විභීෂණ රජු සමය දක්වා ඈත අතීතයට දිව යන ඵෙතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ ඉතිහාසය ගැන ඇති ජනප්‍රවාද හා වංශ කතාවල සඳහන් වන්නේ මණිඅක්ඛිත නා රජුගේ ඇරියුමින් බුද්ධත්වයෙන් අටවැනි වස වෙසක් පුන් පොහෝ දින බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ බවයි.
එසේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහ රහතන්වහන්සේලා සමඟ වැඩ හිඳ දන් වළඳා පසුව දහම් දෙසූ මැණික් මණ්ඩපය මණිඅක්ඛිත නා රජු විසින් නිදන් කොට කැලණි චෛත්‍යය ගොඩ නැංවීය. ආරම්භයේදී කුඩාවට තැනූ එම චෛත්‍යය සැට රියන් උස් කොට ක්‍රි.පූ 3 වැනි සියවසේදී යඨාලතිස්ස රජතුමා විසින් ඉදි කළ බව පැවසේ.
මෙම ගමනේදී බුදුරජාණන් වහන්සේ කල්‍යාණි නදියේ ජලය ස්නානය කොට චිවරය තැන්පත් කළ ස්ථානයේ සාදා ඇති දාගැබ, සිවුරු දාගැබ ලෙස වර්තමානයේ හැඳින්වේ. එහි බුදු සිවුර තැන්පත් කර ඇතැයි බෞද්ධයෝ විශ්වාස කරති.
එදා බුදුරජාණන් වහන්සේට ධර්මය දේශනා කිරිම සඳහා මණිඅක්ඛිත රජතුමා විසින් මැණික් පුටුවක් සාදා තිබූ බවද ජනප්‍රවාදවල සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කර අවසන් වීමෙන් පසුව එම මැණික් පුටුව තැන්පත් කර කැලණි ස්තූපය තැනූ බවද එම ජනප්‍රවාදවල කියැවේ. ඒ අනුව පාරිභෝගික චෛත්‍යක් ලෙස පළමුව මේ ස්තූපය ගොඩනංවා තිබේ.
ධාන්‍යාකාර හැඩයෙන් යුක්තව නිර්මාණය කර ඇති කැලණි ස්තූපය මණිඅක්ඛිත නා රජුගේ ආරම්භක නිර්මාණයක් වුවද එය විශාල කර සාදනු ලැබුවේ යඨාලතිස්ස රජතුමා විසිනි. එහි මහල් පහකින් යුත් ප්‍රාසාදයක් ද ඉදිකර ස්තූපය ද විශාල කොට ඉදි කරන ලදී. වර්තමානය වන විට ස්තූපය අඩි 90ක් පමණ උසකින් යුක්ත අතර, ස්තූපයේ වට ප්‍රමාණය අඩි 180ක් පමණ වේ.
දුටුගැමුණු රාජ්‍ය සමයේදී ද කැලණි විහාරයේ රහතන් වහන්සේලා 500ක් පමණ වැඩ විසූ බව පැරණි ඉතිහාස කතාවල සඳහන් වේ. එකල විහාරයේ වැඩකටයුතු කරගෙන යෑම සඳහා රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබී ඇත.
බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් නිධන්කොට සාදන ලද කැලණි චෛත්‍ය රාජයාණන් වහන්සේට අමතරව පිළිම ගේ, ඔත් පිළිම ගේ, අලුත් විහාර ගේ සහ රන් පිළිම ගේ ලෙසින් කැලණි විහාර මන්දිරය කොටස් හතරකින් යුක්තය.
ක්‍රි.ව 227දී පමණ අනුරාධපුරයේ රජකම් කළ කනිෂ්ඨ තිස්ස නම් රජතුමා මෙහි උපෝසථාගාරයක් ඉදි කරනු ලද බවද පැවසේ. අනුරාධපුර යුගය අවසන් වීමත් සමඟ ආරම්භ වූ පුලතිසි රාජධානියේ රජකම් කළ විශිෂ්ටතම රජවරුන් දෙදෙනෙකු වන මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල කැලණි විහාරයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් කරන ලදී. එකල කැලණි විහාරයේ රහතන් වහන්සේ 500ක් පමණ වැඩ සිටි බව මහා වංශයේ ද කියවේ. එසේ වුවද පොළොන්නරුව රාජධානිය විනාශ කරමින් කාලිංග මාඝ එල්ල කළ ආක්රමණයත් සමඟම කැලණි විහාරය ද පරිහානියට පත් විය.
විනාශ වී ගිය කැලණි විහාරය යළි ගොඩනඟනු ලැබුවේ තෙවැනි විජයබාහු රාජ්‍ය සමයේදීය. ඉන් අනතුරුව දෙවැනි පරාක්‍රමබාහු, හයවැනි පරාක්‍රමබාහු යන රජවරුන් කැලණි විහාරය දියුණු කිරීම සඳහා කාර්යභාරයන් රැසක් සිදු කළහ.
කැලණි රජ මහා විහාරයේ දියුණුව පිණිස බොහෝ රජවරුන් දායක වී ඇත. දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරා වන උත්තිය රජතුමා, තුන්වැනි විජයබාහු, දෙවැනි පරාක්‍රමබාහු, කනිට්ඨතිස්ස ආදී රජවරුන්ද මෙහි දියුණුවට හවුල්කරුවෝ වූහ. කැලණි පන්සල් බිත්තියේ තිබෙන සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ කෝට්ටේ රජකම් කළ නවවැනි පරාක්‍රමබාහු රජුය.
කෝට්ටේ රාජ්‍ය සමයේදී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 1509 දී පිහිටුවන ලද කල්‍යාණී ශිලා ලිපිය පසු කලෙක පෘතුගීසීන් විසින් කැබැලි අටකට කඩා බිඳ දැමූවද පසුව එය සකස් කර කැලණි විහාර භූමියේ සුරක්ෂිතව තබා ඇත.
කැලණි විහාරයට අනුග්‍රහය දැක්වූ රජවරුන් අතර කුරුණෑගල 4 වැනි පරාක්‍රමබාහු රජු, කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රජු හා කෝට්ටේ 6 වැනි බුවනෙකබාහු රජවරුන්ද දැක්විය හැකිය.
කෝට්ටේ යුගයේදී මහා විහාරික භික්ෂු පරපුරේ ථේරවාද භික්ෂු නිකාය පිළිබඳ වූ කේන්ද්‍රස්ථානය ලෙස ද කැලණිය සලකන ලදී. 1475දී මෙම විහාරස්ථානයේදී, බුරුමයේ හංසවතී නුවර රාමාධිපති නම් රජු කළ ඉල්ලීමකට අනුව භික්ෂූන් වහන්සේ හතළිස් නමකට උපසම්පදාව ලබා දෙන ලදී. පෘතුගීසි හා ලන්දේසි පාලන සමයන්හිදී කැලණි විහාරයට බොහෝ හානි සිදු විය.
විශේෂයෙන්ම 1505 වසරේ දී ලංකාවට පැමිණි පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය තුළ වාසය කරන සමයේදී 1551 වසරේදී හත්වැනි බුවනෙකබාහු රජතුමා පෘතුගීසි සොල්දාදුවකුගේ වෙඩි පහරකින් මිය යෑමත් සමඟම ඔහුගේ මුණුපුරා වුණු ධර්මපාල කුමරු කෝට්ටේ රජු වශයෙන් අභිෂේක ලැබුවේ පෘතුගීසීන්ගේ අල්ලේ නැටවුණු රූකඩයක් බවට පත් කරමිනි. ධර්මපාල කුමරු භෙෞතිස්ම කිරීමෙන් පසුව දොන් ජුවන් ධර්මපාල යන නමින් හඳුන්වනු ලද අතර, පෘතුගීසින් කෝට්ටේ රාජධානිය තුළ තිබුණු පුරා වස්තු රැසක් විනාශ කළේ එම නාමික රජුගේ සමයේදීය. 1575 වසරේදී කපිතාන් දියෝගෝ ද මේලෝ ඇතුළු පිරිසක් කැලණි විහාරය කොල්ල කෑමෙන් පසු ඔවුන් කැලණි විහාරය තුළ ආගමික වතාවත් කිරීම පවා තහනම් කරන ලදී. පෘතුගීසීන්ගේ අණට අනුව කිසිදු අයකු කැලණි විහාරය වන්දනාමාන කිරීමට පැමිණියේ නැත. ඒ අනුව කැලණිය රජමහා විහාරය වල් බිහි වන්නට විය.
පෘතුගීසී පාලන සමයේදී කැලණි විහාරයේ සංඝයා වහන්සේගේ දේශපාලන අවබෝධය සහ සිංහල රජවරුන්ගේ ඇති පක්ෂපාතිත්වය ගැන ඔවුන්ගේ තිබූ අප්‍රසාදය හා අකමැත්ත නිසා මෙසේ විහාරය ජනතාවගෙන් ඈත් කිරීමට කටයුතු කරන ලදී. කැලණි ගං අසබඩ තිබූ රාජකීය සත් මහල් ප්‍රාසාදයට වී සන්සුන් සුවයෙන් සිටි පස්වැනි බුවනෙකබාහු රජතුමා පෘතුගීසි හේවායෙක් විසින් මරා දමනු ලැබුවේත් උද්ගත වෙමින් තිබූ බෞද්ධ ප්රබෝධයට ඇති අප්‍රසාදය මූලිකවමය.
ඉන්පසුව වර්ෂ 1780දී මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්, වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අනුශාසනා අනුව කැලණිය රජමහා විහාරය යළි ගොඩනැංවීමෙන් පසු කැලණි විහාරය බෞද්ධ වන්දනාවට පත් විය.
කැලණි විහාරය බස්නාහිර පළාතේ බෞද්ධ ජනතාවට ඇති විශේෂිතම ස්ථානය වන අතර, සොළොස්මස්ථාන අතුරින් බස්නාහිර පළාතේ ඇති එකම බෞද්ධ සිද්ධස්ථානයයි.
එහි සිතුවම් නිර්මාණය ගැන කතා කරන විට යුග දෙකක් ගැන කතා කළ යුතුය. වර්තමාන සිතුවම් නිර්මාණය කළේ සෝලියස් මැන්දිස් කලාකරුවා විසිනි. ඊට අමතරව මහනුවර යුගයේදී වෙස්සන්තර, මහාසීලව, ධර්මපාල ආදී ජාතක කතා රැසක් නිර්මාණය කර ඇති බව තහවුරු වී තිබේ.
අද අප දකින කැලණියේ අලුත් විහාරය ඉදි කිරීම ආරම්භ වන්නේ 1927 වර්ෂයේදීය. සෝලියස් මැන්දිස් නම් මහා කලා ශිල්පියා අඳින ලද විශිෂ්ට සිතුවම් පෙළ නිර්මාණය වන්නේ 1930 වසරේදීය.
විහාර ගෙය තුළ චිත්‍ර ඇඳීමේ වගකීම භාරගත් සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදාව මෙරටට වැඩම කරවීම, සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවීම වැනි සිතුවම් රැසක් නිර්මාණය කරන ලදී. අදත් එම චිත්‍ර හොඳින් ආරක්ෂා වී ඇත.
බුදු රජාණනන් වහන්සේ කැලණි පින් බිමට වැඩම කරවීම, පසුකාලීනව ගෝඨාභය රජු කැලණි නුවර රාජ්‍ය කිරීම, කැලණිතිස්ස තෙරණුවන් පිඬු පිණිස මාලිගයට වැඩම කරවීම, කැලණිපුර සිහසුන, කැලණිතිස්ස කුමරුට පවරා රුහුණු රජය බාර ගැනීම පිණිස ගෝඨාභය රජු මාගම්පුර බලා නික්ම යෑම ආදී අලංකාර චිත්රවලින් විහාර මන්දිරය සරසා ඇත. කැලණිය රජමහා විහාරස්ථානය හා සම්බන්ධිත තවත් විශේෂිත කරුණු දෙකක් ගැන පැවසිය යුතුය. එයින් පළමුවැන්න කැලණිය දුරුතු මහ පෙරහරයි.
ඓතිහාසික කැලණි දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා අනුව 1925 වසරේදීය. කැලණි රජමහා විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු පෙරහර ඉතාමත් විචිත්‍රවත් ආගමික හා සංස්කෘතික ගුණාංගවලින් පිරී ඇති අතර, එය බෞද්ධ ජනයාගේ සිත් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන්නකි. එදින දුරුතු පුන් පොහෝ දිනයක් විය. එම පෙරහර හඳුන්වනු ලැබුවේ ධාතු පෙරහර නමිනි.
මෙය එවකට මහ පෙරහරකි. පසුව විභීෂණ දේවාලේ පෙරහර සමඟ එකතු විය. අනතුරුව එකතු වූයේ විෂ්ණු දෙවොල පෙරහර සහ කතරගම පෙරහර සමඟය. අද වන විට උඩ මළුවේ පෙරහර, දෙවැනි මළුවේ වීදි පෙරහර, දුරුතු මහා පෙරහර ආදී ක්‍රමවේදයන් ඔස්සේ පෙරහර පවත්වන අතර, වර්තමානයේ පෙරහර ප්‍රධාන අංග පහකින් යුක්ත වේ. ඒ ධාතු පෙරහර, විෂ්ණු දේවාල පෙරහර, කතරගම දෙවිඳු පෙරහර, විභීෂණ දෙවිඳු පෙරහර සහ මණිඅක්ඛිත දේව පෙරහර නමින්ය.
එමෙන්ම කැලණි විහාරස්ථ ‘ශ්‍රී කල්‍යාණී ධර්මවිද්‍යාලයීය’ දහම් පාසල ද මෙහිලා විශේෂිත අධ්‍යාපන ආයතනයකි. 1972 වර්ෂයේ අාරම්භ වූ එය මේ වන විට මෙරට ඇති ප්‍රධානතම දහම් පාසල ලෙසින් හදුන්වා දිය හැකිය. ආචාර්යවරුන් පවා දහම් පාසලට යොමු කරන්නේ පුහුණුවකින් අනතුරුවය.
වර්තමාන කැලණි රජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ උපදෙස් පරිදි බෞද්ධ වන්දනාකරුවන්ට මෙන්ම දෙස් විදෙස් සියලු නරඹන්නන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ප්‍රධාන දොරටු දෙකකින් විහාරස්ථානයට ඇතුළු වීමට පහසුකම් සලසා ඇත. එසේම 2024 වසරේ දුරුතු මහ පෙරහර වෙනුවෙන්ද මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. කොවිඩ් 19 නිසා උද්ගත වූ තත්ත්වය නිසා පෙරහරට බාධා සිදුවුණ ද මෙවර පෙරහර උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු කෙරේ.
ඓතිහාසික කැලණි රජමහා විහාරය ගැන කතා කිරීමේදී ඉතිහාසගත කතාවක් වන රහතන් වහන්සේ තෙල් කටාරමක ගිල්වා ඝාතනය කිරීමද මෙහිලා සටහන් කළ යුතුය.
කැලණිතිස්ස රජතුමා කැලණි රාජධානියේ පාලකයා වශයෙන් කටයුතු කළ අවධියේදී සිදුවූ මේ සිදුවීමට මුල් වන්නේ රජතුමාගේ බිසව සහ රජුගේ සොයුරු උත්තිය කුමරු අතර ඇතිවූ ප්‍රේම සම්බන්ධයකි.
එම සම්බන්ධය පිළිබඳ කැලණිතිස්ස රජතුමා දැනගත් හෙයින් උත්තිය කුමරු කැලණියෙන් පලා ගිය අතර, පසුව ඔහු රජ මාලිගයේ දානයක් වෙනුවෙන් භික්ෂූන් වහන්සේ කැඳවන අවස්ථාවක් බලා සිට සිය ඔත්තුකරුවෙක් ශ්‍රමණ වෙස්ගන්වා ලිපියක්ද සමඟ මාලිගාවට යවන ලදී.
එහෙත් ශ්‍රමණ වෙස්ගත් පුද්ගලයා එම ලිපිය බිසවට ලබා දීමට පෙර ලියුම බිම වැටුණු බවත් රජු එය දැක ඒ අසල සිටි මහ රහතන් වහන්සේ එම ලිපිය ගෙනෙන්නට ඇතැයි සිතා එම රහතන් වහන්සේ තෙල් කටාරමක ගිල්වා මරණයට පත් කළ අතර, එයින් පසුව මුහුද ගොඩගැලීමෙන් සිදු වන්නට ගිය විනාශය නැවැත්වීම සඳහා රජුගේ දියණිය දේවි කුමරිය මුහුදට බිලි කරන ලදී.
පසුව විහාරමහා දේවිය නමින් ප්‍රකට වූ ඇය දුටුගැමුණු මහ රජතුමාගේ මෑණියන් ද වේ.මහනුවර යුගයේ ලෝකුරු නයිදේ නමැති ජන කවියකු විසින් මෙම ප්‍රසිද්ධ කවිය ලියා ඇත. එහෙත් බොහෝ දෙනා දන්නේ එහි අවසන් පද පේළිය පමණි.
පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවැතියේ
එසම්පත් ඇති අයත් යනවා මරුව සමඟින් උරුදියේ
වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ
උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ