– රුපියල් බිලියන 800ක් අහිමි කරගෙන රජයේ සේවකයන්ගෙන්, වෘත්තිකයන්ගෙන් බදු අය කිරීම වැරදියි
– අපි ඉල්ලන්නේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලයි
– වැට් බදු, විදුලි ගාස්තු වැඩි කළේ IMF කොන්දේසිවලට නෙමෙයි
– ඡන්ද කල්දාන ආණ්ඩුවකට ජාත්‍යන්තර වශයෙන් කිසිම පිළිගැනීමක් නැහැ
රාජ්‍ය ආදායම වැඩි කරගෙන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තියෙනවා. ආර්ථික දුෂ්කරතා පවතින අවදියක රජය ගත් මේ ක්‍රියාමාර්ගය විපක්ෂය දකින්නේ කෙසේද?
වැටුප් වැඩි කිරීමට අපිට විරුද්ධ වෙන්න බැහැ. ජනතාවට ජීවත් වෙන්න අමාරුයිනේ. නමුත් රජයේ ආදායම නැතිකර ගත්තේ පොහොට්ටු ආණ්ඩුව. මන්ද 2019 බලයට ඇවිත් පළමු අය වැයෙන්ම රාජ්‍ය ආදායම රුපියල බිලියන 800ක් නැති කර ගත්තා. යහපාලන රජය ලොකු සමාගම්වලට විශාල වැට් බද්දක් පැනෙව්වා. එයින් වසරකට රුපියල් බිලියන 800ක ආදායමක් ආවා. ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා මැතිවරණයේදී මහා පරිමාණ ව්‍යාපාරිකයන් හෝටල්වලට කැඳවා වැට් එක ඉවත් කරනවා කියලා පොරොන්දුවක් දුන්නා. එක සමාගමක් ගෝඨාභයගේ කැම්පේන් එකට රුපියල් බිලියන 1000ක් දුන්නා. මේ මහ කොම්පැනිකාරයන්ගෙන් සියයට 90ක ඉන්නේ හොරු. ඒ් අයගේ වාසිය පමණයි බලන්නේ. ඒ් නිසා රාජ්‍ය ආදායම අහිමි කර ගත්තේ පොහොට්ටුවමයි. ලොකු ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු රුපියල් බිලියන 800 අහිමි කරගෙන රජයේ සේවකයන්ගෙන්, වෘත්තිකයන්ගෙන් බදු අය කිරීම වැරදියි. මේ අය ඉල්ලා අස්විය යුතුයි. දැන් මේ තත්ත්වය හදන්න ඒ් අයට අයිතියක් නැහැ වැගේම කරන්නත් බැහැ.
ජනවාරි සිට වැට් බදු 18% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තියෙනවා. මින් ජනතාවට තවත් පීඩාවන්ට ලක්වීමේ අවදානමක් පවතින බවට මත පළ වෙනවා?
අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම අනිවාර්යයයි. මේ ආර්ථික අර්බුදයට විසඳුම බදු ගැසීම නෙමෙයි. අපනයනය වැඩි කර ඩොලර් සෙවීමයි. මේ ආණ්ඩුවට ඩොලර් සෙවීමේ කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ වසරේ අපේ අපනයන ආදායම විශාල වශයෙන් අඩු වෙලා. කරන්න ඕන ඩොලර් හොයන එකයි. අපනයන අඩු වූ විට ඩොලර් එන්නේ නැහැනේ. අපනයනය දියුණු කරන්න වෙනමම ආයතනයක් තිබිය යුතුයි. ප්‍රමෝෂන් කවුන්සිල් එකක් වෙනමම තිබිය යුතුයි.
බදු අය කර ගැනීම සම්බන්ධයෙන් නිසියාකාරව සිදු නොවන බවත් සාමාන්‍ය ජනතාව ඉන් පීඩාවට පත් වන බවටත් විවිධ පාර්ශ්ව හරහා චෝදනා නැඟෙනවා?
එය පැහැදිලියි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු කියන්නේ බදු ගෙවලා ගෙවල් හදන්න ගත්ත ණය ගෙව්වහම ජීවත් වෙන්න තියෙන්නේ සුළු මුදලක් පමණයි කියලා. මේකට වගකිව යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු. මේ අය එදා කිසිදු වග විභාගයක් නැතුව ඊට අත ඉස්සුවා. බොරිස් ජොන්න්සන්ට පසුව එංගලන්තයේ ලිස් ට්‍රස්ට් අගමැති වුණා. ඇය ආ පසුව බොරිස් ජොන්සන් සිය කාලයේ සමාගම්වලට ගැසූ බදු ඇය විසින් ඉවත් කළා. පසුව ඒ් මන්ත්‍රීවරු ඇයගෙන් ඇසුවේ මේ ආදායම සොයා ගන්නේ කෙසේද කියා. එංගලන්තයේ අගමැතිනිය කිව්වා ඒ් මුදල සොයන්නේ ණය ගැනීමෙන් කියලා. පසුව ඒ් මන්ත්‍රිවරු එයට එකඟ නොවී ඇය ගෙදර යැව්වා. අපේ මන්ත්‍රීවරු ඒහෙම කළේ නෑ. නමුත් අපි අය වැයට විරුද්ධවයි ඡන්දය දුන්නේ.
ආණ්ඩුව කියන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජනතාවට සහන සලසන බවයි. නමුත් ඊට විපක්ෂයේ කිසිදු සහයක් පෙනෙන්න නැහැ?
ඒ් නිසයි මුල්ම අය වැයෙන් කිව්වේ ඒ් රුපියල් බිලියන 800 නැතිකර ගන්න එපා කියලා. මම විශේෂයෙන් ඒ ගැන කතා කළා.
ආදායම් බදු අයකර ගැනීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තවමත් රජයට නොහැකි වෙලාද?
ආදායම් බදු පමණක් නෙවෙයි, රේගු දෙපාර්තමේන්තුවේත් ආදායම අඩුයි. බදු එකතු කරන්නන්ගෙන්වත් ආදායමක් නැහැ. අපනයනකරුවන් රුපියල් ලක්ෂයක භාණ්ඩ අපනයනය කළොත් ලංකාවට එන්නේ රුපියල් පනස්දාහක් විතරයි. මහ බැංකුව තමයි අපනයනකරුවන්ට මේ හිල්වලින් රිංගන්න ඉඩ දීලා තියෙන්නේ . හැමෝම අත්වැල් බැඳගෙනයි මේ දේවල් කරන්නේ. අපනයනකරුවන් සල්ලි ගේන්නේ නැති එක ගැන ආණ්ඩුවයි විපක්ෂයයි දෙගොල්ලෝම පාර්ලිමේන්තුවේදී කතා කළා.
බදු අයකර ගැනීම විධිමත් කිරීමට රජය රැම්ස් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා?
ගිය වසරේ අය වැය යෝජනා පිළිබඳ විවිධ අය සමීක්ෂණයක් කළා. එයින් 75% ක් තවමත් පටන් ගෙනවත් නැහැ. සියල්ල වචනවලට සීමා වෙලා. මේ ව්‍යාපෘතිවලට තොරතුරු ඉල්ලුවහම ආණ්ඩුවෙන් ඒ්වාට තොරතුරුත් දෙන්නෙත් නැතිලු.
ඔබ පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා යටතේ රට තවමත් නිසි ආර්ථික ස්ථාවරයකට පැමිණි නොමැති බව ද?
බොරු ෂෝ එකනේ දාන්නේ. ලංකාව බංකොලොත් කියලා ප්‍රකාශ කළ දා සිටම ණය ගෙවලා නැහැනේ. අමෙරිකානු ඩොලර් බිලියන 4ක් ණය එකතු වෙලා තියෙනවා. ණය ගෙව්වේ නැතිවනේ මේ වගේ කතා කරන්නේ. තවමත් රට ගොඩදාන්න ආධාරයක් ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකයෙන් හා ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් විතරයි. රට ගොඩදාන්න වෙන ආධාරයක් ලැබුණේ නැහැනේ. හිඟන්නන්ට දෙනවා වගේ බෙහෙත් ටිකක් ලැබුණා. දුප්පතුන්ගේ පීඩනය නැති කරන්න මුදල් ටිකක් එනවා. රට ගොඩදාන්න කිසිම ආධාරයක් මේ තාක් ලැබුණේ නැහැ. අප හරියටම ණය ගෙවනවා නම් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 6 ක් ගෙවිය යුතුයි. පසුගිය මාස 17 ටම ණය ගෙවා නැහැ. ඒ්වා කියන්නේ නැහැ. ණය ගෙවන්නේ නැතිවුණහම අතේ තියෙන සල්ලි ටික රෝල් කරනවා.
සජබය IMF යා යුතුයි කිව්වත් එහි කොන්දේසි පිළිබඳ නිරන්තරයෙන් විවේචන එල්ල කරනවා?
ආණ්ඩුව IMF ජනතාවගේ මතය ඉදිරිපත් කළේ නැහැ. IMF කිව්වේ තමන්ගේ මතය. මේ අය පාර්ලිමේන්තුවට ආ පසු මම ඒ් අයට කිව්වා ණය ගෙවන්න රජයට අවුරුදු 10 කාලයක් දෙන්න කියලා. අපි ඒ් විදියටයි උදව් කළේ. ඒත් නිතරම කෑ ගහන්නේ අපි උදවු කරන්නේ නැහැ කියලා.
වැට් බදු වැඩි කිරීම, විදුලි ගාස්තු ඉහළ නැංවීම IMF කොන්දේසි බවයි රජය පවසන්නේ?
නැහැ. පට්ටපල් බොරුවක්. IMF කිසිම කොන්දේසියක් දාලා නැහැ. මේ බදු ගහන්නේ කොහෙන්ද කියලා තීරණය කරන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුව ලොකු මිනිස්සු අයින් කරලා බදු ගහන්න පොඩි මිනිසුන්ගේ අර්ථ සාධකයට විද්දා. ලේසි ක්‍රමය සොයා ගත්තා. අපි බදු හොයන ක්‍රමය IMF ඒකට වැඩක් නැහැ. ඒ් අය කියන්නේ නැහැ, අතනින් මෙතැනින් බදු ගහන්න කියලා. එය රටේ අභ්‍යන්තර කටයුත්තක්. IMF ණය ගත්තා නම් ගෙවන ක්‍රමය සකස් කිරීම අපේ කටයුත්තක්. ඒ් සඳහා අවශ්‍ය බදු ආදායමක් තිබිය යුතු බව පමණයි ඔවුන් පවසන්නේ.
හිටපු සෞඛ්‍ය ඇමැති ඉවත් කීරීම හරහා විපක්ෂයේ විස්වාසභංගයේ සඳහන් කරුණු රජය විසින් පිළිගෙන ඇති බවට පක්ෂයේම ඇතැම් පිරිස් හුවා දැක්වූවා?
පැහැදිලිවම. ඒ් ගැන කතා දෙකක් නැහැ.
ලබන වසර මැතිවරණ වසරක්. තවමත් සජබයේ ඊට සූදානමක් පෙනෙන්න නැහැ?
අපි සූදානම්. ආණ්ඩුවනේ සූදානම් නැත්තේ. ජනාධිපතිවරණය කලින් තියන්න බැහැ. ඔක්තෝබර් මසයි තිබිය යුත්තේ. අපි ඉල්ලන්නේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලයි. මෙය නොතියන නිසා ගම්වල හරිම ප්‍රශ්න. අපේ ජීවත්වන ප්‍රදේශයේ ප්‍රශ්න ගැන කියන්න කෙනෙක් නැහැ. ඒය විශාල පාඩුවක්. අධිකරණයෙන් පවා තියන්න කිව්වත් ආණ්ඩුවට සල්ලි නැහැ කියනවනේ. ඡන්ද කල්දාන ආණ්ඩුවකට ජාත්‍යන්තර වශයෙන් කිසිම පිළිගැනීමක් නැහැ. ජාත්‍යන්තර සහය ලැබෙන්නේ නියමිත කාලයේ මැතිවරණ තියෙන ආණ්ඩුවකට පමණයි. හොඳම උදාහරණයක් වන්නේ ඉන්දියාවේ කොවිඩ් උග්‍ර කාලයේ ප්‍රාන්ත මැතිවරණ පහකින් අගමැති මෝදි පැරදුණා. නමුත් කොවිඩ් පාලනය කර වසර දෙකක් ගිහින් නැවතත් ප්‍රාන්ත පහක මැතිවරණයෙන් ඔහු දිනුවා. වැරදි හදා ගැනීමේ වටිනාකම ඔහු පෙන්වා දුන්නා. ඕනෑම ආණ්ඩුවක් ව්‍යවස්ථා හදන්නේ වසර දෙකින් දෙකට කුමන හෝ මැතිවරණයක් තියන්න. වසර දෙකින් දෙකට ජනමතය විමසීම හොඳයි. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දින ගලේ කෙටුව වගේ කිසිවකුටත් වෙනස් කරන්න බැහැ. නමුත් ලංකාවේ හැම තිස්සේම මැතිවරණ වෙනස් කළ හැකි පරිදියි, ව්‍යවස්ථා සකස් කරන්නේ.
අය වැය පරාජයට පත් කිරීමේ සූදානමක් පවතින බවටත් වාර්තා වෙනවා?
නැහැ. අපිට බහුතරයක් නැති නිසා එය කරන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ අය පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට සූදානමක් නැහැනේ. ආණ්ඩුව යම් හෙයකින් අය වැය පරාජය වුණොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුයි. අපි කියන්නේ නියමිත කාලයට තියන්න තිබුණු පළාත් පාලන මැතිවරණය කියන්න කියලයි. මාර්තු තියන්න තිබුණ ඒ් මැතිවරණය අදටත් නැහැ. එය පැවැත්වුවහොත් යූ .ඇන්. පී යටත්, පොහොට්ටුවටත් ඇප නැහැ.
සුභාෂිණී ජයරත්න