Home » මේක වෙනමම කතාවක්

මේක වෙනමම කතාවක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ පරිවර්තක රෝහණ වෙත්තසිංහ

by gayan
November 4, 2023 12:30 am 0 comment

දශක හතරකට අධික කාලයක් තිස්සේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුුතු කළ රෝහණ වෙත්තසිංහ ග්‍රන්ථ පරිවර්තනයට එළැඹෙන්නේ 2018දී අමෙරිකානු ලේඛක ජිම් ෂෙපර්ඩ්ගේ The Book Of Aron කෘතිය ඒරන්ගේ ලෝකය නමින් පරිවර්තනය කරමිනි. එතැන් සිට පරිවර්තන කාර්යයේ අඛණ්ඩව නිරත වූ හේ මෙවර පරිවර්තනය කර ඇත්තේ ජෝන් බොයින්ගේ All The Broken Places කෘතිය බිඳුණු මංපෙත් ලෙසිනි.

ජෝන් බොයින්ගේ අතිශය ජනාදරයට පත් යොවුන් නවකතාවක් වෙන The Boy In The Striped Pyjamas කෘතියේ දිගුවක් ලෙසින් රචිත මේ කෘතිය ද පාඨක ආකර්ෂණය දිනා ගත්තකි. මෙහි කතාව ගොඩනැඟෙන්නේ The Boy In The Striped Pyjamas හි ප්‍රධාන චරිතය වෙන බෘෘනෝගේ වැඩිමහල් සොයුරිය ග්‍රේටල්ගේ කතාව ලෙසිනි. සිය පියාගේ අපකීර්තිමත් ජීවිතය නිසා සිය ජීවිතයේ නන් විධ ගැටලුවලට මුහුණ දෙන ග්‍රේටල්ගේ අන්දරය පාඨක සිත් කම්පනයට ලක් කරන සුලුය.

ඔබේ නවතම පරිවර්තන කාර්යය ජෝන් බොයින්ගේ All The Broken Places බිඳුණු මංපෙත් ලෙසින් කළ පරිවර්තනය. මේ කෘතිය ලැබූ අතිශය ජනප්‍රියත්වය ද මේ තෝරා ගැනීමට හේතු වුණේ?

ඇත්තටම මේකට වඩා ජනප්‍රිය වුණේ මේ ලේඛකයාගේම The Boy In The Striped Pyjamas කියන කෘතිය. මේකත් ටිකක් ජනප්‍රියයි. එය වෙනත් රටවල වගේම අපේ රටේත් ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිත ග්‍රන්ථ අතර තිබුණා. මට මේ කෘතිය පරිවර්තනය කරන්න බලපෑවේත් The Boy In The Striped Pyjamas කියන කෘතියෙන් ලැබූ ආවේශය ම තමයි. අතීතයයි වර්තමානයයි ගැට ගසමින් කරන අපූර්ව වියමනක් නිසයි ගොඩක් දුරට මම මේක පරිවර්තනය කළේ.

The Boy In The Striped Pyjamas කෘතියේම දිගුවක් ලෙසින් මේ කෘතිය රචනා වෙනවා. ඒ බෘෘනෝගේ වැඩිමල් සොයුරිය ග්‍රේටල් කේන්ද්‍ර කරගනිමින් නේද?

ග්‍රේටල්ගෙ අවුරුදු 9 බාල සහෝදරයාගේ මරණය ඇයට බොහෝ කම්පනයක් ඇති කළ සිද්ධියක්. ඇත්තටම මුල් පොතේදී ඒක එච්චරම දැනෙන්නෙ නෑ. මුල් කෘතියෙ හැටියට ඇයට මල්ලී එක්ක එච්චර හොඳ සමාගමයක් තිබුණෙ නෑ. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් මෙය ලියැවෙන්නෙ. මේක වෙනමම කතාවක් ලෙස සලකන්න පුළුවන්.

ග්‍රේටල් තමන්ගෙ සොහොයුරා ගැන සඳහන් නොකරනම තරම්. කෘතිය අවසානයේ තමයි අපට ඔහු ගැන සඳහනක් ලැබෙන්නේ. එවැන්නක් ලේඛකයා කරන්නට ඇත්තේ ප්‍රයෝගයක් විදියටද?

ජෝන් බොයින් ගොඩක් නවකතා ලියපු කෙනෙක්. ඔහු නිර්මාණාත්මක ලේඛනය ගැන විශ්වවිද්‍යාල දේශකයකු වශයෙනුත් කටයුතු කරන අයර්ලන්ත ජාතිකයෙක්. ග්‍රේටල්ගෙ මානසික තත්ත්වය ඔහු ඉතා හොඳින් ග්‍රහණය කර ගන්න අවශ්‍ය වටපිටාවයි ඒ හදන්නෙ. ඒ නිසයි මල්ලිගෙ නම ගැන නොකියන්නෙ. ඒ එයාගෙ ව්‍යාකූල මානසිකත්වය, කම්පනය ආදිය මතු කරන්නයි නිතරම ලේඛකයා උත්සාහ කරලා තියෙන්නෙ. මමත් මේවට වැරදිකාරයෙක් වගේ හැඟීමකින් ඇය පෙළෙනවා. ඒකෙන් අත්මිදෙන්නයි උත්සාහ කරන්නෙ. අනෙක් අතට කතාව සංකීර්ණත්වයකට පත් කිරීමයි ලේඛකයාගේ අරමුණ වෙන්නේ.

තාත්තා අවුෂ්විට්ස් කඳවුරේ පාලකයකු විදියටනෙ කටයුතු කරන්නෙ. නමුත් පොතේ කොතැනකවත් ඒකත් සඳහන් වෙන්නෙ නෑ. අපි දෙවැනියට පදිංචි වුණ තැන කියලා තමයි ලියන්නෙ. ආඛ්‍යානය ගොඩනඟන්නේම අපි දෙවැනියට පදිංචි වුණු තැන කියලා.

මානසික ව්‍යාකූල භාවය, විවිධ සංකූලතා ආදිය ගැන මෙහි ගැඹුරෙන් සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම පුද්ගල ක්‍රෑරත්වය ගැනත්. අභ්‍යන්තර මානසික විවරණ කෙරේ කතුවරයා දක්වන සමර්ථභාවය ගැන කතා කළොත්?

ඇත්තටම මුල් පරිච්ඡේදය කියවද්දිම ඒක දැනෙනවා. 91 හැවිරිදි ඇයගේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන මෙහි මැනවින් කියැවෙනවා. මේ චරිතය කතුවරයා ගොඩනඟන්නෙම නිරන්තර අතීතයෙහිම ජීවත් වෙන, අනියත බියකින් පෙළෙන කෙනෙක් විදියට. ඇගේ මානසික තත්ත්වය විග්‍රහ කරන්න ලේඛකයා ඇත්තටම සමාර්ථ්‍යභාවයක් දක්වනවා. ඇය නිවාස සංකීර්ණයට එන විදිය ගැන කියද්දිම ඇගේ මානසික තත්ත්වය ගැන පාඨකයාට යම් අවබෝධයක් දෙන්න ලේඛකයා සමත් වෙනවා.

ඇගේ මානසික තත්ත්වය ඇති වීමට හේතු වෙන කරුණු ගැනත් ලේඛකයා ඉඟි කරනවා. විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම ගැන?

ඔව්. ඇත්ත. දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම හා ක්‍රෑරත්වය දැකීම නිසා ඊළඟ පරම්පරාවට මේවා කාන්දු වෙලා ඔවුන් අවුලෙන් අවුලට පත් වෙන ආකාරය වගේ හැඟීමක් මේ ඔස්සේ කතුවරයා ගම්‍ය කරනවා. තමන් කරන කර්මවලට තමන් වගකියන්න ඕන කියන අදහසකුත් මේ ඔස්සේ කියැවෙනවා. යුද්ධයේ විත්තිකාරයන්ට වගේම වග උත්තරකාරයන්ටත් මේකෙන් මිදෙන්න බෑ කියන කාරණයත් ඒ ඔස්සේ මතු කරන්න ලේඛකයා උත්සාහ කරනවා. ග්‍රේටල්ගෙ පුතාගේ චරිතයෙන් වුණත් කියන්න උත්සාහ කරන්නෙත් මේකම තමයි.

මේ කෘතිය පරිවර්තනය කිරීමේදී මුහුණ පෑමට සිදුවූ සීමා කවරේද?

මේ කතාවේ ආඛ්‍යාන රීතිය හා ආකෘතිය ටිකක් සංකීර්ණයි. මොවුන් ජර්මනියෙන් ඇවිත් ප්‍රංශයේනෙ ගත කරන්නෙ. ප්‍රංශයේදී මුහුණ දෙන අත්දැකීම් ගැනත් කතා කරනවා. ඔවුන්ගේ ප්‍රේම සබඳතා ආදිය ගැන කතා වෙනවා. ඔවුන් අවසානයේ රැවටීමකට අහු වෙලා වද හිංසා විඳින්න වෙනවා. එතකොට කතාව ගලාගෙන යෑම වෙනස් වෙලා වෙනමම තැනකට යනවා. එකපාර කතාව වෙන අතකට යද්දි ඒක ග්‍රහණය කරගන්න අමාරුයි. ඒ වගේම අතුරු කතාවක් මැදට එනවා. ඒකත් වෙනම තැනක්. ඊට පස්සෙ ආයෙත් එක පාරම වගේ අතුරු කතාවෙන් ප්‍රධාන කතාවට එනවා. ඒ වගේ ආඛ්‍යාන රීතියේ ස්වභාවය වෙනස් වෙනවා. ඒවා ටිකක් පරිවර්තනයේදී පරිස්සමෙන් කළ යුතුව තිබුණා. ඒ හැරෙන්න වෙන අසීරුකම් මතු වුණේ නෑ.

සාමාන්‍යයෙන් පරිවර්තනයකදී ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන කරුණු කවරේද?

අමෙරිකානු ලේඛක ජිම් ෂෙපර්ඩ්ගේ The Book Of Aron කෘතිය ඒරන්ගේ ලෝකය නමින් පරිවර්තනය කරමින් තමයි මම 2018දී පරිවර්තන කාර්යය පටන් ගත්තෙ. ගිනි ගත් සඳ, ජීවිතය යළි ලදිමි, අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ, සයුරු තෙර සහන් බිම, මතු ජීවිත ආදියෙන් පස්සෙ තමයි මේ කෘතිය කළේ. මම බොහෝවිට තෝරා ගත්තෙ ගොඩක් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ කෘතිම නොවෙයි. කතාව හොඳ නම් මම ඒ පොත පරිවර්තනය කළා. ටිකක් සංවේදී කතා පරිවර්තනය කරන්න මම ප්‍රියයි. නාදියා මුරාද්ගෙ The Last Girl පොත මම පරිවර්තනය කරන්න හේතු වුණේ ඒකට නොබෙල් සාම සම ත්‍යාගය ලැබීමම නොවෙයි. සිද්ධියේ තියෙන මිලේචඡත්වය සහ මිනිස් ධර්මතාවක් ගැන කියන කතාවක් නිසායි ඒ තෝරා ගැනීම කළේ. මේ සියලු තෝරා ගැනීම් කළේ මගේ සිතත් සසල කළ සිද්ධි ඒවායෙ තිබුණු නිසා. ඉසබෙල් අයියන්දෙගෙ A Long Petal Of The Sea පොත විතරයි මම ප්‍රසිද්ධ ලේඛිකාවකගෙ පොතක් විදියට පරිවර්තනය කරලා තියෙන්නෙ.

lසුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division