නූතන දේශපාලන දැක්මක උල්පත වූ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවෝ
කෘතිය – යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවෝ
කර්තෘ -නිහාල් රණසිංහ
ප්රකාශනය – කර්තෘ ප්රකාශනයක්
පිටු ගණන – 199 / මිල – රු 950
දුරකතන – 070 6468646, 070 2880132
නිහාල් රණසිංහයන්ගේ නවතම කාතිය වන්නේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවෝය. මනා පෞරුෂයකින් හෙබි ආදර්ශවත් සංඝ පිතෘවරයෙකු වූ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් සම්බන්ධයෙන් ලියැවුණු මෙම ග්‍රන්ථය චරිත කතාවකට වඩා ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳව ලියැවුණු විචාරාත්මක විශ්ලේෂණයක් වශයෙන් සැලකිය හැකිවෙයි. විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් උන්වහන්සේ විසින් සිදු කළ සමාජ සත්කාරය, ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර මෙම කෘතිය හරහා මනාව විශ්ලේෂණය කොට ඇත. මෙම ග්‍රන්ථය හරහා කතුවරයා විද්‍යාලංකාර ඉතිහාසය මෙන්ම මෙම හිමියන් විසින් රචිත පොත පත ද මැනවින් හදාරා ඇති නිසා ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යනයේ යෙදෙන්නන්ට මහැඟි කෘතියකි.
සේනාරත්න වීරසිංහගෙන් සිංහල බසින් සුන්දර චීන ප්‍රේම කතාවක්
කෘතිය – බැල්සක් සහ චීන යොවුන් සන්නාලිය
පරිවර්තනය – සේනාරත්න වීරසිංහ
ප්රකාශනය – ප්‍රභා ප්‍රකාශකයෝ
පිටු ගණන – 192 මිල- රු 850
දුරකතනය – 071 829 4739
ළමා සාහිත්‍ය කෘති, නවකතා, කෙටිකතා, පරිවර්තන, ශාස්ත්‍රීය හා වෙනත් විචාර කෘති ඇතුළු කෘති රැසක කතුවරයා වන සේනාරත්න වීරසිංහගේ නවතම පරිවර්තන කෘතිය වන්නේ මෙම නවකතාවයි. ‘බැල්සක් සහ චීන යොවුන් සන්නාලිය’ ලෙස සිංහල බසට පෙරළා ඇත්තේ චීන ජාතික දායි සිජි නම් ප්‍රකට නවකතාකරුවා සහ සිනමාකරුවා විසින් ලියන ලද ‘Balzac And The Little Chinese Seamstress’ නවකතාවයි.
කතුවරයාට අනුව මේ නවකතාවට පාදක වන්නේ මාඕ සේතුං තුමන්ගේ සංස්කෘතික විප්ලවය පැවැති සමයයි. එරට වෛද්‍යවරුන්ගේ පුතුන් දෙදෙනකු චීනයේ දුෂ්කර කඳු පෙදෙසක් වෙත පුනරධ්යාපනය සඳහා යැවෙන අතර, එහිදී තරුණ පුතුන් දෙදෙනාට හමුවන මහලු සන්නාලියකගේ සුන්දර දියණිය සමඟ ගොඩනැඟෙන සොඳුරු සබඳතාව ගැන මේ නවකතාව තුළින් විවරණය කෙරේ.
ශාන්ත බෙනඩික් විද්‍යාලයේ වතගොත හෙළිකරන කෘතියක්
කෘතිය – Golden St Benedict’s & Shepherdians of Ceylon
කර්තෘ – එල්මෝ ලෙනාර්ඩ්
ප්රකාශනය – නෙප්චූන් පබ්ලිකේෂන්ස්
පිටු ගණන – 332 / මිල – රු 2,800
දුරකතනය – 071 471 0890
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ලෙනාර්ඩ් විසින් රචිත මේ කෘතිය කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදි සිසුන්ට මෙන්ම වත්මන් ශිෂ්‍යයන්ට ද ඉතා ප්‍රයෝජනවත් වන කෘතියක් ලෙස සැලකිය හැකිය. විද්‍යාලයේ ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳ තොරතුරු රැසක් විවරණය කෙරෙන මෙය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පිළිබඳ ඉතිහාස කෘතියක් බඳුය.
ඉදිරියෙන් වට රවුමකි ශෘංගාරාත්මක කෙටිකතා
කෘතිය – ඉදිරියෙන් වට රවුමකි
කර්තෘ – කේ. ජි. පිලිප් ශාන්ත
ප්රකාශනය – කර්තෘ ප්රකාශනයක්
පිටු ගණන – 96 / මිල – රු 1000/=
දුරකතනය – 071 4419157
කේ. ජි පිලිප් ශාන්ත ප්‍රධාන පුවත්පත් රාශියකට දේශපාලන විචාරත්මක ලිපි සැපයු ලේඛකයෙකි. ඊට අමතරව ඔහු විසින් ග්රන්ථ රාශියක්ද ලියා පළ කොට ඇත. පිලිප් ශාන්ත පවසන්නේ ඔහුගේ පේරාදෙණිය විශ්වවිද්‍යාල කාලයේ සිය සගයන්ගේ ඉල්ලීමක් වූයේ දේශපාලන ලිපි පමණක් නොව කෙටිකතා කවි ආදිය ලියන්නට ඇරයුම් කළ බවය. ඔහු විසින් ලියූ කවි කතා පිරික්සුවේද ඔහුගේම විශ්වවිද්‍යාල සගයන් බව කර්තෘ පවසයි. කර්තෘ පවසන්නේ තමන් ලියූ මේ කෙටි කතාවල ඇත්තෙන්ම ශෘංගාරාත්මක රසයක් පවතී ද, ඒවා ඇත්තම කෙටි කතා ද යන්න පිරික්සීම කළ යුත්තේ පාඨකයා බවය.