Home » දෙවසරක් පසු කළ ලංකාවේ පළමු සය නිවුන් දරුවන්ගේ මව සොයා සිළුමිණ ගිය ගමන

දෙවසරක් පසු කළ ලංකාවේ පළමු සය නිවුන් දරුවන්ගේ මව සොයා සිළුමිණ ගිය ගමන

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

රුවකු ළයෙහි හොවා සැනසෙන මවකගේ හදවතේ උපදින සිතිවිලි බෙහෝ මෘදුය; පින්බරය. එකම විදිහේ සුරතල් සිඟිත්තන් සය දෙනකු එකට ළයට තුරුලු කරගෙන සැනසෙන්නට මවක් මොන තරම් වාසනාවන්ත විය යුතු දැයි මට සිතුණේ එවැනි මවකගේ තුටින් පිරුණු සිනහව දකිද්දීය. අප හමුවේ සිටින ඒ වාසනාවන්ත අම්මා දිලිනි වාසනා (33) ය. ඉකුත් සතියේ මෙරට සිදුවූ දෙවැනි සය නිවුන් දරු උපතත් සමඟ ශ්‍රී ලංකාවේ නිවුන් දරු වාර්තා පොත අලුත් ‍ෙවද්දී දිලිනි වාසනා ගැන යළි මතකයට ආවේය.

2021 වසරේ ඔක්තෝබර් 21 වැනිදා ලංකාවේ ප්‍රථම සය නිවුන් දරුවන් බිහි කළ වාසනාවන්ත මව ඇයය. එය දිලිනිට සහ ඇයගේ ආදරණීය සැමියා ප්‍රභාත් උදයංග (37) මරවනාගොඩ පමණක් නොව මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයටම සුවිශේෂී වූයේ මෙරට රෝහලකදී සාර්ථකව සිදු කෙරුණු ප්‍රථම සය නිවුන් දරු ප්‍රසූතිය වූ නිසාය. කොළඹ නයින්වෙල්ස් පෞද්ගලික රෝහලේදී එසේ උපත ලැබූ දරු පැටවුන් සය දෙනා ඉකුත් ඔක්තෝබර් 21 වැනිදා සිය දෙවැනි උපන්දිනය සමරනු ලැබූහ.

සම්පත් බණ්ඩාරලාගේ යෙනුල් මෙත්ශාක්‍ය මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ මිනුල් දුල්ශාක්‍ය මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ චෙනුල් දෙව්ශාක්‍ය මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ යෙතුලි මෙතර්යා මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ මෙතුලි දුලර්යා මරවනාගොඩ සහ සම්පත් බණ්ඩාරලාගේ චෙතුලි යුනර්යා මරවනාගොඩ ලෙස සිය මවුපියන්ගෙන් නම් ලැබූ පුතුන් තිදෙනා සහ දියණියන් තිදෙනා දකින්නට අප ඔවුන් වෙසෙන නාරාහේන්පිට පිහිටි නිවෙසට යන විට පුංචි දඟකාරයන් ළදරු පාසල් ගොසිනි. පියා උදයංග සිය ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කාර්යබහුලව සිටි බැවින් අපට හමු වූයේ මව දිලිනි වාසනා පමණි. වසර දෙකක් දරුවන් සය දෙනකු ඇතිදැඩි කිරීමේ භාරදූර වගකීම හිස මත දරා සිටිය දිලිනිගේ මුවෙහි වන සුපසන් සිනහව කියාපෑවේ ඇය හිස පැලඳි මවු පදවියේ කිරුළේ අපූර්වත්වයයි.

“ඇත්තටම ඒක කියාගන්න බැරි තරම් සතුටක්. වෙලාවකට ලොකු සතුටක්. වෙලාවකට බයක්, මහා වගකීම් ගොඩක්. මේ හැමදේම එක්ක තමයි පහුගිය අවුරුදු දෙක ගෙවුණේ. අවුරුදු දෙක කිව්වට දරුවො හය දෙනෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලම මගෙයි මහත්තයාගෙයි ජීවිත වෙනස් වුණා. එදා ඉඳන් අපි එයාල වෙනුවෙන්ම පේ වෙලා වගේ තමයි ජීවත් වුණේ. ඒ කැපකිරීම්වල සතුට අද අපි අපේ දරුවො දිහා බලලා විඳිනවා…”

දිලිනිගේ දෙනෙත් දිලිසෙන්නේ අපරිමිත දරු ස්නේහයෙනි. වව්නියාවේ පදිංචිව සිටි උදයංගත් අනුරාධපුරයේ පදිංචිව සිටි දිලිනිත් කුඩා වියේ සිටම ඔවුනොවුන් දැන හඳුනා ගන්නේ පවුල් දෙක අතර පැවති හිතවත්කම නිසාය. 2017 දී පමණ උදයංග හා පෙමින් බැඳෙන දිලිනි ඔහු හා විවාහ වූයේ 2019 මැයි 16 වැනිදාය.

“විවාහ වෙද්දි මම තාක්ෂණ ඉංජිනේරුවරියක් විදිහට වැඩ කළා. ඔෆිස් එකේ යාළුවෙක්ට නිවුන් බබාලා පස්දෙනෙක් හිටියා. එයා කියන බබාලගෙ විස්තර අහන්න මම හරිම ආසයි. දරුවො නිසා එයා විඳපු දුක අහද්දි මගෙ ඇස්වලට කඳුළුත් එනවා. මගෙ සිතිවිලි තිබුණේ ඒ බබාලා ගැනමයි. ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ මුල්ම ස්කෑන් එක කරද්දි ඩොක්ටර් කිව්වෙ මට බබාලා හතර දෙනෙක් කියලා. ඒත් ඊළඟ ස්කෑන් එකේදිම ඩොක්ටර් කිව්වා බබාලා හය දෙනෙක් ඉන්නවා කියලා. ඒ ආරංචිය අහපු වෙලාවේ අපි දෙන්නට පුදුමාකාර සතුටක් දැනුණා. අපි දෙන්නගෙම පවුල්වල කාටවත් මීට කලින් නිවුන් බබාලා ලැබිලා නැහැ. ඒ නිසා ඒක අපිට වගේම අපේ පවුල්වල අයටත් ලොකු සතුටක් වුණා. මුලින්ම මාව බැලුවේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥ තිළිණ පලිහවඩන. ඩොක්ටර් තිළිණ තමයි මාව ඩොක්ටර් ටිරාන්ට යොමු කළේ. ඒ කාලේ මම ශරීරයෙන් කුඩා කෙනෙක්. මට තාම මතකයි ඩොක්ටර් ටිරාන් පළ වැනි ස්කෑන් එක කරද්දි කිව්වා අපි කොහොමද හය දෙනෙක් මැනේජ් කරගන්නෙ කියලා. අපේ දරුවො හය දෙනා නීරෝගිව බිහි කරන්න අපිට උදව් කරපු මිහිපිට දෙවියා ඩොක්ටර් ටිරාන්. අපිටත් වඩා සැලකිල්ලෙන් එතුමා අපේ දරුවන් ගැන සොයා බැලුවා, අවවාද උපදෙස් දුන්නා. මමත් ඩොක්ටර් දීපු හැම උපදෙසක්ම දේව වාක්‍යයක් වගේ ඇදහුවා. මගෙත් මහත්තයාගෙත් එකම පැතුම වුණේ දරුවො හය දෙනාම නීරෝගිව බිහි කරන එක. නිවුන් දරුවො ලැබෙන්න ඉන්නකොට සාමාන්‍ය දරු උපතකට වැඩිය අම්මට අපහසුතා එනවා, සංකූලතා ඇතිවෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් හරියටම පිළිපදින්න ඕනේ. මම දරුවො ලැබෙන්න ඉන්න හැම අම්මා කෙනෙකුටම කියන්න කැමතියි නීරෝගි දරුවෙක් බිහි කරන්න ඕනෙ නම් හිතුවක්කාර නොවී වෛද්‍ය උපදෙස් හරියටම පිළිපදින්න කියලා.”

එසේ වුව ද සය දරුවන් කුස දරා සිටියදී දිලිනි මුහුණ දුන් අසීරුතා නිමක් නොවීය.

“දැන් නම් ඒවා මතක් කරද්දිත් බයයි. මගෙ බර දෙගුණයක් වුණා. කිලෝ 112ක්. මට නිදාගන්නම බැරිවුණා. එක පැත්තකට හැරිලා අනිත් පැත්තට හැරෙන්න නම් නැඟිටලා ඉඳගෙන තමයි හැරෙන්න ඕනේ. බඩගිනි වුණාට කන්න බැහැ. බබාලා නිසා බඩ තෙරපිලා. ඩොක්ටර් මට වේලකට බිත්තර හතරක් කන්න කිව්වා, ලුණු කන්න එපා කිව්වා. මටත් වඩා ඒ කාලේ දුක් වින්ඳ උදයංග. එයා නිදාගත්තෙම නැහැ. මං ගැනම කල්පනාවෙන් රෑ දවල් ගත කළේ. ඒ කාලේ කොවිඩ් නිසා අපේ අම්මලාටවත් එන්න විදිහක් තිබුණෙ නැහැ. මහත්තයා තමයි මගේ හැමදේම බලාගත්තෙ. ඉස්සර ඉඳන්ම අපි දෙන්නා ආගම දහමට නැඹුරුයි. ශ්‍රී මහා බෝධියට, රුවන්වැලිසෑයට කිරි ආහාර පූජා කරමින් නීරෝගී දරුවන් ප්‍රාර්ථනා කළා. වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම් කළා. නිතරම යහපත් සිතිවිලිවලින් හිටියා. බබාලා ලැබෙන්න ඉන්නකොට මට වැඩිපුරම කන්න ආස හිතුණේ අඹ, කිරිබත්. ලොකු අල්පෝන්සු අඹ ගෙඩි හතරක් විතර කාපු දවසුත් තිබුණා.”

දිලිනි කීවේ සිනාසෙමිනි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්ගේ උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි දිලිනිට දරු ගැබට සති 29 සපිරෙද්දී අධි රුධිර පීඩනය තත්ත්වය හේතුවෙන් රෝහල්ගත වී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින්නට සිදු විය. ඇය සිය සය නිවුන් දරුවන්ට උපත දෙන්නේ දරු ගැබට සති 31ක් සම්පූර්ණ ‍ෙවද්දීය. අඩු වයසින් අඩු බරින් උපත ලබන දරුවන්ගේ සංකූලතා ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාර්යය මණ්ඩලය දැනුම්වත් කර තැබීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය එක්ව අනුරූ යොදා ගනිමින් පෙරහුරුවක් ද සිදු කර තිබුණේ දරුවන්ගේත් මවගේත් වැඩි ආරක්ෂාවටය. ළදරු දැඩි සත්කාර ඒකකයේ මාසයකුත් දින කිහිපයක කාලයක් දිලිනි සහ ඇගේ දරුවන් කල්ගත කළේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරින්, රෝහල් කාර්යමණ්ඩලයේ සෙනෙහස විඳිමිනි. දරුවන් රැගෙන නිවෙසට රැගෙන යන්නට දිලිනිටත් ප්‍රභාත්ටත් අවස්ථාව ලැබෙන්නේ ප්‍රසූතියෙන් මසක් පමණ ඉක්ම ගිය පසුය.

“මම දන්න විදිහට ලෝකයේ 19 වැනි සය නිවුන් දරුවන් මගේ දරුවොයි. දරුවො හය දෙනාම බිහි වුණේ විනාඩි 2ක් ඇතුළතයි. රෑ 12.16ත් 12.18ත් අතර මුලින්ම දුව, ඊටපස්සේ පුතාලා තුන්දෙනා, ඊට පස්සේ දුවලා දෙන්නා.ලොකුම දුවගෙ උපත් බර කිලෝ 1,680යි. පොඩ්ඩා ග්‍රෑම් 830යි. පුදුමෙ කියන්නේ ඒ බර පරතරය තාම ඒ විදිහටම තියෙනවා. ඒත් හැමෝම එයාලගෙ උසට ගැළපෙන නියමිත බරට ඉන්නවා. ඒ හැමදේකටම මම පින් දෙන්නෙ ඩොක්ටර් ටිරාන්ට. ඒ වගේම නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය නලින් ගමතිගේ, ළමා රෝග විශේෂඥ බුද්ධිම ජයසිංහ එදා වගේම තවමත් අපේ දරුවන් බලනවා. දරුවන්ගේ පෝෂණය ගැන බලන්න, රෝගවලින් ආරක්ෂා කරගන්න උපදෙස් ගන්න මාස තුනකට සැරයක් විතර අපි ඩොක්ටර් බුද්ධිම හමුවෙනවා. අපේ දරුවො ගැන හරියටම දන්නේ ඩොක්ටර් බුද්ධිම කිව්වොත් හරියටම හරි. අසනීප වුණාම ඩොක්ටර් දැක්කත් ඇති, බබාලගෙ ලෙඩ සනීපයි. ඒ වගේම අපි දෙන්නගේ මවුපියන් ඇතුළු පවුල්වල අය, මිතුරු මිතුරියන් වගේම කැලණියේ අපි හිටපු කුලී ගෙදර ලක්ෂ්මි ආන්ටි, අයි.ඩී.එච් කුලී ගෙදර ධම්මික අංකල් සහ ආන්ටි, දිස්නා ආන්ටි සහ නංගිලා තුන්දෙනාවත් ආදරෙන් මතක් කරනවා. ඒ හැමෝම අපිට ගොඩක් උදව් කළා. මුල් කාලෙ නම් අපිට තිබුණු ලොකුම ප්‍රශ්නෙ දරුවො නිතරම අසනීප වීම. එක්කෙනෙක් අසනීප වුණාම පේළියට හය දෙනාම අසනීප වෙනවා. දරුවන්ට අවුරුද්දක් විතර වෙනකම් අපි දෙන්න”

උදයංගගේත් දිලිනිගේත් නිවුන් දරුවෝ දැන් කොල්ලුපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකින් පූර්ව ළමා විය සංවර්ධනය ලබති. ඔවුන්ගේ නිවෙසේ දරුවන් කෑම ගන්නා ස්ථානය, ක්‍රියාකාරකම්වල නිරත වන ස්ථානය පවා පිළිවෙළකට සකසා ඇත. සය නිවුන් දරුවන්ගේ දින චර්යාව ගැන දිලිනි මෙසේ කීවාය.

“බබාලා උදේ හයට විතර නැඟිටිනවා. ඊටපස්සේ කිරි එක බීලා ඩේ කෙයාර් යන්න ලෑස්ති වෙනවා. උදේ 8 වෙද්දි එයාලව එතැනට ඇරලවනවා. උදේ වරුව බබාලා ප්ලේ ගෘප් එකේ ඉන්නවා. එයාලා ඉන්නේ ක්ලාස් තුනක වුණත් පැයක්වත් එහෙම වෙන්වෙලා ඉන්නෙ නැහැලු. ටික වෙලාවකින් එයාලා එක තැනකට එකතු වෙනවලු. බබාලා ඩේ කෙයාර් යන්නෙ හරිම ආසාවෙන්. හවස 6 වෙද්දි බබාලා ගෙදර එනවා. වොෂ් දාලා හත වෙද්දි මම සර්වන්ට්ස්ලා දෙන්නා එක්ක එයාලට කෑම කවනවා. ඒකට නම් පැය භාගයක් විතර යනවා. හැමෝටම දෙන්නෙ එකම කෑම. ප්ලේට්වලට බෙදලා දුන්නම එයාලා කනවා. ඩේ කෙයාර් එකෙන් එයාලා දැන්ම ඉඳලා පිළිවෙලට ඒ දේවල් කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම එයාලා හරිම ක්‍රියාකාරීයි. රෑ 8 වෙද්දි බබාලා නිදාගන්නවා. එයාලා තාම නිදාගන්නෙ අපි එක්කමයි. එයාලා වැඩිපුරම ආස බිල්ඩින් බ්ලොක්ස් හදන්න. ඒ වෙලාවට නම් රණ්ඩු ගොඩයි. සෙනසුරාදා ඉරිදට අපි බබාලාව පාක් එකකට එක්ක යනවා. එයාලා ඒකටත් හරිම ආසයි.”

මවක ලෙස දිලිනිගේ භූමිකාව සාමාන්‍ය මවකට වඩා අතිශයින් සංකීර්ණය. එහෙත් ඇය තුළින් අප දුටුවේ සතුටින්, සැහැල්ලුවෙන් සිටින මවකි. ඒ ගැන දිලිනි කීවේ හරි ආදරණීය කතාවකි.

“ඒ කාලේ ඉඳලම උදයංග හරිම හොඳ කෙනෙක් කියලා අපේ පවුල්වල වැඩිහිටියො හැමෝම එයාට හරි ආදරෙයි. ඒත් මට එයා ගැන එහෙම විශේෂ කැමැත්තක් තිබුණේ නැහැ. උසස් පෙළත් කරලා කොළඹ රස්සාවටත් ඇවිත් අවුරුදු දහයක් විතර ගියාට පස්සේ තමයි මම එයාට කැමති වුණේ. ඒත් මම දැන් හරිම ආඩම්බරෙන් කියනවා, මගෙ තාත්තා තමයි මට හොඳම තාත්තා. ඒත් දැන් මම දකින හොඳම තාත්තා මගේ දරුවන්ගේ තාත්තා, මගෙ මහත්තයා. එයාගේ මුළු ලෝකෙම මමයි දරුවොයි… මට මගේ අම්මා, තාත්තා, උදයංගගේ අම්මා, අක්කා ගොඩක් උදව් කරනවා. ඒත් ඒ හැමදේටම වඩා මං වෙනුවෙන් ලොකුම කැපකිරීම කරන්නේ උදයංග. බබාලගෙ වැඩ, ගෙදර වැඩ, අපේ වැඩ මේ හැමදේම සමබර කරගෙන මම සැහැල්ලුවෙන් ඉන්නෙ උදයංගගෙන් ලැබෙන සහයෝගය නිසයි. සමහර වෙලාවට මම දුකෙන්, කරදරෙන් ඉන්නවා කියලා දැනුණොත් උදයංග රෑ කීයට හරි මාව එළියට එක්කගෙන ගිහින් ටිකක් ඇවිදලා රිලැක්ස් කරලා ගෙදර එක්කගෙන එනවා. මම හිතන්නෙ එයා වගේ සැමියෙක් ලැබුණේ මගෙත් දරුවන්ගෙත් වාසනාවට. බිරියක් සතුටින් හෝ දුකෙන් ඉන්නවා නම් එහි වගකීම පැවරෙන්නෙ සැමියට…ඉතින් අපේ පවුලෙ වීරයා එයා තමයි.”

දිලිනිගේ දෑස් දිලිසෙන්නේ සැමියා වෙනුවෙන් උපන් තුටු කඳුළිනි. එක ඉත්තක පිපුණු මල් කැකුළු වුවත් දිලිනිගේ සය නිවුන් දරුවන් නිතර දකින අයකුට නම් එකිනෙකාගෙන් වෙන් කර හඳුනා ගැනීම අසීරු නැත. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ උදයංග මේ වන විට රැකියාවෙන් ඉවත් වී තමාගේම ව්‍යාපාර කටයුත්තක නියැළෙයි. ඔවුන් තවමත් වෙසෙන්නේ කුලී නිවෙසකය.

“බබාලගෙ වැඩටයි ගෙදර පිරිසුදු කරන වැඩවලටයි උදව්වට දෙන්නෙක් හිටියත් ගෙදර ඉවුම්පිහුම් කරන්නෙ මමයි. විශේෂයෙන් අපි බබාලට කඩ කෑම දෙන්නෙම නැති තරම්. කේක්, බිස්කට්, රසකැවිලි හැමදේම මම ගෙදරම හදනවා. ඉස්සර ඉඳන්ම කෑම හදන්න මම හරිම කැමතියි. බබාලට හුඟක් වෙලාවට එකම විදිහෙ ඇඳුම් අන්ඳනවා. දරුවෝ වෙනුවෙන් ලොකු වියදමක් මාසිකව වැය වෙනවා. ගෙවල් කුලී, කෑම බීම, බෙහෙත්, වැඩට ඉන්න දෙන්නට වැටුප්, ඩේ කෙයාර් එකට මේ හැමදේටම විශාල වියදමක් යනවා. අපිට මහත්තයාගේ කැම්පස් එකේ යාළුවො ගොඩක් උදව් කළා. බේබි ෂෙරමි අවුරුද්දක් යනකම්ම බබාලට සබන්, පැම්පර්ස් දුන්නා. ෆොන්ටේරා සමාගමෙන් දරුවන්ට අවුරුදු තුනක් වෙනකම් කිරිපිටි දෙනවා. අපිට කොහොමහරි දරුවන්ගෙ වියදම් දරාගන්න පුළුවන්. අපි දෙන්නට දරුවොත් එක්කම පිටරට යන්න ගොඩක් අවස්ථා ලැබුණා. ඒත් අපි ඒකට කැමති නැහැ. අපිට ඕනේ අපේ රටේ සංස්කෘතිය එක්ක අපේ දරුවො හැදෙනවා දකින්නයි. තව අවුරුදු තුනකින් දරුවො පාසල් ගමන පටන් ගන්නවා. අපේ දරුවන්ට හොඳ පාසලක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන ලොකුම උදව්ව. ඒ වගේම අපි විශේෂයෙන් ඉල්ලන්නේ, කවුරුහරි අපිට උදව් කරන්න හිතනවා නම් ඒ හැම උදව්වක්ම අලුතින් ඉපදුණු සය නිවුන් දරුවන් වෙනුවෙන් කරන්න. ඒ මවුපියන්ගෙ හිත් සතුටින් තියන්න උදව් කරන්න. විශේෂයෙන් අම්මා කෙනෙක්ගේ මානසික සුවතාව දරුවන්ගෙ නීරෝගිකමට ගොඩක් බලපානවා. ඒ නිසා අපේ දරුවො වෙනුවෙන් ඒ දරුවන්ට උදව් කරන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා” දිලිනිගේ ඒ ඉල්ලීම මිනිස් හදවතේ සොඳුරු මනුදම්වලට කදිම නිදර්ශනයකි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්, ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division