ඔබේ කවි නිර්මාණ ‘කවි සිළුමිණ’
සිළුමිණ, ලේක්හවුස්, කොළඹ – 10
ලිපිනයට යොමු කළ හැකිය.
දුරකතනය 011 2429269
මිණිපුර කිවිදේ
අසු හත් වසක් සපිරුණු වසරකදි
ඔබ අප හැර ගියා නොසිතූ මොහොතකදී
කිවි දෙකු ලෙසට රට සුපතළ මිණිපුරදී
පියසේකර නම රැව්දෙයි කොතනකදී
ලොව තතු දැනුම අතරේ ඔබ විශ්වයකී
දරු දෙදෙනාට පින්බර වු පියකුමෙකී
බිරියට සෙනෙහෙබර සැමියෙකි සැනසුමකී
පියසේකර නමට කාගත් මල් මිටකී
අවසන් වරට ඔබ හමු වු ඒ දිනයේ
කියු ඒ වදන් මා මනසේ රැව් දෙන්නේ
දිගටම ලියන්නැයි කිව්වා කවි සිත්සේ
මෙලෙසම පතන්නම් නිවනට මේ සසරේ
එම්. ජී. එන්. ගංගා රත්නසේකර
ආදරය
රෝගිව ඇඳක් උඩ ගතවෙයි දවස
සැලමුතු පෙමක් කෙලෙසක ඉන්නද ඉවස
එයිදැයි සිතමි නිවසට අදවත් සවස
ඔයා නැතිව පාළුයි ආදර නිවස
සමන් ගාල්ලගේ
කුලී කවිකාරි
ටයිටැනික් හිත
කවි ඇසින් ඇහැරවා
ඇය යන්න ගියා හීනෙන්
කුලී කවිකාරී…
තැලි පිළි සයනයේ
ඇතිරිල්ලේ
සළුපිළි මා තුරුලේ
ළතැවිල්ලේ…
ටයිටැනික් සිහින
ඉහින
මල් වැහි වහින රෑ
ඇය යන්න ගියා හීනෙන්
කුලී කවිකාරී….
සමන් සුරවීර
“පනාපුත්‍ර” රංග ධරයාණෙනි
ගතේ සවියද සිතේ දිරියද විදා පෑ යව්වනයකු ලෙස
සකල කලාවෙන් ලක් දෙරණ පමණක් නොවේ මුළු ලොවම ගැන්වු රස
අපේ අභිලාස වූයේ, ඔබගෙ රඟ තව තව බලන්නට මිස
“පනා පුතු” නේ ඇයිද මේ අප හැමගෙ කඳුළින් තෙත් කළේ ඇස්
මවුපියන් සොහොයුරන් දරු හිතවතුන් හඬමින් වැලපුනා
ඔවුන්ගේ පමණක් නොවේ අප හැමගේ හදවත් ඇවිළුනා
“ගුරු ගෙදර” රූ ගත කරන්නට හොරණ ශ්‍රීපාලියේ ඔබ බැබළුනා
අද වගේ මතකයි පුතුනි, දැන් වසර ගණනක් ගතවුණා
“අපේ බුදු හිමි” වැඩිය “සිරිපා බිමේ” සිට ඔබ චාරිකාවේ
‘කළු ගඟේ මහිමය’ කියන්නට හැකිද පුතුනේ මේ වෙලාවේ
ඔබේ කතිකාවන්ද, ගීතද පෑ රැඟුම් හා සිනාවේ
මිහිර විඳ ඔබ හට “අමා සුව” පතන්නෙමි ගිලි වේදනාවේ
දයා එස්. අලුත්ගේ
පුදන්නෙමි බැති කුසුම්
මගේ සිසු කැල හමුවෙ – ශිල්ප දුන් හැම විටම
ඔබ දුන්න සිප් සතර – වීය මා හට පසක්
ඈත දුරු රටක සිට – අපේ ගම් පෙදෙස වෙත
සිප්හලේ අධිපතිව – පැමිණි දින මතක ඇත
නැණ පහන් දල්වමින් – නිති ඔවා මිණි දෙමින්
සිසුන් යහ මඟට ගන්න – අමිල මෙහෙයක් කළා
අපේ ගම් පෙදෙස් තුළ – යසස ඔබෙ පැතිරුණා
හොඳම සිප්හල ලෙසින් – කිතු ගොසින් බැබලුනා
කාලයද වේගයෙන් – පියාසර කළ අතර
දුරස් විය ඔබ අපෙන් – සෝ සයුරෙ ගිල්වමින්
පුදන්නෙමි බැති කුසුම් – මගේ ගුරු පියාණනි
ඔබේ නම අප සැමට – සදා
විමලා ආරියරත්න
ලොව නුදුටු නිරුවත
අලිමංකඩකදි පෑගී සද්දන්ත කකුලකට
දරු නළවන උකුල බිඳුනා සක් කඩකට
කිමද කාරණා අලියෙකුට වෙන්ට උදහස
මං මුළාවී උනුත් සෙව්ව ද අප නොලද නිදහස
අසීරුවට කඳුළු ඉස නිවා දැවෙන හදවත
සඳ අහිමි කරු දරුවන් මං රකිමි හිතවත
කර තබා දිවි ගමනෙ මහා මේරු පරුවත
හරි පුදුම ලොව නුදුටු දිළිඳු බවේ නිරුවත
රුවන්මලී දිපිකා කොඩිකාර
ලොව මහ විපත
ගාසා ඊශ්‍රායලය ලෙබනය කියාය
නම් කර ඇතත් තම තමනගෙ සිතැඟි නියා
ඒ එක පසකි එහි මිනිසත් ගතිය වේය
හඬවා ලොවම ලේ ගංගා ගලා ගියා
මවු පියුවුරේ කිරි බොන පොඩි දෙතොල මත
වෙඩි උණ්ඩයක් හෝ රතු ලේ ගලනු ඇත
මේ වන් විපත් කිසිදා සිදු නොවිය යුත
ඒ පණිවුඩය දීමට කිසි කෙනෙකු නැත
යු එන් ඕ ඇතත් සාමය ගැන දොඩන
ඇයි තාමත් නිහඬ මේ වන් විපත් ගැන
ආගම් පාට වැනි දැය පෙරමුණට ගෙන
ඇයි මේ සටන් මිනිසත්කම බැහැර ලන
තුඟු තුරු මහ මැදුරු ඇති යුද පිටියෙ නෙක
වැටුනත් කඩා යළි එය ගොඩ නැඟිය හැක
එනමුදු රුධිර ගං මැද මියැදෙනෙකු එත
ජීවය ගොඩ ගන්න කිසිවෙකු නොමැත දැක
ජේ. ශීලා වික්‍රමරත්න
උපනෙතට ඇමතුමක්
උපැස් යුවළ මේසය මත
විඩා නිවයි මදෙස බලන්
වසර ගණන් මා ළඟ හිඳ
තනි රැක්කේ නුඹයි මිතුර
අතැඟිලි දැන් විඩා බරයි
ඔබ නැති විට නෙත් නිදියයි
සිත මතුවෙන නෙක සිතුවිලි
හද කුටියේ නිදා වැටෙයි
කුමාරි රණසිංහ
අත්
බිම
පුරාම
බළල්
අත්.!
ගාමිණී
දළුවත්ත
මාතෘ භූමි වන්දනා
ඉර හඳ පායන විට ගුවන
රන් පැහැයෙන් බබළන දෙරණ
දිව රැ ගිලිහෙන විට කිරණ
එය වේ ලක් මාතා සරණ
සම්බුදු හිමි සිරිපා පහස
දළදා සමිඳුගෙ තෙද වරුණ
බබළා නම් මේ ලක් දෙරණ
සුරකීවා පෙර සේ පොරණ
ගොවිතැන බත බුලතින් පිරුණ
ශ්‍රම ඩා බිඳු බිම සරු කෙරුනා
නිල් ගොයමින් රන් කෙත් දිලුනා
අභිමානනීය ගී හඬ නැඟුනා
මාලිනී ජයසේකර
වරද මගෙ නොවේ
දයාබර වෙරළ
සමාවන්න මාහට
සිය දහස් වතාවක්!
මා ඔබ හා ගැටුනේ
මගේ කැමැත්තෙන් නොවේ
වරක් හිරු දෙවියන් හා සටන් වැද
අන්ත පරාජයට පත් නොමනා සුළඟ
“මුහුදු රැල්ලක්” වනමා
බලහත් කාරයෙන්
ඔහුගේම ශක්තියෙන්
ඔබ වෙත තල්ලු කළ නිසා
ඔබටත්
ඔබ වට පිටාවටත්
මෙතරම් හානි විය
දැනුදු හානිවෙයි
මට සමාවන්න
දයාබර වෙරළ…
පී. වී. රණසිංහ