Home » තුන් කුලුඳුල් දරු උපත් සුබද අසුබද?

තුන් කුලුඳුල් දරු උපත් සුබද අසුබද?

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– කුලුඳුල් යුවළක් එකිනෙකා සමඟ විවාහය සුදුසු නෑ
– එක කුස උපන් සහෝදර සහෝදරියන් එකම දිනක දී විවාහ කරදීම ඉතා අසුබයි

ඇඟ හිරි වැටේ. හිත කීරි ගැසේ. මගේ දරුවා තුන් කුලුඳුල් නොවේද? තුන් කුලුඳුල් දරුවන් ඕනෑ කරන්නේ කුමක් සඳහාදැයි කවුරුත් දනී. පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු මේ පිළිබඳව අදහස් දක්වා ඇත. කිසියම් යුවළකට ලැබෙන පළමු දරුවා කුලුඳුල් දරුවෙකි. එම දරුවා පුතෙකු නම් කුලුඳුල් පුතෙකි. තවත් යුවළකට ලැබෙන පළමු දරුවා දුවෙක් නම් ඇය කුලුඳුල් දුවෙකි. කුලුඳුල් පුතෙකු හා කුලුඳුල් දුවෙක් නිසි වයසට පැමිණ විවාහ වන්නේ නම් එය කුලුඳුල් යුවළකගේ එක්වීමකි. ඔවුනට උපදින වැඩිමහල් දරුවාද කුලුඳුල්ය. එම දරුවා කුලුඳුල් පමණක් නොව තුන් කුලුඳුල්ය. මෙම තුන් කුලුඳුල් තත්ත්වය තුන් කුලුඳුල් දෝෂය ලෙස පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු විසින් දක්වනු ලැබ ඇත.

එබැවින් විවාහප්‍රාප්ත වීමකදී තුන් කුලුඳුල් දරු උපතකට ඉඩ තැබීම සුදුසු නොවේ. කුලුඳුල් යුවළක් එකිනෙකා හා විවාහ නොවී සිටීමෙන් තුන් කුලුඳුල් දරු උපතක් වළක්වා ගත හැකිය. නිසි වයසට පැමිණ ඇති දරුවන්ට විවාහ යෝජනා ගෙන එන විට මවුපියන්ද, කපු මහත්වරුන්ද ඉහත කී කාරණය ඉතා වැදගත් නිර්ණායකයක් ලෙස සලකා කටයුතු කළ යුතුය.

විවාහයක් සම්බන්ධ කාරණයකදී සැලකිල්ලට ගත යුතු තවත් ඉතා වැදගත් කරුණක් වනුයේ ලේ නෑයන් අතර විවාහයක් සිදු වීම ජ්‍යොතිෂමය වශයෙන්ද, වෛද්‍ය විද්‍යාත්මකවද අනුමත නොකරන දෙයක් බවය. ඒ පිළිබඳව මවුපියන් පමණක් දැනුම්වත්ව සිටීම ප්‍රමාණවත් නොවන අතර, විවාහ වන වයසේ පසුවන දරුවන්ද ඒ සම්බන්ධව දැනුම්වත් කළ යුතුව ඇත.

ලේ නෑයන් අතර සිදු වූ විවාහයකදී අනිටු විපාක විඳින්නට සිදු වනුයේ උපදින දරුවන්ටය. මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කරගැනීමක් පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබට ලබාගත හැකිය. එබැවින් විවාහයක් සිදු වන විට එය ලේ නෑයන් සම්බන්ධ විවාහයක් නොවන බව ඉතා හොඳින් තහවුරු කරගත යුතුය.

පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු දක්වා ඇති පරිදි එක් කුස උපන් සහෝදරයන් දෙදෙනෙකුගේ හෝ සහෝදරියන් දෙදෙනෙකුගේ විවාහය එකම දවසේ සිදු නොකළ යුතුය. එක් විවාහයක් සිදු කොට මාස හයක් ගත වූ පසු අනෙක් විවාහය සූදානම් කිරීමේ වරදක් නොමැති බවද පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු දක්වන මතයයි.

සහෝදරයන් දෙදෙනා හෝ සහෝදරියන් දෙදෙනා මවුවරු දෙදෙනෙකුගේ දරුවන් වී පියා එක් අයෙකු වූ අවස්ථාවක ඉහත දැක්වූ දෝෂය ඇති නොවේ. එසේම එක මවකගේ දරුවන් දෙදෙනෙකු වුවද ඔවුන් පියවරු දෙදෙනෙකුගේ දරුවන් වී නම් එම අවස්ථාවේදීත් ඉහත දක්වන ලද දෝෂය ඇති නොවේ. එහෙත් එබඳු දරුවන් වුවද එකම මණ්ඩපයකදී විවාහප්‍රාප්ත කරවීම පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු අනුමත නොකළ දෙයකි.

යෝජනා කරන ලද හෝ ප්‍රේම සම්බන්ධතාවක් මත හෝ සිදු කරන්නට යන විවාහයකට සම්බන්ධ දෙපාර්ශ්වයේ නිවෙස් දෙකෙන් කුමන නිවෙසක හෝ හදිසි මරණයක් සිදු වුවහොත් නුදුරේ සිදු කරන්නට නියමිතව තිබූ විවාහ මංගල්‍යය වසරකින් හෝ කල් දැමිය යුතු බවද පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරුන් විසින් දක්වනු ලැබ ඇත.

එසේ මියගිය අය දිගු කලක් රෝගී වී හිඳ මියගියේ නම් හෝ මියගිය අය ඉතා දුර පළාතකදී මියගොස් එහිදීම අවසන් කටයුතු සිදු කළේ නම් හෝ මියගියේ පවුලේ පැවිදි වූ අයෙකු නම් හෝ ඉහත සඳහන් කළ බාධාව ඇති නොවේ. සැලසුම් කරගත් ආකාරයට විවාහ මංගල්‍යය සිදු කිරීම වරදක් නොවන බව ජ්‍යොතිෂ මතයයි.

පොරොන්දම් ගැළපීම යම් ප්‍රමාණයකට දුර්වල මට්ටමක තිබුණත් ඉතා සුවිශේෂී ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍ර දෙකේ තිබේ නම් එකී ජන්ම පත්‍ර හිමි අය එකිනෙකා හා විවාහප්‍රාප්ත වීම වරදක් නොවන බවද පුරාණ ජ්‍යොතිෂ ආචාර්යවරු පෙන්වා දෙති. එක් කේන්දරයක කුජ සිටින ස්ථානයේ අනෙක් කේන්දරයේ රවි සිටීම, එක් කේන්දරයක රවි සිටින රාශියේ අනෙක් කේන්දරයේ කුජ සිටීම, එක් කේන්දරයක කුජ සිටින ස්ථානයේ අනෙක් කේන්දරයේ සිකුරු සිටීම ආදී වූ සුවිශේෂී ගැළපීම් රැසක් ඇත. විවාහ ජීවිතය සාර්ථක කරගත හැකි කාරණා කෙරෙහි යොමු වීම නුවණැති සෑම දෙනාගේම පිළිවෙත බව අවධාරණය කරමි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අසෝක විජයසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division