Home » ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව තහවුරු කළ පටක සාක්ෂිය කියන කතාව

ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව තහවුරු කළ පටක සාක්ෂිය කියන කතාව

by gayan
November 4, 2023 12:30 am 0 comment
  • ස්වාභාවික මරණයක් හෝ සිය දිවි නසා ගැනීමක් නොවෙයි
  • සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට CIDයට නියෝග

න ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් ඝාතනය සිය දිවි හානිකර ගැනීමක් බවට වූ මතය සමාජ ගතකරමින් එය සියදිවි හානි කර ගැනීමක් බවට පරිවර්තනය කිරීමට දැරූ බොළඳ ප්‍රයත්නය අධිකරණය හමුවේ දැන් ශූන්‍ය වී හමාරය. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ඉකුත් 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් නියෝගය මෙම ඝාතනය සියදිවි හානි කර ගැනීමක් බව කියාපාන්නට වෙහෙස මහන්සි වූ බොහෝ දෙනකුගේ කන හරහා වැදුණු දැඩි පහරකි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණයේ මූලික විමර්ශන බොරැල්ල පොලිසිය විසින් සිදු කළත් එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලබන්නේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසිනි. ඒ මරණයට පත්ව සිටින්නේ මුළු රටම දන්නා ප්‍රකට ව්‍යාපාරියෙක් වූ බැවින් හා ඒ වන විටත් මෙම මරණය ආන්දෝලනයට තුඩුදී තිබුණු බැවින් ඉතා කඩිනමින් විසඳීමේ අරමුණ ඇතිවය. ඉක්මනින් විසඳීම කෙසේ වෙතත් අඩුම තරමින් පසුගිය දෙසැම්බර් 15 වෙනිදා බොරැල්ල පොදු සුසාන භූමියේදී දිනේෂ් ෂාෆ්ටර්ට සිදු වූයේ කුමක් දැයි කියාවත් හරිහැටි පැහැදිලි කිරීමක් කරන්නට පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ විමර්ශන කණ්ඩායම සමත් වූයේ දැයි ඇත්තේ මේ වන විටත් ගැටලුවකි. ඒ බව අධිකරණයේදී පවා විවාදයට තුඩු දුන්නේ එබැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් මුලදී මෙම මරණය ඝාතනයක් යැයි විශ්වාස කරමින් විමර්ශන ඉතා උනන්දුවෙන් කරගෙන ගියත් අවසානයේදී කිසිවකුටත් හිතාගන්නට බැරි තරමට එම විමර්ශන උඩුයටිකුරු වන්නේ මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බවට පත් වෙමිනි. ඊට සරිලන ලෙස අධිකරණ වෛද්‍ය වාර්තා ද විටෙන් විට වෙනස් වෙමින් පරීක්ෂණ ප්‍රගතිය ද අධිකරණයට වාර්තා වන්නට ද ගත්තේය.

මේ තත්ත්වය මත මිය ගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට වූයේ ඔහුගේ පියා වන ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර් ය. සිය දරුවාගේ මරණයට සාධාරණයක් පතා ඔහු අනුජ ප්‍රේමරත්න සහ සාලිය පීරිස් ප්‍රමුඛ දක්ෂ නීතීඥ කණ්ඩායමකගේ සහය ඇතිව අධිකරණයට කරුණු දක්වන්නට වූයේ අධිකරණ වෛද්‍ය වාර්තාවල ඇති පරස්පර තත්ත්ව මෙන්ම විමර්ශන ගැටලු ගැන අධිකරණයේ අවධානයට යොමු කරමිනි. දිනේෂ් ෂාෆ්ටර් සයනයිඩ් කා තමන් විසින්ම ගෙල සිර කරගෙන සියදිවි හානි කර ගත්තේ යැයි කියා සියල්ල අවසන් කිරීමට නොහැකි වන්නේ එම නීතීඥ කණ්ඩායම නිසාය. එම නීතීඥ කණ්ඩායමේ කරුණු දැක්වීම් හේතුවෙන්ම අවසානයේදී අධිකරණයට පවා සිදු වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් විශේෂඥ මතයක් දැන ගැනීමටය. පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් ද පත් කරනු ලබන්නේ ඒ අනුවය. ඒ පෙබරවාරි 27 වෙනිදාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතීත්වයෙන් යුක්ත එම කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. එච්. එච්. ප්‍රනාන්දු, නුවර පේරාදෙණිය ජ්‍යෙෂ්ඨ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. ශිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි ජී. ආර්. රුවන්පුර යන වෛද්‍යවරුන්ය.

රටම දන්නා පිළිගත් වෘත්තිකයන් පස්දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම කමිටුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන විමර්ශන අරඹන්නේ විවෘත මනසකිනි. පරීක්ෂණයක් අවසානයේදී බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබුණු දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර පවා ගොඩගෙන සියුම් ලෙස නැවත පශ්චාත් මරණයක් පවා සිදු කරනු ලබන්නේ මෙම මරණය සැබෑ ලෙසම සිදුව ඇත්තේ සියදිවි හානිකර ගැනීමකින් ද එසේත් නොමැති නම් තුන්වැනි පාර්ශ්වයක් අතින් දැයි කියා අනාවරණය කර ගන්නටය.

ඒ සඳහා යම් සැලකිය යුතු කාලයත් වැය කළ පංච පුද්ගල වෛද්‍ය කමිටුව අවසානයේදී ඔවුන්ගේ මතය අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ පසුගිය 01 වැනිදාය. සියදිවි හානිකර ගැනීමක් බවට පත්වන්නට ගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව තහවුරු වන්නේ එම විද්වත් කමිටු වාර්තාවෙනි. ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝගයක් පවා නිකුත් කරනු ලබන්නේ ඒ අනුවය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් කෙරුණු මුල් විමර්ශනවලට අනුව එම මරණය ඝාතනයකි. ඒ, එම ඝාතනය සිදු වන්නේ ගෙල සිර කිරීමකිනි. ඒ ඔහුගේ ඝාතනය සිදුවී පැය 24ක් යන්නට මත්තෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුවය. දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද එළියට එන්නේ මුල් පරීක්ෂණ වාර්තාව සකස් කළ අධිකරණ වෛද්‍යවරයාගෙන්මය. ඊට අනුව දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ ගෙල සිරකර ගැනීමකිනි. ඒ තුළින් කියාපාන්නට වූයේ වෙන කිසිවක් නොව, දිනේෂ් ෂාෆ්ටර් ඔහු විසින්ම ගෙල සිර කරගෙන ඝාතනය වී ඇති බවකි. ඊට පසුව තවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් එළියට ආවේය. එය එළියට දාන්නේ ද එකම අධිකරණ වෛද්‍යවරයාය. ඊට අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් විසෙනි. මෙමඟින් ද කියැවෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් සයනයිඩ් කා සියදිවි හානි කරගෙන ඇති බවකි. මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ මෙසේ මරණයට හේතුව දක්වන එකිනෙකට පරස්පර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා තුනක්ම ඉදිරිපත් කරනු ලබන්නේ ඒ වන විට වැඩ තහනමට ලක්ව සිටි අධිකරණ වෛද්‍යවරයෙක් වීමය. එම අධිකරණ වෛද්‍යවරයාගේ තෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව තහවුරු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශකයන් ද සිය පර්යේෂණ මඟින් හෙළි වූ බව කියන අමුතු කතා ඒත් එක්කම කියන්නට ගත්තේය. දැන් පැන නඟින ගැටලුව වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බව අධිකරණ වෛද්‍ය වාර්තාව කියාපාන්නට වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තොරතුරු පදනම් කරගෙන ද? එසේ නොමැති නම් අධිකරණ වෛද්‍ය වාර්තාව මුල් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විමර්ශන කටයුතු සිදු කරමින් දැයි කියාය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන සියුම් ලෙස අධ්‍යයනය කළ විට පෙනී යන්නේ මේ හැමෝම උත්සාහ ගත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බව අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන වැඩේ හමාර කරන්නට බවය. වැඩේ වරදින්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ උදවිය මෙම මරණය සියදිවි හානි කර ගැනීමක් බව පිළිගන්නට කිසිසේත් සූදානමක් නොමැති වූ බැවිනි. ඒ අයගේ පැත්තෙන් කරුණු දක්වන්නට වූයේ මෙය සංවිධානාත්මකව සිදු වූ මිනිස් ඝාතනයක් බව කියමිනි.

දිනේෂ් ෂාෆ්ටර්ව මුලින් එල්ලා මරා ගන්නට බැරිවූ තැන සයනයිඩ් කා සියදිවි හානි කරගත් බව දෙවනුව කියන විට අපරාධ විමර්ශනයේ හසල දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එදා හිනා වූයේ මුඛයෙන් නොව අධෝ මුඛයෙනි.

එම නිලධාරීන් එදා පැවසුවේ මුල සිටම මෙම අපරාධය සියදිවි හානිකර ගැනීමක් බව සමාජය තුළ මතයක් වැපිරීමට සංවිධානාත්මකව ඇතැම් පිරිස් උත්සහ දැරූ බවකි. දිනේෂ් ෂාෆ්ටර් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් බවට වූ මාධ්‍ය වාර්තා පවා පළ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බව ඒ අය සිතන්නේය. එයින් සීමා නොවී අධිකරණයේ නොකියැවුණු කතා පවා එළියට එන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත් බවට කරුණු අධිකරණය හමුවේදී ද තහවුරු‍ වූ බවට ව්‍යාජ මාධ්‍ය වාර්තා පවා එළියට එමිනි.

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානිකර ගත්තේ යැයි තහවුරු කිරීමට හැකි සමාජ මතයන් එසේ ගොඩනැඟීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටියදී මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් නොවන බව තහවුරු කළ පංච පුද්ගල කමිටුවේ සභාපතීත්වය දැරූ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් පෙන්වා දෙන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය තුන්වන පාර්ශ්වයක් මැදිහත් වීම මත සිදුව ඇති බව සිය වාර්තාව මඟින් අධිකරණයට පැහැදිලිවම කරුණු පෙන්වා දී ඇති බවය. මෙම මරණය ඝාතනයක් බව අධිකරණය විසින් නිගමනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් කරන්නට සිදු වන්නේද එම විශේෂඥ වෛද්‍ය මතය මුල්කරගෙනය.

“අපිට අධිකරණ වාර්තා ද රෝහල් වාර්තා ද ලැබුණා. සිද්ධියට අදාළ කට උත්තර ද ලබා ගත්තා. පොලිසියෙන් ද තොරතුරු ගත්තා. මෙතන මූලික ප්‍රශ්නය වුණේ, මරණයට හේතුව වෙනස්වීමයි. එහිදී ප්‍රශ්නය වුණේ, සයිනයිඩ් නිසා ද තන්තුවකින් හිර කිරීමක් නිසා ද මේ මරණය සිදු වුණේ කියන එකයි. ෂාෆ්ටර් මහතා රෝහලට ගෙන යද්දී ඔහුගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වෙලයි තිබිල තියෙන්නේ. ඒ අවස්ථාවේදී රුධිරයේ ආම්ලිකතාව හා ඔක්සිජන් ප්‍රමාණය සොයන්න පරීක්ෂා කරලා තියෙනවා. ඒක තමයි මුලින් ම ගත් වාර්තාව. එම වාර්තාව සයිනයිඩ් විෂවීමක් ලෙස සැසඳෙන්නේ නෑ. සයිනයිඩ්වලදී ඔක්සිජන් ඉතුරු වෙනවා. පටකවලට යන්න බැරි හින්දා. ඒකෙන් තමයි අපිට සැකයක් ආවේ. අපි එතැනින් තීරණය කළා මූලික වශයෙන් ම හෘදය වස්තුව නැවතුණේ සයිනයිඩ් ශරීරගත වීම නිසා නොවේ කියලා. හැබැයි අනිත් පැත්තට පළමුවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ලේ හා ආමාශයේ තියෙන ආහාරවල සයිනයිඩ් තියෙනවා. එවිට අපිට එය බැහැර කරන්න බෑ. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ, දේහය ගොඩ අරගෙන පරීක්ෂා කරන්න ඕනේ කියල“ යැයි මහාචාර්ය අසේල මෙන්ඩිස් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පංච පුද්ගල විශේෂඥ කමිටුව කටයුතු කළ ආකාරය ගැන කරුණු දක්වන්නේ එසේය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මිහිදන් කළ දේහය මාස පහකට පසු ගොඩ ගන්නේ ඒ අනුවය. ඒ හරියටම මැයි 18 වෙනිදාය. බොරැල්ල පොදු සුසාන භූමියේදී විශේෂඥ වෛද්‍ය කමිටුවේද අධික්ෂණය ඇතිව ගොඩ ගත් දේහය පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන යන්නේ ගාල්ල කරාපිටිය රෝහලටය.

“මාස පහකට පස්සේ ගොඩ අරන් පරීක්ෂා කරන විට එහි බාහිරව තුවාල හොයා ගන්න අමාරුයි. ඒ නිසා අපි තීරණය කළා තුවාල වෙන්න පුළුවන් කියල සැක හිතෙන තැන්වල පටක පරීක්ෂා කරන්න. ඒවාගේ තව තුවාල ප්‍රමාණයක් හම්බ වුණා. විශේෂයෙන් බෙල්ලේ ශ්වාසනාලය ආශ්‍රිත පටකවලට රුධිරය වහනය වෙලා තිබුණා. එතැනින් තමා අපි තීරණය කළේ මේක යම්කිසි ආකාරයකින් ගෙල මත පීඩනයක් යෙදීම මඟින් තමා පළමුවන අවස්ථාවේ හෘදය වස්තුව නවතින්න ඇත්තේ කියලා.“ ගොඩගත් දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර පරීක්ෂාවට ලක් කරමින් සොයා ගත් කරුණු මහාචාර්ය අසේල මෙන්ඩිස් දිග හරින්නේ එසේය.

“සයිනයිඩ් ශරීරයේ තිබුණා කියලා වාර්තා තිබුණට කොහොම ද මරණයට එය බලපෑවේ කියන එක තීරණය කරන්න එක එක සාධක මත අපහසුයි. මාස පහකට පස්සේ සයිනයිඩ් බලන එක තේරුමක් නෑ. සයිනයිඩ් කොහොම ද ආවේ. මෙයා ගෙනාව ද, ඒ කිසි ම සාධකයක් නෑ. සයිනයිඩ් රුධිරයේ තිබුණොත් එය මුඛය මඟින් සිරුරට ආවා කියලා තහවුරු වෙනවා. හැබැයි කොහොම ද වුණේ කියලා කියන්න බෑ. අනිත් එක ලේ සාම්පල් දෙකක තිබුණට හකු කුහරයෙන් ගත් ලේ සාම්පලයේ තිබිච්ච ප්‍රමාණය අපි සැලකිල්ලට ගත්තේ නෑ. මොකද හකු කුහරයේ තිබෙන ලේවලින් ගන්න සයිනයිඩ්වල හරි විස ප්‍රමාණය නෑ. එහෙම වෙන්නෙ ඒකට ආමාශයට වෙන වෙන තැන්වලින් කලවම් වෙලා ඒක වැඩි වෙන්න පුළුවන් නිසා. ඒ නිසා පාදයේ නහරයකින් ගත්ත සාම්පලයක් පරීක්ෂා කළා. එහි සයිනයිඩ් තියෙන්නේ මරණයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් යැයි ද මහාචාර්ය අසේල මෙන්ඩිස් පවසන්නේය.

“මේක වෙච්ච ආකාරය බලපුවා ම මෙය ස්වාභාවික මරණයක්වත් අනතුරක් නිසා වෙච්ච දෙයක්වත් නොවේ. එක්කෝ සිය දිවි නසා ගැනීමක්, නැත්නම් ඝාතනයක්. එතකොට තන්තුවකින් ගෙල සිර කරගෙන මැරෙන්ඩ පුළුවන්. නමුත් එතකොට තමන් ම හිර කර ගන්නවා නම් ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. සිරුර හම්බ වුණු අවස්ථාවේ එහෙම තියෙන්න ඕනේ. හැබැයි සාක්ෂිවලින්වත් තුවාලවලින්වත් එහෙම එකක් තහවුරු වෙන්නෙ නෑ.“ යැයි මහාචාර්ය අසේල මෙන්ඩිස් පවසන්නේ සියදිවි හානිකර ගැනීමක් බවට වූ මතය ද බැහැර කරමිනි.

මහාචාර්ය අසේල මෙන්ඩිස් පවසන ආකාරයට අනුව මෙම මරණය තුන්වැනි පාර්ශ්වයක් විසින් සිදු කර ඇති එකකි. ඒ බව විශේෂඥ කමිටු වාර්තාවේ දක්වා ඇත්තේ එබැවිනි.

ඒ අනුව තවදුරටත් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලා සිටිය නොහැකිය. මෙම මරණයට වගකිව යුතු තුන්වැනි පාර්ශ්වය හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද මේ වන විට නිකුත් කර හමාරය.

දිනේෂ් ෂාෆ්ටර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේදීය. අපරාධකරුවන්ගේ ගොදුරක් බවට ඔහු ලක්ව සිටි ස්ථානය නිරීක්ෂණයේදී මුල් අවස්ථාවේදීම පෙනී ගොස් තිබුණේ එම ස්ථානය ගැන නොදන්නා අයෙක් වාහනයක් රැගෙන එතැනට නොඑන බවය. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වී සිටි මෝටර් රථය සුසාන භූමියට ඇතුළු කර කෙලින්ම ගොස් තිබුණේ එතැනටය. ඒ තුළින් කියාපෑවේ එම මෝටර් රථය එතැනට රැගෙන ගියේ ඒ තැන ගැන දන්නා පළපුරුදු කරුවෙක් බවය. එම පළපුරුදු කරු දිනේෂ් ෂාෆ්ටර් ද නැතිනම් ඔහුගේ ඝාතකයා දැයි සොයා ගැනීමේ අභියෝගය දැන් පැවරී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

ෂාෆ්ටර් ඝාතන විමර්ශනය කුමන පැතිකඩක් ඔස්සේ ගමන් කළ ද, වැදගත්ම සාක්ෂිකරුවෙක් බවට පත්ව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියේ කම්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටින නිලාම්ය. දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව වී සිටියදී කොළඹ ජාතික රෝහල වෙත ඔහුව රැගෙන යාමට මැදිහත්කරුවෙක් වන්නේ ද නිලාම්ය.

නිලාම් පදිංචිව සිටින්නේ බොරැල්ල පොදු සුසාන භූමියට ආසන්න ප්‍රදේශයකය. බොරැල්ල පොදු සුසාන භූමියේ නිලාම් සේවයේ නිරතව සිටින්නේ 2015 අවුරුද්දේ සිටය. ඔහුගේ රැකියාවේ ස්වභාවය වන්නේ මිනී වළවල් කැපීමය. කනත්ත දැන් ඔහුට සිය නිවසටත් වඩා හුරුය. එහි සිදුවන හැම දෙයක් ගැනම ඔහුට හොද අවබෝධයක් ද ඇත්තේය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින නිලාම් සුසාන භූමියේ සේවයට වාර්තා කරනුයේ උදෑසන 8.30ට පමණය. ඔහු එදා සවස 2.30 පමණ වන විට සිටින්නේ සුසාන භූමියේ අනාථ කෑල්ල ලෙස හඳුන්වනු ලබන කොටසේය. ඒ ඔහු විසින් එදා කැපූ වළේ වලලෑමට මළ සිරුර රැගෙන එනතුරුය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය තිබී ඇත්තේ ඔහු රැඳී සිටි ස්ථානයේ සිට මඳක් ඈතිනි. මෙසේ සුසාන භූමිය තුළ මෝටර් රථ හෝ ත්‍රිරෝද රථ නතරකර තිබීම නිලාම්ට නම් එතරම් අරුමයක් නොවීය. ඒ සුසාන භූමියේ වාහන නතර කර තිබීම සාමාන්‍ය දෙයක් වූ බැවිනි. එබැවින් නිලාම්ගේ විශේෂ අවධානයක් මෙම මෝටර් රථය දෙසට යොමු නොවීය. නමුත් ඒ අලුත කැපූ වළ අසලට එන විට මෝටර් රථය ආසන්නයේ රැඳී සිටි කෙට්ටු උස අයෙක් කනත්තේ පසුපස ආදාහනාගාරය පැත්තට තරමක් වේගයෙන් ගමන් කරනු නිලාම් දුටුවේය. ඒ පුද්ගලයා හැඳ සිටි ඇඳුම් පැලඳුම් ගැන කියන්නට තරම් මුලදී නිලාම්ගේ මතකයට නාවත් මතකයේ රැඳී තිබුණු ඒ දේවල් පසුව ඔහු පොලිසියට කීවේය.

එකී මතකයේ හැටියට එම පුද්ගලයා සිට ඇත්තේ කලිසමකින් සහ කමිසයකින් සැරසීය. ඒ පුද්ගලයාව නැවත දුටුවහොත් හඳුනා ගැනීමට තරම් දැන් නිලාම්ට හොඳ මතකයක් ඒ වන විටත් තිබී ඇත්තේය. ඒ බව පොලිසියට පවා ඔහු කියා ඇත්තේ කට වචනයට නොව, ප්‍රකාශයක් ද ලබා දෙමිනි. ඒ අනුව නිලාම් පත්වන්නේ වැදගත් සාක්ෂිකරුවෙක් බවටය.

එදා නිලාම් ඔහු කැපූ මිනී වළ අසලට එන විට වේගයෙන් එම ස්ථානයෙන් පිටව ගියේ දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතකයා ද? වෙනත් අයෙක් ද? යන්න වග ගැන පවා ඇත්තේ ද තාමත් අබිරහසක් ලෙසිනි. ඒ පුද්ගලයා කවුරු දැයි කියාවත් මෙතෙක් හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාවක් ලැබී නැති බැවිනි. බොහෝවිට සැක කළ හැක්කේ එම පුද්ගලයා සහ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය අතර යම් සම්බන්ධයක් තිබෙන්නට ඇති ඉඩකඩ බොහෝ බවය. එහෙත් ඒ පුද්ගලයා පස්සේ පැන්නීමට තරම් උනන්දුවකින් පොලිසිය කටයුතු කළේ දැයි ඇත්තේ ගැටලුවකි. අඩුම තරමින් නිලාම් දෙන තොරතුරු ඔස්සේ පොලිස් සිත්තරා යොදවා එම පුද්ගලයාගේ හැඩරුවට සමාන සිතුවමක් නිර්මාණය කර එම සිතුවම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නට තරම් උනන්දුවක් ද තිබූ බවක් වත් දැන ගන්නට නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පන්නන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කර ගත්තේ යැයි කියැවෙන සාක්ෂි සහ හෝඩුවාවන් පස්සේය. අඩුම තරමින් මෝටර් රථය අසල සිට ගියේ යැයි කියන පුද්ගලයා දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය හා සම්බන්ධ නොවූ අයෙක් වූවත් ඔහු කවුරුන්දැයි හඳුනා ගැනීමට කටයුතු කිරීමේ වගකීමක් එම විමර්ශන කණ්ඩායමට තිබුණේය. ඒ එය ඒ වන විටත් ආන්දෝලනයට තුඩුදී තිබුණු කරුණක් වූ බැවිනි. දැන් දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වී මාස 10කට වැඩි කාලයක් ගතවී හමාරය. දැන් නිලාම්ට ඒ මුහුණ මතකයේවත් නැතිව තිබිය හැකිය. හැබැයි එම පුද්ගලයා හොල්මනක් නොවන බව නම් නිලාම් දන්නේය. ඒ බොරැල්ල කනත්තතේ හොල්මන් සහ සැබෑ ජීවීන් කවුරුන් දැයි ඔහුට හොඳ අවබෝධයක් තිබෙන බැවිනි.

එදා එම අබිරහස් පුද්ගලයා මෝටර් රථය අසලින් අතුරුදන් වීමත් සමඟ ඊළඟට එතැනින් මතු වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික සගයා මෙන්ම මිතුරාය. සුදු පැහැති බැනියමකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටි එම පුද්ගලයා මෝටර් රථය වටේ කැරකැවෙමින් කෑමොර දෙන්නට විය. ඒ කිසියම් අයකුගේ නමක් කියමිනි. ඒ දෙසට සිය අවධානය යොමු කළ නිලාම් එතැනට දිව යන්නේ සිය මිතුරකු වූ ජෝන් ද කැටිවය. නිලාම්ගේ එම මිතුරා ද වෙන කිසිවෙක් නොව සුසාන භූමි සේවකයෙකි.

කෑගසමින් සිටි එම මිතුරා මෝටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර විවෘත කරනු ලබන්නේ නිලාම් සහ ජෝන් එතැනට ආ පසුවය. එහිදී ඔවුන් දෙදෙනාම දකින්නේ මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි කේබල් ටයිවලින් දෑත් ගැටගසා සිර කර සිටි දිනේෂ් ෂාෆ්ටර්වය. ඒ වන විට ඔහුගේ සිරුර වටා වයරයක් එතී තිබෙන අයුරු ද ඒ හැමෝම දුටුහ.ඒ බව පැහැදිලිවම ඒ අය පොලිසියට ප්‍රකාශ පවා ලබාදී ඇත්තේය. සිරුර වටා එතී තිබුණු වයරය ගලවා දමන්නේ නිලාම්ය.

මෙහිදී දෑත් සිර කර තිබුණු කේබල් ටයි ගලවා ඉවත් කිරීමට නිලාම් යම් උත්සහයක් ගත්ත ද එය පහසු කටයුත්තක් නොවූ බැවින් දිනේෂ් ෂාෆ්ටර්ව රියදුරු අසුනට යාබද අසුනට ඉතා අපහසුවෙන් ඔසවා තබන්නේ එම මිතුරා සහ නිලාම් එක්වය. ඊට ජෝන් ද උදව් කළේය. අනතුරුව රියදුරු අසුනට ගොඩවන මිතුරා මෝටර් රථය පණ ගන්වාගෙන කොළඹ ජාතික රෝහල වෙත දිනේෂ් ෂාෆ්ටර්ව රැගෙන එන්නේ නිලාම් සහ ජොන්වත් මෝටර් රථයේ දමාගෙනය. ඒ එන අතරතුර දිනේෂ් ෂාෆ්ටර් ගේ පපුව තෙරපමින් ඔහුට සිහිය ගන්වන්නට නිලාම් දැඩි උත්සාහයක් ද ගෙන තිබුණේය. දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සිදු වන්නේ ඒ සියලු උත්සාහයන් පමණක් නොව, මෙම මරණය හා බැඳුණු අභිරහස් වැලක් ඉතිරි කරමිනි. ඇතැම් අයට මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් වූයේ ඒ නිසා විය හැකිය. දැන් ඒ හැම දෙයක්ම අතේ පැලවෙන බොරුවක් බවට පත්ව ඇත්තේ බොරුවට වැඩිකල් ආයුෂ නොවූ බැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් පවා මෙහිදී හැම උත්සාහයක්ම ගන්නේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කර ගත් බව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමටය. ඒ ඔවුන්ට වැඩිපුරම ලැබෙන සාක්ෂි ඒ පැත්තෙන් නිසා වන්නට ද පුළුවනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත අධිකරණය හමුවේ වරක් දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනය සිදු වූ අයුරු පෙන්වා දෙන්නට වූයේ කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන කටයුතු සඳහා සම්බන්ධ වූ බව කියමිනි. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින ඔහු කොළඹ මල්පාරේ පිහිටි නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන තෙක් මාර්ගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටින්නට වූයේ ආරක්ෂක කැමරා පද්ධති 12ක් ද එහිදී සිය නිරීක්ෂණයට ලක්වූ බව පවසමිනි.

උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත පෙන්වා දෙන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ නැඟී නිවසින් පිටත්ව ඇත්තේ එදා සවස 2.00ට පමණ බවය. එම මෝටර් රථය ආරක්ෂක කැමරා දර්ශන සමීප රූප මගින් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ යැයි ඔහු කියන්නේ මෝටර් රථයේ ඒ වන විට රැඳී සිටියේ දිනේෂ් ෂාෆ්ටර් පමණක් බවය. රියදුරු අසුනට යාබද අසුනේ සිප් පටියක් මෙන්ම කේබලයකට සමාන යමක් ද තිබෙන බව නිරීක්ෂණය වූ බව ද මේ නිලධාරියා අධිකරණය හමුවේ කියන්නට විය. මෙම නිලධාරියා උත්සාහ ගත්තේ එම කේබලය දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙල සිර කර තිබුණු කේබලයට සමාන එකක් බව අධිකරණය හමුවේ පෙන්වා දීමටය. මෙහිදී මෙම නිලධාරියා අධිකරණය හමුවේ වඩාත් අවධානයට යොමු කරන්නට වූයේ වෙනත් වාහනයක් දිනේෂ් ෂාෆ්ටර්ගේ වාහනය හඹා එන බවක් ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණයේදී පෙනී නොගිය බවය.

මල්පාරේ පිහිටි නිවෙසින් සවස 2.00ට පමණ පිටත් වෙන දිනේෂ් ෂාෆ්ටර් කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි රොද්‍රිගු නැමැති කෙටි ආහාර අලෙවි සැලෙන් පැටිස් එකක් සහ පේස්ට්‍රියක් මිලදී ගෙන ඇති බව තහවුරු වී ඇති බව ද මනෝජ් ගයන්ත අධිකරණයට මෙදින පෙන්වා දුන්නේය. මෙම කෙටි ආහාර මල්ල ද රැගෙන දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළු වූයේ යැයි කියන්නේ සවස 2.18ට පමණය. සුසාන භූමියේ ගුවන් හමුදා ස්මාරකය අසල දිනේෂ්ගේ මෝටර් රථය නතර කෙරුණේ යැයි කියැවෙන්නේ සවස 2.19ට පමණය. සුසාන භූමියෙන් පිටතට ඇති ආයතනයක ආරක්ෂක කැමරා දර්ශන මගින් මේ බව තහවුරු වූ බව ද මෙම නිලධාරියා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ එම ආයතනයේ නම ද සඳහන් කරමිනි. මෝටර් රථය සුසාන භූමියට ගොස් ගුවන් හමුදා ස්මාරකය අසල නතර කරන අයුරු දුටු කැමරාවට මෝටර් රථය අසල සිටි පුද්ගලයකු ගමන් කරන බවක් සටහන්ව තිබුණු බවක් හෝ එවැන්නක් එම කැමරා කෝණයට වැදී නොමැති බවක් හෝ එහිදී නිකමටවත් ඔහුගේ කටින් කියැවුණේ නම් නැත.

අධිකරණය හමුවේ උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත පෙන්වා දෙන්නේ මෙදින ආදාහනය සඳහා දේහ 08ක් සහ භූමදානය සඳහා දේහයක් 06ක් රැගෙන ඒමට නියමිතව තිබුණු දිනයක් බවය. ඒ අවස්ථාවේ සුසාන භූමියේ සේවකයන් දෙදෙනෙක් සිට ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් විසින් සිය මෝටර් රථය නතර කර තිබුණු තැන සිට මීටර් 200ක් පමණ දුරකිනි. මීඩින් නිලාම් සහ ජොන් ඇන්ටනී යන දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව කියන මේ නිලධාරියා අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් රැඳී සිටි මෝටර් රථයෙන් පුද්ගලයෙක් බැස යන ආකාරයක් හෝ එම රථය දෙසට පුද්ගලයෙක් පැමිණි බවක් දැක නැති බවය.

අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරියා කුමක් කීවත් මේ එක් සේවකයෙක් මූලික විමර්ශනයේදී බොරැල්ල පොලිසිය හමුවේ පවසා තිබුණේ මෝටර් රථය අසල රැඳී සිටි පුද්ගලයෙක් වේගයෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව තමා දුටු බවය. එම පුද්ගලයාව නැවත දුටුවොත් හඳුනා ගන්නට පවා හැකි බව ඔහු පොලිසියට පමණක් නොව, තවත් බොහෝ අයට කීවේය. ඔහුගෙන් අධිකරණය මෙයට පෙර සාක්ෂියක් ද ලබාගෙන තිබුණේය. එම සාක්ෂි මාධ්‍යට විවෘත නොවීම හේතුවෙන් ඔහු ඒ ගැන කීවේ කුමක්දැයි දන්නේ අධිකරණය සහ එම සාක්ෂිය ලබා ගන්නා අවස්ථාවේදී එහි සිටි නීතීඥවරු ඇතුළු කිහිප දෙනෙක් පමණි. කෙසේ වෙතත් දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට ද මුල් වූයේ මෙම සේවකයන් දෙදෙනා බව අමතක නොකළ යුතුය.

උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත අධිකරණය හමුවේ මෙදින තවත් සුවිශේෂී කාරණාවක් පෙන්වා දුන්නේය. එනම් දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙලෙහි රැඳී තිබුණු වයරය හා ඔහුගේ නිවසේ තිබී හමුවූ ඩිස්. ටී.වී කේබලය සමාන කමක් ඇති බවය. එසේම දිනේෂ්ගේ දෑත් ගැටගසා තිබුණු සුදු පැහැති කේබල් ටයිවලට සමාන කේබල් ටයි 08ක් ද දිනේෂ්ගේ නිවෙසේ කාර්යාල කාමරයකින් හමුවී ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැටගසා සහ ගෙල සිර කරගත් උපකරණ සියල්ලක්ම නිවෙසේ සිට රැගෙන ගිය බව අධිකරණයට ඒත්තු ගන්වමිනි. හැබැයි මේ කියන උපකරණ නිවසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණේ දිනේෂ්ගේ මරණයෙන් සතියක් හෝ ඒ ආසන්න කාලසීමාවකින් පසුවය. මේ හැම දෙයක් මඟින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන්නට උත්සාහ ගන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඔහු විසින්ම කරගත් බව තහවුරු කිරීමටය.

එය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තහවුරු කිරීමට උත්සහ දරන්නේ දිනේෂ් ෂාෆ්ටර් මාස ගණනාවකම සිට දැඩි කලකිරීමකින් සිට ඇති බවය. කේන්ති යාම, ව්‍යාපාරික ගනුදෙනුවලට සම්බන්ධ නොවී සිටීම ආදී හෝ දේවල් ගැන මෙහිදී උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත අධිකරණය දැනුම්වත් කරන්නට ගත්තේය. ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සේවකයන් වෙනුවෙන් කළුතර හෝටලයක පැවැති සුහද හමුවකින් අනතුරුව නොවැම්බර් 27 වෙනිදා සවස 3.05ට පමණ සකස් කළ ලිපි කිහියක් ගැන ද මෙහිදී උප පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත අධිකරණය හමුවේ කරුණු දක්වන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් නොවන තැනකට රැගෙන යමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙසේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් නොවන තැනකට තල්ලු කිරීමට සිය විමර්ශන දත්ත ඔස්සේ තල්ලු කරන විට ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න දිගින් දිගටම අධිකරණය හමුවේ පෙන්වා දෙන්නට වූයේ මෙම මරණය ඝාතකයක් ද සියදිවි හානිකර ගැනීමක්දැයි පැහැදිලිවම කරුණු හෙළි කර ගැනීමට හැකියාව ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ ඇති පරස්පරකම් ගැනය.

දිනේෂ් ෂාෆ්ටර් කලකිරීමකින් සිටි බව මෙන්ම ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ නොවී සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තහවුරු කිරීමට විවිධ තර්ක ගෙන ආවත් මරණය සිදු වූ දිනත් දිනේෂ් ෂාෆ්ටර් ඔහු අධ්‍යක්ධුරය දරන සමාගම් සමඟ කළ ගනුදෙනු ගැන මෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමක තොරතුරු ද අධිකරණය හමුවේ දිග හැරියේය. එසේම අනුජ ප්‍රේමරත්න මෙහිදී අධිකරණයේ විශේෂ අවධානයකට යොමු කරනු ලබන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ස්ථානීය පරීක්ෂාව සහ එම ස්ථානයට ගිය අධිකරණ නිලධාරියා විසින් යොදා ඇති නිරීක්ෂණ සටහන් ගැනය.

“එම සටහන් අතර , මරණකරුගේ දකුණු කනට ඉහළින් අඟල් දෙකහාමාරක ප්ලාස්ටරයක් දමා තිබූ බව, වම් ඇසට අඟල් තුන් කාලක් පමණ පහළින් රතු පැහැති සීරීම් ලකුණක් ඇති බව, දකුණු ඇසට පහළින් මිලි මීටර් 02ක තුවාල ලකුණක් ලෙස සිතිය හැකි කුඩා සීරීම් ලකුණක් ඇති බව, බෙල්ල වටේට රත් පැහැ ගැන්වී තිබීම, දෙඅතේම මාපට ඇඟිලි දෙකේ ඉහළ සිට පළමු පුරුක ඇතුළු පැත්ත දම් පැහැ ගැන්වී ඇති බව, දේහයේ යටි කය පහළින් උදරය මැද සිට වම්පසට වන්නට අඟල් හතරක පමණ ප්‍රමාණයක් රත්පැහැ ගැන්වී තිබීම, උදරයේ මැද සිට දකුණු කකුලේ වළලුකරට අඟල් හයක් ඉහළින් කකුලේ ඉදිරිපස අඟලක් පමණ රත්පැහැ ගැන්වූ තුවාලයක් තිබීම ආදිය තිබුණා. විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂියෙන් නම් මේ දේවල් ගැන කියැවුණේ නැහැ. “ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න එම කරුණු අධිකරණයේ විශේෂ අවධානයකට යොමු කරනු ලබන්නේ මෙසේය.

ඒ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙල සිරකර තිබූ වයරය, දෑත් ගැටගසා තිබුණු සිප් ටයි ආදියෙහි කළ ඩී.එන්.ඒ පරීක්ෂාවේදී මේ වන විට පෙනී ගොස් ඇත්තේ ආගන්තුකයෙකුගේ ජෙව සාම්පලයක් එහි ගෑවී ඇති බවය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවට කරුණු දැක්වෙන විමර්ශන තොරතුරු ගොන්නක්ම මතු කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට එම ජෙව සාම්පලයේ හිමිකරු හඳුනා ගැනීමටත් දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසල සිට අතුරුදන්වූ අභිරහස් පුද්ගලයා සොයා ගැනීමටත් දැන් ඇත්තේ අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොපමණ කාලයක් ගතවේද? මෙම ඝාතනයත් කාලය අතර සැඟවී ගිය අපරාධකරුවෙක් නීතිය හමුවට කොටු නොවූ ඝාතනයක් බවට පත්වේද? යන්න තීරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව හා කැපවීම මතය.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

lගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division