වැසිබර ගතිය අවසාන වේගෙන යද්දී ඊළඟ අඟහරුවාදා උදෑසන මම මාටින් ගුරුන්නාන්සේ හමුවීමට ගියෙමි.
සමනොළ සිරිපා තඹුරු
ගොවියන් හට කීවොත් සරු
සිවු නැකතින් නොයෙන් සරු
කියා ලන්න නොව ඉසුරු
“අපිට මේ කවිය දැක්කම හිතෙන්නේ… මතක් වෙන්නේ සිරිපාදය ගැන. ඇයි ඒ අපේ හිත ‘සිරිපාදය’ කියන වචනයේ හිරවෙලා. ඔන්න ඕක ඒ කියන්නෙ අල්ලා ගැනීම අත ඇරපුදාට තමයි මහත්තයා ශාස්ත්‍රය හරියට පිහිටන්නෙ. ආ මහත්තය අපි හිතන් ඉන්නේ ‘ලක්ෂ්මි’ කියන්නේ ධනය දෙන කෙනා කියලනෙ. නෑ මහත්තයා ලක්ෂ්මි තමයි ඔක්කොම. ඔක්කොම කීවෙ ධනය – ඉගෙනුම ආදි ඔක්කොම මහත්තය මේ මන්ත්‍රයත් ලියා ගන්නකෝ.”
මම පසෙක තිබු පොත සහ පෑන අතට ගෙන පොත දිග හරින්නට පෙර සරස්වතී මෑණියන් සිහිකර පොත සිඹ ගෞරව කළෙමි. එය මාගේ පුරුද්දකි. මේ සියල්ල මාටින් ගුරුන්නාන්සේ බලා සිටිනවා මට පෙනේ. සමහරු මේ චර්යාවට ප්‍රිය නොකරන බව මා හොඳින් දනිමි. එහෙත් මා මගේ සිසුවන්ට පාසලේදී එය පුරුදු කරමි. මා මන්ත්‍රය ලියා ගතිමි.
“ඕං ආකාෂ ලක්ෂ්මී වා වා පාතාල ලක්ෂ්මි වා ශ්රීං ශ්රීං ක්ලීං ක්ලීං ඖං උං උං නමඃ ශිවාය”
“මේක පාවිච්චි කරන්නෙ කොහොමද ගුරුන්නාන්සේ?“ මම යටහත්ව ඇසුවෙමි.
“මහත්තයා මේක ගොඩක් දේවල්වලට පාවිච්චි කරන්න පුළුවන්. තවම මල් බුලත් පුටුවක් හදල වැඩ කරන්න දන්නෙ නෑනේ. ඒ වුණාට ඔය සුවඳ කුඩු ටිකක් පිරිසිදු භාජනයකට දාල ඔය මන්තරෙන් 108 වාරයක් ජීවම් කරගත්තම දියුණුවටත් හොඳයි. උදේ හවස ගෙදරට දුම් අල්ලන්න ඕනි. පාඩම් හිටින්නත් ඕක හොඳයි. ඔය මහත්තය කළා වගේ සිහිකර පොත් පාඩම් කළාට මතක හිටිනවා. ඕකෙන් තව ගොඩක් වැඩ ගන්න පුළුවන් මහත්මයා. හරි අපි අපේ පරණ කතාවට යං,
“පරණ කතාව කීවේ.“ ඔහු මාගේ මුහුණ බැලීය. “මාටින් ගුරුන්නාන්සේ අදහස් කළේ අර කවිය ගැන වෙන්න ඕනි.“ මා පැවසුවෙමි. “ඔව්… ඔව් මහත්තය මහත්තයගෙ අවධානය බොහොම හොඳයි. ඔතන ‘සිරිපා’ කියන්නෙ දියකාවා කියන පක්ෂියාට. මහත්තය ඌව දන්නවනෙ. ඔය ගඟ අයිනෙත් ඉන්නෙ. මම ඒ නම දියකාවට කියන බව දැනගත්තේ එදා බව මම ගුරුන්නාන්සේට කීවෙමි. “නෑ නෑ මහත්තයා මේක ශාස්ත්‍රය තුළදී ශාස්ත්‍රීය රහස් රැකෙන පරිදි ලියූ එකක්. සාමාන්‍ය වහරේ දියකාවාට ‘සිරිපා’ කියන්නෙ නෑ. සිරියක් සහිත පාද තියෙන නිසා ඌට සිරිපා කීවා. සිරිය කියන්නෙ කැපෙන ආයුධයක්නේ. උගේ පාදත් එහෙමයි. ඔය කවිය පබදලා තියෙන්නේ තොටගමුවේ රාහුල හිමියන්. බලන්න කොච්චර ලස්සනද කොච්චර ගුප්තද කියලා. තඹුරු කියන්නෙ මොනරටනෙ. සමනොළ කියන අකුරු හතරෙන්ම අපි අර කලින් ඉගෙන ගත්තු නයා, මීයා, ඇතා, මුවා කියන පක්ෂීන් හතර දෙනාම නියෝජනය වෙනවා. ඇත්තටම මේ පළමු පේළියෙන් කියන්නෙ ගුරුළා – බළලා – සිංහයා – දිවියා – නයා – මියා – මුවා කියන අටදෙනා දෙකට බෙදිල යුද්ධ කරන බව. එක පැත්තක මොනරා අනෙක් පැත්තෙ දියකාවා.
ඉතින් මෙන්න මේ කතාව සිදුවීම ගොවියන්ට කීවොත් සරුයිලු. මෙතන මහත්තයා අදහස් දෙකක් තියෙනවා. ගොවිකම් කරන අර්ථයෙන් ගොවියන්ට කීවොත් ඒ අය සරු අස්වැන්නක් ලබා ගනී. පාලකයන්ටත් ‘ගොවි’ කියන වචනේ යෙදෙනවා. ඉතින් මෙතන විශේෂයෙන් කියන්නෙ රාජ්‍ය පාලකයො මේ ශාස්ත්‍රය දැන සිටීම හොඳයි කියලයි. ඔය සිවු නැකතින් නොයන් සරු කියන පේළිය සමහර පොත්වල සිවු නැකතින් ගොයම් සරු කියාත් ලියැවිලා තියෙනවා. මෙතන ඇත්තටම කියන්නෙ ඔය වගා කෝණ ගැන, අවුරුදු කෝණේ වගේ කෝණ හතරක් තියෙනවනේ අවුරුද්දකට. ඔන්න ඕක ගැනයි එතන කියැවෙන්නේ. ඔය ශාස්ත්‍රය යස ඉසුරු බලාගෙන, සල්ලි බලාගෙන උගන්වන්න එපා කියා තමයි ඔය හතරවන පදයෙන් කියැවෙන්නෙ. ඒ කාලේ නුවර පැත්තෙ හිටියලු හාමුදුරු නමක්. ඔය කියන්නෙ 60-70 දශකවල ඒ හාමුදුරුවො ඇබිත්තයත් එක්ක යනවලු පන්සල් වත්ත වටේ, ඇබිත්තය අතේ ඉරටු ටිකක් තියෙනවලු. හාමුදුරුවො කියනවලු දැන් හරි කියලා ඇබිත්තයා අර ඉරටුවක් කඩන ගමන් ගස් උඩ බලලා ගෙඩිය වැටීයන් කියල කියනවලු. මේ කතාව මාත් හරියටම දන්නෙ නෑ මහත්තයට පුළුවන් නම් හොයල බලන්න.
හැබැයි මහත්මයා මම ඕකෙන් ඒ වගේ වැඩ කරල බලල නම් නැහැ. ඒත් නඩුවක් වගේ වෙලාවක විරුද්ධ පක්ෂියගේ ඉරටුව කැඩුව නම් නඩුව දිනන එක අහන්න දෙයක් නැහැ. මම ඇත්තටම කියන්න ගියේ අපි අල්ලන් ඉන්න මේක තමයි හරිම එක, මේක මම වැඩ කරපු එක. ඔය එක එක දේවල් කියා අල්ලන් ඉන්න මම අත්හරිනකම් අපිට හරි දේ පේනේනෙ නෑ කියන එක. විවෘතව අත් ඇරල බලන්න ඕනි. මේ ශාස්ත්‍රයට ඒ කාලෙ කියල තියෙන්නෙ “උමා ජ්‍යොතිෂය කියා” අද සමහරු චුල ජ්‍යොතිෂය කියල කියන්නෙත් ඕකටම තමයි. හැබැයි ඉතින් අද වන විට එක ‘චුල’ වෙලාම ගිහින් මහත්තයා.
ඔහු එය කීවේ කිසියම් කනගාටුවකිනි. ශාස්ත්‍රීය හරය විනාශ වී එය කුඩා, නොවැදගත් එකක් බවට පත්වෙමින් තිබෙන බව ඔහු සිතුවා විය හැකිය.
ගුරුන්නාන්සේ ඔය ශාස්ත්‍රයෙන් තව මොනවද කරන්න පුළුවන්? මා ඇසීමි. “ඕකෙන් කරන්න බැරි දේකුත් නෑ මහත්තයා. ඔය අද කාලෙ සමහර ළමයි දෙමාපියන්ට අත උස්සනවා, කියන දේ අහන්නෙම නෑ. ඒ වගේ තැනකදි ඒ දරුවාට – දෙමාපියන්ට අදාළ ගුරුළු පක්ෂියා හොයල අයිතිකාරය දියකාවද – මොනරද බලලා ඒ දෙන්නට මිශ්‍ර කරනවා. ප්‍රතිඵලය දවස් තුනෙන් බලන්න පුළුවන්.
පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු