දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාව පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටියි.
ආර්ථික ප්‍රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපළ ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත වන ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කර ගන්නා අතරම, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාව සමඟ පවතින ඒකාබද්ධ වැඩසටහන් පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටියි.
එසේම ශ්‍රී ලංකාව භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (ISLFTA) සහ පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (PSFTA) ඇති කර ගැනීමට ද කටයුතු කර තිබේ.
දකුණු ආසියානු නිදහස් වෙළෙඳ කලාපය (SAFTA) සහ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමය (SAARC) සමඟ වරණීය වෙළෙඳ ගිවිසුම (SAPTA) වැනි කලාපීය වෙළෙඳ ගිවිසුම් හරහා මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වී ඇත.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ භාණ්ඩ වෙළඳාම සඳහා වරණීය වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සාකච්ඡා කරමින් සිටී. එම සාකච්ඡා 2021 ජුනි මාසයේදී ආරම්භ කරන ලද අතර, මේ වන විට සාකච්ඡා වට තුනක් අවසන් කර තිබේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ධනාත්මක වූ වෙළෙඳ ශේෂයක් පවතින අතර, ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත මෙම ගිවිසුම දැනට පවතින වෙළෙඳ ගිවිසුම්වලින් ඔබ්බට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉදිරියට ගෙන යන්නක් ලෙස හඳුනා ගෙන ඇත.
තවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ දොළොස්වන (12) සාකච්ඡා වටය මේ මස අගදී පැවැත්වීමට නියමිතය. වර්තමාන ඉන්දියා ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට (ISLFTA) වඩා පුළුල් විෂය පථයක් මෙමගින් ආවරණය කෙරේ.
නිදහස් වෙළෙඳ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ආසියාන් (ASEAN) රටවල් සමඟ සම්බන්ධවීම ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාව 2018 ජනවාරි මාසයේදී සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (Sri Lanka Singapore Free Trade Agreement-SLSFTA) එළැඹි අතර එය 2018 මැයි මාසයේදී බලාත්මක කෙරිණි.
එසේම ශ්‍රී ලංකාව මේ වන විට තායිලන්තය සහ ඉන්දුනීසියාව ඇතුළු ආසියානු (ASEAN) රටවල් කිහිපයක් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
තායිලන්තය සමඟ තුන්වැනි වටයේ සාකච්ඡා මේ වසරේ ජනවාරි මාසයේදී යළි ආරම්භ වූ අතර එහි 7වැනි සාකච්ඡා වටය පසුගිය සතියේ කොළඹදී පැවැත්විණි. මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම, භාණ්ඩ, මූලාරම්භයේ රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර (SPS), වෙළඳාමට ඇති තාක්ෂණික බාධක (TBT), වෙළෙඳ පිළියම්, සේවා, ආයෝජන, ආරවුල් විසඳීම, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළෙඳ පහසුකම් සහ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව යන ක්ෂේත්‍ර ආවරණය කෙරේ.
තායිලන්තය සමඟ යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා දේශීය අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ඍජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ප්‍රමුඛතා අංශවල ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
එපමණක් නොව, චීනය සමග යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර එහි සාකච්ඡා වට හයක් අවසන් කර තිබේ. හඳුනා ගත් ශ්‍රී ලාංකේය නිෂ්පාදන සඳහා චීනයේ වෙළඳපොළ ප්‍රවේශය ලබා ගැනීමටත්, ගෝලීය අගය දාමයන් සමඟ සුරක්ෂිත සම්බන්ධතා ඇති කර ගැනීමටත් මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) වන “කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP)” ගිවිසුමට සම්බන්ධ වෙමින් ඕෂනියා සහ නැගෙනහිර ආසියාව සමඟ ආර්ථික ඒකාබද්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ආසියාන් සමඟ ක්‍රමානුකූලව කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රජය දැනටමත් අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපිය ඉදිරිපත් කර ඇත.
කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය මඟින් මෙම සියලු වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා පවත්වාගෙන යනු ලබයි.
එම සාකච්ඡා ප්‍රධාන සාකච්ඡාකරු ප්‍රමුඛ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC) විසින් මෙහෙයවනු ලබන අතර මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතන නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සමන්විත වේ.
අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත අනුකමිටු එකොළහක් මඟින් වෙළෙඳ සාකච්ඡා හා පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා පැවැත්වීම සඳහා ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවට සහාය ලබාදෙයි.
රජයේ දැක්මට අනුව 2048 වන විට සංවර්ධිත රටක් ගොඩනැඟීම සඳහා මෙම මුල පිරීම් හරහා පහසුකම් සැලසේ.