එදිනෙදා කටයුතු මධ්‍යයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා අතර අහේතුක මානසික අහුමුළුවලට සිහියේ ආලෝකය දල්වා ශාන්ත බව හා බුද්ධිමත්ව ජීවත්වීමට හැකියාව ලබා ගැනීම ගැන අපි උගත්තෙමු.
ඔබේ මානසික අතෘප්තියට කොතරම් ඔබ වගකිව යුතුද යන්න දැකීමට පටන් ගනියි. ඔබගේ දුක, බිය හා ආතතීන් ඔබ විසින් ම ජනිත කළ බව ඔබ දකියි. ඔබගේ දුක, දුර්වලතා හා සීමාවන්වලට හේතුව ඔබම බව දකියි. මේවා මානසික ක්‍රියාවලියේ වඩාත් ගැඹුරින් දකින විට ඒවායේ ග්‍රහණයට ඔබ අසුවීමද අඩුවෙයි.
හුස්ම සම්බන්ධීකරණය
වාඩි වී භාවනාවේ යෙදෙන විට අපගේ ප්‍රධාන අරමුණ හුස්මය. නිරතුරුවම වෙනස්වන හුස්ම මත සිත එකඟ කිරීම අප ඍජුව ම වර්තමාන මොහොතට රැගෙන එයි. චලනයන් මැදදී ද මෙම නියමය පාවිච්චි කළ හැකියි. ඔබ නිරත වී සිටින කාර්යය සමඟ හුස්ම ගැනීම සම්බන්ධ කළ හැක. එය ඔබගේ චලනයට ගලා යන රිද්මයක් ලබාදෙන අතර හදිසියේ සිදුවන ඉරියව් මාරු කිරීම පහසු කරනු ඇත. ක්‍රියාවන් කෙරෙහි සිත එකඟ කිරීම පහසුවන අතර සිහිය ද දියුණු වෙයි. එමනිසා ඔබගේ දැනීම ලෙහෙසියෙන් වර්තමානයේ පවතිනු ඇත. සැබැවින් ම, භාවනාව විසිහතර පැයේ පුහුණුවක් විය යුතුය. මෙය ඉතාමත් ප්‍රායෝගික යෝජනාවකි.
සිහිය පිහිටුවා ගැනීම මානසික සූදානමකි. සිත කරදරවලින් හෝ බාහිර කල්පනාවලින් බර වී නැත. පැන නඟින සෑම ස්වභාවයක් සමඟම ක්ෂණයකින් ගනුදෙනු කළ හැකිය. ඔබ සැබැවින්ම සිහියෙන් සිටින විට ස්නායු පද්ධතියේ හටගන්නා පිබිදීම හා ඉක්මනින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම විසින් විනිවිද දකින නුවණ උපදවයි. ගැටලුවක් මතුවන විට ඔබ, එය කඩිනමින්, දක්ෂ ලෙස හා අනවශ්‍ය කලබලයෙන් තොරව විසඳා ගනියි. වෙවුලමින් බලා සිටීමක් හෝ නිශ්ශබ්දව මුල්ලකට දිව ගොස් ඒ ගැන භාවනා කිරීමක් නොකරයි. ඔබ හුදෙක්ම එය සමඟ ගනුදෙනු කරයි. විසඳුමක් නොපෙනෙන විරල අවස්ථාවලදී වුවද ඔබ සිත කරදර කර නොගනියි. හුදෙක්ම ඔබගේ අවධානය අවශ්‍ය කරන ඊළඟ කරුණ කෙරෙහි යොමු කරයි. ඔබගේ සහජ ඥානය ඉතාමත් ප්‍රායෝගික අධිකාරියක් බවට පත්ව ඇත.
සොරාගත් ඇසිල්ල
නාස්ති වූ කාලයක් කියා දෙයක් අත්දැකීම් බහුල භාවනා යෝගියෙකුට නැත. ඔබගේ දිනය තුළ ඇති නීරස ඉඩ අවකාශයන් ඵලදායී බවට පත් කළ හැක. සෑම මොහොතක්ම භාවනාව සඳහා පාවිච්චි කළ හැක. සිත් තැවුලෙන් දන්ත වෛද්‍යවරයා හමුවීමට තමාගේ වාරය එනතුරු සිටින විට කාන්සාව ඔබගේ භාවනා අරමුණ ලෙස යොදා ගන්න. නොරිස්සුම් ගතියෙන් බැංකුවේ පෝලිමේ සිටින විට නොරිස්සුම් ගතිය පිළිබඳ භාවනා කරන්න. කම්මැලිකමින් බස් නැවතුමේ සිටින අතර කම්මැලිකම භාවනා අරමුණ කර ගන්න. දවස පුරා ම සෝදිසියෙන් හා අවදිමත් බවෙන් සිටීමට උත්සාහ ගන්න. ඉතා අප්‍රිය, වෙහෙසකර කාර්යයක් අතරතුර වුවද මේ මොහොතේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව සිහියෙන් සිටින්න. ඔබ තනිව සිටින කාලයෙන් ප්‍රයෝජනයක් ලබාගන්න. විශාල වශයෙන් යාන්ත්‍රික වූ කාර්යයන්ගෙන් වාසි ලබා ගන්න. සෑම තත්පරයකදීම සිහියෙන් සිටීම සඳහා යොදාගත හැකි සියලුම කාලය පාවිච්චි කරන්න.
සියලුම කාර්යයන්හිදී සිත එකඟ කිරීම උදෑසන නින්දෙන් පිබිදුණු මොහොතේ හටගන්නා මුල් හැඟීමේ සිට රාත්‍රියේ නින්දට වැටෙන්නට පෙර අවසාන සිතිවිල්ල දක්වා දවස පුරාම සිහිය පවත්වා ගන්න. මෙය විශ්වාස කළ නොහැකි තරම් විශාල ඉලක්කයකි. ඉතා ඉක්මනින් මෙය කරා ළඟා වීමට බලාපොරොත්තු නොවන්න. සෙමෙන් ඔබගේ හැකියාවන් වර්ධනය වීමට ඉඩ හරින්න. ඔබගේ දවස කොටස්වලට වෙන්කර ගැනීමෙන් මෙය පහසු වනු ඇත. ඔබගේ ඉරියව් ගැන සෝදිසියෙන් සිටීමට කාල සීමාවක් මුලින් වෙන්කර ගෙන පසුව එය ආහාර අනුභවය, සේදීම, ඇඳුම් ඇඳීම වැනි ක්‍රියාවන් සිහියෙන් කිරීම දක්වා දීර්ඝ කර ගන්න. දවස තුළදී මතුවෙන ප්‍රසන්න, අප්‍රසන්න හා උදාසීන මානසික තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා පැය කාලක් පමණ වෙන් කරන්න. මෙවන් දින චර්යාවන් ඔබට සරිලන පරිදි සකස් කර ගන්න. විවිධ ක්‍රියාවන් දැන ගැනීම හා පූර්ණ සිහිය දවස පුරාම පවත්වා ගැනීමට පුහුණුවීම මෙහි අරමුණය. වාඩි වී භාවනා කිරීම හා අනෙකුත් දෛනික කටයුතු අතර වෙනස අවම වන ආකාරයෙන් දිනපතා වැඩපිළිවෙළක් සැලසුම් කර ගැනීමට උත්සාහ කරන්න. එකක් අනෙකට ස්වාභාවිකව පැමිණෙන්නට ඉඩ දෙන්න. ඔබගේ සිරුර කිසිවිටෙකත් නිසොල්මනේ නොපවතියි. සෑම අවස්ථාවකම නිරීක්ෂණය කිරීමට චලනයක් එහි ඇත. අවම වශයෙන් හුස්ම ගැනීම හෝ ඇත. ඉතා ගැඹුරු සමාධියේදී හැරුණු විට ඔබගේ සිතේ දොඩමළු බව කිසිවිටෙකත් නොනවතී. සැබැවින්ම භාවනාවේ යෙදෙන විට අවධානය යොමු කිරීමට දේ කිසිදිනෙක අඩු නොවනු ඇත.
එදිනෙදා ජීවිතයේදී භාවිත කළ හැකි අයුරින් ඔබගේ පුහුණුව සකස් කර ගත යුතුයි. ඔබ ඔබගේ විද්‍යාගාරයයි. ඔබගේ පුහුණුව ගැඹුරු හා අව්යාජමත් වීම සඳහා අවශ්‍ය ගැටලු හා අභියෝගය එය ඔබට ලබාදෙයි. ඔබගේ රැවටිලි හා වැරදි පවිත්‍ර කරන ගින්න වන එය, ඔබ දියුණුවක් ලබන බව හෝ ඔබවම රවටා ගන්නා බව පෙන්වා දෙන පරීක්ෂකයකු වෙයි. ඔබගේ එදිනෙදා ජීවිත සටනට හා ගැටීම්වලට උපකාරී නොවන භාවනාව නොගැඹුරුය. එය ඔබගේ එදිනෙදා ආවේගී ප්‍රතික්‍රියා වඩාත් පැහැදිලි හා පහසු නොකරන්නේ නම් ඔබ කාලය නාස්ති කරයි. ජීවිතයේ අනෙක් අංගයන් නිවැරදි කර නොගන්නේ නම් ඔබගේ භාවනා පුහුණුවේ දියුණුව ඔබට කිසි දිනෙක දැක ගන්න නොලැබෙනු ඇත.
සිහිය පුරුදු කිරීම සමස්ත කාලික ක්‍රියාවලියක් යයි කියනු ලැබේ. එය සමහර කාලයකට පුරුදු කරන ඉතිරි කාල පරිච්ඡේදවල අතහරින දෙයක් නොවේ. එය සෑම විටෙකම කළ යුතු දෙයකි. ශබ්දයක් නෑසෙන එක්ටැම් කුටියක් තුළ සාර්ථකව කරන භාවනාව නොදියුණු තත්ත්වයක පවතින්නකි. විපස්සනා භාවනාව මොහොතින් මොහොත සිහිය දියුණු කිරීමයි.
මනසේ ඉපදෙන, වැඩෙන හා නැසී යන සියලු දේ වෙත අවධානය යොමු කිරීමට භාවනාව පුරුදු කරන්නා ඉගෙන ගනියි. ඒ කිසිවකින් පලා නොයන ඔහු කිසිවකට බේරි යාමට ද ඉඩ නොදෙයි. සිතිවිලි, හැඟීම්, ක්‍රියාකාරකම් හා ආශාවන් ඇතුළු සියලුම දේ මෙයට ඇතුළත් වේ. ඔහු සියලුම දේ නොකඩවා නිරීක්ෂණය කරයි. ඒවා ආකර්ෂණීය හෝ බියකරු හෝ සුන්දර හෝ නින්දිත ද යන්න ගැටලුවක් නොවේ. එය ඇති සැටි හා එහි වෙනස්වීම ඔහු දකියි. කිසිම පැත්තක් මඟ නොහරියි. එය අංග සම්පූර්ණ ක්‍රියාවලියකි.
(භාවනාවේ වඩාත් ඉහළ ප්‍රතිඵල මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)