ලංකාවේ මුලින්ම පටන්ගත් (1860) ලංකා ලෝකය පත්තරයේ හා රජයේ ලියාපදිංචි කරන ලද පළමු සිංහල පුවත්පත වූ (1862) ලක්මිණි පහන පත්‍රයේ සිට අවුරුදු සියයක් පමණ ගත වනතුරු පත්තර කර්තෘවරුන්ගේ හෝ කර්තෘ මාණ්ඩලිකයන්ගේ සංවිධානයක් තිබුණේ නැත.
පත්තරයක් සකස් කිරීම පිළිබඳ සංස්කාරකවරයෙක් ගැන පළමුවරට තොරතුරු හමු වෙන්නේ “යතලඹ” සඟරාව ආරම්භ කළ දොන් අන්ද්රියන් සිල්වා බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත රාජකීය පඬිතුමාගෙනි. ලක්මිණි පහන පත්‍ර බිහි වූ කාලයේ පුවත්පත්වලට කතෘ මණ්ඩල තිබුණේ නැත. සංස්කාරකවරුන් ලෙසට කටයුතු කළේ සිංහල, ඉංග්‍රීසි, දෙමළ, පාලි, සංස්කෘත ආදී භාෂා ශාස්ත්‍ර උගත් පඬිවරුන්ය. ඔවුන්ගේ නම් පුවත්පත් කියවන්නෝ දැන සිටියේ නැත. වර්තමානයේ භාවිත වන කර්තෘ යන්න වෙනුවට භාවිත කළේ සංග්‍රහක හෝ සංස්කාරක වශයෙනි.
ප්‍රථමයෙන්ම ලංකාවේ පත්තර කලාවේදීන් වෙනුවෙන් සංගමයක් පිහිටුවීමේ අදහස ඇති කළේ උඩකැන්දවල සරණංකර හිමියන්ය. එවැනි සංවිධානයක් ඇති කිරීමට උන්වහන්සේට 1942 සහය වීමට තරම් එකල පිරිසක් සිටියේ නැත.
ජපනුන් කොළඹට බෝම්බ දැමූ කාලයේ දොස්තර ඇස්. වික්‍රමසිංහ 1942 “ ජන ශක්තිය ” නැමැති පත්තරයක් පටන් ගෙන තිබුණි. එහි කතෘ ඩී. පී. යසෝදිස්ය. ඔහු විසින් රජයට එරෙහිව එහි ලිපියක් පළ කරන ලදී. ඒ හේතු මත මේ දෙදෙනාව හිරේට නියම විය.
මේ සිදුවීම නිසා පත්තරකාරයන් වෙනුවෙන් සංවිධානයක අවශ්‍යතාව යළිත් උඩකැන්දවල හිමියන්ට තදින්ම දැනෙන්නට විය. උන්වහන්සේ චෙකොස්ලෝවැකියාවේ අයි.ඕ.ජේ (INTERNATIONAL ORGANIZATION OF JOURNALISTS) අනුබද්ධ පත්‍ර කලාසංගමයක් 1955 ඔක් 9දා පිහිටෙව්වේය. එහෙත් රැස් කරගත හැකිවූයේ නවදෙනකු පමණි. එහි සභාපති උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ ය. ලේකම් හේම ද සිල්වා ය. හේම ද සිල්වා කොමියුනිස් පක්ෂයේ මව්බිම පත්තරයේ උපකතෘවරයා විය. අන්තර්ජාතික පත්‍ර කලා සංගමයකට ලංකාවෙන් ප්‍රථම වතාවට සහභාගී වූ පුවත්පත් කතුවරයා ද හේම ද සිල්වාය.
හේම ද සිල්වා ඩී. එෆ් ගෙන් අයි. ඕ. ජේ ලංකා ශාඛාව පුළුල් කිරීමට උදව් පැතීය. ඩී. එෆ් කාරියකරවන මුලින්ම කළේ ලංකා පත්‍ර කලා සංගමය (CEYLON PRESS ASSOCIATION) යනුවෙන් නම වෙනස් කිරීමය. 1957 ඔක්තෝබර් 09 වෙනි දින වැල්ලවත්තේ පොලිටෙක්නික් ආයතනයේ පැවැත්වූ අයි. ඕ. ජේ දෙවන සංවත්සර රැස්වීමේදී නිලවශයෙන් එම නමේ වෙනස සිදු වුණි.
එහිදී ලංකා පත්‍ර කලා සංගමයට සභාපති මණ්ඩලයක් පත් කෙරුණි. සිළුමිණ නියෝජ්‍ය කර්තෘ මීමන ප්‍රේමතිලක, වීරකේසරී කර්තෘ වී. එස්. වාස් , ටෛම්ස් ආයතනයේ ප්‍රධාන වාර්තාකරු රෙජි මයිකල් සභාපතිවරු වූහ.
ප්‍රධාන ලේකම් හේම ද සිල්වාය. උප ලේකම්වරු ඩී.එෆ්. කාරියකරවන සහ ආරියවංශ පතිරාජ වූහ. ආනන්ද වීරවර්ණ භාණ්ඩාගාරික වූ අතර, උප භාණ්ඩාගාරිකවරුන් වූයේ ඇල්බට් වැලිවිට සහ ඩේවිඩ් රාජුයි. ඊළඟ වර්ෂයේ අන්තර්ජාතික පත්‍ර කලා සංගමයේ වාර්ෂික සම්මේලනය නියෝජනය කළේ ඩී.එෆ්. කාරියකරවනය. ඉහත සඳහන් කළේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ උප්පත්ති කතාවයි.
මේ වන විට තවත් පත්‍ර කලා සංගමයක් බිහි වී තිබුණි. “ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය” යනුවෙන්ය. (CEYLON JOURNALISTS ASSOCIATION) එහි සභාපති වූයේ එවකට ලංකාදීප සහය කතුවරයා වූ රත්න දේශප්‍රිය සේනානායකයි. ලක්ෂ්මන් රතනපාල ලේකම් වූ අතර, භාණ්ඩාගාරික ටී. බී. පෙරමුණතිලක මේ සියල්ලෝම ටයිම්ස් ආයතනයේ ලංකාදීප කර්තෘ මණ්ඩලයේ උදවියයි.
1960 වන විට ලංකා පත්රකලා සංගමය, ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය (ඔබ්සවර් පත්‍රයේ ඒ. ජේ.සැමුවෙල් සහ බී.එස්. සිල්වාගේ ) සිලෝන් යුනියන් ඔෆ් ජර්නලිස්ට් (CEYLON UNION OF JOURNALISTS) (සුක්කු කන්දේ රාජසිංහගේ) දෙමළ මධ්‍යවේදීන්ගේ සංගමය යන නම්වලින් පුවත්පත් කලාවේදී සංගම් හතරක් බිහිවී තිබුණි. ලංකාව ශ්‍රී ලංකාව වන විට ලංකා පත්තර කලා සංගමය ද“ ශ්‍රී ලංකා පත්තර කලා සංගමය” බවට පත් වුණි.
මේ සමිති හතර එකතු වී ඕල් සිලෝන් කොන්සල් ටේටිව් ඔෆ් ජර්නලිස්ට්ස් (ALL CEYLON CONSULTATIVE) යනුවෙන් ඒකාබද්ධ මණ්ඩලයක් පිහිටුවා ගත්තේ අයි. ඕ. ජේ මූලස්ථානයේ ඉල්ලීමකට අනුවය. මෙහි කැඳවුම්කාර ලේකම්වරයා ඩී. එස්. කාරියකරවන විය.
1976 ෆින්ලන්තයේ හෙල්කින්සි නගරයේ පවත්වන ලද අන්තර්ජාතික පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ 7 වැනි සම්මේලනයේදී ආසියාව සහ ශාන්තිකර කලාපය භාර උපසභාපති ධූරයට පත් වූයේ ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සභාපති ඩී. එස් කාරියකරවනමය.
1978 අභිනවයෙන් පත් කරනු ලැබූ පුවත්පත් මණ්ඩලයෙහි වෘත්තීය පත්‍ර කලාවේදීන් නියෝජනය කරන සාමාජිකයා තෝරා ගත්තේ ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයෙන්ය. එම මණ්ඩලයේ සභාපතිවූයේ නීතිවේදී ජේ. ඩබ්. සුබසිංහ ය. දොස්තර එම්. සී. එම්. කලීල්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද, ගත්කතුවර කේ. බී. සුගතදාස, ඩී. එෆ්. කාරියකරවන යන අය සෙසු සාමාජිකයෝ වූහ.
1979 වන විට තිබූ එකම පත්‍ර කලා සංවිධානය ලංකා පත්‍ර කලා සංගමය විය. මෙය පූර්ණකාලීන මාධ්‍යවේදීන්ට පමණක් නොව, ප්‍රාදේශීය වාර්තාකරුවන්ට හා නිදහස් මාධ්‍යවේදීන්ට ද සාමාජිකත්වය ලැබිය හැකි ආයතනයක් විය.
ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති කාරියකරවනයන් පුවත්පත් මණ්ඩලයට පත්වූවාට පසු එහි සභාපතිවරයා අපූරු යෝජනාවක් ගෙනාවේය. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පැවරුවේ ද ඩී.එෆ්. කාරියකරවනටය. මාධ්‍ය ආයතනවලින් පඩි ලබන වෘත්තිය පත්‍ර කලාවේදීන්ට පමණක් සාමාජිකත්වය ලැබිය හැකි සමිතියක් පිහිටුවීමය.
එහි ව්‍යවස්ථාව සකස් කළේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ව්‍යවස්ථාවෙන් සියයට හැත්තෑපහක් උපුටා ගනිමිනි. එහි නම “වෘත්තීය පත්‍ර කලාවේදී සංගමය” නම් විය. ඒ අනුව සංගමය පිහිටුවා ගත්තේ 1979 ඔක්තෝම්බර් 9 දාය. සංගමයේ ප්‍රථම සභාපතිවරයා වූයේ ද කාරියකරවන යන්මය. ලේකම් ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ. එස්. ටී. ප්‍රනාන්දුය.
ශ්‍රී ලංකා පත්තර කලා සංගමය තිබියදීම වෘත්තීය පත්තර කලා සංගමයක් පිහිටුවීම තවත් පෙරළියක් විය. පළමුවැනි සමිතියේ ප්‍රධාන ලේකම් ඩී. එෆ් ය. දෙවැනි සමිතියේ සභාපතිත් ඩී.එෆ් මය. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා සංගමයට ඉඩමක් සහිත කාර්යාලයක් ද අද පංචිකාවත්තේ තිබේ.
නෙම් සිරි මුතුකුමාර, රෙජි මයිකල්, ජෝ සිගේරා, මර්වින් ද සිල්වා, ෆිලීෂියන් ප්‍රනාන්දු, කේ. සිවප්‍රකාශම්, නිව්ටන් සෙනෙවිරත්න, ආර්. සිවගුරුනාදන්, ගුණදාස ලියනගේ මුල් කාලයේ වෘත්තීය පත්‍ර කලා සංගමයේ ක්‍රියාකාරි ප්‍රබලයෝ වූහ.
විදේශ රටවල් සමඟ සහ සම්බන්ධතා පවත්වමින්, පැරණි පවත්පත් කලාවේදීන් අගයමින් වසරක් පාසා සම්මාන හා මුදල් රටේ ජනාධිපතිවරයාගේ අතින් පිරිනමමින්, පුවත්පත් කලාවේදීන් ආරක්ෂා කරමින් ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමය 1955 සිට මේ දක්වා ආ මඟ හැට අට වසරක් ය.
ශ්‍රී ලංකා සංගමයේ හැට අට වැනි සංවත්සරය 2023 නොවැම්බර් 01දා පස්වරු 3ට පැවැත්වෙන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීය. එහි ප්‍රධාන අමුත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ඉන්දියානු ජනමාධ්‍ය නියෝජිතයන් ද, දෙස් විදෙස් ආරාධිතයන් ද, කලාකරුවන් ද, එයට සහභාගී වනු ඇත. එහිදී මාධ්‍ය ක්ෂේත්රයෙන් විශ්‍රාම ලබා හෝ වයෝවෘද්ධව හෝ රෝගීව සිටින තෝරාගත් මාධ්‍යවේදීන් දසදෙනකුට දහසින් බැඳි පියලි ලබා දී උපහාර කිරීමට ද නියමිතය.
මීට සමගාමීව ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ නව මූලස්ථානය කොළඹ 08,ඇල්විටිගල මාවතේ රාජායතන පරිශ්‍රයේදී විවෘත කිරීමත්, මාධ්‍යවේදීන් සඳහා ප්‍රථම වරට හඳුන්වා දෙන සිසිර විජේසිංහ සුබසාධන අරමුදල සහ ‘ආචාර්ය අන්ද්‍ර ධනපාල‘ලේඛකත්ව ප්‍රවර්ධන අරමුදල පිහිටුවීමත් සිදු වේ.