Home » නිළියක් වෙන්නම ඕනෙ වගේ ලොකු හීනයක් තිබ්බෙ නෑ

නිළියක් වෙන්නම ඕනෙ වගේ ලොකු හීනයක් තිබ්බෙ නෑ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

– වේදිකාවේ අපි කරන දර්ශන වාරයක් වාරයක් පාසා තියෙන්නේ අපි අලුතින් ගන්න හුස්ම
– ටෙලි නාට්‍යයක් හරහා මේ වගේ ප්‍රතිචාර මට මීට කලින් ලැබිලා නැහ‍ෙ

කොඩිගහ යට ටෙලි නාට්‍යයේ ‘හේමමාලිගේ චරිතයෙන් ඔබ හමුවට එන නිපුනි ශාරදා කියන්නේ ඔබ බොහෝ සේ ප්‍රිය කරන රාජ සභාවේ පුරෝහිතට ජිවය දෙන මහින්ද පතිරගේගේ ආදරණිය දියණිය. මේ වන විට ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍යය කලා පිඨයේ, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. පවුලෙන් ලැබුණු කලා උරුමයත් එක්ක ඇය කලා ලොවේ තබන පියවරයන් ගැනයි රසඳුන මේ කෙටි කතාබහ….

මේ දවස්වල මොනවගේ කටයුතු එක්කද ඉන්නේ ?

කලා ලෝකය ගත්තම නම් අශෝක හඳගමයන්ගේ ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ වැඩ කරනවා. ඊට අමතරව නම් විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු එක්ක සහ මගේ පශ්චාත් උපාධිය හදාරමින් තමයි කාලය ගත වෙන්නේ.

ඇන්ටික් කඩයක මරණයක් කියන්නේ, ශාරදාගේ රංගන ජිවිතේ එක් සන්ධිස්ථානයක් නේද?

ඔව්. 2021 වර්ෂයේ දී අපි ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යය පටන් ගත්තේ. ගිය 2022 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නිළිය වෙන්න පුළුවන් වුණා.

කොඩිගහ යට ටෙලි නාට්‍යයේ හේමමාලි වෙන්න ලැබුණේ කොහොමද?

හේමමාලි වෙන්න ලැබුණේ නම් එක පැත්තකින් ජගත් මනුවර්ණ අපිව හොඳින් හඳුනනවා. ඒ අපේ විශ්වවිද්‍යාලයේ නාට්‍යය උලෙළවල් වගේම යෞවන සහ රාජ්‍යය නාට්‍යය උලෙළවල් බලන්න එන නිසා ඒ හරහා අපි හඳුනා ගන්නවා. ඒ එක්කම කූඹියෝ ටෙලි නාට්‍යයේ අපි එකට රඟපෑවා. ඒ නිසා වසර ගණනාවක් තිස්සේ තියෙන දැන හැඳුනුම්කම එක්ක සහ මගේ තියෙන රංගන හැකියාවන් දැකලා වෙන්න ඕනේ ඔහු මට කතා කළේ. කොඩිගහ යට කරන්න කලින් ඉඳලම වැඩක් කරමු කියන සංවාදය තිබුණා. මට ඒ අවස්ථාව හම්බවුණේ “කොඩිගහ යට” ටෙලි නාට්‍යයේ හේමමාලි හරහා.

කොඩිගහ යට ටෙලි නාට්‍යයේ ‘හේමමාලි ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ටෙලි නාට්‍යයක් හරහා මේවගේ ප්‍රතිචාර මට මීට කලින් ලැබිලා නැහැ. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර මට අලුත්. ඒ හින්දා වෙනස් අත්දැකීමක් වුණා. අන්තයන් දෙකේම ප්‍රතිචාර ලැබුණා. සමහර අය හොඳායි… කියලා ප්‍රතිචාර දක්වද්දී තවත් අය ඒ චරිතයට එතරම් කැමැත්තක් දක්වලා තිබ්බේ නැහැ. ගොඩක් ලැබෙන්නේ පොසිටිව් කමෙන්ට්ස්. බොහෝ තැන්වලදී මාව හේමමාලි විදියට හඳුනා ගන්නවා. ඒ හැම ප්‍රතිචාරයක්ම මම සුබවාදීව ගන්නවා. රංගනය ගැන හදාරද්දී නෙගටිව් කමෙන්ට්ස් එන්නේ ඇයි කියන එකත් වැදගත් කාරණාවක්. ඒ හරහා මට පුළුවන් වෙනවා මගේ රංගන පරාසය පුළුල් කර ගන්න. වෙදිකාවේ ලැබෙන ප්‍රතිචාරයට වඩා වෙනස්.

නිපුනි වැඩි කැමැත්ත වේදිකාවට නේද?

ඇත්තෙන්ම ඔව්. ඒ ප්‍රතිචාරය ලබන්නේ අපි සජීවීව. මගේ ජීවිතේ වඩාත්ම සතුටු වෙන මොහොතක් නාට්‍යයක් අවසානයේ චරිතයෙන් මිදිලා නිපුනි ශාරදා විදියට ඇවිත් ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන මොහොතේ ලබන ප්‍රතිචාරය. ඒක මම එතෙක් කරපු චරිතය අතහැරලා මමම වෙලා එන මොහොත. ඒ අර්ථයෙන් මම වේදිකාවට කැමතියි. වේදිකාවේ අපි කරන දර්ශන වාරයක් වාරයක් පාසා තියෙන්නේ අපි අලුතින් ගන්න හුස්ම. අද 3.30ට කරපු එක නෙවෙයි 6.30ට තියෙන්නේ. එක්තරා විදියට නළුවන්ගේ දායකත්වය, මගේ මානසික සහ ශාරීරික තත්වයන්, ප්‍රේක්ෂකාගාරයේ පිරිස සහ ඔවුන්ගේ ප්‍රතිචාර මේ හැමදෙයක් ම අදාලා වෙනවා. ටෙලි නාට්‍යය සහ සිනමාපට එහෙම නැහැ. විටින් විට සංස්කරණය වෙලයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා වේදිකාවේ තියෙන සජීවී බවටයි මම කැමති.

නිපුනි කලා පවුලක කෙනෙක්, කලාවට යොමු වෙන්නේ කොතනින් ද?

කලාවට යොමු වෙන්නේ නම් මගේ අම්මා තාත්තා හරහා තමයි. මගේ තාත්තා මහින්ද පතිරගේ. රාජ සභාවේ පුරෝහිත කිව්වමත් හැමෝම දන්නවා. මගේ අම්මා කුමුදිනී ගුණවර්ධන. ඇය ගුවන් විදුලියේ රජරට සේවයේ හිටපු නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක්. මගේ පවුලේ හැමෝම වගේ කලාවට බර පවුලක්. මම හැදෙන්නේ සහ වැඩෙන්නේ ඒ පසුබිම තුළ නිසා මමත් කලාවට හැරෙන්න ඇති කියන එක විශ්වාස කරනවා. මම උසස් පෙළට තමයි නාට්‍යය හා රංග කලාව තෝරා ගන්නේ. ඒ වෙද්දීත් ප්‍රාදේශීය වශයෙන් සහ පාසල් මට්ටමින් නාට්‍යය වලට දායක වෙලා තියෙනවා. නිළියක් වෙන්නම ඕනේ වගේ ලොකු හීනයක් තිබ්බේ නැහැ. නාට්‍යය ගැන ඉගෙන ගන්න සහ නාට්‍යය කරන්න ඕනේ කියන හැඟීම තමයි තිබුණේ. විශේෂයෙන්ම මෙතැනදී කියන්න ඕනේ තාත්තගේ නම කියලා මම කිසිම අවස්ථාවක් අරගෙන නැහැ. තාත්තත් මේ මගේ දුව කියලා අවස්ථා දෙන්න කියලත් නැහැ. ඒක අපි දෙන්නගෙම ප්‍රතිපත්තියක්. මම මගේ දක්ෂතා වලින් යම් දෙයක් කරලා මාව හඳුනා ගනිද්දී තමයි බොහෝ දෙනා දැනගන්නේ මේ මහින්ද පතිරගේගේ දුව කියලා. ඒක අපි දෙන්නටම ආඩම්රයක් කියලයි අපි සලකන්නේ.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

2019 ඉඳන් මම ඕස්ට්‍රේලියානු නාට්‍යය නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. නාට්‍යයේ නම Counting and Cracking.එහි ලංකාවෙන් ඉන්නේ මම සහ නදී කම්මැල්ලවීර. ලබන වසරේදී ත් ඒ නාට්‍යයේ දර්ශන කිහිපයක් සංවිධාන වෙලා තියෙනවා. ඊට අමතරව නාට්‍යය සහ කෙටි චිත්‍රපට කිහිපයකට තියෙනවා.

පෞද්ගලික ජිවිතේ සැලසුම් මොනවද?

ප්‍රධානම අරමුණ මගේ පශ්චාත් උපාධිය ඉක්මනින්ම ඉවර කරන එක. මගේ වෘත්තීය එක්ක මට පෙන්නේ මේ පාරෙම හීන විතරයි. වෙන පෞද්ගලික ජිවිතේ සැලසුම් අඩුයි. PHD එකක් කරන්න ඕනේ වගේ අරමුණු තමයි මගේ පෞද්ගලික ජීවිතෙත් අරමුණු වෙලා තියෙන්නේ.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division