Home » ශ්‍රී ලංකා පිල නින්දෙන් අවදි කළ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ මැජික් අරිෂ්ටය

ශ්‍රී ලංකා පිල නින්දෙන් අවදි කළ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ මැජික් අරිෂ්ටය

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

සූරපප්පා කතාවේ හැටියට ගෝල් දේශයේ පිහිටි පප්පා ගම ආක්‍රමණය කිරීමට ජුලියස් සීසර්ට නොහැකි වූයේ වෙද පප්පා සාදා දුන් මැජික් අරිෂ්ටය නිසා ය. පප්පා ගම ආක්‍රමණය කිරීමට පැමිණි සීසර්ගේ රෝම හමුදාවට ආපසු හැරී දුවන්නට වූයේ වෙද පප්පා දුන් මැජික් අරිෂ්ටය පානය කළ පප්පා ගමේ වැසියෝ නව පණක් හා ජවයක් ලබා රෝම හමුදාවට යන එන මං නැතිවෙන්නටම පහර දුන්නු නිසාය. ඊයේ පෙරේදා එංගලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ අමතක නොවන ජයග්‍රහණයක් අත්කර ගත්තේ ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමට එක්වීමෙන් ලද ආශ්වාදය සහ උද්යෝගය නිසා බව විචාරකයෝ කියති.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් නව පණක් ලබා නින්දෙන් අවදි වූවා සේ එංගලන්ත පිල බිංදුවටම ඇද දැමුවේ මේ පරිණත ක්‍රීඩකයාගේ අත්දැකීම් නමැති අරිෂ්ටයට පින්සිදු වන්නට බවට සැකයක් නැත. එදා එංගලන්තයට එරෙහි තරගයේදී මැතිව්ස් තරුණ ක්‍රීඩකයන්ට කියා දුන් පාඩම වූයේ ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියකට අත්දැකීම් කෙතරම් වටින්නේදැයි යන්න ය. මැතිව්ස් එදා තරගයට ක්‍රීඩා කළේ ද වෙනදාට වඩා ජවයෙන් යුතුවය. ඔහු යැවූ පළමු ඕවරයේදීම එංගලන්ත පිලේ ආරම්භක කඩුල්ලේ ලකුණු 45ක සම්බන්ධතාව කඩා දැම්මේය. ලකුණු අතරේ සිටින එංගලන්ත පිලේ පිතිහරඹ තුරුම්පුව වූ ඩේවිඩ් මාලන් දැවී ගියේ ඔහුගේ පන්දුවකටය. ඉන් නොනැවතී ඔහු එංගලන්ත පිලේ ප්‍රබල පිතිකරුවකු ලෙස නමක් දිනා සිටි අවසන් කඩුල්ල වූ මොයින් අලි දවාලීමටත් සමත් විය.

ශාරිරීක යෝග්‍යතාව අභියෝගයකට ලක් වී ඇති කාලවකවානුවක 36 හැවිරිදි වියෙහි පසුවන මැතිව්ස් එදා තරගයේදී ජෝ රූට් දුවද්දී දවාලීමට මැතිව්ස් විදුලි වේගයෙන් කඩුලු රකින නායක කුසල් මෙන්ඩිස් වෙත පන්දුව බාර දුන් අයුරු කැපී පෙනිණි.

එංගලන්ත පිල එදා තරගයට එක් වූයේ ඔවුන්ගේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ ‘ශ්‍රී ලංකා භීතිකාව‘ තුරන් කිරීමේ අරමුණ ඇතිවය. 1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවැති කිසිදු තරගාවලියකදී ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත පිල ජයගෙන නොතිබිණි. ඉකුත් බ්‍රහස්පතින්දා තරගයත් සමඟ පිට පිට පස්වතාවක්ම ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වී සිටී. 2003 තරගාවලියේදී දෙපිල මුණ නොගැසුණු අතර, 2007 බටහිර ඉන්දීය කොදෙව්වේ පැවැති තරගාවලියේදී එංගලන්ත පිල ලකුණු 2කින් පරාජය කළ ශ්‍රී ලංකාව 2011 ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්ත පිල පරාජය කළේ කඩුලු 10කිනි. 2015 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයේ වෙලින්ටන් නුවර පැවැති තරගය ශ්‍රී ලංකා පිල ජයගත්තේ කඩුලු 9කිනි. 2019 එංගලන්තයේ ලීඩ්ස් නුවර පැවැති තරගයෙන් එංගලන්ත පිල ලකුණු 20කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එදා තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 85ක්ම රැස් කළේය.

විචාරකයන්ගේ අනුමාන කිරීම්වලට අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි තැනට වැටී සිටින වත්මන් ලෝක ශූර එංගලන්තයට හිස් අතින් ගෙදර යෑමට මේ පරාජයම හේතු විය හැකිය. මන්ද අද (29) ඉරිදා ඔවුන්ට තරග වැදීමට සිදු වී ඇත්තේ මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන සත්කාරක ඉන්දියාවට එරෙහිවය. ඊළඟට නොවැම්බර් 4 වැනිදා සම්ප්‍රදායක පසමිතුරා වන ඔස්ට්‍රේලියාව සමඟ තරග වැදීමට සිදු වී තිබේ. ලබන මස 8 වැනිදා නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන තරගය ජයගැනීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක තිබුණ ද, 11 වැනිදා පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත මූලික වටයේ අවසන් තරගයත් ලෙහෙසි වන්නේ නැති බව සහතිකය.

මැතිව්ස්ගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිවුවැනි කණ්ඩායම බවට පත්වීමට මං හෙළි පෙහෙළි වෙමින් පවතින බව නොකියාම බැරිය. දැනට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැනට පැමිණ සිටින අතර, හෙට (30) පැවැත්වෙන ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ගැනත් නැවුම් බලාපොරොත්තු එකතු වෙමින් තිබේ. ඒ තරගයත් ජයගැනීමට හැකිවුවහොත් ඉලක්කය වෙත තවත් පියවරක් ඉදිරියට තැබීමට ශ්‍රී ලංකා පිලට හැකි වුව ද, නොවැම්බර් මස 2 වැනිදා පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගය ලෙහෙසි නොවන බව කවුරුත් දනී. එසේ වුවත් අසල්වැසි මිතුරාගේ තරම දන්නා ශ්‍රී ලංකා පිල සැලසුම් සහගත ලෙස ක්‍රීඩා කරන්නේ නම් එය ජයගැනීම ලොකු අභියෝගයක් විය නොහැකිය. නොවැම්බර් 6 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි තරගයේ වැඩි වාසිය ඇත්තේ ශ්‍රී ලංකාවට බව මේ වන විටත් පැහැදිලිය. එහෙත් නවසීලන්ත පිල සමඟ නොවැම්බර් 9 වැනිදා පැවැත්වෙන තරගය හැම අතින්ම අභියෝගයකි.

එහෙත් ලොකුම අභියෝගය වී ඇත්තේ ඔස්ට්‍රේලියාවත් අවසන් පූර්ව වටයට කුරුමානම් අල්ලමින් සිටින නිසාය. ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ ආරම්භයේදී පසුබැස සිටිය ද දැන් හිස ඔසවමින් සිටී. ඔවුන් පසුගිය තරග 2දී පාකිස්තානයට සහ නෙදර්ලන්තයට එරෙහිව දැක්වූ විශිෂ්ට දක්ෂතා සැහැල්ලුවට ගත නොහැකි මට්ටමේ එකකි. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිටින ඔස්ට්‍රේලියාව සෙනසුරාදා නවසීලන්තය සමඟ ‘ඇතිවීම හෝ නැතිවීම‘ තීරණය කරන තරගයට එක්වනු ඇත. එංගලන්ත පිලට එරෙහිව නොවැම්බර් 4 වැනිදා පැවැත්වෙන තරගය ගැන කියන්නේ නම් දැනටමත් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී. ඇෆ්ගනිස්තානය සමඟ 7 වැනිදා තරගයත්, 11 වැනිදා බංග්ලාදේශය සමඟ තරගයත් ජයගන්නේ නම් අන්තිම හතරේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පිල ඇතුළුව තවත් කණ්ඩායම් දෙක තුනක් අතරේ දෝලනය වනු ඇත.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන එකම අපරාජිත කණ්ඩායම වන සත්කාරක ඉන්දියාව මෙවර තරගාවලියට එක් වූයේ වෙනම සැලසුමක් ඇතිවය. එය ඔවුන්ට සාර්ථකත්වය සඳහා කෙතරම් දුරට බලපෑවේදැයි යන්න වෙනම කාරණාවකි. එහෙත් උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස එය වැදගත් සාධකයකි. ඔවුන්ගේ තරග පෙළ ගැස්මට තෝරාගත් ක්‍රීඩාංගණ විමර්ශන කිරීමේදී පැහැදිලි වන එක කාරණාවක් වන්නේ ඒ සෑම තරගයක්ම ඔවුන් ක්‍රීඩා කරන්නේ සිය ප්‍රතිවාදී කණ්ඩායමේ සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළ ක්‍රීඩාංගණවල වීමය. මේ කාරණාව පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය අතරේ පවා අවධානයට ලක්වී තිබිණි.

වාර්තා වන ආකාරයට එම ක්‍රීඩාංගණ අහඹු ලෙස තෝරා ගත් ඒවා නොවීය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය පිල කණ්ඩායම් 9ක් සමඟ ක්‍රීඩා කරමින් සිටින්නේ විවිධ ක්‍රීඩාංගණ 9 කය. මෙවර තරගාවලියේදී එක් ක්‍රීඩාංගණයක එක් තරගයකට වඩා ක්‍රීඩා නොකරන එකම කණ්ඩායම ද ඉන්දියාව බවත් එම වාර්තාවේ සඳහන් වේ. ලෝක කුසලාන තරග පැවැත්වෙන සෑම ක්‍රීඩාංගණයක්ම අයිපීඑල් කණ්ඩායමේ ‘හෝම් ග්‍රවුන්ඩ්‘ එකක් බවත් කියැවේ. එහි සඳහන් ආකාරයට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව තරග වැදුණු ඔවුන්ගේ පළමු තරගය පැවැත්වූයේ චෙන්නායි නුවර චෙපොක් ක්‍රීඩාංගණයේදීය. එය චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ‘හෝම් ග්‍රවුන්ඩ්‘ ලෙස සැලකෙන අතර, චෙන්නායි පිලට කිසිදු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයකු ඇතුළත් නොවීය. එමෙන්ම ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය පැවැති නවදිල්ලි නුවර අරූන් චෙට්ලි පිටිය දිල්ලි කැපිටල්ස් පිලේ ‘හෝම් ග්‍රවුන්ඩ්‘ වන අතර, එම කණ්ඩායමට කිසිදු ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයකු ඇතුළත් වී නැත. කිසිදු පාකිස්තාන ක්‍රීඩකයකු අයිපීඑල් තරගාවලියට එක් නොවූ බැවින් පාකිස්තානයට එරෙහි තරගයේදී ක්‍රීඩාගංණය කෙරෙහි එවැනි තෝරා ගැනීමක් නොතිබෙන්නට ඇත. බංග්ලාදේශයට එරෙහි තරගය පැවැති පූනේ නුවර මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාගණය ඇතැම් අවස්ථාවන්හිදී මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ‘හෝම් ග්‍රවුන්ඩ්‘ බවට පත් වී තිබූ අතර, මුම්බායි ඉන්ඩියන්ස් පිලට කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයකු ක්‍රීඩා කළේ නැත. නවසීලන්ත ක්‍රීඩකයන් ඇතුළත් නොවූ පන්ජාබ් කිංග්ස් පිල ඇතැම් අවස්ථාවන්හීදී සිය ‘හෝම් ග්‍රවුන්ඩ්‘ ලෙස ධරම්සාලා හී ක්‍රීඩා කළ අතර, මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය – නවසීලන්ත තරගය පැවැත්වූයේ එහිදීය. ඉන්දීය- එංගලන්ත තරගය පැවැත්වෙන්නේ ලක්නව් හි එකානා පිටියේදීය. එය ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ ‘හෝම් ග්‍රවුන්ඩ්‘ ලෙස නම් කර තිබිණි. එම කණ්ඩායමට එංගලන්ත පිලේ මාක් වුඩ් ඇතුළත්ව සිටියද ඔහු එම පිටියේදි ක්‍රීඩා කළේ එක් තරගයකට පමණි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට තෝරාගෙන ඇත්තේ මුම්බායි ඉන්ඩියන්ස් පිලේ නිල ‘හෝම් ග්‍රවුන්ඩ්‘ වන වැන්කඩේ පිටියයි. මෙවර අයිපීඑල් තරගාවලියේදී කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු මුම්බායි ඉන්ඩියන්ස් පිලට ඇතුළත්ව සිටියේ නැත. කල්කටා නයිට් රයිඩර්ස් පිලට කිසිදු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු ඇතුළත් නොවූ අතර, මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය- දකුණු අප්‍රිකානු තරගය පැවැත්වෙන්නේ කල්කටා නයිට් රයිඩර්ස් පිලේ ‘හෝම් ග්‍රවුන්ඩ්‘ වන ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදීය. අයිපීඑල් තරගාවලියට කිසිදු නෙදර්ලන්ත ක්‍රීඩකයකු ක්‍රීඩා නොකළ අතර, නෙදර්ලන්තයට එරෙහි ඉන්දීය තරගය බැංගලෝර් හීදී පැවැත්වේ. අයිපීඑල් තරගාවලිය නියෝජනය කළ කිසිදු විදේශීය ක්‍රීඩකයකුට ‘හෝම් ග්‍රවුන්ඩ්‘ වාසිය ලෝක කුසලාන තරගාවලියේදී ලබා නොදීමට අවධානය යොමු කරමින් එවැනි ක්‍රීඩාංගණ තෝරාගැනීමක් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිදු කර ඇතැයි පළවන ඉන්දීය මාධ්‍ය වාර්තා ඉවතලා හැකි ආකාරයේ සරල සාධකයක් නොවන බව ඉන් පැහැදිලිය.

එය කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකා පිලට නව බලාපොරොත්තුවක් ඇති වී තිබේ. එය මැතිව්ස්ගේ ආගමනයත් සමඟ සිදුවූ බව විචාරකයෝ පවා කියති. ඇන්ජෙලෝ මැතිව්ස් යනු මෙවර ලෝක කුසලාන සංචිතය නම් කිරිමේදී ජාතික තේරීම් කමිටුවේ සැලසුමේවත් නොසිටි ක්‍රීඩකයෙකි.

සනත් ජයසූරිය කියන්නේ නෙදර්ලන්ත පිල සමඟ පැවැති තරගයත් සමඟ ඉහළ ගිය ශ්‍රී ලංකා පිලේ උද්යෝගය මැතිව්ස්ගේ පැමිණීමත් සමඟ දෙගුණ වී ඇති බවය. ඔහුගේ අනුමානය වී ඇත්තේ ශ්‍රී ලංකා පිලේ නව එක්දින නායක කුසල් මෙන්ඩිස් මේ පරිණත ක්‍රීඩකයා කණ්ඩායමට ගැනීමට ඉල්ලීමක් කරන්නට ඇති බවය. එසේ කිරීමට කණ්ඩායමේ නායකයාට හැම අතින්ම අයිතිය ඇති බවත් ජයසූරිය සඳහන් කළේය. පසුගිය කාලයේ එවැන්නක් ශ්‍රී ලංකා පිලේ නායකත්වයෙන් සිදුවූයේදැයි යන්න ගැටලුවක් බවත් ඔහු නොකියා කීවේය.

‘වැරදි වුණා. ගොඩාක් වැරදි සිද්ධ වුණා. හොඳටෝම අනා ගත්තා. ඒත් අන්තිම මොහොතේ ආපහු හිස ඔසවලා තිබෙනවා. මැතිව්ස් එදා එංගලන්තයට එරෙහි තරගයේදී සෙල්ලම් කළ ආකාරය කැපී පෙනෙන එකක්. ඔහු නායක කුසල්ට සහාය දුන්නා. පිටියේදී නිතර නිතර කතා කළා. අපි නිතරම බලන්න ඕන මේ වගේ තරගාවලියක ජ්‍යෙෂ්ඨ අයත් ඉන්න ඕන කියන එක ගැනයි. තරුණ අය ගේන්න ඕන තමයි. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ අයත් ඉන්න ඕනා. නැතිනම් අමාරුයි. ආසියනු කුසලාන තරගාවලියේදී අපි පීඩනයට පත්වුණේ ඒකයි. ඒ වෙලාවේ අපිට මේක දැනෙන්න තිබුණා. ජ්‍යෙෂ්ඨයන් නැති අඩුව. සිම්බාබ්වේවල පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අපේ මැදපෙළ කිසිම තරගයක සාර්ථක වුණේ නෑ. දැන් දුෂ්මන්ත චමීරවත් ආපහු ගෙනල්ලා තියෙනවා. මම දන්නේ නෑ එයා සියයට සියයක් ‘ෆිට්‘ ද කියලා. ෆිට්නස් ටෙස්ට් එකේදි කරන එකයි මැච් එකේදි වෙනස් වෙනවා. පන්දු යැවීමේදී දැඩි ප්‍රහාරයකට ලක්වෙයි කියන බයට පන්දු යවන්නෝ මුළු ශක්තියම යොදවනවා. මාංශපේශී වගේ ආබාධයකට ලක්වී ආපහු යථා තත්ත්වයට එන පිතිකරුවන් ලකුණක් කරා දුවද්දී පුළුවන් තරම් වේගයෙන් දුවනවා. එහෙම වුණාම අර ආබාධිත තත්ත්වය ආපහු මතුවෙන්න ඉඩ තියෙනවා. අපි දැනටමත් ‘මිස්ටේක්ස්‘ ගොඩක් කරලා තියෙනවා. ඒක මුළු රටම දන්නවා. දැන් මෙගොල්ලන්ගේ ප්ලෑන් එකේවත් හිටපු නැති ප්ලේයර් කෙනෙක් ඇතුළට අරන් තියෙනවා. ඒක හොඳ දෙයක්. ‘ ජයසූරිය එසේ ප්‍රකාශ කළේය.

‘වර්ල්ඩ් කප් දිනන්නේ ‘හෝම් වර්ක්‘ හොඳටම කළ කණ්ඩායම‘ නමින් මේ ලියුම්කරු මෙවර ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේදීම සටහන් කරනු ලැබුවේ ද එම සාධකය බව යළි යළිත් සිහිපත් කළ යුතුව ඇත.

‘මෙවර ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටින බොහෝ ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වේ. සාමාන්‍යයෙන් ලෝක කුසලානය වැනි ප්‍රධාන තරගාවලියක් නියෝජනය කරන්නේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සහ නවකයන්ගෙන් මිශ්‍රිත කණ්ඩායම්ය. ඔස්ට්‍රේලියාව මෙවර ආරම්භයේදී ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොකිරීමට තීරණය කළ අත්දැකීම් ඇති පිතිකරු මානස් ලබුස්චාන් අවසන් මොහොතේ කණඩායමට එක් කර ගත්තේ එබැවිනි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සිටි එංගලන්ත පිලේ ප්‍රවීණ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සංචිතයට එක් කර ගත්තේ එබැවිනි. බංග්ලාදේශ පිලේ නායකත්වය දරන්නේ එක්දින තරග 240ක අත්දැකීම් ඇති 36 හැවිරිදි ශකීබ් අල් හසන් ය. එම වයසේම පසුවන කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකුර් රහීම් එක්දින තරග 256ක අත්දැකීම් ඇත්තෙකි. 37 හැවිරිදි මහ්මුදුල්ලා එක්දින තරග 221කට ක්‍රීඩා කර ඇති පිතිකරුවෙකි. 36 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක මුෂ්ටාෆිසුර් රහීම් තරග 256කට ක්‍රීඩා කර ඇත. ඉන් පැහැදිලි වන්නේ නවක ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමක් ගොඩනැඟීම එක් රැයකින් කළ හැකි පෙරළියක් නොවන බවත්, එක් රැයකින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත දැමීම ද විසඳුමක් නොවන බවත්ය. සාමාන්‍යයෙන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතවල ඉතිරි කර ගැනීමට ඔවුනොවුන්ගේ රටවල තේරීම් කමිටු වග බලා ගනී. ඉවත් නොකිරීම් සිදු නොවන්නේ ද නැත. එහෙත් එසේ සිදුවන්නේ ඉතා ක්‍රමානුකූලවය. ලබා ඇති අත්දැකීම් භාවිතයට ගත හැකි ආකාරය සොයා බැලීමෙන් පසුවය. එවැනි ක්‍රීඩකයන්ගේ ශාරිරීක යෝග්‍යතාව ඉහළ මට්ටමකට රැගෙන යෑමට හැකි සෑම දායකත්වයක්ම ලබාදීම පුහුණු කාර්ය මණ්ඩලයේ වගකීමකි. මේ සියල්ල සිදුවන්නේ කණ්ඩායම නියෝජනය කරන රටේ අභිමානය සහ කීර්තිය උදෙසාය.‘

ලියුම්කරු විසින් ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේදීම තැබූ සටහන එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය අත්කර ගැනීමට මැතිව්ස් සාධකයක් වූ බවට තරගය සම්බන්ධව හිටපු නායකයකු වූ මාවන් අතපත්තු එක්තරා රූපවාහිනි නාළිකාවකින් කළ ප්‍රකාශයෙන් වැඩිදුරටත් තහවුරු විය. අතපත්තු කියන්නේ එංගලන්තය පරාජය කිරීමට පැහැදිලිවම මැතිව්ස්ගේ ආගමනය බලපෑ බවය.

‘මේ තරගයේ අමුතුම පිබිදීමක් තිබ්බා. මැතිව්ස් තමයි කාරණාව ඒකට. කණ්ඩායමට ලොකු විශ්වාසයක් තියෙනවා මෙහෙම ආවම කෙනෙක්. තරගය අතරතුර ඇන්ජෙලෝ නායක කුසල්ට ගොඩාක් උදව් කළා. අත්දැකීම් බෙදා හදා ගත්තා. ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්න ඕනා කුහකකම් නැතිව. හැමෝම එකතු වෙලා එක පොලිසි එකකට යන්න ඕන. සුදු මහත්වරු ඇවිත් ඔක්කොම කරලා දීලා යන්නේ නෑ. සුදු මහත්වරු ඇවිත් මැච් ටිකක් දිනලා හරි පැරදිලා හරි සීවී එක පුරවාගෙන යයි. ලංකාවේ පොලිසි එකක් තියෙන්න ඕනා ලංකාවේ මිනිස්සු ගැන දන්නේ ලංකාවේ කට්ටිය. ඒකට බැඳිලා ඉන්න කට්ටිය එකතු වෙලා කුහකකම් ටික අයින් කරලා පොලිසි එකක් හදාගන්න ඕන මෙන්න මේ කට්ටිය මෙන්න මේ අවස්ථාවේ මේ අවුරුද්ද වෙනකොට රෙඩි වෙන්න ඕන කියලා. එතකොට ඔය අලුත් ක්‍රීඩකයන් හැමෝම චෙක් කරන්න වෙලාව හදාගන්න පුළුවන්. අනික මේක එක්කෙනෙක් තීරණය කරන වැඩක් නෙවෙයි.‘ මාවන් අතපත්තු එසේ කීවේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවීම මතවාදයට තුඩු දී තිබුණේ ආරම්භයේ සිටමය. මැතිව්ස් පමණක් නොව දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයන් අදහස් පළ කර තිබූ අතර, ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කිරීම පිළිබඳ ජාතික තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ දැඩි විවේචනයට ද ලක් විය. එහෙත් තේරීම් කමිටු සභාපතිවරයා සිටියේ වෙනත් මතයකය. ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් කිරීමට හැම අතින්ම දක්ෂ ක්‍රීඩකයන් එමට සිටින බව පසුගිය ජූනි මාසයේ ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ දේශයේදී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමෙන් පසු ප්‍රමෝද්‍ය එක්තරා රූපවාහිනි නාළිකාවකට දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.

ඔහුගේම වදනින් කියන්නේ නම් එය මෙසේය.

‘අපේ ප්ලෑන් එකට අපි යනවා. අපි ඉස්සරහට යනවා. අපිට ඕන තරම් ක්‍රීඩකයන් ඉන්නවා. එක ක්‍රීඩකයාට බැක් අප්ස් ක්‍රීඩකයන් දෙන්නා දෙන්නා ඉන්නවා. ලෝක කුසලානයට ක්‍රීඩකයන් ඇති තරම් ඉන්නවා. ස්පින්ර්ස්ලා ඕන ද, වේගපන්දු යවන්නන් ඕන ද, පිතිකරුවන් ඕන ද දෙන්නා දෙන්නා ගානේ ඉන්නවා.‘

කරුණු එසේ වුවද, ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තේරීමේදී ‘ෆේල්‘ වූයේ ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන ද නොඑසේ නම් තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ද යන්න සොයා බැලීම කෙසේ වෙතත් අවසන් වශයෙන් කිව යුතු වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් ‘පාස්‘ වූ බව පමණි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division