රේස් වදන ඇසුණු පමණින්ම සිතට නැඟෙන්නේ ත්‍රාසජනක හැඟීම් සමුදායකි. ‘රේස් පැදීම‘ ඊටත් වඩා ත්‍රාසජනකය. ‘කාර් රේස්‘ හා ‘බයික් රේස්‘ යැයි අප කට වහරෙට කියන මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග නරඹන අයට නම් ලොමු දැහැ ගැන්වෙන ක්‍රීඩාවකි. ඇඟිලි තුඩින් ඉස්සි ඉස්සී, දෑස් අයාගෙන කුතුහලයෙන් යුතුව කාර් රේස්, බයික් රේස් නරඹන ප්‍රේක්ෂකයන් ත්‍රාසයට හා භීතියට පත් වූවද, ඒවා පදින අයට නම් එතැන තරගයට වඩා දෙයක් නැත. ඇත්තේ උපරිම වේගයෙන් ප්‍රතිවාදීන් අබිබවා ජයග්‍රහණය අත්කර ගැනීමේ අභියෝගය පමණි. අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයක පමණ වේගයෙන් ධාවනය වන රථයක ගමන් ගන්නා විට පවා යම් තරමක චකිතයකට පත් වන අපට ඊටත් වඩා වේගයෙන් ධාවන පථයේ දුහුවිලි නංවාලමින් මුළු පළාතම ගිගුම් දෙන ආකාරයෙන් තරගකරුවෝ රේස් පදිද්දී දැනෙන හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකිය. වැඩිහිටියන් වන අපට එසේ නම් ළමා වියේ පසු වන දරුවන්ට එය කෙසේ දැනෙනු ඇතිදැයි සිතේ.
එහෙත් 17 හැවිරිදි කේසර ගොඩගේට නම් එය කජු කනවා වැනි වැඩකි. බොරලු ඇතිරූ දුෂ්කර ‘සුපර් ක්‍රොස්‘ ධාවන පථයේ පමණක් නොව තාර ඇතිරූ සාමාන්‍ය ‘ටාමැට්‘ ධාවන පථයේදිත් මෙරට නම ගිය ප්‍රවීණ තරගකරුවන් අබිබවා ජයග්‍රහණ පිට ජයග්‍රහණ අත්කර ගන්නා මේ ඉලන්දාරියා පසු වන්නේ යන්තම් දැලි රැවුල වැඩෙන භද්‍ර යෞවන වයසේය.
ඊයේ පෙරේදා කුරුණෑගල පාන්ගොල්ල යුද හමුදා කඳවුරේ ධාවන පථයේ පැවති කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියේදී මෙරට වේගවත්ම දෙවැනි මෝටර් රථ තරගය වන එස්. එල්. එච් හොණ්ඩා 1600cc කාණ්ඩයේ තරගය ජය ගත්තේ ඔහු ය. එය පරිණත තරගකරුවන්ගේ නළල් තල රැලි ගැන්වූ ආකාරයේ ජයග්‍රහණයකි. මීට පෙර එම කාණ්ඩයේ මෝටර් රථ තරග කිහිපයකට එක් වී සිටිය ද කේසර එම කාණ්ඩයේ තරගයක් පළමු වතාවට ජය ගත්තේ එදා ය. තරගයට එක් වී සිටියෝ කේසරට වඩා දෙතුන් ගුණයකින් වැඩිමල් සහ අත්දැකීම් බහුල මෙරට මෝටර් රථ ධාවන තරග ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටි ක්‍රීඩකයෝ වූහ. එහෙත් මුල සිටම තරගයේ පෙරමුණ ගැනීමට කේසර සමත් වෙද්දී පරිණත තරගකරුවන්ට සිදු වූයේ ඔහු අබිබවා යෑමට දැඩි සටනක නිරත වීමටය. එය සාර්ථක නොවීය. මේ ළාබාල ක්‍රීඩකයා තරගය ජය ගත්තේ කිසිදු කලබලයකින් තොරවය.
‘මම කැවල්රි සුපර්ක්‍රොස් ට්‍රැක් එකේ කාර් රේස්වලින් සාර්ථක ක්‍රීඩකයෙක් නෙවෙයි. මීට කලින් 2019 අවුරුද්දේ මේ ට්‍රැක් එකේ පැදලා තිබුණෙත් එස්එල් නිසාන් මාච් සහ ෆෝර්ඩ් ලේසර් කාණ්ඩයේ තරග විතරයි. අවුරුදු 4කට පස්සේ තමයි ආපහු කැවල්රිවල කාර් රේස් එකක් පැද්දේ. ඇත්තටම කිසිම අදහසක් තිබුණෙත් නෑ. ලොකු සැලසුමක් තිබුණෙත් නෑ. මා ගාව පරණ වීඩියෝ වගයක් තිබුණට ඒකෙන් ලොකු අදහසක් ගන්නත් බැරි වුණා. කාර් එක ගොඩාක් වෙනස් නිසා.‘ මේ අපූරු ඉලන්දාරියා ‘සිළුමිණ‘ සමඟ කතා බහට එක් වූයේ එසේ කියමිනි.
කේසර ගොඩගේ ‘රේස්‘ පිටියට සේන්දු වූයේ යතුරුපැදි තරගවලිනි. පස් හැවිරිදි වියේදී ඔහු මුලින්ම යතුරුපැදි තරග බිමට එක්වෙද්දී ඔහුගේ සමකාලීන වයසේ දරුවන් පදිමින් සිටියේ සෙල්ලම් යතුරුපැදි ය. 2012 වසරේදී 50cc කුඩා යතුරුපැදියෙන් අවුරුදු 10න් පහළ තරගයට එක් වූ කේසරට පෙරළිකාර යතුරුපැදි ධාවකයකු බවට පත් වීමට වැඩි කාලයක් ගත වූයේ ද නැත. 2015 වසරේදී අවුරුදු 13න් පහළ තරග බිමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වෙද්දී ඔහුගේ වයස යන්තම් අවුරුදු 9කි. වැඩිකල් නොගොසින් අවුරුදු 16න් පහළ තරගවලටත් එක් වූ හෙතෙම එකම තරගාවලියකදී 13න් පහළ සහ 16න් පහළ තරග දෙකම ජය ගැනීමටත් සමත් වීම කැපී පෙනුණු සිදු වීමක් විය.
තැනින් තැන කඳු පල්ලම් සහිතව නිර්මාණය වන බොරලු ඇතිරූ සුපර්ක්‍රොස් තරග බිමේදී යතුරුපැදි තරගකරුවෝ එන වේගයෙන්ම පස් කඳු තරණය කරති. අනතුරුව ඒ වේගයෙන්ම පස් කන්දේ සිට පහළට යෝධ පිම්මකි. ධාවන පථයේ ඇතැම් තැන් එකපෙළට එවැනි පස් කඳු තුන හතරකින් සමන්විත වන අතර, පැමිණි වේගයෙන්ම පස් කඳු තරණය කරමින් සිය යතුරුපැදිය සමඟ අඩි විස්සක් ඉහළින් හිස් අහසේ පියාඹා යෑම කේසරට ගෙන දෙන්නේ විනෝදාශ්වාදයකි. එහෙත් ප්‍රේක්ෂකයන් නම් බලා සිටින්නේ අයාගත් මුවින් යුතුවය.
ඔහු පළමුවරට මෝටර් රථ තරගයකට එක් වූයේ අවුරුදු 13න් පහළ සහ 16න් පහළ යතුරුපැදි ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් සිටියදීමය. 2017 වසරේ වලව සුපර්ක්‍රොස් තරගාවලියේ අවුරුදු 13න් පහළ යතුරුපැදි තරගයකට සහභාගි වීමට ගිය කේසර අවසානයේ නැවතුණේ එම තරගාවලියේ ළාබාලතම මෝටර් රථ ධාවන ශූරයාට හිමි කුසලානයත් අත්කර ගනිමිනි. ඊළඟ වසර වෙද්දී මේ කොලු ගැටයා මෙරට මෝටර් රථ හා යතුරුපැදි තරග බිමේ කාගෙත් අවධානය දිනා ගත් තරගකරුවකු බවට පත් වූයේ එකම තරගාවලියක යතුරුපැදියෙන් මෙන්ම මෝටර් රථයෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වීම නිසාය. 2018 වසරේ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු ධාවන පථයේ පැවැති රොදර්හැම් තරගාවලියේ එස්එල්-ඊ කාණ්ඩයේ 1000cc නිසාන් මාර්ච් තරගයේ දෙවැනි ස්ථානය අත්කර ගනිද්දී ඔහුගේ වයස යන්තම් අවුරුදු 13කි.
වයසින් කුඩා වුවත් මේ වන විට ඔහු යතුරුපැදි තරග බිමේ දශකයකට වැඩි අත්දැකීම් ඇති තරගකරුවෙකි. එදා මෙදාතුර ගත වූ කාල පරිච්ඡේදයේ කේසර සිය යතුරුපැදියෙන් සුපර්ක්‍රොස් තරග බිමේ පිමි දසදහසකට ආසන්න ප්‍රමාණයක් පැන තිබේ. පසුගියදා කැවල්රි තරගයේ 1600cc තරගය ඔහු ජය ගන්නා විට මෝටර් රථ තරග බිමේ වැඩි අත්දැකීම් තිබුණේ නැත. කේසර නම් කියන්නේ අත්දැකීම් සහ වයස ජයග්‍රහණයට ලොකු සාධක නොවන බවය.
‘පරිණත වෙන්න ඕන කියලා නෑ. ඒත් යම් තරමකට ඒක ඕන තමයි. හැබැයි වයස නම් කොහෙත්ම බලපාන්නේ නෑ. මානසිකව පරිණත වුණාම ඒ ඇති. මානසිකව ස්ථාවර වෙන්න ඕන. පරිණතභාවය කියන්නේ දැනුමනේ. අපි හැඟීම් පාලනය කරන විදිහ තමයි ගොඩාක් බලපාන්නේ. කලබල වෙලා රේස් පදින්න බෑ. මම අවුරුදු 7ක් විතර බයික් පැදලා තමයි කාර් රේස්වලට ආවේ. ඇත්තටම කාර් එක බයික්වලට වඩා ආරක්ෂිතයි. බයික් රේස්වලින් කරන්නේ මානසිකව පරිණත කරන එකයි. ජම්ප්ස් ‘(පිමි) එහෙම දාලා බය ඇරුණම කාර් පදිද්දී ඒක වාසියක් වෙනවා. මම ආත්ම විශ්වාසය ගොඩනඟා ගත්තේ බයික් රේස් පැදලයි. මම දැනට බයික් රේස් සියයකට වඩා පදින්න ඇති. ජම්ප්ස් දහදාහක් විතර දාන්න ඇති. දැන් නම් කිසිම බයක් දැනෙන්නේ නෑ.‘ කේසර එසේ කියන්නේ සිනාසෙමිනි.
යතුරු පැදි තරග නම් දැන් කේසරට සෙල්ලමක් වැනිය. ඔහු ත්‍රාසයයි, වේගයයි දෙකම සෙල්ලමකට ගෙන හමාරය. යතුරුපැදි තරග අතරතුර ඔහු ගී මුමුනන්නේ ඒ නිසාය. එය ඔහු තරගයට අවතීර්ණ වූවද කොතරම් සැහැල්ලුවෙන් සිටින්නේදැයි යන්න කියා පාන්නකි. බොහෝ යතුරුපැදි තරගවලදී ඔහු ගීත දෙක තුනක් මිමිනිම වරදින්නේම නැත. ‘දැන් නම් එච්චර සින්දු කියන්නේ නෑ. ගොඩාක් වෙලාවට ඒක වෙන්නේ බයික් රේස් පදිද්දි. කාර් රේස්වලදී සින්දු කියන්න වෙලාව මදි.‘ ඔහු සිනාසෙමින් එසේ කීවේය.
කේසර රේස් පදින්නේ ඔහුටම ආවේණික විදිහටය. බොහෝ තරගවල ඔහුගේ ජයග්‍රහණවලට හේතු වන්නට ඇත්තේ ද එය විය යුතුය.
‘මම රේස් පදින්නේ මගේ විදිහට. මම ම අධ්‍යයනය කරලා හොයා ගත්තු දේවල් තියෙනවා රේස් පදිද්දී. මගේම දේවල් ටිකක් මම එකතු කරගෙන තියෙනවා මගේ රේස්වලට. ජීවිතේට ඉගෙන ගන්න ගොඩාක් දේවල් රේස් එකේ තියෙනවා. මානසික පීඩනය දුරු කර ගන්න හොඳම ක්‍රීඩාවක්. අනික අවධානය යොමු කිරීම, ක්ෂණික තීරණ වගේ දේවල් එහෙමත් තියෙනවානේ. සමහර වෙලාවට රේස්වල කරන කියන දේවල් සාමාන්‍ය ජීවිතයට ඉබේටම එකතු වෙනවා. අපි රේස් පදින්න කලින් පුහුණු වුණාට රේස් එකේදි හැමදේම කරන්නේ හිතලා නෙවෙයි. හිත හිත ඉන්න වෙලාවකුත් නෑ. ඒවා ක්ෂණිකව වෙන්නේ. අනික තමන් පදින වාහනය ගැනත් ලොකු දැනුමක් තියෙන්න ඕන.‘ ඔහු කීවේය.
කේසර ගොඩගේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලැබූ අතර, මේ වන විට ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයටත් ලියා අවසන් ය. විභාගය නිසා ඔහුට තරග පුහුණුවීමටත් කාලයක් ඉතිරි නොවීය.
‘විභාගය ඉවර වුණේ කැවල්රි රේස් එකට දවසකට කලින්. ඒ නිසා පුහුණු වෙන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ. කාර් එකකට නැග්ගෙත් සෑහෙන කාලයකට පස්සෙයි. මාස දෙකක වගේ කාලයකට පස්සේ.‘ ඔහු පැවැසීය.
‘මගේ අධ්‍යාපන ක්ෂේත්‍රයත් යම් තරමකට රේස් එකට ප්‍රයෝජනවත් වෙනවා. මැත්ස් වගේම පිසික්ස් වුණත් ගොඩාක් ප්‍රයෝජනවත්. දැනට ලංකාවේ රේස් ඒ මට්ටමට ඇවිල්ලා නැතිවුණාට අපිට ෆිසික්ස් පාවිච්චි කරලා සෑහෙන්න කැල්කියුලේෂන්ස් එහෙම හදාගන්න අවස්ථාව තියෙනවා. එහෙම කරන්න තරම් ලංකාවේ ට්‍රැක්ස් දියුණු නැති වුණත් මම හැකි උපරිමයෙන් ඒවා පාවිච්චි කරනවා. සමහර වෙලාවට මගේ ජයග්‍රහණයට ඒකත් හේතුවක් වෙන්න ඇති.‘ කේසර සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා ක්ෂේත්‍ර මෙන්ම රේස් පැදිල්ලත් අනාගතයක් නැති ක්‍රීඩාවක් බව ඇතැමුන්ගේ අදහසය. එහෙත් කේසර නම් කියන්නේ මෙරට රේස් ක්ෂේත්‍රය තුළ අනාගතයක් ඇති බවය.
‘ලංකාවේ රේස් ක්ෂේත්‍රය තුළ අනාගතයක් තියෙනවා; හැබැයි කැපවීමෙන් පුහුණුවීම් කරන්න ඕනා. මුලදී කොච්චර අමාරු වුණත් අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. ගොඩාක් අය කරන්නේ පටන් අරගෙන අමාරු වුණාට පස්සේ අත්හැරලා දාන එකයි. මේ ක්ෂේත්‍රයට අලුත් අය එකතු වීමේ අඩුවක් නෑ. ඒත් ළාබාල අය ක්‍රීඩාවට යොමු වීමේ නම් අඩුවක් තියෙනවා. මොකද ගොඩාක් මවුපියන් කැමැති නෑ මේ වගේ අවදානම් ක්‍රීඩාවකට දරුවන් යොමු කරවන්න. ඒකට හේතුව කවුරුවත් වැඩිය දන්නේ නෑ මේ ක්‍රීඩාව ගැන. දැන් තියෙන ආරක්ෂක මෙවලම් එක්ක අනතුරු වෙනවා හරි අඩුයි. විශේෂයෙන් කාර් රේස්වලදි. රේස් පදිනවා කිවුවම හැමෝම හිතන්නේ අතපය කඩා ගන්න වෙනවා කියලයි. එහෙම නම් ඉතින් රග්බි වුණත් අවදානම් සහිත ක්‍රීඩාවක් නේ. මමත් කැමතියි ළාබාල අයත් මේකට ඇවිල්ලා තරගකාරීත්වය ඉහළ යනවා නම්. මමත් ගොඩාක් කැමැතියි උදවු කරන්න.‘ ඔහු කීවේය.
‘අනික දැන් සාමාන්‍යයෙන් රේස් පදින්නේ මැදි වියේ අයනේ. මම කල්පනා කරන්නේ එයාලගේ කාලය ඉවර වුණාට පස්සේ මම කාත් එක්කද රේස් පදින්නේ කියලා. මොකද මට තවම අවුරුදු 17 යිනේ.‘ ඔහු සිනාසෙමින් එසේ කීවේය.
‘මම නම් නිතරම අලුත් අයට මේ ෆීල්ඩ් එකට එන්න කියලයි ආරාධනා කරන්නේ. හේතුව පරණ අය ගියාට පස්සේ ඒ තැන පුරවන්නේ කවුද කියලා ප්‍රශ්නයක් ඇති වේවි. බලන්න අපිට වඩා ඉන්දියාව මේ ෆීල්ඩ් එකේ සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා. එයාලට සහභාගි වෙන්න තියෙන තරගාවලි ප්‍රමාණයත් වැඩියි. අනික අපේ රටේ දැන් තියෙන ට්‍රැක්ස් පවා ගොඩාක් පරණයි. ඒවා අලුත් වෙන්න ඕනේ. අලුත් අලුත් තාක්ෂණ අපේ ට්‍රැක්වලටත් එකතු වෙන්න ඕනේ. නැත්තම් කොහොමද තරගකරුවකුගේ හැකියාව වර්ධනය වෙන්නේ..? ලංකාවේ ට්‍රැක්ස් මීට වඩා දියුණු වෙන්න ඕනා. අලුත් අයට වැඩමුළු වගේ දේවල් තියෙන්න ඕනේ. මම රේස් පදින්න ගත්තේ අවුරුදු 5 ඉඳලා. තාත්තාගේ ගුරුහරුකම් හැරුණම ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ රේස් පැදලමයි. අපිට පහසුකම් ලැබෙනවා නම් මම හිතන්නේ අපේ ගොඩාක් අයට ජාත්‍යන්තරය ජයගන්න එච්චර අමාරු වෙන එකක් නෑ කියලයි.‘ ඔහු පැවසීය.
කේසර රේස් පැදීමට මෙන්ම අධ්‍යාපනයටත් උපන් හපනෙකි. ඔහුගේ අනාගත සිහිනය යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමය. එය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට නෑකම් කියන විෂය පථයකි. ඔහුගේ ඉලක්කය ධාවන පථයේ එකතු කරගත් අත්දැකීම් හා දැනුම තව දුරටත් අධ්‍යාපනයෙන් ඉහළ නංවා ගැනීමය. තාක්ෂණික දැනුම ක්‍රීඩාවට අත්‍යවශ්‍ය බව ඔහු දැනටමත් අවබෝධ කරගෙන සිටී.
‘මට අනාගතය ගැන ලොකු හීන නෑ. දැන් උසස් පෙළ කරලා ඉවරයි. ප්‍රතිඵල ආවට පස්සේ ගොඩාක් වෙලාවට ඔටෝමොබයිල් පැත්තෙන් උපාධියක් කරන්න තමයි අදහස. තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට දායකත්වය දීලා තරගවලටත් දිගටම සහභාගි වෙන්න තමයි අදහස.‘ ඔහු කියා සිටියේය.
කේසරගේ පියා ධම්මික ගොඩගේ ද හිටපු මෝටර් රථ ධාවන ශූරයෙකි. ඔහු ෆෝර්ඩ් ලේසර්/ මැස්ඩා මෝටර් රථ ධාවන තරග ක්ෂේත්‍රයට එක් වී සිටියේය. ඔහු දැනට ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන අතර, පන්නිපිටිය ‘ෆයර් එක්ස් ඉන්ටර්නැෂනල්‘ ආයතනයේ අධිපතිවරයා වේ. කේසරගේ තරග දිවියේ සාර්ථකත්වය පසුපස සිටින්නේ ඔහු ය. කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරිනියක වන මව සාවිත්‍රි ගොඩගේ කලක් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ හිටපු බලාත්මක නිලධාරිනියකි. මේ වන විට ඇය රැකියාවෙන් ඉවත්ව සිටී. කේසරගේ එකම සොහොයුරිය මිනදි ගොඩගේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. අයියාගේ රේස් තරග දිවියේ විශාලතම දිරිගන්වන්නිය ඇය ය.
රේස් පදින පෙරළිකාරයකු වුව ද තවමත් ළමා වියේ පසු වන කේසරගේ එකම වීරයා ඔහුගේ පියා ධම්මික ගොඩගේ ය. මව සාවිත්‍රි සහ එකම සොහොයුරිය මිනදි සිය රේස් ජීවිතයේ සාර්ථකත්වයට අඩිතාලම බව කේසර කීවේය.
‘අම්මා හැම තිස්සේම මගේ ලැප් ටයිමිං බලනවා. ඒවායින් මට ගොඩාක් දේවල් අල්ල ගන්න පුළුවන්. ඒ ඔක්කොම ඇනලයිස් කරන්නේ අම්මා. නංගි තමයි මට චියර් කරන්නේ. තාත්තාගේ අදහස්වලට අනුව තමයි මම රේස් එකට අවතීර්ණ වෙන්නේ. තාත්තා තමයි ප්‍රතිවාදී අයගේ දුර්වලතා, ඉතිහාසය වගේ දේවල් ඇනලයිස් කරලා මට මඟ පෙන්වන්නේ. තාත්තාට ඒ විශේෂ හැකියාව තියෙනවා. මට තියෙන්නේ පදින එක විතරයි. තුන් දෙනෙක් තුන්පැත්තකින් මට ඉන්නවනේ.‘ ඔහු එසේ කියන්නේ සිනාසෙමිනි.
ෆවුස් මොහොමඩ්