අවසානයේදී සිදු වූයේ වෙන්න තිබුණු දේ මිස අන් කිසිවක් හෝ නොවේ. කාලයක් තිස්සේ බූවල්ලන් සේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්ෂේත්රය ගිල ගනිමින් සිටින රැකට් කාරයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම ද විහිළුවකි. පසුගියදා මුම්බායි නුවර වන්කඩේ පිටියේදී බිඳ වැටුණේ මෙවර ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමට ශ්‍රී ලංකාවට තිබුණු අන්තිම අවස්ථාවය. සඳුදා බංග්ලාදේශය සමඟත්, 9 වැනිදා නවසීලන්තය සමඟත් ඉතිරිව ඇති තරග ද්විත්වය කෙසේ විසඳුණ ද හිස් අතින් ආපහු හැරී එන තැනට දැන් වැඩ සිද්ධ වී හමාරය.
වන්කඩේ පිටියේ වැඩිම වාසිය ඇත්තේ පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට බව ඉතිහාසය හාරා ඇවිස්සීමේදී සොයා ගත හැකිය. කාගෙත් කතාබහට ලක් වී ඇත්තේ එදා තරගයේදී කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය දිනා සිටියදිත් පළමුව පන්දුවට පහර දීමට රෝහිත් ෂර්මාට ආරාධනා කිරීම ගැනය. එය බොහෝ විචාරකයන්ගේ පමණක් නොව ඉන්දීය පිලේ ක්‍රීඩකයන්ගේ පවා විමතියට හේතු වූ බව වාර්තා විය. තරගයෙන් පසුව ශ්‍රෙයාර්ස් අයියර් කියා සිටියේ මෙසේය. ‘ අපි හරි වාසනාවන්තයි. අපිට මේ විශිෂ්ට වන්කඩේ තණතීරුවේ මුලින් බැට් කරන්නයි ඕන වුණේ. අපි හිතුවේ ශ්‍රී ලංකාවත් එහෙම හිතයි කියලයි.‘ කියාය. එසේ තිබියදී මේ සිදු වූ අලකලංචිය කුමක්දැයි දන්නේ ඔවුන්ම පමණි.
ශ්‍රී ලංකා පිල මේ සන්තෑසියට මුහුණ පෑවේ අයිපීඑල් තරගාවලියේදි මුම්බායි පිලේ ‘හෝම් ග්‍රවුන්ඩ්‘ ලෙස සැලකෙන වන්කඩේ පිටියේ පැටිකිරිය හොඳින්ම දන්නා කෙනකු ද කඳවුරේ සිටියදීමය. ඒ අන් කිසිවකු හෝ නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ය. ජාතික කණ්ඩායම පමණක් නොව ඉන් පහළ කණ්ඩායම්වලට පවා උපාය මාර්ගික උපදෙස් සපයනු ලබන බව කියන මේ ලෝක පූජිත හිටපු පිතිකරුවා තරම් වන්කඩේ තණතීරුවේ හැසිරීම ගැන දන්නා අයකු ශ්‍රී ලංකා ක්‍රිකට් කඳවුරේ නැත. කාසියේ වාසියේ තීරණය හුදෙක් නායකයා ගන්නා හිතුවක්කාර තීරණයක් නොවන බවත්, එය කණ්ඩායම ඇතුළු සමස්ත පුහුණු කාර්ය මණ්ඩලය සහ උපදේශකගේ අදහස් මත ගන්නා තීරණයක් බවත් කවුරුත් දනිති. එසේ තිබියදී රෝහිත් ෂර්මා ඇතුළු ඉන්දීය පිලේ සෙසු ක්‍රීඩකයන් පවා විමතියට පත් කරමින් පන්දු රැකීමට ශ්‍රී ලංකා පිල ගත් තීරණය විමතිය දනවන සුලු කාරණාවක් බව දැන් දැන් කවුරුත් කතා වෙති. ඒවා ක්‍රිකට් උපදේශක මහේල පමණක් නොව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහටත් කට උත්තර නැති වන ගැටලුවකි.
තරගයේ ජය පරාජය සතුටින් විඳ දරා ගැනීම ක්‍රීඩාවේ මහත්මා ගුණයක් වුව ද, ක්‍රීඩා ලෝලීන්ගේ කනගාටුවට කාරණාව වී ඇත්තේ මෙවැනි අන්ත පරාජයකට ලක්වීමට තරම් ශ්‍රී ලංකා පිල සුදුසු නැති බැවිනි. පරාජය ගෞරවනීය විය යුතුය. පාසල් කණ්ඩායමකටත් වඩා පහළ මට්ටමකට ශ්‍රී ලංකා පිල ඇද වැටීම ගැන නම් සෑහෙන කාලයක් යනතුරු මෙරට ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවනු ඇත. ලෝක කුසලානය සඳහා එක් ක්රීඩකයකුට ක්‍රීඩකයන් දෙදෙනා බැගින් Back- ups ඇතැයි තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එක්තරා රූපවාහිනී නාළිකාවකට කීවේ පසුගිය ජූනි මාසයේ සිම්බාබ්වේ හි පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ලෝක කුසලාන වරම් ලැබීමෙන් පසුවය. ලෝක කුසලානයට යැවීමට ඇති තරම් දඟපන්දු යවන්නන් ද, වේගපන්දු යවන්නන් ද, පිතිකරුවන් ද ශ්‍රී ලංකා සංචිතයේ ඇතැයි කී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් ආබාධ පිට ආබාධවලට ගොදුරු වෙද්දී ආදේශ කරනු ලැබුවේ ඔය කියන Back- ups ක්‍රීඩකයන් දැයි කෙනකු විමසීම අන්තිම සාධාරණය. මන්ද එකාට දෙන්නා ගානේ Back- ups තිබුණා කී ඔහුට අවසානයේදී ආබාධයකට ලක්ව ප්‍රතිකාර ගනිමින් සිටි දුෂ්මන්ත චමීර ඉන්දියාවට යැවීමටත්, ‘අන් ෆිට්‘ යැයි කියමින් ලෝක කුසලාන සංචිතය අහළකවත් නොගත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමට එක් කිරීමට සිදු වූ බැවිනුත් ය.
Back- ups ක්‍රීඩකයන් බිහි වීමට නම් හොඳ යටිතල පහසුකම් තිබිය යුතුය. පිහිනුම් තටාකයක් හෝ ගෘහස්ත පුහුණු පහසුකම් හෝ නැති ආර්. ප්‍රේමදාස පිටියේ ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයෙන් එවැන්නක් බලාපොරොත්තු වීම ද විහිළුවකි. 2015දී සිදත් වෙත්තිමුණිගේ අතුරු පාලක කමිටුව එහි පිහිනුම් තටාකය ඉදි කිරීමට තැබූ මුල්ගල වල් වැදිලාය. එහෙත් ඩොලර් මිටි ගණන් ගෙවා විදෙස් රටවලින් පුහුණුකරුවන් ආනයනය කිරිමේ නම් කෙළවරක් නැත. හිටපු ක්‍රීඩකයන් නම් කියන්නේ කලෙකට පෙර කම්හලක් ලෙස උදේ සිට පස්වරුව වනතුරු විවිධ වයස් කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණු පාරාදීසයක් බවට පත්ව තිබූ ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානය මේ වනවිට සහරා කාන්තාරයක පාළු ස්වරූපය ගෙන ඇති බවය. එම මධ්‍යස්ථානයට බඳවා ගන්නා විදේශීය පුහුණුකරුවන් කෝඩුකාරයෝ බවය. ඔවුන් මෙරටට පැමිණෙන්නේ ඔවුන්ගේ ජීවදත්ත වාර්තාව (CV) සම්පූර්ණ කරගැනීමට බවය. ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නේ සුද්දා වුවත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුවන්නේ සුද්දාගේ සංකල්පයට නොවන බව අවබෝධ කරගැනීමට තරම් දැනුමක් නැති මෙරට ක්‍රිකට් ලොක්කන්ට සුද්දාට වඩා අතිදක්ෂ ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් පෙනෙන්නේම නැත.
අවසන් වරට එහි ප්‍රධානියා ලෙස විශාල වැටුපකට ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරනු ලැබූ සුද්දාගෙන් ඉටුවෙන සේවය ගැන හිටපු ක්‍රීඩකයන් තුළ ඇත්තේ දැඩි කලකිරීමකි. ‘ලංකාවේ ක්‍රිකට් වනසන්න ඔස්ට්‍රේලියාවෙන් ආ ටයිපිස්ට් මාරයා‘ නමින් ‘සිළුමිණ‘ පසුගිය මැයි මස 7 වැනිදා සටහන් කරනු ලැබුවේ ද ඔය කියන සුද්දා ගැනය.
වර්තමානයේ ශ්‍රී ලංකා පිලේ ඇද වැටීමට බලපෑ එකම කරුණ එය පමණක් නොවේ. එය පසුගිය වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ගැනත්, පරිපාලකයන් ගැනත් කුසලා සරෝජනී කමිටු වාර්තාවෙන් සහ ජාතික විගණන කාර්යාලයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාවෙන් අනාවරණය වූ කරුණුවලින් ඔබ්බට ගිය එකකි.
එවැනි කරුණු කාරණා ‘සිළුමිණ‘ පුවත්පත පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවීය. කෝටි ගණන් සල්ලි ගරන ක්‍රිකට්වලට වග නොකියන ඔස්තාර්ලාගේ කෙරුවාව, ක්‍රිකට් ඉහළ දක්ෂතා නංවන තැන රජදහනක් කරගත් මගෝඩියෝ, ලංකාවේ ක්‍රිකට් කාබාසිනියා කරන නාස්තිකාර පුත්තු ආදී වශයෙන් වසරකට වැඩි කාලයක සිට ‘සිළුමිණ‘ කළ හෙළිදරව්ව නිසා පසුකාලීනව නඩුහබවලට පැටලීමට ද සිදු විය.
එහෙත් ක්‍රිකට් තුවාලය තවමත් ඔඩු දුවයි. එදා වන්කඩේ පිටියේදී ශ්‍රී ලංකා පිලට අත් විඳින්නට සිදු වූයේ එහි භයානකම ප්රතිඵලයයි. විවිධ දුෂ්කරතා හා පීඩන මැද්දේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි ‘සිළුමිණ‘ පුවත්පත කළ හෙළිදරව්වේ ප්රතිඵලයයි.
දහසින් බැඳි පියලි මැදින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැංවීමට බඳවා ගත් ක්‍රිකට් උපදේශක ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ වැටුප් පිළිබඳ අවධානය යොමු කරද්දී ක්‍රීඩාව මෙතරම් පහත වැටීම පුදුම සහගතය. එවැනි ඉහළ වැටුප් ලබමින් ඔවුන් විසින් මෙතෙක් කාලයක් ක්‍රීඩාවට සිදු කළ සේවය කුමක්දැයි අසන තරමට එම වැටුප් ප්‍රමාණය අතිවිශාලය. ඊයේ පෙරේදා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ එක්තරා රූපවාහිනි නාළිකාවක සංවාදයකට එක්වෙමින් එම වැටුප් ලැයිස්තුව ජනතාව අතරට පත් කළේය.
එම ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ මාසික වැටුප අමෙරිකානු ඩොලර් තිස්දහසකි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් අනූ අට ලක්ෂය ඉක්මවන්නකි. පුහුණු උපදේශක මහේල ජයවර්ධනගේ මාසික වැටුප ඩොලර් විසිදහසකි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැටපන්ලක්ෂයකට අධිකය. සහාය පුහුණුකරු නවීඩ් නවාස්ගේ මාසික වැටුප ඩොලර් දහහතර දහසකි. ශ්‍රී ලංකා මුදලින් රුපියල් හතළිස් පන්ලක්ෂය ඉක්මවයි. පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස්ගේ සහ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක්ගේ වැටුප ඩොලර් අටදහස බැගින් ය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් විසිහය ලක්ෂයකට අධිකය. රුපියල් විසිනව ලක්ෂයකට අධික වැටුපක් ලබන ටිහාන් චන්ද්‍රමෝහන් නමැති භෞත චිකිත්සකයකු ද සිටින බව ද සඳහන් වේ. කාර්යභාර ප්‍රධානී (Task Head) තනතුරෙහි නොඑසේ නම් ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජාතික තිමොති මැක්කස්කිල්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ පනහකට ආසන්නය. එහි තවත් විදෙස් කළමනාකරුවන් දෙදෙනෙකි. නොයෙල් මැකාර්තිගේ සහ ග්‍රාන්ට් ලූඩන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ විසිඑකකට අධිකය.
එහෙත් ජයග්‍රහණයට පියවරු සියයක් සිටිය ද, පරාජය අවජාතක බැවින් ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන පසුබැස්ම ගැන වගකීම බාර ගැනීමට මේ කිසිවකු ඉදිරිපත් නොවනු සහතිකය. එකිනෙකා වෙත ‘බෝල පාස්‘ කිරීමේ ක්‍රමවේදයට අනුවම එය සිදුවනු ඇත. අවසානයේදී පරාජයේ වගකීම දැරීමට සිදුවන්නේ කුසල් මෙන්ඩිස් ඇතුළු කණ්ඩායමටය. පිටියේ ක්‍රීඩා කළේ කුසල්ලා බව සැබෑය. එහෙත් තීන්දු තීරණ ගැනීමේදී මහ මොළකරු ලෙස උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන කටයුතු කරන බවත්, පුහුණු කාර්ය මණ්ඩලය පිළිපදින්නේ ඔහුගේ උපදෙස් බවත් ප්‍රසිද්ධ රහසකි. උපාය මාර්ගික උපදේශකයා වශයෙන් මහේල ගනු ලබන විවිධ තීන්දු තීරණවලට කණ්ඩායම අනුගත නොවන්නේ නම් එය වෙනම විමර්ශනය කළ යුතු කාරණාවකි. අනිත් අතට ශ්‍රී ලංකා කණ්ඩායම ඔහුගේ උපදෙස් අනුව කටයුතු කරමින් සාර්ථකත්වය කරා යන්නේ නම් ඔහුගේ වැටුප දෙගුණයකින් වැඩි වුව ද ගැටලුවක් නැත. ඔහු ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වන බැවින් උපදේශක පුහුණුකරු ලෙස නොව ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගන්නේ නම් එහි ද ගැටලුවක් නැත. එහෙත් ගැටලුව ඇත්තේ ඔහුගේ උපායමාර්ගික උපදෙස් මතින් කණ්ඩායම ලැබූ සාර්ථකත්වය කුමක්දැයි යන්න ගැනය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු ක්‍රිකට් ආයතනයට අයිති බ්‍රෑන්ඩ්‘ එකක් නොව එය මෙරට මිලියන 22ක ක්‍රීඩා ලෝලීන්ගේ ජනහද ගැස්මට කියන තවත් නමක් බව අමුතුවෙන් කිව යුතු නැත. එදා වන්කඩේ පිටියේදී සුන්නත්දූලි වූයේ ඒ ජනහද ගැස්මය. අප්‍රමාණ ආර්ථික කම්කටොලු මැදින් දුෂ්කර ජීවන රටාවක් ගත කරමින් සිටින මෙරට බහුතර ජනතාව යම් සතුටක් ලැබුවේ නම් ඒ ලැබුවේ ජාතික ක්‍රිකට් පිලේ තරග නැරඹීමෙනි. ජයග්‍රහණවලදී මෙන්ම පරාජයන්වලදීත් කණ්ඩායම සමඟ එකට සිටි මෙරට ජනතාව වන්කඩේ දී ලැබූ අන්ත පරාජයෙන් නන්නත්තාර වී ඇත. මෙරට ජනතාව අතරෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඈතට තල්ලු වීම වළක්වා ගැනීමට නම් ක්‍රිකට් ක්ෂේත්රයේ වෙනස් කළ යුතු හා ප්‍රතිසංස්කරණය කළ යුතු දේවල් බොහෝය. එය පරිපාලනයේ සිට කණ්ඩායමේ පුහුණුකාරීත්වය දක්වා විහිදී ගිය එකකි.
ෆවුස් මොහොමඩ්