ඔබ දිනපතා වැඩකටයුතුවල නිරතවෙමින් සිටිය දී නීරස උදාසීන භාවයක් අත්දකියි නම් එම ස්වභාවය ඔබගේ භාවනා අරමුණ කර ගන්න. එය ඔබට දැනෙන්නේ කෙසේද? එය ක්‍රියාකාරීවන්නේ කෙසේ ද? එය සෑදී ඇත්තේ කුමකින් ද කියා සොයා බලන්න. ඔබ කෝපයට පත් වූ විට කෝපය පිළිබඳව භාවනා කරන්න. එහි යන්ත්‍රණය ගවේෂණය කරන්න. එයින් පලා නොයන්න. ඔබ මානසික පීඩනයට හසු වී ඇතිවිට ඒ පිළිබඳ භාවනා කරන්න. බැඳීමෙන් තොර විමර්ශනාත්මක ආකාරයට එය පරීක්ෂා කරන්න. අන්ධ ලෙස එයින් ඉවත්ව නොයන්න. එහි පැටලිලි ගමන් මඟ ගවේෂණය කර එහි මාර්ග රූප සටහන් ගත කරන්න. මෙම ක්‍රමය නැවත ඔබ මානසික පීඩනයට හසු වූ විට එය සමඟ ගනුදෙනුව පහසු කරයි.
ඔබගේ ජීවිතයේ දුක සැප දෙක හරහා භාවනාත්මකව ගමන් කිරීම විපස්සනා භාවනාවේ ප්‍රධානතම අරමුණයි. මෙබඳු පුහුණුවක් ඉතා දුෂ්කර හා අභියෝගාත්මක වන නමුත් කිසිවකට නොදෙවෙනි මානසික නම්‍යශීලී බවක් එය විසින් උපදවයි. භාවනානුයෝගියා තම මනස සෑම තත්පරයකදීම විවෘතව තබා ගනියි. ජීවිතය දෙස බැඳීමෙන් තොරව විමසිල්ලෙන් බලමින් නිරතුරුවම තමාගේ අත්දැකීම් හා ජීවිතය පරීක්ෂාවට භාජන කරයි. එමනිසා ඕනෑම ආකාරයකට ඕනෑම මූලාශ්‍රයකින්, ඕනෑම වේලාවක පැමිණෙන සත්‍යයට ඔහු විවෘතව සිටියි. විමුක්තිය සඳහා ඔබට අවශ්‍ය වන්නේ මෙවන් මනසකි.
භාවනාත්මක සූදානමක පවතින මනසක් හිමි තැනැත්තාට සත්‍ය අවබෝධය ඕනෑම අවස්ථාවක අත්කර ගත හැකි යැයි කියමනක් ඇත. සඳ දැකීම, කුරුල්ලකුගේ හඬ, ගස්වල වදින සුළඟේ හඬ වැනි ඕනෑම සාමාන්‍ය දැකීමක් මේ සඳහා උත්තේජනයක් විය හැකියි. දකින්නේ කුමක්ද යන්න නොව එම දැකීමට ඔබගේ ප්‍රතිචාරය කුමක්ද යන්න වැදගත් වෙයි. විවෘත සූදානම් ස්වභාවය අත්‍යවශ්‍යයි. ඔබ සූදානම් නම් මේ දැන් පවා එය සිදුවිය හැක. ඔබගේ අතට දැනෙනා මෙම පොතේ ස්පර්ශය උත්තේජකයක් වීමට පුළුවන. මෙම වචන ඔබගේ සිතේ නඟන හඬ වුවද සෑහේ. ඔබ සූදානම් නම් මේ දැන් වුවද ඔබට සත්‍ය අවබෝධය අත්පත් කර ගත හැක.
ඔබ භාවනාවෙන් යම් යම් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක. මුලින් ප්‍රායෝගික ප්‍රතිලාභ ලැබෙන අතර පසුව ලෝකෝත්තර ප්‍රතිඵල අත්වෙයි. සරල මට්ටමේ සිට ඉතා උත්කෘෂ්ට මට්ටම දක්වා දිවෙන පරාසයක ඒවා විහිදී ඇත. අපි මෙහි සමහරක් සඳහන් කරමු. ඔබගේ පුහුණුව ඔබට සත්‍යය පෙන්වනු ඇත. වඩාත් වැදගත් වනුයේ ඔබගේ ම අත්දැකීම්ය.
අප නීවරණ හෝ කෙලෙස් නමින් හඳුන්වන දේවල් හුදෙක්ම අමිහිරි මානසික පුරුදුවලට වඩා වැඩි බැරෑරුම් දේවල්ය. ඒවා මමත්වයේ ප්‍රාථමික ප්‍රකාශ කිරීම් වේ. මමත්වය පිළිබඳ හැඟීම නිසැකවම වෙන් බවේ හැඟීමකි. මා හා අන් අය අතර අප දකින පරතරයයි. අප බාධාවන් හෝ කෙලෙස් ලෙස දකින දේ නිරන්තරයෙන් පුරුදු කිරීම හේතුවෙන් මෙම මමත්වය පිළිබඳ දැකීම තහවුරු වෙයි.
තෘෂ්ණාව හා රාගය “එයින් ටිකක්” මට හිමි කර ගැනීමේ උත්සාහයයි. වෛරය හා ද්වේශය යනු “මා හා එය” අතර විශාල පරතරයක් ඇති කර ගැනීමට වෙර දැරීමේ ප්‍රතිඵලයයි. සියලු ක්ලේශයන් තමා හා අන් අය වෙන්කරන බාධකයක් ඇතැයි යන දැකීම මත රඳා පවතින බැවින් ඒවා ක්‍රියාකරන සෑම අවස්ථාවක ම මෙම දැකීම තව තවත් පෝෂණය වෙයි. සිහිය, ඇති දේ ගැඹුරින් හා ඉතා පැහැදිලිව දකියි. එය අපගේ අවධානය ක්ලේශයන්ගේ පතුලට ම ගෙන විත් ඒවායේ ක්‍රියාකාරිත්වය නිරාවරණය කරයි. ඒවායේ ප්‍රතිඵල හා ඒවා අපට සිදුකරන බලපෑම් දකියි. සිහිය, මෝඩයාට ඇන්දවිය නොහැක. තෘෂ්ණාව යනු කුමක් ද හා එය ඔබට හා අන් අයට කරන දේ කුමක් ද යන්න පැහැදිලිව දකින ඔබ, ඉබේම එය අත හරිනු ඇත. උදුනකට අත පුලුස්සා ගන්නා ළමයෙකුට අත ඉවතට ගන්නට යැයි කීම අවශ්‍ය නැත. ඒ ඔහු සිතා බැලීමකින් තොරව ඉබේම අත ඉවතට අදින බැවිනි. අපගේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ වන ප්‍රතීක ක්‍රියාවන් ගොඩනැඟී ඇත්තේ මේ සඳහාමයි. ඒවා සිතිවිල්ලකට වඩා වේගවත්ය. උණුසුම් සංවේදනය අත්දකින ළමයා අඬන්නට පටන් ගන්නා විටම පාහේ ඔහුගේ අත උණුසුම් උදුනෙන් ඉවතට පැමිණ තිබේ. වචනයෙන් තොර, ඉබේම ක්‍රියාකරන, ඉතාමත් කාර්යක්ෂම සිහිය ද මේ ආකාරයෙන්ම ක්‍රියා කරයි. පැහැදිලි සිහිය බාධාවන්ගේ වැඩීම අඩාළ කරයි. අඛණ්ඩ සිහිය ඒවා මුළුමනින් ම විනාශ කර දමයි. එම නිසා සැබෑ සිහිය ගොඩනැඟුණු විට මමත්වය බිඳ වැටී, තෘෂ්ණාව තුරන්වී දැඩි බව ලිහිල් වෙයි. ඔබ වඩාත් විවෘත, නම්‍යශීලී පුද්ගලයෙකු බවට පත්වෙයි. මෛත්‍රීය බෙදා ගැනීමට ඔබ ඉගෙන ගනියි.
සාම්ප්‍රදායික බෞද්ධයෝ මනුෂ්‍ය වර්ගයාගේ පරම ස්වභාවය ගැන කථා කිරීමට කැමැත්තක් නොදක්වති. කිසියම් හෝ විස්තරයක් දැක්වීමට කැමති අය අපගේ බුද්ධ ස්වභාවය නිර්මල හා සහජයෙන්ම යහපත් බව කියති. මෙලෙස නොවීමට හේතුව ඔවුන්ගේ එම පරම ස්වභාවය අත්දැකීම වළක්වා තිබීමයි. වේල්ලක් බැඳ වතුර වළක්වා ඇති ලෙස එයට වැට කඩුලු බැඳ ඇත. වේල්ල බැඳ ඇති ගඩොල් බාධාවන්ය. සිහිය විසින් ගඩොල් දියකර වේල්ලේ සිදුරු තනන විට කරුණාව සහ දයාභරිත සතුට දෝරේ ගලා යයි. භාවනාත්මක සිහිය දියුණුවන විට ඔබගේ සියලුම ජීවන අත්දැකීම් වෙනස්වනු ඇත. ජීවත්වීම පිළිබඳ ඔබගේ අත්දැකීම, සිහි බුද්ධියෙන් සිටීමේ හැඟීම ම, ඉතා පැහැදිලි හා නිසැක වෙයි. එය තවදුරටත් ඔබගේ කල්පනාවන් සඳහා පසුබිමක් පමණක් නොවනු ඇත. එය නිරන්තර දැක්මක් වනු ඇත.
සෑම ගෙවීයන මොහොතක් ම කැපී පෙනෙනු ඇත. ඒවා එකිනෙක සමඟ මිශ්‍ර වී අපැහැදිලිව නොපවතියි. කිසිවක් නොසැලකිය යුතුයැයි පිළිනොගනියි. කිසිවක් ‘සාමාන්‍යය’ කියා ලේබල් නොකරයි. සෑම දෙයක් ම දීප්තිමත් සුවිශේෂී බවකින් යුතු වෙයි. එය ඔබගේ අත්දැකීම් වර්ග කර මානසික කූඩුවලට දැමීමෙන් වැළකී සිටියි. අර්ථ දැක්වීම් හා විස්තර කිරීම්වලින් තොරව සෑම මොහොතකට ම වැදගත්කමක් ලබාදෙයි. සැබැවින්ම, එයට පවසන්නට ඇති දෙයට ඔබ සවන් දෙනු ඇත. ජීවිතයේ පළමුවරට එය අසන්නකු මෙන් ඔබ එයට ඇහුම්කන් දෙනු ඇත. ඔබගේ භාවනාව ශක්තිමත් වන විට එය ස්ථිර වීමක් ද සිදුවෙයි. ඔබ නිරතුරුවම හුස්ම හා මානසික සංසිද්ධීන් පිරිසිදු අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරයි. ඔබට වඩාත් ස්ථාවර වූ බවක් දැනේ. මොහොතින් මොහොත ජීවත් වීමේ සරල අත්දැකීම තුළ ඔබ හොඳින් සවිමත්ව සිටියි.
සිතිවිලිවලින් නිදහස් වූ සිත, පැහැදිලි අවධිමත් බවක් ලබා ඉතාමත් සරල දැනීමක් තුළ නිශ්චලත්වයට පත්වෙයි. මෙම අවධිමත් බව මුළුමනින්ම විස්තර කළ නොහැක. ඒ සඳහා වචන ප්‍රමාණවත් නැත. එය අත්දැකිය යුතුම ය. හුස්ම හුදෙක්ම හුස්මම නොවේ. එය ඔබ කලින් හුරුපුරුදුව සිටි, ගතික සංකල්ප නොවේ. ඔබ තවදුරටත් එය ආශ්වාස හා ප්‍රාශ්වාසවල එකතුවක් ලෙස නොදකී. එය තවදුරටත් ඒකාකාරී නොවැදගත් අත්දැකීමක් නොවේ. හුස්ම සජීවී,වෙනස්වන ක්‍රියාවලියකි. එය සිත් ඇදගන්නා සුලුයි. එය තවදුරටත් කාලය තුළ සිදුවන දෙයක් නොවේ. එය වර්තමාන මොහොතම වෙයි. කාලය, අත්දකින ලද යථාර්ථයක් ලෙස නොව සංකල්පයක් ලෙස දකියි.
බාහිර විස්තරවලින් තොර වූ මෙය ලිහිල් කරන ලද ප්‍රාථමික දැනීමයි. ගලායන සජීවී වර්තමාන පදනමක් තිබෙන එය නිශ්චිත යථාර්ථවාදී හැඟීමක් සලකුණු කර ඇත. මින් පෙර අත්දැක ඇති සියලුම දේට වඩා මෙය සත්‍යය බව ඔබ හොඳාකාරවම දනියි. නිශ්චිතවම මෙම දැකීම අත්කර ගත් පසු ඔබ අලුත් වාසිදායක තත්වයක සිටියි. ඔබගේ අනික් සියලු අත්දැකීම් මැන බැලීමට නිර්ණායකයක් ඔහුට ලැබී ඇත. මෙම දැකීමෙන් පසු ඔබ සම්පූර්ණ සංසිද්ධියේ සහභාගීවන අවස්ථාවන් හා මානසික ආකල්ප හේතුවෙන් ඔබ එම සංසිද්ධියට බාධාකරන අවස්ථාවන් ඔබ පැහැදිලිව දැක ගනියි. පෞද්ගලික මත, යළි පැන නඟින ප්‍රතිරූප හා මානසික විවේචන මඟින් යථාර්ථය පෙරළනු ඔබ දකියි.
ඔබ කුමක් කරනවාද කියා එය කරන මොහොතේදීම ඔබ දැක ගනියි. යථාර්ථය මඟ හැරී යන්නේ කෙසේ ද යන්න කෙරෙහි වඩාත් සංවේදී වන ඔබ, පවතින දෙයට යමක් එකතු නොකරන හෝ එයින් යමක් අඩු නොකරන සරල අවබෝධයක් වෙතට ආකර්ෂණය වෙනු ඇත.
ඔබ ප්‍රත්‍යක්ෂ ඥානය හා සබැඳි පුද්ගලයෙකු බවට පත්වෙනු ඇත. මෙම වාසිදායක තත්වයේදී සියල්ලක්ම ඉතාමත් පැහැදිලි බවකින් දකිනු ඇත. ගණනය කළ නොහැකි මානසික හා ශාරීරික ක්‍රියාවන් විස්තර සහිතව කැපී පෙනෙනු ඇත. සිහියෙන් යුතුව, ඔබ නිරන්තරයෙන් හුස්ම ඉහළ හා පහළ යෑම නිරීක්ෂණය කරයි. නොනවතින ශාරීරික සංවේදනා හා චලන ප්‍රවාහය ඔබ දකියි. ශීඝ්‍රයෙන් එන සිතිවිලි හා හැඟීම් අනුක්‍රමය ඔබ පරික්ෂා කරයි. නොසැලී කාලය ගමන් කිරීමේදී නැෙඟන දෝංකාරයේ රිද්මය ඔබට දැනෙයි. මෙම නොනවතින චලනයන් මැද බලා සිටින්නෙකු නැත. ඇත්තේ බැලීම පමණකි.
(ජීවිතයේ නොනවතින වෙනස්වීම්වලින් අවදි වන අයුරු මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)