මේ දවස්වල නැවතත් ,දරුවන්ට මොබයිල් ෆෝන් අරන් දීම හොඳ ද නැද්ද කියල කතිකාව හැදිලා. ඒකට ආසන්නතම හේතුව වුණේ, ෆෝන් එකක් සම්බන්ධ සිද්ධියක් නිසා තරුණ දරුවෙක් ජීවිතය නැති කරගෙන තිබීම.
“පුතාට අවුරුදු 15යි, එයා හැමදාම පන්තියේ පළමුවෙනියා, ඉස්කෝලේ වැඩට අරන් දීපු ෆෝන් එකෙන්, පාඩම් වැඩ නොකර ගේම් ගගහ ඉන්න නිසා මම ෆොන් එක ආපහු ගත්තා, ෆෝන් එක නොදීපු නිසා පුතා එල්ලිලා මැරිලා, දැන් අපිට ළමයින්ට ෆෝන් දීලත් බෑ නොදීත් බෑ….,“
මැරිච්ච දරුවගෙ මවුපියෝ කිව්වෙ එහෙමයි.
ජංගම දුරකතන ළමයින්ට දෙනකොට ඒ ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕනෙලු,
දරුවො විනාශ වෙන්නේ ෆෝන් නිසාලු,
අපි පොඩි කාලෙ නම් ඔහොම නැහැ ලු
මේවා කියන්නෙ සමාජයේ සමහරු..
එක එක පැතිවලින් බැලුවම ඔය ඔක්කොම දේවල් හරි ඇති, සාධාරණත් ඇති.
ඒත් එතැනින් එහාට ප්‍රයෝගිකව විවෘත වෙලා බැලුවොත් තත්වේ ඊට වඩා වෙනස්.
ළමයෙක්, අවුරුදු 13 ක් විතර පහුවෙලා teenage වයසට එනවා කියන්නෙ ඇතුළෙන් පිටින් දෙකෙන්ම හැඟීම් දැනීම් හැසිරීම් වෙනස් වෙන්න පටන් ගන්න කාලේ. ඉලන්දාරිකම් ඉහට ගහලා කියලා අම්මලා තාත්තලා කෑ ගැහුවට ඒක එහෙම වෙන්නේ හෝමෝනවල වෙනස් වීම නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.
ඒ කාලෙදි එක එක පරිමාණයෙන් දරුවන්ගේ හැසිරීම වෙනස් වෙනවා, කතා බහ අඩු වෙනවා, නිශ්ශබ්ද වෙනවා, අලුත් තාක්ෂණය එක්ක ගැටීම රැඳීම වැඩි වෙනවා, විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වෙනවා. ඔය කාලෙදි දරුවෝ එක්ක ගනු දෙනු කරන්න ඕනෙ හැඟීම්වලින් නෙමෙයි බුද්ධියෙන්.
අපි නම් කළේ මෙහෙම නෙමෙයි, අපි තමයි හොඳටම කළේ.
ඒ කාලෙ අපි මෙහෙම නැහැ, ෆෝන් එබුවේ නැහැ, ගේම් ගැහුවේ නැහැ, කුණුහරුප බැලුවේ නැහැ, කාමර අස්සෙ රිංගන් හිටියෙ නැහැ කියලා චෝදනා කළාට ඇත්තටම ඒ කාලේ වුණේ ඒක නෙමෙයි,
ඒ කාලේ ෆෝන් tab,lap ඕවා තිබ්බේ නැහැ,
ඒ කාලෙ හැටියට තිබ්බ ලොකුම නසාරානි වැඩ තමයි. ගස් නගිනවා, ගෙඩි කඩනවා, ගඟේ පීනනවා, ෆිල්ම් හෝල් වලට රිංගනවා, හන්දි, බෝක්කු ගානේ රස්තියාදු ගහනවා..
ඉතින් ඕවා තමයි ඒ කාලෙ තිබ්බ නරකම වැඩ. ෆෝන් එබුවේ නැති වුණාට ගේම් නොගැහුවට කාලෙට අනුව තිබ්බ ඔක්කොම කොලුකම් අඩු නැතුව කරල අම්මලාගෙන් ගුටී කාලා තෙම්පරාදු වෙලා රස්තියාදු ගහල අද මවුපියෝ බවට පත් වුණාම දරුවන්ගේ තරුණ සෙල්ලක්කාරකම් එක්ක ගනු දෙනු කරද්දී ඒ කාලෙ අපි මෙහෙමයි අරෙහෙමයි කියලා එදා අද එක්ක සංසන්දනය කරන එක කොහොමත් සාධාරණ නැහැ,
සියල්ල තාක්ෂණික මෙවලම් අතර රැඳිච්ච රොබෝවරුන්ගේ යුගයක දරුවො හදලා, ඒ දරුවෝ සිරිමත්ලා වගේ යහපත්ව කොන්ඩේ තෙල් ගාල පීරලා විනීත, සුසිල්වත්, ඉතා කීකරු,ඉස්කෝලේ වැඩ විතරක්ම කරන අර බලන්න නයනා අමර සල් ගස යට කියලා සල් මල් නෙළන දරුවෝ වෙයි කියලා හිතනවානම් ඉතින්, ඒක ලොකු විහිළුවක්.
කාලයේ තාලෙට ලෝකෙ වෙනස් වෙනකොට තමන්ගේ ළමයි විතරක් වෙනස් නොවී ඉඳියි කියලා හිතන එක මවුපියන්ගේ අඩුපාඩුවක්. තරුණ දරුවෝ ෆෝන් පාවිච්චිය, ගේම් ගහන එක, අන්තර්ජාලයට රිංගන එක මේ කාලෙ අහස පොළව නුහුලන පට්ට අපරාධයක් නෙමෙයි. දරුවො එක්ක හොඳින් කතාකරලා, තේරුම් කරල දීලා ඒවාට සීමාවක් දාන්න බලන එක වෙනස්. හැබැයි බකස් ගාල එකපාරටම ඒවා නවත්තල දාලා මවුපියෝ, මවුපියන්ගේ බලය පෙන්නන්න ගියාම වෙන්නේ, දරුවෝ තමන්ගේ මුරණ්ඩුකම්වල උපරිමයටම යන එක විතරයි.
කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ, අපේ මවුපියෝ දරුවෝ එක්ක ගණුදෙනු කරන විදිහෙත් වෙනසක් ඇති වෙන්න ඕනෙ. එහෙම නොවී තාක්ෂණයට බැණලා මෙවලම් වලට සීමා දාලා නම් මේ වගේ සිද්ධි වෙන එක නවත්තන්න බැහැ.
අලුතෙන් ජීවිතේට පය ගහපු තරුණ ළමයින්ට වඩා. ඒ යුගය පහු කරන් ගිය දෙමව්පියෝ මීට වඩා ඉවසීම, තේරුම් ගැනීම, ප්‍රගුණ කරල ප්‍රයෝගිකව යථාර්ථවාදීව දරුවෝ දිහා බලන්න ඕනෙ. අන්තිමට හැමදේටම වැරදි මවුපියෝද කියලා කෙනෙක් ඇහුවොත්, උත්තරය ඔව්. දරුවෝ හදනවා කියන්නෙ සියලු වගකීම් බාරගෙන බැණුම් අහන්න ලෑස්ති වෙලා කරන්න ඕන වැඩක්
හොඳ හෝ නරක දරුවො වැඩිහිටියෝ වෙනකම් මවුපියෝ වග කියන්න ඕනෙ. කිසිම මවකට පියෙකුට ඒ වගකීමෙන් මිදෙන්න බැහැ.
අනිශා ජයකොඩි