පාසල් 10,126ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පාසල් 10,126ම සුහුරු පාසැල් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉකුත්දා උඳුගොඩ අර්ෆා විදුහලේදී පැවසීය.
අපේ රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසියෙන් යැයි පැවසීමට සෙසු පුද්ගලයන් මෙන් තමා බිය නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, බංකොලොත් රටේ මේ මොහොතේ හෝ ලොව දිනන පුරවැසියන් බිහිකරන ගමන ඇරැඹිය යුතු බව ද එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය
පදනම් කරගත් සුහුරු අධ්‍යාපන ක්‍රමයක් විය යුතු බවත් සුහුරු රටක් ගොඩනැඟීම වෙනුවෙන් තමා කැප වෙන බවත්ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිළුමිණ විද්වත් මත විමසුමක් කළ අතර, මේ ඒ පිළිබඳ පළ වූ අදහස්ය.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණයෙන් ඉගැන්වීමෙන් බිහි වෙන්නෙ රටේ සංස්කෘතික උරුමය සහ මවු බස නොදත් පරපුරක්
– කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
මූලික වශයෙන් ගත්තොත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කියන්නේ එකිනෙකට වෙනස් කරුණු දෙකක්. මේ රටේ ඉංග්‍රීසි උගන්වන්නේ දෙවැනි බසක් විදිහටයි. පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඉතාම ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. අද අපි මුහුණ දෙන ප්‍රශ්නය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීමට හොඳ ඉංග්‍රීසි ගුරුවරු සහ හොඳ ඉංග්‍රීසි ඉගැන්වීමක් පාසල්වල සිදු නොවීමයි. එහෙත් එයින් අදහස් වන්නේ නැහැ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන බව. වර්තමානයේ කොළඹ සහ නාගරික පාසල් කිහිපයක හැරෙන්නට බොහෝ පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීමට හොඳ ගුරුවරු නැහැ.
මම හිතන්නේ විෂයයක් හැටියට පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම සාර්ථකව කරන්න පුළුවන් නම් දරුවන් තමන්ගේ මවු භාෂාවෙන් ඉගෙන ගෙන ඉංග්‍රීසි පිළිබඳ හොඳ දැනුමක් සමඟ උසස් අධ්‍යාපනයට යොමු වනවා.
මවු භාෂාවෙන් ඉගැන්වීම ලෝකයේ පිළිගත් අධ්‍යාපන සිද්ධාන්තයක්. මවු බස කියලා අපි අදහස් කරන්නේ ළමා කාලයේදී දරුවකු තම නිවෙසේ පරිසරය තුළ ඉගෙන ගන්නා භාෂාවයි.
දරුවාගේ බුද්ධිමය සංවර්ධනය සමඟ බැඳුණු විචාරාත්මක චින්තනය, සාක්ෂරතා කුසලතා බැඳී පවතින්නේ මවු භාෂාව සමඟ ඉගෙන ගන්නා විටයි. එමෙන්ම සංස්කෘතික බැඳීම තියෙන්නේත් මවුබසෙන් ඉගෙන ගැනීම තුළයි. වර්තමානයේ අපි දකිනවා ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරුවන් තුළ මේ සංස්කෘතික බැඳීම නැහැ. අපි හිතමු, සම්පූර්ණයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත් ආර්ථික විශේෂඥයකුට මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ බසින් රටේ ආර්ථික ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන්ද? එවැනි සංස්කෘතික බැඳීමක්, රටේ අභිමානය සහ අනන්‍යතාව ඇති වන්නේ මවු භාෂාව තුළින්.
ස්වභාෂාවේ පෝෂණය සිදු වන්නේ ඒ භාෂාව ඒ රටේ අධ්‍යාපන මාධ්‍ය වීම නිසයි. කාලයක් තිස්සේ සිංහල භාෂාවට අලුත් වචන එකතු වද්දී භාෂාවේ ප්‍රකාශන ශක්තිය දියුණු වුණා.
අධ්‍යාපන ගුණාත්මක භාවය සඳහා මවු භාෂාවෙන් ලැබෙන දායකත්වය පිළිබඳ යුනෙස්කෝව පවා පිළිගෙන තිබෙනවා.
ඒ නිසයි යුනෙස්කෝ ආයතනය සෑම වර්ෂයකම පෙබරවාරි 21 වැනිදා ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය ලෙස නම් කර තිබෙන්නේ. භාෂා රාශියක් භාවිත වන රටක වුණත් මවු භාෂාවෙන් ඉගැන්වීම බලාත්මක කළ යුතුයි.
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. උසස් අධ්‍යාපනය ලබන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම සඳහා යොමු විය හැකියි. උදාහරණයක් විදිහට කියනවා නම් ඉංග්‍රීසි බසින් පමණක් මේ රටේ දේශපාලනය කරන්න බැහැ.
මවු භාෂාවට අමතරව තවත් විශ්ව භාෂාවක් ඉගෙන ගැනීම වරදක් නොවෙයි. කුමාරතුංග මුනිදාසයන් පවසා තියෙනවා ඉංග්‍රීසිය බෝ කළ යුතුයි කියා. ඒ කියන්නේ හැමතැනම ප්‍රචාරය කළාම ඉංග්‍රීසියට තියෙන අගය නැති වෙනවා. ඉංග්‍රීසියට තියෙන අගය නැති වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නිසා නොවෙයි, ඉංග්‍රීසි බස හොඳට ඉගැන්වීමෙන්.
විශේෂයෙන් ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මවු භාෂාවෙන් ලබාදී ද්විතියික හෝ උසස් අධ්‍යාපනයේදී වෙනත් භාෂාවකින් ඉගෙන ගැනීම ගැටලුවක් නෙවෙයි. ඉංගිසි ඉගැන්වීම පාසල්වල විෂයයක් හැටියට වඩාත් හොඳ මට්ට්මට ගත යුතුයි.
විශේෂයෙන් අද ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණයෙන් ඉගැන්වීමෙන් කරන්නේ රටේ සංස්කෘතික උරුමය සහ මවුබස නොදත් පරපුරක් බිහි කිරීමයි. ඒ නිසා තමන්ගේ උසස් අදහස්, තමන්ගේ දැනුම තමන්ගේ බසින් කිව හැකි පිරිසක් ඇති කිරීමයි වැදගත් වන්නේ.
රටක සංවර්ධනයත් භාෂාවත් අතර විශාල සම්බන්ධයක් තිබෙනවා. ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු බොහෝ රටවල් වැඩ කරන්නේ වෙනත් භාෂාවලින් නොව ස්ව භාෂාවෙන්. ඒ නිසා මගේ අදහස මවු භාෂාව රටේ අධ්‍යාපන මාධ්‍ය වීම ඉතා වැදගත් කරුණක්.
පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් උගන්වලා අපි බිහි කරන්නෙ රටේ ජනතාව සමඟ සන්නිවේදනය කළ නොහැකි පරපුරක්. අනාගතයේදී ඒ තත්ත්වය ඇතිවිය හැකියි. ඒ නිසා අපේ රටේ පාසල් පද්ධතියේ අධ්‍යාපන මාධ්‍ය මවු භාෂාව විය යුතුයි. ඒ අතර ඉංග්‍රීසි ඉතා හොඳින් ඉගැන්වීම සිදු කළ යුතුයි.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කාලෝචිත අවශ්‍යතාවක්
– කතෝලික පාසල් සාමාන්‍යාධිකාරී ගරු ගැමුණු ඩයස් පියතුමා
අපි කවුරුත් දන්නවා අද රටේ ලෝකයේ තිබෙන තත්ත්වය නොවෙයි තව වසර 10-15කින් තිබෙන්නෙ. අපි කාටවත් සිතාගත නොහැකි තරමට ලෝකය වෙනස් වෙනවා. අද තාක්ෂණය ඉතාම දියුණුයි. කාලයකට කලින් අපිට හිතුණේ විශ්ව ගම්මානය කියන අදහස සංකල්පයක් පමණයි කියලා. නමුත් දැන් එය සිදුවෙමින් තිබෙනවා. තාක්ෂණය තුළ අපට සිතාගත නොහැකි තරමට දියුණු ක්‍රම පැමිණ තිබෙනවා.
ඒ තුළ ලෝකය එක ගම්මානයක තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ තත්ත්වයට මුහුණ දීමට නම් අපි දන්න සිංහලෙන් විතරක් අපේ රටට සීමා වෙලා වැඩ කරන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම තවත් භාෂාවක් ඉගෙන ගත යුතුයි. මම හිතන්නේ මේ රටේ ඉන්න හැම දරුවකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දිය හැකි නම් එය ඉතාම වැදගත්. 1960ට කලින් බොහෝ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කළා. ඒ හැම කෙනෙක්ම අදටත් ඉංග්‍රීසි කතා කරනවා. අද අපි දකිනවා විෂයයක් විදිහට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වුවාට අවුරුදු 13ක් පාසල් ගියාට පාසල හැර ගියාට පස්සේ ඉංග්‍රීසි වචන දෙකක් එකතු කරලා වාක්‍යයක් ගොඩ නඟාගන්න බැරි ළමයි ඕනෑතරම් ඉන්නවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව විෂයයක් විදිහට පමණක් ඉගැන්වීම ප්‍රමාණවත් නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම සහ ළමුන්ට ඉංග්‍රීසි භාෂාව හුරු කරවීම ඉතාමත් වැදගත්.
ඒ වගේම තාක්ෂණය සමඟ යන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා ලෝකය එක්ක පෙරට යන්න නම් සුහුරු අධ්‍යාපනය තිබිය යුතුයි. කිසිම දේශපාලන මතයකින් තොරව විපක්ෂ නායකවරයා මතු කළ අදහස මම අනුමත කරනවා.
විෂයයක් විදිහට ඉගැන්වූවාට කමක් නැහැ, අධ්‍යාපනය දිය යුත්තේ මවු භාෂාවෙන්
– ආචාර්ය ගුණදාස අමරසේකර
පාසල්වල ඉංග්‍රීසි විෂයයක් විදිහට ඉගැන්වීම හොඳයි. නමුත් අධ්‍යාපනය ලබා දිය යුත්තේ ස්ව භාෂාවෙන් නැතහොත් මවු භාෂාවෙන්. මවු භාෂාව කියන්නේ තමන්ට උපතින් හිමි වන භාෂාව, එසේත් නැතිනම් උපතේ සිට තීරණාත්මක කාලයක් තුළ මුලින්ම ඉගෙනගන්නා භාෂාවයි. ඕනෑම පුද්ගලයකුගේ නිර්මාණ ශක්තිය මතු වන්නේ තමාගේ මවු භාෂාව පිළිබඳ ඇති දැනුමේ පෘථූලත්වය මතයි.
වෙනත් භාෂාවකින් එය මතුවීම සීමා සහිතයි. සාහිත්‍යයක් ගොඩනඟන්න නම් මවු භාෂාව ඉදිරියට ඒම අවශ්‍යයි. ඒ ගැන හොඳ අවබෝධයක් අපේ අනාගත පරපුරට ලැබිය යුතුයි. ඉංග්‍රීසි අමතර භාෂාවක් හැටියට ඉගැන්වීමේ කිසිම වරදක් නැහැ. නමුත් පස්වැනි පන්තිය දක්වා අධ්‍යාපන මාධ්‍ය විය යුත්තේ මවු භාෂාවයි.
විදේශ භාෂාවලින් ඉගැන්වීම දරුවකුගේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන තිබෙන සම්මතයට පටහැනියි
– යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
මම හිතන්නේ විපක්ෂ නායකතුමා විතරක් නෙවෙයි මේ වගේ දේවල් කිව්වේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලත් එකේ පන්තියේ සිට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ඇතැම් යෝජනා ඉදිරිපත් කර ඇති බව දැනගැනීමට තිබෙනවා. විජාතික භාෂාවලින් ඉගැන්වීම දරුවෙක්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තිබෙන සම්මත දැනුමට පටහැනියි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන විවිධ කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විමසන්න පුරවැසියාට අයිතිය තියෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. තීන්දුව ප්‍රකාශයට පත් කරන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම ඒවා කථානායකතුමා පාර්ලිමේන්තුවට ලබා දෙන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් කෙටුම්පත් කෙටුම්පත් සහ සංශෝධන සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඉදිරිපත් කරන්න කරනවා නම් අඩුම තරමෙන් පාර්ලිමේන්තුවට එක් එක් පනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුව හෝ සිංහල සහ දෙමළ භාෂාවලින් ලබා දිය යුතුයි නේද?
ලෝකයේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඕනෑතරම් අධ්‍යයන සිදු කර තිබෙනවා. මුලින් ලතින් භාෂවෙන් තිබුණ බයිබලය ඉංග්‍රීසි භාෂාවට හරවලා එංගලන්තයේ පල්ලිවල ඉංග්‍රීසියෙන් දේව මෙහෙයන් සිදු කරන්න ගත්තට පස්සේ අවුරුදු 100ක් ඇතුළත එංගලන්තය නැඟිටපු ආකාරය ගැන විශාල අධ්‍යයන ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. එංගලන්තය ලෝකය පුරා ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය පවත්වා ගෙන යන්න මොනතරම් මුදලක්, කාලයක් කැපවීමක් කළා ද කියලා සාක්ෂි තියෙනවා. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණ, භාෂාවක් හරහා යන්නේ දැනුමක් පමණක් නොවෙයි, රටක ආර්ථික, සංස්කෘතික ගති පැවතුම්, සිතන පතන විදිහ ආදී විශාල පරාසයක් ඒ තුළ ගැබ්වී තිබෙනවා. අදටත් විවිධ අය හිතනවා ඉංග්‍රීසි භාෂාව තමයි භාෂාව කියලා.
නමුත් අපි දන්න විදිහට ලෝකයේ දියුණු වෙලා තියෙන්නෙ ස්ව භාෂාවෙන් කටයුතු කළ රටවල්. තමන්ගෙම දෙයක් ලෝකයට දායාද කරලා තියෙනවා නම්, දෙපයින් නැඟිටලා තියෙනවා නම් ඒ තමන්ගේ මවු භාෂාව මුල් කර ගනිමින් වැඩ කළ රටවල් කියන කාරණය දේශපාලන භේදයකින් තොරව පිළිගත යුතුයි.
මම දැක්කා ජාතික ජන බලවේගයත් පවසා තිබෙනවා, ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනාගත ලෝකය වෙනුවෙන් සකස් කර තිබෙන බව. මගේ අදහස අපි පක්ෂ භේදයකින් තොරව ජාතියක් විදිහට යල් පැනගිය අදහස් කර තබාගෙන යෑම තුළයි අද මේ අගාධයට පත්වෙලා ඉන්නෙ. ඊට හේතුව 1956 ගත්ත පියවරක් නෙවෙයි, 1977 සිට විජාතිකත්වය පසුපස ගිය ගමනක් නිසයි මේ තත්ත්වය ඇති වුණේ. අපිට අපේ මවු භාෂාව මත අනාගත ලෝකය ගොඩනැඟිය හැකි බව මගේ අදහසයි. රට ගැන හිතන, අනාගතය ගැන හිතන ජනතාවක් සිටිනවා නම් මේ පිළිබඳ ගැඹුරින් හිතලා අලුත් ගමනක් යෑමයි අවශ්‍ය වන්නේ.
මුල් අවදියේ සිටම ප්‍රාථමික අධ්‍යාපනය මවු භාෂාව පදනම් කරගත යුතුයි
– මවු භාෂාව පිළිබඳ යුනෙස්කෝ අධ්‍යාපන ප්‍රඥප්තියෙන්
යුනෙස්කෝව ප්‍රාථමික අධ්‍යාපනයේ මුල් අවදියේ සිටම මවු භාෂාව පදනම් කරගත් බහු භාෂා අධ්‍යාපනය සඳහා පෙරමුණ ගැනීම අගය කරයි. යුනෙස්කෝව විසින් අධ්‍යයන පෙන්නුම් කරන්නේ මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ගුණාත්මක ඉගෙනීම සඳහා ප්‍රධාන සාධකයක් වන බවය.
එය ඉගෙනීමේ ප්‍රතිඵල සහ අධ්‍යයන කාර්ය සාධනය වැඩි දියුණු කරයි. විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේදී දැනුමේ හිඩැස් මඟහරවා ගැනීම, ඉගෙනීමේ සහ අවබෝධයේ වේගය වැඩි කිරීමට මෙය ඉතා වැදගත් වේ. මවු භාෂාව මත පදනම් වූ බහු භාෂා අධ්‍යාපනය මඟින් සියලුම ඉගෙනුම් ලබන්නන් සමාජ කාර්යයන් සඳහා පූර්ණ ලෙස සහභාගි වීමට බල ගැන්වීම කරයි.
එය එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය පෝෂණය කරන අතර, ලොව පුරා සෑම භාෂාවකම අන්තර්ගත වූ සංස්කෘතික හා සාම්ප්‍රදායික උරුම ආරක්ෂා කිරීමට උපකාරී වේ.
කෙසේ වෙතත්, සියලුම ඉගෙන ගන්නන්ට ඔවුන්ගේ මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය සහතික කිරීමට පෙර තව බොහෝ දුර යා යුතුව තිබේ. බොහෝ රටවල, සිසුන්ගෙන් බහුතරයකට තම මවු භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් උගන්වනු ලබන අතර, එමඟින් ඵලදායී ලෙස ඉගෙනීමේ හැකියාව අඩාළ වේ.
භාෂාවක් අතුරුදහන් වූ විට, එය සමස්ත සංස්කෘතික හා බුද්ධිමය උරුමයක් රැගෙන යයි. එබැවින් මවු භාෂාවෙන් ඉගෙනීම බහු සංස්කෘතික පදනමක් නිර්මාණය කරනු ඇත.
සුරේකා නිල්මිණි ඉලංකෝන්