස්වනු ටිකෙන් ටික ලැබෙන්නට පටන් ගෙන තිබෙන්නේ. දැනට පිට සැපයුම්කරුවන්ගේ ඵලදාවත් සමඟ මාසිකව කටු අනෝදා කිලෝ 5,000ක් පමණ අපගේ කර්මාන්තශාලාව වෙත ලැබෙනවා. කටු අනෝදා වගා කර අපට ඵලදාව ලබා දෙන ගොවීන් දාහක් පමණ දැන් අපත් සමග සිටිනවා. ඔවුන් ගේ අස්වනු මිල දී ගන්නා ගැනුම්කරුවා වන්නේත් අපි. වගාවට අවශ්‍ය දැනුම අප ඔවුන්ට ලබා දෙනවා. මෙය යුරෝපා සංගමය සහ ලෝක බැංකුව අරමුදල් ලබා දෙන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන දැවැන්ත ව්‍යාපෘතියක්.
මෙම ව්‍යාපෘතිය තුළින් අප ග්‍රාමීය ජනතාවට හොඳ ආර්ථිකයක් නිර්මාණය කර තිබෙනවා. ලංකාවේ තිබෙන්නේ කටු අනෝදා එක් දේශීය වර්ගයක් පමණයි. එය කොහොමත් රසයෙන් සහ ගුණයෙන් ඉහළයි. ඒ වගේම කටු අනෝදා කියන්නේ, තිබහ නිවන පලතුරු බීමක් පමණක් නෙවෙයි. පෝෂණයෙන් ඉහළ පානයක්.
දැනට අපි ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, ඇමෙරිකාව, ඩුබායි, චීනය, නෙදර්ලන්තය, ඉතාලිය, චෙක් ජනරජය ඇතුළු රටවල් ගණනාවකට වරකා ජූස්, තැඹිලි වතුර, පැෂන් ජූස් සහ කටු අනෝදා ජූස් අපනයනය කරනවා. මේ රටවල් අතරින්, කොයි රටකට හරි මාසෙකට කන්ටේනරයක් යනවාමයි. ඒ අතරින් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ ඇමරිකාවට.
කොහොම වුණත් අපි හැම මාසෙකම ඇමෙරිකානු ඩොලර් 50,000ක් පමණ විදේශ විනිමය රටට උපයා දෙනවා.
මේ ප්‍රමාණය තව වර්ධනය කිරීම සඳහා අපි නව ක්‍රමවේදවලට යමින් සිටිනවා. ඒ අනුව, ඉදිරියේ දී ඒ ඒ පලතුරු වාරෙ දී පලතුරු එකතු කර, ඒවා පල්ප ලෙස ලීටර දෙසීයයේ ලොකු බැරල්වලට ගබඩා කර තැබිය හැකි නවීන තාක්ෂණයෙන් යුතු UST Plant එකක් අපේ කර්මාන්තශාලාවට එක් කිරීමට කටයුතු කරනවා. එයින්, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිත් මිශ්‍ර නොකර, මේ පලතුරු පල්ප කාලයක් තබා ගත හැකියි. මේ ක්‍රමයට විදේශ රටවලින් විශාල ඉල්ලුමක් ද පවතිනවා.
ඊට අමතරව කටු අනෝදා කොළවලින් තේ පානයක් ද නිෂ්පාදනය කරනවා. ඒ සඳහාත් විදේශ රටවලින් හොඳ ඉල්ලුමක් පවතිනවා. අපි 100%ක් අපනයනය ඉලක්ක කරගත් පලතුරු සමාගමක්. ඒ වගේම කාබනික ප්‍රතිපත්ති අනුගමනය කරන සමාගමක්. ඒ නිසා අප වවන්නේත්, සැපයුම්කරුවන්ගෙන් පලතුරු ලබා ගන්නේත් කාබනික ක්‍රමයට පමණයි.
මේ ආකාරයට අපිට පලතුරු සපයන ගොවි ජාලයක් රට වටා සිටිනවා. තැඹිලි මාතර, හොරණ සහ අවිස්සාවේල්ල පැත්තෙනුත්, කටු අනෝදා සහ වරකා, බදුල්ල බණ්ඩාරවෙල මොණරාගල සහ තණමල්විල පැතිවලිනුත්, සෙසු පලතුරු තවත් ප්‍රදේශ ගණනාවකිනුත් අපගේ තණමල්විල කර්මාන්තශාලාව වෙත ලැබෙනවා. මේ හරහා ග්‍රාමීය ආර්ථිකයට ඇතිවී තිබෙන්නේ විශාල හයියක්. අපිත් යමක් උපයනවා වගේම, ගමේ අයටත් යම් ප්රතිපාදනයක් අත්වන ක්‍රමවේදයක් හදන්නට හැකි වීම විශාල ජයග්‍රහණයක්.
එයිනුත් 90%ක්ම අපේ කර්මාන්තශාලාවේ සහ වතුවල වැඩකරන අය ග්‍රාමීය කාන්තාවෝ. ඇත්තටම මේ රටේ ව්‍යවසායකත්වය සඳහා ඕනෑ තරම් සම්පත් තිබෙනවා. අවස්ථා තිබෙනවා. අලුතින් හිතන්නට පුළුවන් චින්තනයක් විතරයි අවශ්‍ය වන්නේ.
මගේ ගම ගම්පහ. ඉගෙන ගත්තේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ. මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් සහ එංගලන්තයෙන් මගේ දෙවැනි උපාධිය ලබා තිබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්රය සම්බන්ධයෙන්. නමුත් මම දැන් කරන්නේ, වගාව සහ ආහාර නිෂ්පාදන අංශයට අදාළ කර්මාන්තයක්.
දැනුම අවබෝධය තිබෙනවා නම්, අපේ සංකල්ප දියුණු කරන්න අවශ්‍ය ශ්‍රමිකයන් ඕනෑ තරම් වැටුප් ගෙවා ලබා ගන්නට පුළුවන්. මම අනුගමනය කරන්නේ ඒ ක්‍රමවේදය. දැනට මගේ කර්මාන්තශාලාවේ සහ සියලුම ආයතනවල සේවකයන් 55ක් පමණ සිටිනවා.
මේ ව්‍යාපාරය මම ආරම්භ කළේ 2020 වසරේ මගේ හිතවතකු වන අබේරත්න සමඟ. ඔහු තමයි අදටත් මගේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකාරවරයා ලෙස කටයුතු කරන්නේ.
ඔහුගේ දැනුම සහ මගේ දැනුම එක් කොට, බිහිකරපු කර්මාන්තය හරහා අද යම් පිරිසකට රැකියා අවස්ථා ලබා දී, මේ වෙලාවේ රටට අත්‍යවශ්‍ය ඩොලර් උපයන්නට මාර්ගයක් අපි සකසා තිබෙනවා.
ඇත්තටම මේ අවුරුදු තුන තුළ ආපු ගමනට, මේ ලැබුණු සම්මාන දෙක විශාල හයියක්. මේ තුළින් ලබන උත්තේජනයෙන් අපිට තව තවත් රටට වැඩ කරන්න ධෛර්යය ලැබෙනවා.
ඒ වගේම මේ රටේ බහුලව තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගෙන කවුරුවත් නොකරන දෙයක් කිරීම තමයි මගේ විශේෂත්වය.
වැල, වරකා, කටු අනෝදා කියන්නේ මේ රටේ ගස් යට වැටිලා යන පලතුරු. මේ තමයි මට ඉතාමත් පහසුවෙන් මගේ රටේදීම හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය. මං කළේ, වෙනස් විදියකට හිතපු එක සහ ක්‍රියාත්මක වූ එකයි…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර