පාසල් සමය නිමකර විශ්වවිද්‍යාලයට ඇතුළු වන බොහෝ සිසුන් ප්‍රේමයේ මුල් අත්දැකීම ලබන්නේ විශ්වවිද්‍යාලයෙනි. එලෙස ප්‍රේමයෙන් බැඳුණ වුන් හන්තාන කදු මුඳුනත් මහවැලි ගංගාවත් අතර අහස සිඹින රූස්ස ගස් පැතිර ගිය බිමක පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අඩි පාරවල් දිග අත්වැල් පටලා ගමන් ගන්නා අයුරු අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මේ සාම්ප්‍රදායික ප්‍රේමවන්තයන් අතර වෙනස්ව සිතන පෙම් යුවළක් පිළිබඳ අසන්නට ලැබුණේ ශාස්ත්‍ර පීඨයෙනි. එහි තුන්වන වසරේ අධ්‍යාපන ලබන නුවන් හේමකුමාර සහ ප්‍රමෝද්‍යා උදයංගනීගේ ප්‍රේමයට දැන් දෑ අවුුරුද්දකි.
නන්නාඳුනන පුද්ගලයන් ලෙස විශ්වවිද්‍යාලයට 2021 වසරේ දී ඇතුළු වී වසර අවසානයට කිට්ටුව ප්‍රේමවන්තයන් වූ ඔවුන් නිමක් නොමැතිව ජීවිතයට එල්ල වූ අභියෝග පරාජය කරමින් නැඟී සිටීමට උත්සාහ කරන්නේ දෙදෙනාගේ ම හදවත් තුළ උපන් විශ්වාසයේ බැඳීම පදනම් කර ගනිමිනි. සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල පෙම්වතුන් මෙන් දෑත් පටලා පෙම්බස් දොඩමින් කාලය ගත කරනවාට වඩා නුවන් හා ප්‍රමෝද්‍යා නිතරම උත්සාහ කළේ ගෙදරට බරක් නොවී තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කර කීයක් හෝ හරි හම්බ කර ආර්ථික බර සැහැල්ලු කර ගන්නට ය. පාර අයිනේ වඩේ බැද විකුණා කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආපණ ශාලාව කරවන තැන දක්වා ඉදිරියට ගෙන ඒමට අද ඔවුන් දෙදෙනා ට හැකිව තිබේ. ආදරය, විශ්වාසය, අධිෂ්ඨානය, නොපසුබට උත්සාහය, කැපවීම ඇතුළු බොහෝ ගුණාංග ඒ කතාව තුළ ගැබ්ව තිබෙන නිසාම ඔවුන්ගේ කතාව ඔබට කිව යුතුව ඇත. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ අලුතින් විවෘත කෙරුණු ARTOS DELI UNI FOOD CANTEEN වෙත අප යන විට නුවන් සහ ප්‍රමෝද්‍යා එහි නොවීය. ඒ ආපණ ශාලාවේ උදෑසන හා දිවා ආහාර සැපයීම සඳහා අවශ්‍ය සියලු වැඩ කල්තියා නිම කර ඔවුන් දෙදෙනාම ලෙක්චර්ස්වලට ගොස් තිබීම නිසා ය.
ආපණ ශාලාවේ මුදල් අයකැමි ලෙස කටයුතු කළේ විශ්වවිද්‍යාල සිසුවියකි. එපමණක් නොව ආහාර ගැනීමට පැමිණෙන සිසුන්ට ආහාර සැපයීමේ සිට පිඟන් කෝප්ප සේදීම දක්වා වූ සියලු වැඩ සිදු වන්නේ සිසු සිසුවියන් අතිනි. බැලූ බැල්මට මෙය අපූරු සංකල්පයකි. ඒ සඳහා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉඩ වෙන්කර දී නුවන් ට හා ප්‍රමෝද්‍යාට පමණක් නොව සිසුන් බොහෝ පිරිසකට දැනුම් ලබන අතරතුර වැඩක් කර මුදලක් උපයා ගැනීමට අවස්ථාව ලබා දී තිබුණේ ශාස්ත්‍ර පීඨයේ වත්මන් පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක ය. ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ද දායකත්වය ඇතිව පංච පුද්ගල කමිටුවක් විසින් මෙම අාපණ ශාලාවේ වැඩ කටයුතු අධීක්ෂණය කරනු ලබයි. ඒ පිළිබඳ තොරතුරු එකතු කරමින් සිටිය දී නුවන් හෙල්මටයක් ද අතැතිව ලහිලහියේ ආපණ ශාලාවට පැමිණියේ ලෙක්චර්ස් අවසන් වීමෙන් පසු ලද විරාමයේදී ය. පෙම්වතිය ඔහු හා නොපැමිණියේ ඇයි දැයි යන ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ එයා ට තාම ලෙක්චර්ස් ඉවර නැහැ යන්නයි. මේ නිසා ඔහු හා කතාවට මුලපිරුවේ ඇය නොමැතිව ය.
මගේ ගම රත්නපුරේ කලවාන. උසස් පෙළ 2019 ප්‍රතිඵල අනුව කලා අංශයෙන් මට ඒ සාමාර්ත්‍යය තුනක් එක්ක සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට 2021 දී එන්න පුළුවන් වුණා. මුල් මාස කිහිපයේ දී කොවිඩ් නිසා අපිට විශ්වවිද්‍යාල පන්ති කාමරවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. විශ්වවිද්‍යාල විවෘත කිරීමත් සමඟ හොස්ටල්වලට ඇවිත් අධ්‍යාපන කටයුතු කරමින් ඉද්දී තමයි මට ප්‍රමෝද්‍යා හමු වුණේ. අපි මුලින් හොඳ යාළුවෝ. ටික කාලයක් ආශ්‍රය කරත් දී අපි දෙන්නා ගොඩක් දේවල් ගැන එක විදිහට හිතනවා නේද කියලා මට දැනුණා. එයත් ඒ විදිහටම හිතලා. කාලයත් එක්ක පළමු වසර අවසන් වීමටත් පෙර අපි පෙම්වතුන් වුණා. දෙවන වසරේ දී අපිට විශ්වවිද්‍යාල නේවාසිකාගාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හිඳගල බෝඩිම් ප්ලේස් දෙකකට ගියා. අපි දෙන්නටම ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. මගේ තාත්තා අපිව දාලා ගිහින් තියෙන්නේ මට මාස තුනේ දී. මම තාම තාත්තා දැකලාවත් නැහැ. අම්මා තමයි තේ වත්තක වැඩ කරලා මාව රැක බලා ගත්තේ. පස්සේ අම්මා තවත් විවාහයක් කර ගත්තා. ඒ විවාහයෙන් මල්ලී කෙනෙක් ඉන්නවා. අවුරුදු 12 ක් වෙනකල් මම අම්මා සහ බාප්පා එක්ක හිටියා. පස්සේ මම අම්මෙග අම්මා ළඟට ගියා. අදත් මම නිවාඩුවට ගමේ ගියොත් ආච්චිලාගේ ගෙදර තමයි නවතින්නේ. පුංචි කාලේ ඉඳලම මම දුක් වින්දා. එතනින් ගොඩ යන්න නම් ඉගෙන ගෙන කැම්පස් යන්න ඕන කියලා හිතුවා. ඒ ඉලක්කය හිතේ තියාගෙන වැඩ කරලා ඒ සාමාර්ත්‍ය තුනක් අරන් විශ්වවිද්‍යාලට එන්න මට පුළුවන් වුණා. නුවන් එලෙස අතීත තොරතුරු අප හා කතා කරමින් සිටිය දී ප්‍රමෝද්‍යා ද දේශන අවසන් කර පැමිණියා ය.
එතැන් සිට ඉදිරියට කතාව කිවුවේ ප්‍රමෝද්‍යා ය. මගේ තාත්තා කුලී වැඩ කරන්නේ. අම්මා රස්සාවක් කරන්නේ නැහැ. මගේ ගම රත්නපුර ඕපනායක. බළන්ගොඩ ආනන්ද මෛත්‍රී විදුහලෙන් උසස් පෙළ කරලා ඒ දෙකයි බී එකයි අරන් මම ශාස්ත්‍ර පීඨයට ආවේ. ඕපනායක ඉඳලා බළන්ගොඩ ඉස්කෝලෙට කිලෝමීටර් 16 ක් විතර තියෙනවා. උදේ හවස පාසලට යන්න එන්න කිලෝ මීටර් 32 ක දුරක් බස් එකේ යනවා. නුවන් අවංක හොඳ ගතිගුණ තියෙන අලුත් විදිහට හිතන කෙනෙක්. අපි දෙන්නාගේම ගෙවල්වල ලොකුවටම ආර්ථික ප්‍රශ්න තිබුණා. ඒ නිසා අපිට සල්ලි එවන්න ඒ අයට හැකියාවක් තිබුණේ නැහැ. නුවන්ගෙ අම්මා එවන මුදල තමයි අපි දෙන්නා බෙදාගෙන වියදම් කළේ. බෝඩිමට ගෙවන්නයි කන්න බොන්නයි පොත්පත් ගන්නයි යන වියදම අපිට දරා ගන්න අමාරු වුණා. නුවන් කිවුවා අපි මොනවා හරි බිස්නස් එකක් කරමු කියලා. හිඳගල බෝඩිම කිට්ටුව පාර අයිනේ උණ බට වලින් පොඩි මඩුවක් හදලා අපි දෙන්නා වඩේ බැදලා විකුණුවා. මුලින් දර ළිපක මේවා හැදුවා. පස්සේ හාමුදුරුනමක් අපිට ගෑස් ළිපක් දුන්නා. වඩේ විකුණලා ලැබුණු මුදල් දාලා ගෑස් සිලින්ඩරයක් ගත්තා. දවසකට රුපියල් 1500 ක් විතර ලාභයක් මේකෙන් ගන්න පුළුවන් වුණා. පාර පුළුල් කරනවා කියලා දවසක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඇවිත් කඩේ අයින් කර ගන්න කිව්වා. ඊට පස්සෙත් අපි ටික කාලයක් කඩේ කළා. දවසකට රුපියල් 300 ක් විතර අපි හැමදාම අයින් කළා. එතන රුපියල් 28,000 ක් විතර එකතු වුණාම අපි ඒ ළඟ කඩ කාමරයක් රුපියල් 9,000 කට කුලියට අරන් රයිස් කඩයක් දැම්මා. අපි කැම්පස් එකේ ලෙක්චර්ස්වලට යන නිසා කඩේ දවල් ට වහන්න වෙනවා. ඒ නිසා සීතා කියලා නැන්දා කෙනෙක් රුපියල් 1,200 ක පඩියට උයන්න ගත්තා. හවසට ආප්ප දාන්න තව කෙනෙක් ගත්තා. එයාට රුපියල් 800 ක් දුන්නා. කැම්පස් එකේ වට්ස් ඇප් ගෲප් එකක් හදලා ඕඩර් අරන් බත් පාර්සල් කැම්පස් යාළුවන්ගේ බයිසිකල්වලින් බෙදා හැරියා.
ඉන්පසුව නුවන් හඬ අවදි කළේ මෙසේය. එතන කඩේ කරන්න පුළුවන් වුණේ හරියටම මාසයයි. අයිතිකාරයෝ කඩේ ඉල්ලුවා. ඊට පස්සේ අපි හිඳගල දුප්පත් පවුලක් පදිංචි නිවෙසක කුස්සිය පොඩි ගාණකට අරන් එතන කෑම උයලා පාර්සල් කරලා ඕඩර්ස්වලට දුන්නා. අපේ බැච් එකේ ගොඩක් අයට මෝටර් සයිකල් තියෙනවා. දවසකට එක් කෙනකුට කෑම පාර්සල් බෙදන ඕඩරේ දෙනවා. ඕඩර් වැඩි වුණොත් බයිසිකල් දෙකක් තුනක් ගන්නවා. දවසකට කෑම පනහක් හැටක් අපි වික්කා. ඕඩර්ස්වලට කෑම පාර්සල් බෙදලා කැම්පස් යාළුවෝ රුපියල් පන්සීයක් හයසීයක් හොයා ගන්නවා. පෝයට කැම්පස් එකේ කැන්ටිම වහන නිසා එදාට ඕඩර්ස් වැඩියි. ඒ වගේ දවසකට කෑම පැකට් 70 ක් විතර විකුණ ගන්න පුළුවන්. මේ අතරේ දී තමයි ප්‍රමෝද්‍යාගේ නංගී ට පිළිකාවක් කියලා දැන ගත්තේ. එයා පහුගිය අගෝස්තු මාසේ 08 වැනිදා මියගියා. එයාට අවුරුදු 15 යි. නංගීගේ අසනීප තත්ත්වය නිසා පහුගිය කාලෙම අම්මා, නංගී එක්ක මහරගම අපේක්ෂා රෝහලේ නතර වෙලා හිටියේ. මේ නිසා ආර්ථික ප්‍රශ්න තවත් වැඩි වුණා. ඒ අතරේ තමයි ප්‍රභාත් සර් අපි ගැන අහලා ශාස්ත්‍ර පීඨයේ කොටසක කැන්ටිම දාන්න පසුබිම සකස් කරලා දුන්නේ.
ශාස්ත්‍ර පීඨයේ ARTOS DELI UNI FOOD කැන්ටිම බිහි වන්නේ එසේ ය. එහි කළමනාකාරවරු ලෙස කටයුතු කරන්නේ නුවන් හා ප්‍රමෝද්‍යා ය. ඔවුන් සමඟ මුල සිටම අත්වැල් බැඳ සිටි සීතා අයිරාංගනී සමඟ සමීර දයානන්ද ආහාර පිසීමේ කටයුත්ත භාරව සිටිති. එළවළු කැපීම, පිඟන් කෝප්ප සේදීම, මුදල් ගනුදෙනු කිරීම පමණක් නොව වේටර් වැඩේ කරන්නේ ද විශ්වවිද්‍යාල සිසුන් ය. ඒ වෙනුවෙන් ඔවුන්ට පැයකට ගෙවන මුදල රුපියල් 100 කි. ඉදිරියේ දී එය රුපියල් 150 ක් දක්වා ඉහළ දැමීම නුවන් හා ප්‍රමෝද්‍යා ගේ අරමුණ ය.
ආණමඩුව මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ලැබීමට වරම් ලැබූ සිතාරා සංජීවනී අධිකාරි ARTOS DELI UNI FOOD හි සේවය කරන්නට වරම් ලැබූ ප්‍රථම කණ්ඩායමේ සිසුවියකි. මම ඒ සාමාර්ත්‍යය තුනක් අරන් උස්ස පෙළ සමත් වුණා. මම ආර්ථික අපහසුතා තියෙන පවුලක දරුවෙක්. මට ඕන වුණේ දැන්වත් ගෙදරට බරක් නොවී අධ්‍යාපන වැඩ කර ගන්නයි. ඒකට හොඳ අවස්ථාවක් මේ කැන්ටිම විවෘත කිරීමෙන් ලැබුණා.
හසංමිකා සෙව්වන්දි ජයවික්‍රම ශාස්ත්‍ර පීඨයේ තුන්වන වසරේ සිසුවියකි. ඇය බදුල්ල විහාර මහා දේවි විදුහලේ ආදි සිසුවියකි. ඇය මේ සම්බන්ධව දක්වන්නේ මෙවන් අදහසකි. මම කැෂියර් එකෙත් වැඩ කරනවා. කට්ටිය වැඩි වුණාම වේටර් වැඩෙත් කරනවා. අපි ගෙවල්වල කරන සාමාන්‍ය වැඩ තමයි මෙතන කරන්න තියෙන්නේ. ඒවා කරන්න ලජ්ජා වෙන්න ඕන නැහැ. පැය ගාණ වැඩ කරලා ඕෆ් වෙලා යනකොටම අතට සල්ලි ලැබෙනවා. ඒ වගේම කෑම වේලත් නොමිලේ ම මෙතනින් ගන්න පුළුවන්. ඒක අපිට ලොකු ශක්තියක්.
මෙම ආපණ ශාලාව සඳහා අවශ්‍ය භෞතික සම්පත් බොහොමයක් ලබා දී තිබෙන්නේ ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථීන් ගේ සංගමය විසිනි. ඔවුන්ගේ ඉල්ලීම මත මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් සඳමාලි හේවගේ, අධ්‍යක්ෂ සැලසුම් අජිත් කුඹුරේගම යන නිලධාරීන්ගේ මැදිහත්වීම යටතේ මහනුවර ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මානව හිමිකම් සහ ප්‍රජා සංවර්ධන ආයතනය ද මෙය යථාර්ථයක් කර ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ. ඒ සම්බන්ධව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ද හිටපු සභාපතිවරයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ වත්මන් උප සභාපති එච්. කළුගම්පිටිය මෙසේ පැවසුවේය.
“මේ කැන්ටිමෙන් ආර්ථික අපහසුතා තියෙන සිසු සිසුවියන් 50 දෙනකුට හැමදාම නොමිලේ කෑම පැකට් එකක් දෙනවා. ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මානව හිමිකම් සහ ප්‍රජා සංවර්ධන ආයතනය මඟින් පරිත්‍යාග කළා. මින් ලබන ලාභයෙන් 50 % ක් ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මඟින් ක්‍රියාත්මක අරමුදලකට බැර වෙනවා. මේ අරමුදල මඟින් අපි සිසුන් 40 දෙනකුට මුදල් ආධාර කරනවා. දැන් මෙය ආරම්භ කරලා සතිය යි. සාමාන්‍යයෙන් දිනකට රුපියල් 20,000 ක පමණ ගනුදෙනු සිදු වෙනවා. ඉදිරියේ දී මෙම අගය තවත් වැඩි වේවි.”
මෙහි මිල ගණන්, පිරිසිදුභාවය, සිසුන් ට ඇතිවන ප්‍රශ්න සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබේ. ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථීන් වන තමරා කුමාරි ඒකනායක, බී.ඒ කුලරත්න, නිහාල් ඒකනායක, ආචාර්ය සිරිපාල ගමගේ සහ විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහජන සම්බන්ධීකරණ නිලධාරි මහේෂ් අබේවික්‍රම ද එම කමිටුවේ සාමාජිකයෝ ය.
“ලෝකයේ වෙනත් රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වන දරුවන්ට යම් රැකියාවක් කර මුදල් ඉපයීමට පැය කිහිපයක් ලබා දෙනවා. අපේ රටෙන් විදේශ රටවල අධ්‍යාපනය ලැබීමට යන ගොඩක් ළමුන් පාට් ටයිම් ජොබ් ඉලක්ක කරගෙන තමයි විදේශගත වෙන්නේ. ඉගෙන ගන්න අතරතුර පාට්ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි හොයා ගන්න අපේ රටේ විශ්වවිද්‍යාල දරුවන්ට අවස්ථාවක් නැහැ. රැකියාවක් කරන්න කුසලතාව නැති නිකම්ම නිකන් උපාධිධාරීන් කියන චෝදනාව අපේ විශ්වවිද්‍යාලවලින් පිටවන ගොඩක් දරුවන්ට අහන්න ලැබෙන්නේ ඒ අත්දැකීම ගන්න අවස්ථා නැතිකම නිස යි. උපාධිය ලැබ කොතන වැඩට ගියත් මේ ලබන අත්දැකීම් ඔවුන් ට ප්‍රයෝජනවත් වෙනවා වගේම ජනතාව ගැන හිතන රාජ්‍ය සේවයක් අනාගතයේ දී බිහි වීමටත් මේ සංකල්පය ලොකු පිටුබලයක් වේවි” විශ්වවිද්‍යාලයේ වැඩ බලන මහජන සම්බන්ධීකරණ නිලධාරි මහේෂ් අබේවික්‍රම මෙම සංකල්පය ගෙන දැක්වූයේ එවන් අදහසකි.
නුවන්ගේ සහ ප්‍රමෝද්‍යාගේ සිහිනය සැබෑ කරන්නට මූලික වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මේ ගැන දැක්වූයේ මෙවන් අදහසකි.
“නුවන් සහ ප්‍රමෝද්‍යා ඉතාම සුවිශේෂි ළමයි දෙන්නෙක්. ඔවුන් කෑම පාර්සල් කරලා සහෝදර සිසුන්ට විකුණලා කීයක් හරි හොයා ගන්න උත්සාහ කළා. මේ ළමයි දෙන්නා දිරියෙන් ජීවිතය ජයගන්න දරන උත්සාහයට අපි ශක්තියක් දෙන්න ඕන. කුඩාවට ආරම්භ කළ කේ. එෆ්. සී එක අද ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් රෙස්ටුරන්ට් ජාලයක්. අපි මේ අයට අත දුන්නොත් අනාගතයේ දී ඔවුනුත් ජාත්‍යන්තර මට්ටමේ ව්‍යවසායකයන් බවට පත් වේවි.”
නුවන් මේ වන විට නිරතව සිටින්නේ පාලි විශේෂවේදී උපාධියට අදාළ අධ්‍යාපන කටයුතුවල ය. ඔහුගේ අනාගත බලාපොරොත්තුව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන්නටය. වාණිජවේදී උපාධිය හදාරන ප්‍රමෝද්‍යා ද සිහින මවන්නේ තව තවත් අධ්‍යාපනයෙන් ඉහළට යන්නට ය. මේ අතර දෙදෙනාගේම අපේක්ෂාව ව්‍යාපාරය අත් නොහැර දියුණු කිරීමට ය. බත් පාර්සල් කරන කාලෙම Uni Food නම ඊට යොදා ගත් නුවන්ගේ අරමුණ එම නමින් රෙස්ටුරන්ට් ජාලයක් බිහි කිරීම ය. උපාධිය ලැබ වසරක් තුළ විවාහ දිවියට එළැඹීම මෙම දෙපළගේම අදහස ය. නුවන් පවසන්නේ විශ්වවිද්‍යාලයෙන් පිටවීමට පෙර තමන්ගේ මාසික ආදායම අවම වශයෙන් රුපියල් ලක්ෂ තුනක සීමාවේවත් පැවතිය යුතු බවයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වන මාවතේ ඔහු මේ වන විටත් බොහෝ දුර ගොස් තිබේ. උපාධිය ලබන්නට තවත් වසරකුත් මාස අටක පමණ කාලයක් තිබෙන බැවින් ඊට පෙර තම ආර්ථික ඉලක්කය සපුරා ගන්නා බව ඔහු පවසන්නේ දැඩි අධිෂ්ඨානයකිනි.
ඡායාරූප-රුවන් මීගම්මන
අසේල කුරුළුවංශ