– මුළු පඩි ගණන 20ත් පඩි දෙකක් අතර පරතරය අඟල් 06ක් වීම ඉතා සුබයි
– නිවසේ බ්‍රහ්මපාදය සහ ඊශානය පීඩා නොවන සේ ඉදිකරගන්න
– දකුණ, බටහිර, වයඹ, නැඟෙනහිරට පඩිපෙළ සුබයි
– නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිටට පඩි පෙළ එපා
අතීතයේ නිවාස විශාල භූමියක ඉදි කෙරුණත් වර්තමානයේ නාගරීකරණයත් සමඟ ක්‍රමයෙන් ඉඩම් කැබලි වීම හා මිල ඉහළ යාම නිසා කුඩා ඉඩම්වල තට්ටු නිවාස ඉදිකිරීම බහුලව දක්නට ලැබේ. මෙසේ මහල් නිවාස ඉදිකිරීමේදී ඊට එක්වන ප්‍රධානම අංගය පඩිපෙළයි. විශේෂයෙන් ලන්දේසි යුගයේ ඉදි කෙරුණු වලව්වල සම්පූර්ණයෙන් ලීවලින් පඩිපෙළ නිම කෙරුණත් වර්තමාන පඩිපෙළ සඳහා බොහෝ දුරට භාවිත කරන්නේ කොන්ක්රිට්ය. කෙසේ වුවත් පඩි පෙළක් නිර්මාණයේදී එය නඟිද්දී දැනෙන මහන්සිය හැකිතරම් අවම වන ලෙස නිම කර ගත යුතුය. ඒ සඳහා පඩි දෙකක් අතර උස වැදගත් සාධකයකි. පඩි දෙකක් අතර පරතරය අඟල් 06ක් වීමද එහි මුළු පඩි ගණන 20ක් වීමද ඉතා සුදුසුය.
පඩිපෙළ වාස්තු විද්‍යානුකූලව ඉදිකර ගැනීමද ඉතා වැදගත් වේ. පඩිපෙළ නිවසේ බ්‍රහ්මපාදය හෝ ඊසාන දිශාව පීඩාවට පත් නොවන ලෙස ඉදිකළ යුතුය. එසේ නොවුණහොත් නිවැසියන්ට ධන හානි මෙන්ම අධික ණය බර ඇතිවීමට ඉඩ ඇත. පඩිපෙළ නිවසක හෝ ගොඩනැඟිල්ලක ඉදිරිපස මැද කොටසේ තිබීම ද අසුබය. නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට හෝ ප්‍රධාන දොර හරහා නොයැවෙන ආකාරයට ද පඩිපෙළ ඉදිකළ යුතුය.
පඩිපෙළ වඩා සුදුසු වන්නේ දකුණ, බටහිර, වයඹ සහ නැඟෙනහිර දිශාවලටය. නිවසේ උතුරු හෝ නැගෙනහිර දිශාවට මුහුණලා බැසීමට හැකි ආකාරයට පඩිපෙළ නිර්මාණය කිරීමෙන් එහි නිවැසියන්ගේ සියලු කටයුතු සාර්ථක වේ. උතුරු හා ඊසාන දිශා කෝණ තුළ ඔබගේ පඩිපෙළ ඇත්නම්, සෞඛ්‍ය ගැටලු, ධන හානි, විවාහ ප්‍රමාද වීම, ගෘහ මූලිකයාගේ ආදායම් මාර්ග අවහිර වීම, රැකියා ගැටලු ආදිය ඇති වේ.
එක්වරම පඩිපෙළ නැඟ නිවස තුළට කාමර තුළට ඇතුළු වන ලෙස පඩිපෙළ පිහිටීම නිවැසියන්ට අභාග්‍ය ගෙන දේ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අසුබ පල ඇති කරයි. එමෙන්ම පඩිපෙළ පරිහරණය කරන විට එයින් ශබ්දයක් නැඟීමද අසුබදායකය.
පඩිපෙළ කවාකාරව නිර්මාණය කරන්නේ නම් එය දක්ෂිණාවර්තව සකස් කළ යුතුය. එනම් නැඟෙනහිර සිට දකුණු දෙසට හෝ දකුණ සිට බටහිරට හෝ බටහිර සිට උතුරට හෝ උතුර සිට නැඟෙනහිරට වන ලෙසය. එය වමට තිබීමෙන් නිවැසියන්ගේ ‘සතුට සමාදානය’ පලා යයි. නිවැසියන් උදාසීන වීම, අසනීපවලට ගොදුරු වීම, නිවසේ වාසය අප්‍රිය වීම, නිවැසියන් අතර මත ගැටුම් ඇතිවීම ආදිය සිදු වේ. එමෙන්ම පඩිපෙළ යට කිසිම දෙයක් සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.
මෙසේ ඔබේ නිවසේ පඩිපෙළ දෝෂ සහගතව ඉදිකර ඇත්නම් එය වාස්තු විද්‍යාව දන්නා අයෙකු ලවා නිවැරැදි කර ගැනීම සුදුසුය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස