Home » නීතිය නවන්න යන පොලිසියට වැඩ වරදින හැටි ගැන තිත්ත ඇත්ත

නීතිය නවන්න යන පොලිසියට වැඩ වරදින හැටි ගැන තිත්ත ඇත්ත

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

පොලිස් නිල­ධා­රීන් භාවා­ත්මක කර­වී­මෙන් එහා ගිය සංවා­ද­යක් පොලි­සිය හා ජන­තාව අතර ඇති­වීම වැද­ගත්
–  කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා අධ්‍ය­ය­නාං­ශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය සුධීර ජය­වීර

කිසි­යම් පොලිස් නිල­ධා­රි­යකු විෂ­මා­චාර කට­යු­ත්තක් සිදු කර ඇත්නම් පොලිස් අධි­කා­රී­ව­රයා වෙත මහ­ජ­න­යාට ඒ පිළි­බ­ඳව පැමි­ණිලි කළ හැකි අතර, ඒ පිළි­බ­ඳව විම­ර්ශ­න­යක් සිදු කර අදාළ විනය ක්‍රියා­මාර්ග ගැනී­මට ඒ නිල­ධා­රීන් නීති­ යෙන් බැඳී සිටි­නවා
–  ඊ. ඩබ්ලිව්. එම්. ලලිත් ඒකනායක (විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු) සභාපති ජාතික පොලිස් කොමිෂන් සභාව

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට කිසියම් කතිකාවක් ගොඩ නැඟෙමින් තිබේ. මීට ප්‍රතිචාර වශයෙන් පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 118 කෙටි දුරකතන අංකයක් ද ඉකුත් දා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශට පත් කළ අතර, මෙය මහජන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබන කටයුත්තක් බව සඳහන් කර තිබුණි. මීට ප්‍රථම ජාතික පොලිස් කොමිසම විසින් ද මේ පිළිබඳ කිසියම් අදහස් දැක්වීමක් සිදු කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

පොලිස් දෙපාර්තමේන්තුව යනු ඕනෑම රටක නීතියේ පාලනය, සියලු පුරවැසියන්ගේ ආක්ෂාව හා මහජන සාමය ආරක්ෂා කරන ප්‍රධානම කුලුනයි. එකී අර්ථයෙන් ශ්‍රී ලංකා පොලිසිය කලාපයේ රටවල් අතර සාධනීය ස්ථානයක් හිමිකර ගෙන තිබීම සතුටට කරුණක් වුව ද පොලිස් දෙපාර්තමේන්තුවට ඇති දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ඔවුන්ගේ මධ්‍යස්ථභාවය හා ගෞරවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම නිරන්තරයෙන් අභියෝගයට ලක්ව තිබේ. එවැනි තත්ත්වයක් යටතේ පොලිස් විෂමාචාර ක්‍රියා සිදුවීම අහඹු තත්ත්වයක් නොවන බව මේ පිළිබඳව අදහස් දක්වන විද්වතුන්ගේ අදහසය.

මේ සම්බන්ධයෙන් අප ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ. ඩබ්ලිව්. එම්. ලලිත් ඒකනායකගෙන් විමසීමක් සිදු කළ අතර හෙතෙම පවසා සිටියේ “ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2017 නොවැම්බර් මස 28 වන අඟහරුවාදා දිනැති අංක 2047/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2017 කාර්ය පටිපාටි රීති (මහජන පැමිණිලි) ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කර 2023 අගෝස්තු මස 16 වැනි දින, ගැසට් පත්‍රයේ සඳහන් කර ඇති පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා වන නව කාර්ය පාටිපාටික රීති හඳුන්වා දුන් බවයි. ඒ අනුව ඉදිරියේදී පොලිස් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත හෝ ඕනෑම පළාත් කාර්යාලයකට, අදාළ වන නීති/ රෙගුලාසිවලට අනුකූලව ඉදිරිපත් කළ හැකි බවයි. මෙලෙස පැමිණිලිකරු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී, පැමිණිලිකරුගේ නම හා ලිපිනය, පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය, පැමිණිලිකරුගේ දුරකතන අංකය (ඇත්නම්), පැමිණිල්ල කර ඇත්තේ කුමන පොලිස් ස්ථානයකට එරෙහිව ද, පැමිණිල්ලට ලක් වී ඇති පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් වූ අනන්‍යතාව හා විස්තර, සිද්ධිය හෝ පැමිණිල්ල සිදු වූ ස්ථානයට අදාළ දිස්ත්‍රික්කය ද සඳහන් කළ යුතුය.

ඒ අනුව රටේ සෑම පළාතකම පිහිටුවනු ලබන පළාත් කාර්යාලයක් සඳහාම කොමිෂන් සභාව විසින් පළාත් අධ්‍යක්ෂවරයකු පත් කෙරෙන අතර, එසේ පත් කරන ලද පළාත් අධ්‍යක්ෂවරයා, ඔහු හෝ ඇය වෙත පවරා ඇති, අදාළ පළාත් කාර්යාලයට ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන භාරව කටයුතු කළ යුතුය. මේ බව පළාත් අධ්‍යක්ෂවරුන් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා වෙත සෘජුවම වාර්තා කළ යුතු අතර, පොලිස් නිලධාරියකුට හෝ පොදුවේ පොලිස් සේවයට එරෙහිව ලැඛෙන ඕනෑම මහජන පැමිණිල්ලක් ලද බව අදාළ බලයලත් නිලධාරියා විසින් අප්‍රමාදව සහ එය ලැබුණු දින සිට වැඩ කරන දින 10ක් ඇතුළත පැමිණිලිකරුට දැන්විය යුතුය.

මහජන පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයක දී මතුවන සාපරාධී වරදක් සිදු කර ඇති බවට යම් සාක්ෂි පවතින අවස්ථාවක රටේ පවතින නීති හා රෙගුලාසි යටතේ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා එවැනි කරුණු- කාරණා සහ තත්ත්වයන් පොලිස්පතිවරයාට යොමු කළ යුතු බවත්, මහජන පැමිණිලි විමර්ශනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් යම් කාරණයකට අදාළව මෙම රීති නිහඬ වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය අවසානාත්මක සහ තීරණාත්මක වන බව හෙතෙම අවධාරණය කළේය.

මෙවැනි ක්‍රියා වැළැක්වීමට නම් සෑම පොලිස් නිලධාරියකුම නීතියට අනුකූලව කටයුතු කළ යුතු බවත්, ඔවුන්ට පුහුණුව ලබාදෙන කාල සීමාවේදී ඒ පිළිබඳ දැනුම්වත් කිරීම කළ යුතු බවත් මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කල්‍යාණන්ද තිරාණගම පෙන්වා දෙයි. කිසියම් දේශපාලඥයකු විසින් හෝ ඉහළ පොලිස් නිලධාරියකු විසින් වැරදි නියෝග ලබා දුන් විට එය නීත්‍යානුකූලව වැරදි නම් එය තමන්ට කළ නොහැකි නීති විරෝධී කටයුත්තක් බව ඔවුන්ට පැවසිය හැකිය. එය දුරකතනය මාර්ගයෙන් ලබාදුන් නියෝගයක් වුවත් ඒ පිළිබඳව අදාළ දිනය සහ වේලාව සඳහන් කරමින් සටහනක් තැබිය හැකි බව හෙතෙම පෙන්වාදෙයි. එවිට විනයානු කූල ක්‍රියාමාර්ග ගැනීමේදී සාක්ෂියක් එම නිලධාරියා සතුව පවතියි. එසේ නොමැතිව තමන් නීති කඩ කරමින් අනුන්ට නීති පැනවීමට යාම අසාර්ථක කටයුත්තක් බව හෙතෙම අවධාරණය කරයි.

කිසියම් පොලිස් නිලධාරියකු විෂමාචාර කටයුත්තක් සිදු කර ඇත්නම් පොලිස් අධිකාරීවරයා වෙත මහජනයාට ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි අතර, ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කර අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට ඒ නිලධාරීන් නීතියෙන් බැඳී සිටිති. එය නිසි පරිදි සිදු නොවුණහොත් අදාළ තැනැත්තාට පොලිස් කොමිසමට ඒ පිළිබඳව පැමි‍ණිලි කළ හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම පවසා සිටියේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ආසියානු කලාපීය රටවල් සමඟ සංසන්දනාත්මකව සලකා බලන කල සාපේක්ෂව අපට පෙනී යන්නේ අනෙකුත් රටවලට වඩා කිසියම් ඇගයීමකට ලක්කළ හැකි තත්ත්වයක පවතින බවයි. “ප්‍රධාන වශයෙන්ම පොලිසිය කළ යුත්තේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් මානව හිමිකම් පිළිබඳව රට තුළ ඇති වන විවාදය යම් ආකාරයකට නිවැරදි කිරීමට උත්සාහ කිරීම අවශ්‍යයයි. විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ පවා සෑමදාම මතු වන කාරණයක් වන්නේ පොලීසිය විසින් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට අන්තර්ජාතිකව ගෙන එන විවිධ චෝදනා. එය එසේ වුවත් ලංකාව තුළ 2020 සිට 2023 සැප්තැම්බර් අවසානය දක්වා තිබෙන සංඛ්‍යා ලේඛන හොඳින් විශ්ලේෂණය කර බලනවිට ඒ තත්ත්වය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පෙන්වාදෙන තත්ත්වයට වඩා කිසියම් වෙනසක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම මෑත කාලයේදී 2023 ජනවාරි සිට 2023 සැප්තැම්බර් අවසානය දක්වා කාලය තුළ අල්ලස් ගැනීම් පිළිබඳ වාර්තා වීම ඉහළ අගයක් ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස 2022 වර්ෂයේ අල්ලස් ගැනීම් 27ක් වර්තා වී ඇති අතර, එය 75ක් දක්වා ඉතිරි මාස දහයක කාලය ඇතුළත වර්ධනය වෙලා. එසේම දෙසැම්බර් උත්සව සමය වනවිට මේ අගය තවත් වැඩි විය හැකි බව උපකල්පනය කළ හැකියි. එය එතරම් සුබදායී ප්‍රවණතාවක් නොවෙයි“ මේ වන විට රජය විසින් ගෙනැවිත් ඇති දූෂණ විරෝධී පනත මඟින් ද ඉදිරියේදී අල්ලස් දූෂණ කොමිසමට හා පොලීසියට ස්වාධීනව කටයුතු කිරීමට විශාල බලයක් හිමි වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීර සිළුමිණට පවසා සිටියේ

“අද අප පසු කරමින් සිටින්නේ ඓතිහාසික වශයෙන් දේශපාලනික සංධිස්ථානයක් මෙන්ම පොලිස් ක්‍රියාවන් පිළිබඳවද තීරණාත්මක කාල වකවානුවක්. ඉවක් බවක් නැතිව කෙරෙන පොලිස් අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම ද, සාක්ෂි මත පදනම් වූ පොලිස්කරණයක් වෙනුවට, දේශපාලනික වහල් භාවයෙන් යුතු පොලිස්කරණයක් යලිත් හිස ඔසවමින් තිබෙනවා‘ පසුගියදා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙහි අපාරාධ විද්‍යා අංශයෙහි පොලිස් විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලෝරන්ස් ෂර්මන්ගේ දේශනයක් ඇසීමට අවස්ථාව ලැබුණා. ඔහු පැවසූ ඉතාම වැදගත් දෙය නම් පොලිසිය අපේ ආරක්ෂකයා නම් පොලිසිය ආරක්ෂා කරන්නේ කවුරුන්ද යන්නයි? සැබවින්ම පොලිසිය පවතින්නේ කා වෙනුවෙන් ද? මහජනයා වෙනුවෙන්. එසේ නම් මහජනයාට පොලිසියෙන් ආරක්ෂා වීමට සිදු වේ නම් එතන ගැටලු සහගතයි. මේ ආකාර වූ පොලිස් ක්‍රියාවන් දෙයාකාරයකින් මහජන අපේක්ෂාවන්ගෙන් අපගමනය වීම සිදු වෙනවා. ඒ සීමාව ඉක්මවන පොලිස් ක්‍රියාකාරීත්වය (උපරි පොලිස්කරණය) සහ පොලිසිය මන්දගාමී ලෙස ක්‍රියා කිරීම (අධෝ පොලිස්කරණය). මේ අවස්ථා දෙකෙහිදීම පොලිසිය මහජන අපේක්ෂාවන් බිඳ හෙළනවා.

මෙහිදී වැදගත්ම දෙය නම් පොලිසිය හා මහජනයා අතර ඇති සංවාදය කුමක්ද යන්න තේරුම් ගැනීමයි. පොලිසිය කුමක් කළ යුතුද? කවර ආස්ථානයක සිට වැඩ කළ යුතු ද? යන්න පිළිබඳ මහජනයා සමඟ සංවාදයක් ගොඩනඟා ගත යුතුයි. අවම හානියක් (minimal harm to the society ) යන්න පොලිසියේ ප්‍රතිපත්තිය විය යුතුයි. ඒ සඳහා පොලිසිය තුළ කිසිදු ලැහැස්තියක් තිබෙන බවක් පේන්නෙ නෑ. නමුත් වඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රීය සමාජයක් උදෙසා පොලිසිය හා මහජනයා අතර සංවාදයක් මහපාරෙන් ඔබ්බට ගොඩනඟා ගැනීම ඉතා වැදගත්.”

ඔයගොල්ලන්ගේ දරුවොත් , අම්මලත් අපිවගේම දුක් විඳිනවා නේද? මේ රට උඹලගේත් රට නොවෙයිද ?” යනුවෙන් පෙළපාලි අතරතුර හෝ බැරියර් පෙරළන තුරු, පොලිස් නිලධාරීන් භාවාත්මක කරවීමට වැඩිය ඉන් එහා ගිය පොලිසිය හා මහජනයා අතර ද, පොලිසිය හා දේශපාලනය අතර ද, සංවාදය පොලිසියෙන් මහජනයා ආරක්ෂා කර ගැනීමට ද, පොලිසියෙන්, පොලිසිය ආරක්ෂා කර ගැනීමට ද වැදගත් බව හෙතෙම අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වැඩවර්ජන කිරීම, අරගල කිරීම, එක්රැස්වීම මානව හිමිකමක් ලෙස පෙන්වා දී ඇතත්, පොලිසිය බොහෝ අවස්ථාවලදී ක්‍රියා කරන්නේ ඊට පටහැනිවය. පාරට බැස්ස ගමන් කඳුළු ගෑස්, ජලය ප්‍රහාර මඟින් උද්ඝෝෂණකරුවන් විසිරුවා හරින අතරම යකඩ පොලු හා බැටන් පොලුවලින් පහර දීම ද සිදු කරයි. මහජන සාමය පවත්වා ගැනීමට කටයුතු කරන පොලිසිය මේ ආකාරයට හැසිරෙද්දී සියලු දෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින ජනතාව ප්‍රකෝප කිරීමට අනියමින් කටයුතු කරයි. මෙනිසා පොලිසිය හා ජනතාව අතරත් ගැටුම් ඇති වීම අනිවාර්ය වන අතර එහිදී කාන්තාවන් ඇඳ සිටින ඇඳුම්වලින් මහ පාරේ ඇදගෙන ගොස් පොලිස් ජීප් රථවලට දමා ගන්නා ආකාරය අප දකිමු. එය ඉතාම මිලේච්ඡ, නින්දිත හා පිළිකුල් සහගත ක්‍රියාවකි.

පොලිසිය යනු මහජනතාව ආරක්ෂා කරන ගෞරවණීය ආයතනයක් වන අතර අද වන විට එය මුළු මහත් සමාජයම පිලිකුල් කරන, ගෞරවයත් නැති තත්ත්වයකට යම් තරමකට පත්ව තිබේ. කිසියම් කාන්තාවක විසින් තමන්ට සිදු වන්නා වූ යම් කරදරයකදී, ලිංගික බලහත්කාරයකදී පොලිසිය වෙත ගොස් පැමිණිලි කළ යුතු වුව ද ඇතැම් පොලිස් ස්ථානවලදී ඒ කාන්තාවන් පිළිගන්නා ආකාරය ඉතාම ඛේදනීය ය. මෙනිසා පීඩනයට පත්ව යුක්තිය පතා පොලිසියට පැමිණෙන කාන්තාවන්ට පොලිසිය තුළ දී ඇතැම් විට තවත් පීඩනයකට ගොදුරුවීමට සිදු වේ. එසේම පොලිසිය තුළ ඇහුම්කම් දෙන, හොඳින් කටයුතු කරන පිරිසක් නැතුවාම නොවෙයි. නමුත් ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ තම නිල ඇඳුමේ ගෞරවය ද කෙලෙසෙන ආකාරයටය.

මේ තත්ත්වය වෙනස් කිරීමට නම්, විශේෂයෙන් පොලිසිය තුළ පිහිටුවා ඇති පොලිස් කාන්තා අංශ පුළුල් කළ යුතු අතර, අසාධාරණයට ලක් වූ කාන්තාවන්ගේ මනසට සුවදායි පරිසරයක් නිර්මාණය කළ යුතුය. එසේම කාන්තා පැමිණිලි භාර ගන්නා අය පොලිස් නිලධාරිනියන් පමණක් විය යුතු අතර, අනෙකාට නොඇසෙන සේ ආරක්‍ෂිත ස්ථානයක් තුළ විමසීම් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින්ට සහ නිලධාරිනියන්ට ලබා දෙන පුහුණු වැඩසටහන් තුළ දැනුම්වත් කිරීමක් හා මනෝ උපදේශනය පිළිබඳ අධ්‍යාපනයක් ද ලබාදිය යුතුය.

එවිට පැමිණිල්ලක් ගෙන එන කාන්තාව සමඟ සුහද ව කටයුතු කළ හැකි අතර පැමිණිල්ල දැමීමට එන කාන්තාවන්ට එය මහත් අස්වැසිල්ලක් ද වේ. එමඟින් පොලිසිය ගැන කාන්තාවන්ට තිබෙන වැරදි චිත්‍රය තුරන් කළ හැකිය. එමෙන්ම ජංගම මොබයිල් කැම්පේන් මඟින් ජනතාවට සමීප ආයතනයක් බවට පොලිසිය පත් කළ හැකි බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා පත්මිණි වීරසුරිය පෙන්වා දුන්නාය.

 

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division