2023 ඔක්තෝබර් 18 වන දින චීනයේ බෙයිජිං අගනුවර දී තීරයක් සහ එක් මාවතක් සමුළුවේ 10 වන සංවත්සර උලෙළ ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙසින් ආරම්භ විය. එහෙත් ශක්තිමත් සැපයුම් දාම ජාල මත රඳා පවත්නා චීනයේ ආර්ථික භූ දර්ශනය කැලඹිලි සහිත කාලයකට මුහුණ පා සිටී.
කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් පසුබෑමකට ලක් වූ වරායන් සහ අනෙකුත් බාධා තත්ත්වය වඩාත් තීව්‍ර කිරීමට පෙර අමෙරිකා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද වෙළඳ යුද්ධය ඒ වනවිටත් චීන කර්මාන්ත සහ සැපයුම් දාම කඩාකප්පල් කර තිබුණි. එක් තීරයක්, මාවතක් සමුළුව ආරම්භ වීමට දිනකට පෙර බයිඩන් පාලනය ප්‍රකාශයට පත් කරන ලද උසස් මට්ටමේ චිප් අපනයනය සඳහා වූ නව සීමා කිරීම් ද ඇතුළුව, එක්සත් ජනපද වෙළඳපොළට සහ තාක්ෂණයන්ට චීන ප්‍රවේශය සීමා කරන ප්‍රතිපත්ති අඛණ්ඩව පුළුල් කර ඇත.
2022 දී චීනය වෙත කෙරෙන සෘජු විදේශ ආයෝජන ද සියයට 43 කින් පහත වැටී තිබුණි. වොෂිංටනය චීනය සමඟ සමඟ තම ආර්ථික සහයෝගීතාව සීමා කරන ලෙස මිත්‍ර රටවලට ද බලපෑම් කරමින් සිටී. උදාහරණයක් ලෙස, 2019 දී චීනයේ එක් තීරයක්, මාවතක් වැඩපිළිවෙළ හා එක්වූ ඉතාලිය, 2023 අප්‍රේල් මාසයේදී තමන් එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව නිවේදනය කළේය. මේ අතර, නෙදර්ලන්තය ද ඉකුත් මාර්තු මාසයේ දී චීනයට අර්ධ සන්නායක අපනයනය සඳහා සීමා පැනවීමට පටන් ගත්තේය. වොෂින්ටනයේ ඉල්ලීම පරිදි කැනඩාව විසින් Huawei සමාගමේ ප්‍රධාන විධායක මෙන්ග් වැන්ෂූ රඳවා තබා ගැනීමට පලිගැනීමක් ලෙස කැනේඩියානු ව්‍යාපාරිකයන් දෙදෙනකු 2018 වසරේ දී බෙයිජිං පාලනය විසින් අත්අඩංගුවට ගැනීම, විදේශීය විධායක නිලධාරීන් චීනයට යාමට වඩාත් පසුබට වීමට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, මේ සියල්ලට වඩා බෙයිජිං පාලනය ඇති ඇති ලොකුම කනස්සල්ල නම් 21 වන සියවසේ වැඩි කාලයක් චීනයේ ආර්ථික වර්ධනයට හේතු වූ චීනයේ නිෂ්පාදන හා අපනයන-ප්‍රමුඛ ආර්ථික ආකෘතියට එල්ල වී ඇති තර්ජනයයි.
2023 වසරේ පළමු භාගයේ දී, එක්සත් ජනපද භාණ්ඩ ආනයනයේ චීනයේ හිමි පංගුව සියයට 13.3ක් වූ අතර, 2017 දී එය සියයට 21.6ක් තරම් ඉහළ මට්ටමක සිට පහත වැටීමකි. එමෙන්ම මෙය 2003න් පසු අඩුම අගය සනිටුහන් කරයි. මෙම පහත වැටීමට හේතුවී ඇති කරුණු අතරට ඇමෙරිකානු රජය දේශීය ව්‍යාපාරිකයා දිරිමත් කරන “ප්‍රතිස්ථාපන” ප්‍රතිපත්ති හේතු විය හැකිය. එක්සත් ජනපදයේ කර්මාන්ත ශාලා සහ ඉදි කිරීමට සමාගම් මෙන්ම යුරෝපීය සමාගම් ද දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි පිහිටි තම කර්මාන්ත ශාලා යළි සිය රටවල ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වෑයමක නිරතව සිටී.
ආර්ථික විසංයෝජන මුලපිරීම් (Economic decoupling initiatives) යටතේ බටහිර සමාගම් තමන්ට මිත්‍රශීලී හෝ යාබදව පිහිටි රටවල නිෂ්පාදන යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට පොළඹවා ඇත, බොහෝ විට ආසන්නතම වෙරළ හෝ මිතුරු-වෙරළ ලෙස මෙය හඳුන්වනු ලබයි. වියට්නාමය, මැලේසියාව, තායිවානය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මෙක්සිකෝව ඇතුළු අනෙකුත් රටවල් බටහිර සමාගම්වල ආකර්ෂණය දිනා ගැනීම සදහා තරඟ වදිමින් ඔවුනට සහන, බදු සහන සහ වෙනත් දිරිගැන්වීම් ලබා දෙයි. උදාහරණයක් ලෙස, නවතම iPhone ජංගම දුරකතනය එකලස් කිරීම දැන් ඉන්දියාවේදී සිදු කෙරේ. නයිකි සපත්තු වලින් අඩකට වඩා දැන් වියට්නාමයේ නිපැයේ. කෙසේ වෙතත්, බෑන්ක් ඔෆ් ඇමෙරිකා ආයතනයට අනුව මෙම “මහගු අවස්ථාවෙන්” වැඩිම ප්‍රතිලාභ නෙළා ගැනීමට සූදානමින් සිටින්නේ අසල්වැසි මෙක්සිකෝවයි. එක්සත් ජනපදය හා කැනඩාව සමඟ USMCA නිදහස් වෙෙළඳ ගිවිසුමේ සාමාජිකයකු වීමත්, භූගෝලීය වශයෙන් අමෙරිකාවට ඇති එහි සමීපත්වයත් නිසා මෙක්සිකෝව තුළ තම නිෂ්පාදන වැඩි කිරීමට අමරිකානු සමාගම් පෙළඹී ඇත. එක්සත් ජනපද නිෂ්පාදන අංශයේ වර්ධනය වන ස්වයංක්‍රීයකරණයත් (automation) සමඟ එක්ව ගත් කළ, මෙම වර්ධනයන් චීන “නිෂ්පාදනයේ කූටප්‍රාප්තිය” (peak manufaturing) දැන් අවසන් ද යන්න පිළිබද විවාදයක් උද්ගත කරයි.
එසේ වුව ද, “ලෝකයේ කර්මාන්ත ශාලාව” යන විරුදාවලිය ලත්, නිෂ්පාදනයේ චීන ආධිපත්‍යය තවදුරටත් රටේ ආර්ථිකයට සහාය වීමට තරම් ස්ථාවරව පවතී. ගෝලීය නිෂ්පාදනයේ චීනයට හිමි පංගුව 2017 හි සියයට 26 සිට 2021 දී සියයට 31 දක්වා වර්ධනය වී ඇත. කොවිඩ්-19 වසංගතයට පෙර සහ වසංගත සමය තුළ ගෝලීය නිෂ්පාදනයේ පරිහානිය හේතුවෙන් ඉන්දියාව, මෙක්සිකෝව සහ වියට්නාමය ලෝක ආර්ථිකයට දායක වූයේ පිළිවෙලින් සියයට 3ක්, සියයට 1.5 සහ සියයට 0.6 ක් පමණි.
චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධය හමුවේ ගෝලීය නිෂ්පාදන රටාවන්හි වෙනසක්
887
previous post