– අධ්‍යාපනයේ මූලික ස්ථානය 3 වැන්නයි
– ජවය ශක්තිය සමඟ ඉදිරි ගමන ගැන කියන්නේ 1 සහ 12 භාවවලින්
විවිධාකාරයේ රැකියාවල නැතිනම් නොයෙක් ජීවන වෘත්තීන්හි විවිධ තරාතිරම්හි පුද්ගලයන් නිරත වන්නේ තම දැන උගත්කම් අනුවය.
එක් එක් පුද්ගලයන්ට උරුම වන රැකියාව පිළිබඳව ජ්‍යොතිෂයෙන් බොහෝ තොරතුරු හෙළි වේ. මෙවර විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේ ස්ථානගත ජ්‍යොතිෂය ඔස්සේ කෙනෙකුගේ රැකියාව පිළිබඳව ඉතා වැදගත් කරුණු කාරණා රැසක් ඉසිවර ඔස්සේ හෙළි කළේය.
“මම මීට පෙර ඉසිවර කලාපයක සඳහන් කළා කේන්දරයක පිහිටීම අනුව අධ්‍යාපනය ගැන. සාමාන්‍යයෙන් අධ්‍යාපනයෙන් තමන් මෙලොවට රැගෙන ආ දේ අනුවයි කෙනෙකුගේ රැකියාව නිර්මාණය විය යුතු වන්නේ. රැකියාව ගැන ස්ථානීය ජ්‍යොතිෂය අනුව කේන්දරයකින් විග්රහ කරන විට අධ්‍යාපනයේ ස්ථානගත ග්‍රහ පිහිටීම් ඉතා වැදගත්. මීට පෙර ඉසිවර ඔස්සේ මම සඳහන් කළ පරිදි අධ්‍යාපනයේ මූලික ස්ථානය 3වැන්න. ඒ 1වැන්නේ සිට 3වැන්නට එනවා. 3වැන්නෙන් තමන් සසරෙන් ගෙන ආ දේ මතුවී 9වැන්නට ගමන්කොට එමඟින් තමයි මේ භවයේදී මතු වන්නේ.
රැකියාව ගැන සඳහන් කරද්දී තමන් උගත් දේ, දක්ෂ දේ ඇතැම් අවස්ථාවල තමන්ගේ රැකියාව බවට පත්වන්නේ නැහැ. උදාහරණයක් ලෙස කීවොත් කෙනෙක් අධ්‍යාපනය ලැබුවේ ජීව විද්‍යාව නැත්නම් වාණිජ හෝ ගණිතය විය හැකියි. හැබැයි වර්තමානයේ එම පුද්ගලයා රැකියාව ලෙස සිදු කරන්නේ ඇඳුම් මසන රැකියාව නැත්නම් පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස රැකියාවක් විය හැකියි.
මේ කියන රැකියාවලට වාණිජ නැත්නම් කලා වැනි විෂයන් කළානම් යම් පමණක සාධාරණයක් තියෙනවා. හැබැයි විද්‍යාව හෝ ගණිතය කළ අයෙක්නම් එවැනි රැකියාවන් යම් විදිහකට සාධාරණ නැහැ. අන්න එවිටයි ප්රශ්නය මතුවන්නේ. මෙවැනි අවස්ථාවලට මුහුණ දුන් ඇතැමෙක් සතුටට පත්වී කියනවා මම ‘බයෝ‘ නැත්නම් ‘මැත්ස්‘ කළා. හැබැයි ඒත් අද ඉන්නේ මං ඉන්නෙ මා සඳහන් කළ ආකාරයේ ඉගෙන ගත් දේට හාත්පසින්ම වෙනස් රැකියාවක කියා. ඇතැම් විට ඒ පුද්ගලයන් ඉගෙන ගත් දෙයට පරිබාහිර දෙයින් ඉහළම වෘත්තියකට ගමන් කර තිබෙන්නට පුළුවන්. ඔහු එලෙස සතුටට පත්වන්නේ ඒ නිසා විය හැකියි.
මෙලෙස කිසිවකු තමන් ඉගෙන ගත් දෙයට හාත්පසින් වෙනස් ආකාරයක වෘත්තියක නියැළීම ජ්‍යොතිෂයෙන් සොයා ගත හැකියි. අධ්‍යාපනයත් සමඟ බද්ධව පවතින නිසා වෘත්තීය නැත්නම් රැකියාව තීරණය වන්නේ 1, 3 සහ 9වැන්න කියන භාව ස්ථානවලට අමතරව 11 වැන්නෙනි.
11වැන්න අයත් වන්නේ ධනස්ථානයටයි. ඉන් කියැවෙන්නේ ධනය උපයන ආකාරය ගැන. ධනස්ථානයත් සමඟ තිබෙන දේ අනුවයි ඒ ඒ පුද්ගලයාගේ වෘත්තීය තීන්දු වන්නේ. සමහරුන්ට ලැබීම් පිහිටන ආකාරය අනුව රැකියාව තීන්දු වන්නේ. 11වැන්නෙන් කියන්නෙත් ලැබීමයි.
ලැබීම තීන්දු කරන ආකාරයට තමයි රැකියාව පිහිටන්නේ. ඇතැමුන්ට ලැබීම් ක්‍රම කීපයකට සිදු වෙනවා. සසරෙන් මේ භවයට ගෙන ආ ලැබීම් තියෙනවා. උදාහරණයක් ලෙස නිධන්, උරුමයන්, ක්ෂණික ලැබීම්, වාසනාවන්ත ලැබීම් ඒ සියල්ල 11වැන්නේ සිට ක්‍රියාත්මක වෙනවා.
11වැන්නෙන් ධනය ලැබෙනවාද? එය සුඛ විහරණය තකා විඳිනවාද? යන්න පෙන්නුම් කරන්නෙ 10වැන්නෙන්.“
එසේනම් 10වැන්න ‘විඳින ස්ථානය‘ හෙවත් ‘සුඛ විහරණ‘ ස්ථානයකි. එලෙස 10වැන්න භාග්‍යස්ථානය හඳුන්වන භාව ස්ථානයෙන් විඳින දේ නැතිනම් වත්කම් පෙන්නුම් කරනුයේ 4 වැනි භාවයෙනි. ඒ අනුව 4 වැනි ස්ථානය වත්කම් නැතිනම් සංචිත ස්ථානයයි. 4 වන ස්ථානයෙන් තමාට හිමි ගේදොර, වතුපිටි, යානවාහන ඇතුළු සියලු වත්කම් පෙන්නුම් කෙරෙනවා.
“11වැන්න, 10වැන්න සහ 4වැන්න තමයි තමන්ගේ රැකියාව තුළ ගමන් කරන ස්ථානයන්ට මූලික වන්නේ. 10වැන්නෙන් භුක්ති විඳලා 4වැන්නෙන් දේපළ, වත්කම් තැන්පත් වී තිබෙනවා.“
ස්ථානගත ජ්‍යොතිෂය අනුව රැකියාව ගැන සඳහන් කරද්දී ප්‍රධානතම ස්ථාන වන්නේ 3, 9 සහ 11වැන්නය. එසේම රැකියාවන්ද විවිධාකාරය. ඇතැමෙක් සිතේ සතුටෙන් මෙන්ම අසතුටෙන්ද කරන රැකියාවල නිරත වේ. තමන් කළ යුතු සහ නොකළ යුතු රැකියාවද ජ්‍යොතිෂය අනුව සොයාගත හැකියි.
“සමහරු සිතේ අසතුටෙන් රැකියා කරන්නේ. ඒත් ටික දවසකින් ඒ රැකියාවලට හුරු වෙනවා. ඒ තමන්ගේ කර්ම විපාකය අනුව. ඒ වගේම ජීවිතයේ යම් ආකාරයක තීන්දු තීරණ අරගෙන රැකියාව වෙනස් කරලා ජීවිතය ජයගත් මිනිස්සුත් මේ සමාජයේදී හමු වෙනවා. හැබැයි සමහරු එවැනි තීරණවලට ‘රිස්ක්‘ එකක් ගන්න බයයි. ඔවුන් හිතන්නෙ ‘නෑ… මං මේ රස්සාවම කරනවා… ප්‍රශ්න දා ගන්න ඕන නෑ… අයින් වුණාම නැති ප්‍රශ්න ඇතිවෙයි… මං මේ ඉන්න තත්ත්වෙනුත් වැටෙයි… නැඟිටින්න බැරි වෙයි… මං මීට අවුරුදු ගාණකට පෙරත් වැටුණා… ආයිත් ලොස්ට් වෙයිද දන්නෑ‘ ආදි ලෙසයි. අන්න එහෙම බයකින් ජීවත්වන අයගේ බය පරාජය කරන්න තරම් කුසලයක් තමන් සතුව තිබේද කියා කේන්දරය පරීක්ෂාවකින් බලා ගත හැකියි. අන්න ඒ දේ කේන්දරයෙන් හෙළිදරව් වන්නෙ 1වැන්නෙන් සහ 12වැන්නෙනි. එම ස්ථානවලින් හෙළිවන්නේ තමනට ජවයක්, උද්යෝගයක්, ශක්තියක් සහ එන බාධක දරාගෙන ඉදිරියට ගමන් කරන්නට හැකියාවක් තිබේද කියා. එවැනි ජවයක් නැති අයට අපි කියනවා කරන රැකියාව කරගෙනම ඉන්න… ඔයා ඔය ජොබ් එකම කරගෙන ඉන්න… හැබැයි ජවය, ශක්තිය තිබෙන අයට කියන්නෙ කිසිම දේකට බය වෙන්න එපා… රැකියාවෙන් ඉවත් වන්න… ඔයා වෙනස් වන්න…ව්‍යාපාරයක් කරන්න… ව්‍යාපාරයක් කරන අයෙකුටනම් කියනවා හොඳින් සැලැසුම් කරන්න…. කරනවාට වඩා මහන්සි වී වැඩ කරන්න ආදි ලෙස.“
ඒ අතරේ රැකියාව ලෙස විවිධාකාරයේ දූෂණ වංචා සිදු කරමින් මුදල් උපයන අයද ඉන්නවා. එවැනි පුද්ගලයන් පිළිබඳවද ජ්‍යොතිෂය ඔස්සේ කේන්දර පරීක්ෂාවක් සිදුකළහොත් බොහෝ තොරතුරු හෙළිදරව් කරගත හැකියි.
“රැකියා ලෙස වංචනික ක්‍රියා සිදුකර මුදල් උපයන අයත් ඉන්නවා. උදාහරණයක් ලෙස කුලියට මිනීමරන, මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරත වෙමින් මුදල් අයථා ලෙස උපයන අය ගැන ඔවුන්ගේ කේන්දරයෙන් හෙළිකර ගත හැකියි. ඒ කේන්දරයේ 6වැන්නෙන් නැත්නම් 8වැන්නෙන්. ඒ වගේම 2වැන්නෙන්. 2, 6, 8 කියන කර්ම පල දොරටුවෙන් ඒ පුද්ගලයා වංචනික ලෙස, අසාධාරණ ලෙස උපයන වත්කම් පිළිබඳව සොයාගත හැකියි.
එම නිසා කෙනෙකුගේ ජීවිතයේ වටිනාම කඩඉම ලෙස ‘රැකියාව‘ සඳහන් කළ හැකියි. අභියෝග භාරගෙන දෛවය සහ කර්මය වෙනස්කොට ජීවිතය ජය ගැනීමට රැකියාව ප්‍රධානතම සාධකයක්.
අමිල මලවිසූරිය