අනුර කේ. එදිරිසූරිය දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තීය මාධ්‍යවේදියකු ලෙස විවිධ ඉසව්හි සැරිසරා මේ වන විට එකී වෘත්තීය ම ය දිවියෙන් ඉසිඹුවක් ලැබ ස්වීය නිර්මාණකරණයේ නිරත ව සිටින්නෙකි. පුවත්පත් කලාවට ම ආවේණික අධික කාර්ය බහුලත්වයෙන් මිදී හුදෙකලාව හා නිසංසල ව සිටින හේ අතින් ලියැවුණු කවි සමුච්චයක් K කවි ලෙසින් පාඨක සහෘදයන් අතට පත් වී තිබේ. ඒ කවි අතර සැරිසරන විට හුදෙකලාවේ ආශ්චර්යය හමු වෙනු වැළැක්විය නොහැකි ය. නව්‍ය ආකෘතික අත්හදා බැලීම්, රිද්මයානුකූල වචන හරඹ, කාව්‍ය වින්දනයේදී රසික සහෘදයාට දී ඇති නිදහස් බව, ජීවිතයේ අපි දන්නා කියන දෑට ඔබ්බෙන් ඇති සංවේදනා ඈ බොහෝ දෑ ඒ කවි ඔස්සේ ඔබට හමු වෙනු ඇත. මේ K කවි ගැන අනුර කේ. එදිරිසූරිය කවියා සමඟ කරන ලද සංලාපයේ සංක්ෂිප්තයකි.
ඔබ මාධ්‍යවේදියෙක්. විවිධ කලා ඉසව් ස්පර්ශ කරන්නෙක්. කවිය වඩාත් සූක්ෂ්ම කලාවක් කිව්වොත් එකඟ ද?
සම්පූර්ණයෙන්ම එකඟයි. පරිවර්තකයෙක් වශයෙනුත්, කෙටිකතා, පුවත් පත් සඟරා, විශේෂාංග ලිපි රචකයෙක් වශයෙනුත් මම විවිධ ලියැවිලි සඳහා භාෂාව උපයෝගී කර ගනිමින් ඉන්නවා. නමුත් ලේඛන කලාවේ වඩාත් ම සූක්ෂ්ම අංගය කවිය.
කවියෙදි අවම වචන සංඛ්‍යාවකින්, අතිශය සංක්ෂිප්තව අදහස් ප්‍රකාශ කරන්න, භාව ප්රකාශනයේ යෙදෙන්න, පාඨකයා කම්පනය කරන්න, සිද්ධ වෙනවා.
නවකතා කෙටිකතාවල වචන භාවිතයෙදී මසුරුකම් කරන්න ඕන කියනවා. කවියෙදි ඒ මසුරුකම දෙතුන් ගුණයකින් වැඩි කරගන්න ඕන. වචන අඩු තරමට කවියේ බලය වැඩි වෙනවා. කවිය වහා ගිනි ගන්නා සුලු සූක්ෂ්ම භාෂා නිමැවුමක්.
ඔබේ නවතම කවි එකතුවේ ආකෘතික වගේම ආඛ්‍යාන අත්හදා බැලීමකටත් ඔබ යනවා. සාම්ප්‍රදායික රාමුව ඇතුළෙ තවදුරටත් කවියට පැවැත්මක් නැද්ද?
සම්ප්‍රදායික රාමුව ඇතුළෙ කවියට පැවැත්මක් නැහැම නෙමෙයි. ඒත් රාමුව බිඳින්න පුළුවන් නම් අපි ඒකට බය වෙන්න ඕන නැහැ. අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන්න සම්ප්‍රදායික රාමුව බාධාවක් නම් අපි සම්ප්රදාය ඉක්මවා යන්න ඕන.
වර්තමාන සමාජයේ සමහර අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන්න සම්ප්‍රදායික රාමුව ඇතුළෙ අමාරුයි. ඒ නිසා මට සමහර අත්හදා බැලීම්වලට යන්න සිදු වුණා.
නවතාව කියන්නෙ කවියක තිබිය යුතු අනිවාර්ය ගුණයක්. ඒ නිසා භාෂාවටත් ආකෘතියටත් අපූර්වත්වයක් එක් කරන්න උත්සාහ කළා. කවිය වුණත් වෙනත් නිර්මාණ කටයුත්තක් වුණත් අපූර්වත්වයෙන් යුතු නම් සහෘදය ආකර්ෂණය දිනා ගන්න පහසුයි.
කවියේ හැඟීම තියුණු කරන්න ඔබ උපක්‍රම භාවිත කරනවා. එයින් ප්‍රධානම අංගය ලෙස මට හැඟෙන්නේ හුදෙකලාවට ඔබේ තියෙන ආසක්ත බව.
පත්තර රස්සාවෙන් සමුගත්තට පස්සෙ හුදෙකලාව මට ටිකක් වැඩියෙන් දැනුණා.
පිරිසක් එක්ක වැඩ කරල ගෙදර නතර වෙන්න වුණාම, කාන්සිය වැඩිපුර දැනීම පුදුමයක් නෙමෙයි. හුදෙකලා බව කවියට නැඟෙන්න ඒකත් හේතු වෙන්න ඇති.
මම හුදෙකලාවට, නිහැඬියාවට ප්‍රියයි. පත්තර රස්සාවෙ අවුරුදු තිහකට ආසන්න කලබලයෙන් පස්සෙ මට ලැබුණ මානසික නිසංසලතාව හා හුදෙකලාව, මම හුදෙකලාවේ රස වින්ද ආකාරයත් හුදෙකලාවෙන් මට දැනුණු කම්පනයත් කවියට ගොනු වෙලා ඇති. තවත් අතකට මහා සෙනගක් මධ්‍යයේ වුණත් අපි කවුරුත් හුදෙකලා මිනිස්සු.
ඔබ වගේම පාඨකයා නිදහස් විය යුතුයි කියලා ඔබ හිතනවද? මම එහෙම අහන්න හේතුව ඔබ කවිවලට මාතෘකා දා ගන්න පාඨකයාට ලබා දීලා තියෙන නිදහස නිසා.
කවියක් කියන්නේ අදහස් පදාසයක්. කවියකට මාතෘකාවක් යෙදීමෙන් කවියේ හැඟීම් පරාසය පටු වෙනවා කියා මා සිතනවා. කවියක පද ඔස්සේ සහෘදයාට නිදහසේ සැරිසරන්න තියෙන අවස්ථාව මාතෘකාවක් යොදල අහුරන්න හොඳ නැහැ. මාතෘකා නිසා කවියක පිපිරුම් පරාසය සීමා වෙනවා, කම්පනය සීමා කෙරෙනවා. සමහර වෙලාවට යම් කවියක් ඒ ආකාරයට ලියැවුණේ ඇයි කියල මට ම වැටහෙන්නෙ නැහැ. ඒ වගේ අවස්ථාවක කවියට මාතෘකාවක් දැමීම ප්‍රායෝගිකවත් අපහසුයි.
සරලත්වය ඇතුළෙ ගැඹුරු යටි පෙළ අරුත් මතු වෙන කවි බොහොමයක් මේ කාව්‍ය සංග්‍රහයට ඇතුළත්. ගැඹුරු දේ සරලව කියන එක පහසු නෑ. භාෂාත්මක හරඹය ගැන කතා කළොත්?
යටි පෙළක් නැති කවිය පුස් වෙඩිල්ලක්. කවියේ යටි පෙළින්, වෙනස් වෙනස් සහෘදයාට වෙනස් වෙනස් කම්පන දනවන්නෙ කොහොමද කියල මම පොඩි අත්හදා බැලීමක් කළා. මගේ අත්දැකීම, මගේ කම්පනය එයාලගෙ කර ගන්න සහෘදයාට පහසු කරල දෙන්න සරල ගැඹුරු බස් වහර වැදගත්. කෘතියේ අවසන් කොටසේ නැවත එක දෙක ලෙස අංකනය කළ කවිවල මම එකම පද වෙනත් ආකාරයට බිඳ වෙනස් අරුත් දනවන්න බැලුවා. නිදසුනක් විදිහට ” දුටුගැමුණු හන්දියේ ජය කොඩිය ජයකොඩි” වගේ යෙදුම් දක්වන්න පුළුවන්. භාෂාත්මක හරඹය යන්නෙන් ඔබ අදහස් කරන්නෙ එය කියා මා සිතනවා. කවි බසට යම් ආකෘතිමය වෙනසක් කරන්නයි මම උත්සාහ කළේ.
කවියෙ අරුතටත් වඩා මට සිත් ගත්තේ ඔබ එය කියන ස්වරය. රිද්මය, රටාව, උපමා රූපක කාව්‍යකරණයේ දී කොතෙක් වැදගත් ද?
භාෂා භාවිතයෙදි හැඟීම් දනවන්න ස්වරය, රිද්මය අතිශය වැදගත්. හැබැයි, රිද්මය රකින්න කියල සක්ක පද ගහන්නත් කවියෙදි බැහැ. භාවිත කරන හැම වචනයකට ම අර්ථයක් ගැළපීමක් තියෙන්න ඕන. වෑද්දුම් පිරිද්දුම් පෙනෙන බසකින් පරිපූර්ණ කවියක් ගොතන්න බැහැ. සහෘදයා කම්පනයට පත් කරන්න බැහැ.
උපමා රූපක සම්බන්ධයෙන් ගත්තොත් මම වඩාත් කැමති රූපක එක්ක කරන වැඩට.
කවියක් වඩාත් බරට දනවන්න උපමා, විශේෂයෙන්ම රූපක අතිශය වැදගත්. කවිය ප්රචාරකවාදී බවෙන් මුදා ගෙන, කවියේ අමුකම නැති කරල කාව්‍යාත්මක බව ඉස්මතු කරන්න රිද්මය, රචනා රටාව, උපමා රූපක භාවිත කළා.
K කවි වෙනස් අත්දැකීමක්. ඔබ නිර්මාණ ඇතුළෙ සොයන්නෙ වෙනසක් ද?
මම මේ කවි එකතුව පාඨකයා අත තබන්නෙ අවුරුදු විස්සක නිහැඬියාවකට පස්සෙ. මගේ මුල් කවි පොත්, ” නගරයට ආ මුවැත්තිය ” සහ ” නිශ්ශබ්ද ” දෙකටම ඉහළ සහෘදය ප්‍රතිචාර ලැබුණා.
සමහර අයට ඒ සමහර කවි තවම කට පාඩම්. පොත්වල ෆොටෝ කොපි ළඟ තියාගෙන ඉන්නව කියල පොත් ප්‍රදර්ශනයේ හමුවුණු කීප දෙනෙක්ම කීවා.
එ් ගැන දන්න නිසාම, මුල් කවි පොත් දෙක හා සමාන හෝ ඒවා ඉක්මවා යන කෘතියක් සහෘදයාට දෙන්න මම හැකි උපරිමයෙන් උත්සාහ කළා. K කවි වෙනස් අත්දැකීමක් කියා ඔබට හැඟෙන හේතුව මගේ ඒ උත්සාහයේ ප්‍රතිඵලය කියා මා විශ්වාස කරනවා.
මේ කවි කියවලා විඳලා ඉවර වුණාට පස්සෙ මට හිතෙනවා, ජීවිතය තියෙන්නෙ අන් තැනක කියලා?
කවිය අර්ථමය වශයෙන් පරිපාකයකට ගෙනෙන්නේ නැතිව හිස් බවක් දැනෙන කම්පනයක සහෘදයා අතරමං කරන්න මම ඇතැම් කවිවලදි උත්සාහ කළා. ඔබ කලින් කිව්ව හුදෙකලා බවත් ඒ උත්සාහයේම ඵලයක් කියලයි මම හිතන්නේ.
කවියකින්, කෙටි කතාවකින් සමාජයට පණිවුඩ දෙන්න ඕන කියන මතය දැන් යල්පැනල. පණිවුඩකාරයෙක් වෙනුවට දැන් කවියා ආලෝකය දල්වන්නෙක්, නොපෙනෙන අඳුරු අහුමුලුවලට ඇස් යොමු කරවන්නෙක් වෙන්න ඕන කියන මතයෙ පිහිටායි මම කවි ලියන්නෙ. එහිදී පාඨකයාට කවියේ යමක් කියනවා කියා අවබෝධ වෙනවා වෙනුවට කියන යම් දෙයක් හැඟෙනවා පමණයි. ජීවිතය අන් තැනක කියන ඔබේ අදහස ඒ අනුව නිවැරදියි. එය මම දැනුම්වත්ව කළ දෙයක්.
සුමුදු චතුරාණී ජයවර්ධන, සේයාරුව- චින්තක කුමාරසිංහ