ශ්‍රී ලංකාව ලොව පතළ වූ කරුණු අතර මැණික් කර්මාන්තයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. විශ්ව මැණික් ඉතිහාසය සැලකීමේදී එය ක්‍රි.පූ. 2500 සිට ක්‍රි.පූ. 3400 දක්වා ඈතට විහිදී යන්නකි. මෙය කර්මාන්තයක් ලෙස වර්ධනය වීම මෙම යුගයේ සිටම ආරම්භ වූ බව බොහෝ විද්වතුන්ගේ මතයයි.
මේ වන විට ලොව මැණික් වශයෙන් ගිණිය හැකි ඛනිජ වර්ග 200ක් පමණ සොයාගෙන ඇති අතර, එයින් මැණික් වර්ග 75ක් පමණ ලංකාවෙන් හමුවේ. ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 50ට පමණ මැණික් අපනයනය කරයි. ඒ අතර අමෙරිකාව, ජපානය, හොංකොං, තායිලන්තය, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය, ස්ව්ට්සර්ලන්තය වැදගත් තැනක් උසුලයි. ලංකාවේ මැණික් කර්මාන්තය මූලික වශයෙන් පතල් කැපීම, මැණික් කැපීම, ඔප දැමීම සහ වෙළෙඳාම යන අංශ තුනෙන්ම සමන්විතය.
ආර්ථික වශයෙන් විශාල ලෙස වාසිදායක කර්මාන්තයක් වුවද පාරිසරික වශයෙන් සැලකිය යුතු බලපෑම් ගණනාවක් ද පතල් කර්මාන්තය ආශ්‍රිතව හට ගනී. ඒ අතරින් ප්‍රධාන පාරිසරික ගැටලු ලෙස ස්වාභාවික වෘක්ෂලතා ආවරණයට, වැවිලි හා කුඹුරුවලට සිදුවන හානි සහ පාංශු ඛාදනය භූමියට සිදුවන බලපෑම හා භූ රූප විද්‍යාත්මක වෙනස්වීම්, මානව ඉදිකිරීම් ව්‍යූහයන්ට සිදු වන හානි, සෞඛ්‍යයට සිදුවන හානි, ඇළ දොළ හා ගං ඉවුරුවලට සිදු වන හානි, අවසාදනය හා ජල දූෂණය සත්ත්ව වර්ගයාට සිදුවන හානි, ස්වාභාවික වෘක්ෂලතා ආවරණයට වැවිලි හා කුඹුරුවලට සිදුවන හානි සහ පාංශු ඛාදනය මැණික් හමුවේයැයි බලාපොරොත්තු වන ප්‍රදේශවල ඉල්ලම් හෑරීමේ ක්‍රියාවලියේදී වෘක්ෂලතා මුලින් උදුරා දැමීම නිසා ස්වාභාවික වෘක්ෂලතා ආවරණයට සිදුවන ඝෘජු බලපෑමක් සඳහන් කළ හැකිය.
වෘක්ෂලතා ආවරණය ඉවත් කිරීම තුළින් වර්ෂා කාලයේදී පාංශු ඛාදනය තීව්‍ර වීම පතල් කර්මාන්තය නිසා හටගන්නා අහිතකර පාරිසරික බලපෑමකි. නීති විරෝධී ලෙස මැණික් ගැරීම සිදු වන වනාන්තර ප්‍රදේශවලදී එම ක්‍රියාවලිය බොහෝවිට සිදු වන්නේ ගංගාවල ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව බැවින් එය ජල සම්පතෙහි තිරසර පැවැත්මට ද හානිකර ලෙස බලපායි. මැණික් ගැරීමේදී එම ප්‍රදේශයන්හි කුඹුරු හෝ වෙනත් භෝග වගාවන්ට සෘජු වශයෙන් හානි සිදු වන අතර, පතල්වලින් පිටතට දමනු ලබන නිසරු පස මතුපිට තිබූ සාරවත් පස සමඟ මිශ්‍ර වීමෙන් පාංශු ලක්ෂණ වෙනස් වී පසෙහි ගුණාත්මක භාවය ද පහත වැටේ.
භූමියට සිදුවන බලපෑම හා භූ රූප විද්‍යාත්මක වෙනස්වීම් මැණික් ගැරීම නිසා ඇතිවූ විශාල වළවල් හා ගොඩ දමන ලද පස් කඳු රාශියක් මැණික් ගරන ප්‍රදේශවල සුලභව දක්නට ලැබේ. පාරවල්, ගෙවල්, වාරිමාර්ග, බෝක්කු ආදිය යටින් දෝනා හෑරීම නිසා මෙවැනි නොයෙකුත් ඉදිකිරීම් හා ගොඩනැඟිලිවලට හානි පැමිණේ. දෝනා කැණීම නිසා පොළව ගිලා බැසීම්වලට ලක් විය හැකි බැවින් ඉදිකිරීම් ආශ්‍රිතව පතල් කැණීමේදී වඩා සැලකිලිමත් විය යුතුය.
පතල් කැණීම සිදුකර අවසන් වූ පසු ඒවා පුනරුත්ථාපනය නොකිරීම නිසා මදුරුවන් වැනි රෝග වාහකයන් බෝවීම සිදුවේ. පරිසරයට දුර්ගන්ධයක් එකතු කිරීමටත් මෙම වළවල්වල එක්රැස් වන ජලය හේතු වේ. නොපිරවූ වළවල්වලට ක්ෂීරපායී සතුන්, උරගයන් මෙන්ම මිනිසුන්ද ඇද වැටීමේ අවදානම ද ඒ සමඟ පැන නඟින තවත් ගැටලුවකි. ඇළ දොළ හා ගංගා ඉවුරුවලට සිදු වන හානිය ගංගා ඉවුරුවල වෘක්ෂලතාදිය විනාශවී යෑමත් එහි ප්‍රතිඵලයක් ලෙස ගංගා ඉවුරු ජලයට කඩා වැටීමත් සිදු වන්නේ සියලු නිධි මැණික් සඳහා හෑරීම නිසාය. මෙම විනාශයේ දරුණුතම තත්ත්වයක් අඹන් ගඟ හා ඇළහැර ප්‍රදේශවල දැකිය හැකි විය. ගංගා පත්ල හෑරීමේ තවත් අනිසි විපාකයක් වනුයේ මිරිදිය ජලාශ්‍රිත පද්ධතිවල ජීවත්වන ජීවීන්ටත් සුවිශේෂී ජෛව විවිධත්වයටත් එයින් සිදුවන හානියයි. පරිසර තත්ත්ව වෙනස් වීම යටතේ ඔවුන්ගේ වාසස්ථාන නුසුදුසු ලෙස වෙනස් වීමට බඳුන් වීම සමහර සංවේදී විශේෂයන්හි පැවැත්මට මහත් තර්ජනයකි.
ගංගාවල මැණික් ගැරීම නිසා රොන් මඩ ඇවිස්සීමෙන් මෙන්ම ඉවුරු ඛාදනයෙන් ද ඉතා විශාල ප්‍රමාණයෙන් අවසාදිත අංශු ජලයට මුදා හැරීම සිදු වේ. අවසාදිත අංශු වැඩිවීම නිසා ජලයේ බොරතාව වැඩි වීමත් ආලෝක පාරගම්‍යතාව අඩු වීමත් ජලජ පද්ධතියේ වසන ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපායි.
ඊට අමතරව ජලය දූෂණයවීම ද ප්‍රධාන පාරිසරික බලපෑමකි. රොන්මඩ ප්‍රමාණය වැඩිවූ විට පානීය ජලය ලෙස භාවිත කළ හැකිව තිබූ ජලය එම තත්ත්වයෙන් අවක්‍රමණය වේ. ඊට අමතරව මැණික් ගැරීම සිදුවන ස්ථානවල තාවකාලිකව පදිංචි වන කම්කරුවන් හට ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම් නොමැති නිසා ද ජලය දූෂණය වීම සිදු වේ. ඉතා සියුම් මැටි අංශු මහා පරිමාණයෙන් ජලයට එකතු වීමෙන් ජලයේ බොරතාව වැඩි වීමත් එමඟින් ආලෝක පාරගම්‍යතාව අඩු වීමත් නිසා ගංගා ඇළ දොළවල පාරිසරික අසමතුලිතතා හට ගනී.
මැණික් ගැරීම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ එය විදේශ විනිමය සපයා දෙන ප්‍රධාන මාර්ගයක් මෙන්ම ග්‍රාමීය ජනතාවට රැකියා මාර්ගයක් ද වන නිසා ය. එහෙත් එවැනි කැණීම් කටයුතු නිසා පරිසරයට වන හානිය අවම කිරීමට පියවර ගැනීම ද අත්‍යවශ්‍ය වේ.
මැණික් ගැරීමේ දී ඇතිවන පාරිසරික ගැටලු අවම කර ගැනීම සඳහා උපදෙස් දීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙනම අංශයක් ස්ථාපිත කර ඊටම වෙන්වූ නවීනතම පතල් තාක්ෂණය හා ඒවා කෙසේ කළ යුතු ද යන්න පිළිබඳ දැනුම මැණික් ගරන්නන් හට ලබා දෙන්නේ නම් ඉහත කී පාරිසරික හානි අවම කරගත හැකිය. එමෙන්ම ගොඩබිම මැණික් ගැරීම සඳහා විශාල යන්ත්‍රෝපකරණ භාවිතය තහනම් කිරීම, මැණික් ගරා නිම කළ පසු එම පතල් හා දෝනා නැවත පුරවා දැමීමේ කටයුතු සොයා බැලීම, උපදේශක අධිකාරිය විසින් නීති විරෝධී මැණික් ගැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගැනීම, බලපත්‍ර ලබාගෙන නැත්නම් මැණික් පතල් සහ පතල් ප්‍රදේශවල සිට තිරස් අතට දෝනා කැණීම තහනම් කිරීමට ක්‍රියා කිරීම, අවසර දී ඇත්නම් කැණීම් කටයුතු අවසානයේදී එසේ හාරා ඇති දෝනා පුරවා දැමීමට පියවර ගැනීම හා ගැරීමට බලාපොරොත්තු වන්නන් සහ දැනටමත් කර්මාන්තයේ යෙදී සිටින්නන් සඳහා නවතම උපදෙස් ලබා දීමට ද අධිකාරිය පියවර ගැනීම උචිතය.
පී.ජී. දිලිනි කෞෂල්‍යා ආනන්ද
කැලණිය විශ්වවිද්‍යාලය