ඖෂධ සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රධාන ප්‍රශ්න තුනක් වන්නේ ඖෂධවල ගුණාත්මකභාවය, හිඟතාව සහ ක්ෂේත්‍රයේ ඇති ගැටලු බව ද එහෙත් මිල පාලනය සාර්ථක වෙන්නේ ගුණාත්මක තත්ත්වය තහවුරු කරන ලද ඖෂධ පාරිභෝගිකයාට ලබාගැනීමට සුලබතාව තිබුණොත් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සිළුමිණට ප්‍රකාශ කළේය.
මෙහිදි විවිධ වෙළෙඳ නාමවලින් එන ඖෂධවල විශාල ලෙස ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී ඇති බව අවධාරණය කළ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයතිස්ස කියා සිටියේ මේ ගැන පරික්ෂණ
පවත්වන්නේ රෝහල්වල යම් ගැටලුකාරි තත්ත්වයක් ඇති වූ
අවස්ථාවලදී පමණක් බවය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද පැවසීය. “ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවන ඖෂධ ගැන විතරයි පරීක්ෂණ පවත්වෙන්නේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ පරික්ෂණාගාරවලදිත් ගැටලු මතු වෙලා තියෙනවා. පොදුවේ පෞද්ගලිකව නිර්දේශ කරන එවැනි තතත්වයෙන් බාල ඖෂධ ගැන වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා රජය මිල පාලනයට ගත් පියවර සාර්ථක කරන්න නම් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ මැදිහත් වීමක් කළ යුතුයි“.
සුභද්‍රා දේශප්‍රිය