Home » තරු වරුණ නැවත අප අබියසට කැන්දූ ජනාධිපති සිනමා සම්මාන රාත්‍රිය

තරු වරුණ නැවත අප අබියසට කැන්දූ ජනාධිපති සිනමා සම්මාන රාත්‍රිය

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

ටක ජන නායකයකු චිත්‍රපට සම්මාන උලෙළකදී සම්මානයට පාත්‍ර වූ කලාකරුවකු හෝ කලාකාරිනියගේ අසුන වෙත යන්නේ ඉතා කලාතුරකිනි. එවැන්නක් පසුගිය 14 වෙනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී සිදු විණි. මෙහි විශේෂය නම් එම සම්මානය පිරිනැමීමට තිබුණේ නියෝජ්‍ය ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර විසින් 2002 වසරේ හොඳම ගායිකාව ලෙස සම්මානය හිමි වූ “ද නිවුස්පේපර්” චිත්‍රපටයේ තේමා ගීතය ගැයූ නන්දා මාලිනියටය. මේ ඒ ගීතයයි.

දොලේ දියත් නැති විය නුඹ නාවන්නට
තනේ කිරිත් හිඟ විය තොල් පොඟවන්ට
කටු සර බෝග තිබුණේ බඩ පුරවන්ට
සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට‍
රෑ ගාණක් උලලේනී හැඬුවාය
ගම්මැද්දෙ බැල්ලී උඩු බිරුවාය
නුඹ එනතුරා අම්මා දින ගැන්නාය
හාමත් වෙලා ගොම පොළොවේ වැඩුණාය
දුක් ගිනි නිවන්නට මතු ජාතියක නුඹේ
ආයෙත් මගෙ බඩට දවසක වරෙන් පුතේ
නුඹ මට කරපු දේවල් මහ මෙරක් වගේ
අම්මා නොවෙයි බුදු වන්නේ නුඹයි පුතේ

මෙවර උලෙළේ තවත් වාර්තාවක් බිහි කරමින් මේ ගීතයේ ගේය පද රචනය වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න ද, ගීත තනු නිර්මාණයට හා සංගීත අධ්‍යක්ෂණයට ගයත්‍රී කේමදාස ද සම්මානයට පාත්‍ර විය. චිත්‍රපට සම්මාන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, ගායනය, ගේය රචනය, තනු නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් එකම ගීතයක් සම්මාන ලැබුවේය.

දැඩි ලෙස ගිලන්ව රෝහල්ගත කර සිටි නන්දා මාලිනිය වෛද්‍ය උපදෙස් නොසලකා පැමිණියේ මේ ජනාධිපති සම්මාන ප්‍රදානයේ අභිමානය දැක ගන්නටමය. හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් සම්මාන කිහිපයකින්ම පුද ලැබූ ඇය කළගුණ සැලකීමට හිතුවක්කාර තීරණයක් ගත් බව අපගේ විශ්වාසයයි.

නියෝජ්‍ය ඇමතිවරයා, සම්මානය රැගෙන රෝගීව සිටි ඇයගේ අසුන වෙත ගියේ පූරක සමන් අතාවුදහෙට්ටි සමඟය. ඒ සමඟ ජනාධිපති සම්මාන උලෙළේ ප්‍රධානත්වය දැරූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් තම අසුනින් නැගිට කලා ශිල්පිනිය සිටි අසුන වෙත ගොස් තම උණුසුම් සුබ පැතුම් එක් කළේය. ජනාධිපතිතුමා තමාගේ ළමා කාලයට යමින්, 1964 පැවති ප්‍රථම සරසවිය චිත්‍රපට උලෙළ සිහිපත් කළේය.

“මම එතකොට වයස අවුරුදු පහළොවක පමණ පාසල් ශිෂ්‍යයෙක්. නන්දා මාලිනිය ප්‍රථම වරට හොඳම ගායිකාව ලෙස සම්මානය ලබා ගත් අයුරු මතකයි.”

එදා වික්‍රමසිංහයන් සරසවිය සම්මාන උලෙළ නැරඹීමට පැමිණියේ තම මෑණියන් වන ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂිකාවක් වූ නාලිනී වික්‍රමසිංහයන් සමඟ බව අනුමාන කළ හැකිය. ලේක්හවුස් සභාපති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහයන්ගේ මවගේ සොහොයුරා රංජිත් විජයවර්ධනය.

ජනාධිපතිවරයා කලා ශිල්පිනියට සුබ පතා කතා කළ විට ආරාධිත අමුත්තෝ අසුන්වලින් නැඟිට ගෞරව දැක්වූහ. තරු සපිරි වර්ණවත් රාත්‍රියක් වූ එදින, සිනමාවට අවතීර්ණ වී තම නිසඟ ප්‍රතිභාව පෙන්වූ නවක යෞවන කලා ශිල්පීන් ශිල්පිනියන් රැසක් මුල්වරට සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂයකි.

“ශිල්පීන් බහුමානයෙන් ඇගයීම සිනමාවේ ප්‍රගමනය උදෙසා කෙරෙන ආයෝජනයකි” කියා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට සමරුවට ලියූ පණිවුඩයෙන් ද ව්‍යංගයෙන් කියවුණේ සම්මානලාභී නව යෞවන පරපුරේ අනාගත සාර්ථකත්වය ගැන විය හැකිය. එය සනාථ කරමින් 2029 වර්ෂය සඳහා අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයට ජනාධිපති සම්මාන 11කින්ද 2020 සඳහා සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටය ජනාධිපති සම්මාන 12කින්ද පුද ලැබීය.

ලලිත් රත්නායකගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූ ‘විෂම භාග’ චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උත්සව රැසකින් විවිධ අංශ සඳහා සම්මාන පනහක් පමණ ලබා තිබුණි. විෂම භාග චිත්‍රපටය 2019 විශ්ව කීර්ති සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂයකි.

2020 විශ්ව කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූ “ද නිවුස් පේපර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ය. මේ චිත්‍රපටය 23rd Rainbow Film Festival, London, 18th Kazan International Musling Film Festival Russian Federation, 13th Bangalure International India ජාත්‍යන්තර චිත්‍රපටවලින් හොඳම අධ්‍යක්ෂණය හා හොඳම නළුවන් ලෙස සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ද Best Second Feature Film Award සම්මාන ලබා ඇත.

ජනාධිපති සම්මාන උලෙළේ ද එතෙර මෙතෙර යා කළ සිනමාවේ ශ්‍රී ලාංකේය මුද්‍රාව සනිටුහන් කළ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් ද, චරිතාංග නිරූපණයේ අප්‍රමාණ විශිෂ්ටයා ලෙස සිරිල් වික්‍රමගේ සහ රංග ප්‍රතිභාව හා තාරකාලංකාරය එක්තැන් කළ රූපවේදිනිය ලෙස සුවිනීතා වීරසිංහ ද ස්වර්ණසිංහ සම්මාන ලැබීම සුවිශේෂීය.

ජනාධිපති සිනමා සම්මාන උලෙළ (2023) විනිශ්චය මණ්ඩලයට ආචාර්ය ශර්මාල් විජේවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, පියල් කාරියවසම්, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, චතුර ජයතිලක, දීප්ති කුමාර ගුණරත්න හා රංග දසනායක ඇතුළත් වූහ.

කැබිනට් ඇමතිවරයකු ජනාධිපති සම්මාන ලැබූ ප්‍රථම අවස්ථාව සටහන් කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන, “ද නිවුස් පේපර්” චිත්‍රපටයේ හොඳම නිෂ්පාදකවරයා ලෙස සම්මාන ලැබුවේ සම නිෂ්පාදකවරුන් දෙදෙනකු වූ එච්. ඩී. ප්‍රේමසිරි හා රවීන්ද්‍ර ගුරුගේ සමඟය. ආචාර්ය ගුණවර්ධන මීට පෙර 1985 වසරේ සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස ද 1990 වසරේ ‘සිරිමැදුර’ චිත්‍රපටය සඳහා සරසවි සම්මාන ලබා ඇත.

අති උත්කර්ෂවත්ව පැවැත්වූ ජනාධිපති සම්මාන උලෙළ ආරම්භ වූයේ පැරණි සිනමාහල්වල චිත්‍රපටය ආරම්භ වීමට ප්‍රථම නාද වූ සීනු තුනකිනි. පැරණි සිනමාව සිහිපත් කරමින් චිත්‍රපට විකට ගීත, ප්‍රේම ගීත හා ලංකාවේ රූගත වූ විදේශීය චිත්‍රපටවල මතක සටන් කැටිකොට නිරූපණය වූ සංගීතමය ප්‍රසංග විශේෂ තැනක් ගත්තේය.

අවසාන සම්මාන අදියරේ ප්‍රධාන සම්මාන ප්‍රදානය කළ ජනාධිපතිවරයා, ද නිවුස්පේපර් චිත්‍රපටය නිෂ්පාදනය කළ ආචාර්ය බන්දුල ගුණවර්ධනට සුබ පතමින් කියා සිටියේ සිනමාව එතුමාගේ ජීවිතයේ කොටසක් කියාය. චිත්‍රපට නිෂ්පාදක වර්තමාන ඇමතිවරයෙක් තම සම නිෂ්පාදකයන් දෙදෙනා සමඟ ජනාධිපතිවරයකුගෙන් සම්මාන ලැබීම ද සුවිශේෂ සිද්ධියකි.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්නගේ වචනයෙන් කී පරිදි මෙවර සම්මාන උලෙළ ‘තරු වරුණ නැවත අප අබියස’ මැවූ කලා මංගල්‍යයක් මැ විය.

ඒ. ඩී. රන්ජිත් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division