Home » අල්ලේ සහ ඇඟිලි මත ත්‍රිකෝණ සලකුණු හෙළි කරන ඔබේ ජීවිත කතාව

අල්ලේ සහ ඇඟිලි මත ත්‍රිකෝණ සලකුණු හෙළි කරන ඔබේ ජීවිත කතාව

by thanushika
November 18, 2023 12:30 am 0 comment

පසුගිය ලිපියකින් මහා ත්‍රිකෝණය පිළිබඳවත් එය පිහිටීමෙන් ඇතිවන පලාපල පිළිබඳවත් විස්තර කෙරිණි. මෙවර ලිපියෙන් විස්තර කරන්නේත් ත්‍රිකේණ පිළිබඳවය. හැබැයි ඒ ත්‍රිකෝණ සලකුණ මහා ත්‍රිකෝණය වගේ විශාල නැත. ඉතා කුඩා, එසේ වුවත් කලින් සඳහන් කළ ප්‍රධාන රේඛාවලට සම්බන්ධ වී පිහිටන මහා ත්‍රිකෝණයට වඩා මෙම කුඩා ත්‍රිකෝණ ඉතා බලවත්ය. එම ත්‍රිකෝණ වැටීම අදාළ ග්‍රහ මණ්ඩලවලට බලය අසීමිත ලෙස වර්ධනය වීමට හේතු වන බව හස්ත රේඛා විද්‍යාවේ සඳහන්ය. මේ සමග පළ වන රූප සටහනින් දැක්වෙන අදාළ ස්ථානවල ත්‍රිකෝණ පිහිටීමෙන් කියැවෙන පලාපල කෙසේදැයි ඔබ පරීක්ෂා කර බලන්න.

මණ්ඩල මත

1) රූපසටහනේ අංක 1න් සලකුණු කර ඇති ගුරු මණ්ඩලය මත පිහිටා ඇති ත්‍රිකෝණ දැන් බලන්න. උසස් නිලතල හා කීර්ති ප්‍රශංසා ලැබීමට එම ත්‍රිකෝණය හේතු වෙයි. ජන නායකයන් බොහෝ දෙනෙකුගේ අත්වල එවැනි ත්‍රිකෝණ ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

2) මෙම අංකයෙන් සලකුණු කර ඇත්තේ ශනි හෙවත් සෙනසුරු මණ්ඩලයයි. විවිධ ගුප්ත විද්‍යා කටයුතුවලට දක්ෂ අයගේ අත්වල එම ස්ථානයේ ත්‍රිකෝණ සටහන් දැකිය හැකිය. අන්‍යයන්ගේ සිත් හඳුනා ගැනීමේ පුදුම දක්ෂතාවක් ඔවුන් තුළ උපතින්ම පිහිටා ඇත.

3) මෙම ස්ථානයේ පිහිටි රවි මණ්ඩලයේ ත්‍රිකෝණ ලකුණින් ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වන උසස් බුද්ධි බලයක් ඇති අයකු හඳුනාගත හැකි උසස් බුද්ධි බලයක් එම ලකුණින් පෙන්වා දෙයි.

4) වැනි අංකයෙන් පෙන්වනුයේ බුධ මණ්ඩලයයි. දේශපාලනඥයෙකු, රාජ්‍ය නිලධාරියෙකු, ව්‍යාපාරිකයෙකු හෝ ග්‍රන්ථ කර්තෘවරයෙකු වශයෙන් ප්‍රසිද්ධිය ලබන අයගේ අත්වල එම ස්ථානයේ ත්‍රිකෝණ සලකුණ තිබිය හැකිය.

5) කුමන ක්‍රමයකින් හෝ ජනයාගේ ආදරයට ලක්වන අයගේ මෙම කුජ මණ්ඩලය මත ත්‍රිකෝණ ලක්ෂණය බොහෝ විට දැකිය හැකිය. සටන්කාමී බවේ සංකේතයක් වශයෙන් එය හැඳින්විය හැකිය. හේතුව කුජ මණ්ඩලය හිමි ග්‍රහයා සටන්කාමි ග්‍රහයෙකු බැවිනි.

6) වැනි අංකය සඳහන් චන්ද්‍ර මණ්ඩලයේ ත්‍රිකෝණය ඉතාමත් සුබ පිහිටීමක් වෙයි. එම අත් හිමියෝ අලුත් දේ නිර්මාණය කිරීමට දක්ෂයෝ වෙති. ලේඛකයන්, මෙන්ම නාවිකයන්, කිමිදුම්කරුවන්, ධීවරයන් වැනි ජලාශ්‍රිත රැකියාවන් කරන අයගේද අත්වල එම ස්ථානයේ ත්‍රිකෝණ දැකිය හැක. ඉතාමත් ඉක්මනින් ඔවුහු දියුණුව ළඟා කර ගනිති.

7) හත්වැන්නෙන් සටහන් වන සිකුරු මණ්ඩලයේ ත්‍රිකෝණ සටහනක් ඇත්තේ නම් ඔහු හෝ ඇය තීක්ෂණ බුද්ධියෙන් යුතුව විවාහයට පත්වෙයි. ස්ත්‍රියක් නම් ඇය හැම අතින්ම සම්පූර්ණ පුරුෂයෙකු විවාහයට සොයයි. ගෙදරට වයසට යන ස්ත්‍රීන්ගේ අත්වලත් එම ලකුණ පිහිටිය හැකිය. පරීක්ෂා කර බලන්න. ඔබටම එය අවබෝධ වේවි.

8) ජ්‍යොතිෂය අනුව කුජ බොහෝ අභීත ග්‍රහයෙක් බව කවුරුත් දන්නා දෙයකි. මේ නිසා කුජට හිමි කුජ මණ්ඩලයේ ත්‍රිකෝණ ලකුණ වැටීම අතිධාවන පෙන්වීමකි. මෙම හේතුවෙන් පළමුවැනි කුජ මණ්ඩලයේ එවැනි පිහිටීම් ඇති අය ඕනෑම දරුණු කාර්යයකට වුවද යොමු වෙයි.

9) මෙම අංකයෙන් සටහන් වන්නේ අල්ලේ මැද පිහිටි කුජ තලාවයි. සියලු බාධක අබිබවා ඉදිරියට යාමේ අයෝමය ආත්ම ශක්තියක් ඇති දාර්ශනිකයෙක් කුජ තලාවට තදිස්වන ත්‍රිකෝණයෙන් පෙන්නුම් කරයි.

ඇඟිලි මත පිහිටීම්

10) මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ ත්‍රිකෝණය සුබය. බුද්ධිමතුන් වන ඔවුන් ධනවත් වීමේ භාග්‍යය ඇත්තෝ වෙති.

11) හදිසි ධන ලාභවලට වරම් ලබන පිහිටීමක් නිසා මහපටඟිල්ලේ දෙවෙනි පුරුකටත් ත්‍රිකෝණය හොඳයි.

12) මෙම ස්ථානයේ පිහිටි ත්‍රිකෝණ ලක්ෂණයෙන් ධාන්‍යලාභී උත්තමයෙකු හඳුනා ගන්න.

13) දබර ඇඟිල්ලේ දෙවැනි පුරුකේ ත්‍රිකෝණ යහපත් චරිතයක් ඇති අයගේ අත්වල දැකිය හැකිය. එය පැවිදි යෝගයක් ඇති අයගේ අත්වලද පිහිටිය හැකි බව හස්ත රේඛා විද්‍යාව අනුව කියැවේ.

14) ගුප්ත විද්‍යාවට සේම ඇස් බැන්දුම්වලටද දක්ෂතා ඇති අයගේ තුන්වැනි පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණය තිබිය හැකිය.

15) මෙම අංකයෙන් සටහන් වන මැද ඇඟිල්ලේ මුල් පුරුකේ ත්‍රිකෝණය පිහිටීම ද සුබදායක වෙයි. ඕනෑම කාර්යයකට දක්ෂ වන ඔවුන් කලාවට ළැදි අය ද වෙති.

16) මෙම ස්ථානයේ සටහන් කර ඇති මැද ඇඟිල්ලේ දෙවැනි පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණය ඇති අයද ගුප්ත විද්‍යාවට දක්ෂතාවක් ඇති අය වෙති.

17) මැද ඇඟිල්ලේ තුන්වැනි පුරුකේ ඇති ත්‍රිකෝණ ලක්ෂණයෙන් කපටි හා වංචාකාරී අන්දමින් දිවි ගෙවන අයෙකු හඳුනාගත හැකිය.

18) ප්‍රසිද්ධ ලේඛකයන්ගේ අත්වල වෙද ඇඟිල්ලේ පළමු පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණ තිබිය හැක.

19) වෙද ඇඟිල්ලේ දෙවැනි පුරුක දෙස දැන් බලන්න. එම ස්ථානයේ ත්‍රිකෝණයන් පිහිටන්නේ බොහෝ විට රඟපෑම, චිත්‍ර කලාව, මූර්ති ශිල්පය වැනි කලා ශිල්ප කෙරෙහි හැකියාවක් ඇති අයගේ අත්වලය.

20) තුන්වැනි පුරුකේ ත්‍රිකෝණ ගුවන්විදුලි යන්ත්‍ර, ඔරලෝසු වැනි සූක්ෂ්ම කාර්මික වැඩ කරන අයගේ අත්වල දැකිය හැක.

21) සුළඟිල්ලේ මුල් පුරුකේ ත්‍රිකෝණය ඉතාමත් සුබ පල දෙයි. යන එන හැම තැනකදීම ගරුබුහුමන් ලබන ඔවුන් සදානුස්මරණීය නාමයක් තබා මිය යන්නෝය.

22) දක්ෂ වෛද්‍යවරුන්, චතුර කථිකයන්ගේ අත්වල සුළැඟිල්ලේ දෙවැනි පුරුකේ ත්‍රිකෝණ ලක්ෂණ තිබිය හැකිය.

23) සුළඟිල්ලේ තුන්වැනි පුරුකෙන් පෙන්වන ත්‍රිකෝණ ලක්ෂණය දේශපාලන කටයුතුවලින් මෙන්ම ව්‍යාපාර කටයුතුවලින් දියුණු වන අයගේ අත්වල දැකිය හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division