රූපවාහිනී නාළිකාවක් මඟින් මෙහෙයවනු ලබන ප්‍රථම රංගන පාඨමාලාව ඇරැඹීමේ ගෞරවය හිමිවන්නේ ජාතික රූපවාහිනියයි. Rupawahini Acting Academy නමින් පසුගිය වසරේ ඔක්තෝබර් මස ඇරැඹි මෙහි ආරම්භක විද්‍යාර්ථීන්ගේ කුසලතා සහ ප්‍රායෝගික අත්දැකීම් උපයෝගී කර ගනිමින් සාරි ගප්පි ටෙලි නිර්මාණය බිහිවන්නේ හිටපු රූපවාහිනී නාට්‍ය ඒකකයේ ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ, පිටපත් රචක මෙන්ම ගේය පද රචකයකු වූ ගයා රම්‍ය අල්විස්ගේ සංකල්පයකට අනුවය. ප්‍රවීණ රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ විමලරත්න අධිකාරී, නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව වැනි ක්ෂේත්‍රයේ ප්‍රවිණ ඇදුරු මඬුල්ලකගේ විෂයානුබද්ධ ඉගැන්වීම් හා ප්‍රායෝගික පුහුණුව සහිතව පසුගිය අප්‍රේල් මස පාඨමාලාව සාර්ථකව නිමවිය. විද්‍යාර්ථීන්ගේ දක්ෂතා ඔප් නංවනු වස් නවකයින් පමණක් යොදාගෙන නිමවුණු ජනක සුරංජිත් අධ්‍යක්ෂණය කළ සාරි ගප්පි ටෙලි නිර්මාණය ජාතික රූපවාහිනය ඔස්සේ සෑම සති අන්තයකම රාත්‍රී 7.30ට විකාශය වන්නේ ටෙලි නාට්‍ය ඉතිහාසයට සුවිශේෂී සලකුණක් එක්කරමිනි.
සාරි ගප්පි ටෙලි නිර්මාණය ආරම්භයේ සිටම තමාට අභියෝගයක් වුණු අයුරු එහි අධ්‍යක්ෂ රූපවාහිනී නාට්‍ය ඒකකයේ ප්‍රධානී, ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජනක සුරංජිත් අප හා පැවසුවේ මෙසේය.
“Rupawahini Acting Academy පටන් ගැනීමේ සංකල්පය මුලින්ම ගෙනාවේ රූපවාහිනී නාට්‍ය ඒකකයේ හිටපු ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ ගයා රම්‍ය අල්විස්. ඒ වෙද්දිත් පෞද්ගලිකව රංගන පාසල් පවත්වාගෙන යමින් සිටි ප්‍රවීණයන් ටික අපි රූපවාහිනියට ගෙන්වලා සාකච්ඡා කරලා, වෙනම සිලබස් එකක් හදලා, හැමෝම එකම වේදිකාවකට ගෙනැල්ලා පාඨමාලාව පටන් ගත්තෙ 2022 ඔක්තෝබර් මාසෙ. පළමුවැනි පාඨමාලාව පහුගිය අප්‍රේල් මාසෙ ඉතාම සාර්ථකව අවසන් කළා. පාඨමාලාව අවසානයේ විභාගයක් පවත්වලා සහතික පත් බෙදාදුන්නටත් පස්සෙ තමයි මේ නාට්‍ය පිටපත හැමෝටම ලබා දෙන්නේ. ඊට පස්සෙ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා පොඩි රිහසල් එකකුත් කරලයි පිරිස තෝරගත්තේ. මේකෙ තවත් විශේෂත්වයක් තියෙන්නේ මං ඇරුණම මේකට සම්බන්ධ වුණු අනෙක් සියලුම ශිල්පීන් මේ ක්ෂේත්‍රයට නවකයින්.
මුල් කණ්ඩායමට ළමයි 106ක් විතර හිටිය නිසා කොටස් දෙකකට බෙදල එක කණ්ඩායමක් මගේ අධීක්ෂණය යටතේත් අනිත් කණ්ඩායම සුසිරන් ද සිල්වාගේ අධීක්ෂණය යටතේත් කරගෙන ගියා.
අධ්‍යක්ෂවරයෙක් විදිහට විශ්ව ගමන, වසන්ත කුසලාන, ඇබෑර්තු ඇත, ඉසුරු භවන, සිල්ලර කාසි, බොරළු පාර වගේ නාට්‍ය 9ක් ඒ වෙද්දි මං කරලා තිබුණා. ඒ හැම එකකටම වඩා මේක වෙනස් වුණා වගේම ලොකු අභියෝගයක් වුණා සියලුම ශිල්පීන් නවකයින් වීම නිසා. සාමාන්‍යයෙන් ටෙලි නිර්මාණයක් කරනවට වඩා පුදුමාකාර ඉවසීමකින් මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය මං කළා. බොහෝ දෙනෙකුට අවස්ථා ලබා දෙන්නත් උපරිම උත්සාහ කළා. සාමාන්‍යයෙන් ටෙලි නිර්මාණයක් කරද්දි දවසකට episode එකක්වත් කළා වුණත් මේකෙදි අපිට එකම සීන් එක කිහිප සැරයක් ගන්න වුණ අවස්ථා තිබුණා. කොටස් 20 වුණත් දවස් 25ක් විතර ගියා ඉවර කරන්න. දවස් දෙක තුන යද්දි ළමයි සාර්ථකව චරිතවලට ප්‍රවිෂ්ට වුණා. අන්තිම වෙද්දි 12ක් විතර හොඳම තත්ත්වයේ හිටියා. අනෙක් අධ්‍යක්ෂවරුන්ටත් අපි මේ ළමයින්ව අඳුන්වල දුන්නා. සමහරුන්ට දැනටමත් චිත්‍රපට සඳහා ආරාධනා ලැබිල තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. අපි මේ එළියට දෙන්නෙ මනා හැදෑරීමකින් යුතු රංගන අත්දැකීම් සහිත පිරිසක්. ජයන්ත චන්ද්‍රසිරිගේ වචනයෙන් කියනව නම් පුහුණු ශ්‍රමිකයන් පිරිසක්.
විශේෂයෙන්ම අපේ ඇකඩමිය ප්‍රමෝට් කරගැනීමේ හැකියාවත් තියෙන නිසා කතා තේමාව ගොඩනැඟුණෙත් ඇකඩමිය වටා. මේ අවට තියෙන හැටේ වත්ත වගේම ඇකඩමියත් ලොකේෂන් අතරට එකතු වුණේ වියදම අඩු කර ගැනීමේ අරමුණෙන්. අලුතින් පාඨමාලා හදාරන්න බලාපොරොත්තු වන දරුවන්ට මං කියන්නෙ රංගන පාසලක් තෝරගනිද්දි හොඳ නමක් තියෙන, වගකීමක් තියෙන තැනක් තෝරගන්න කියලා. අපි මේ අභියෝගය බය නැතුව බාර ගත්තෙ අපිට විකාශය කරගන්න චැනල් එක තිබුණ නිසා.”
සාරි ගප්පි තිර රචක විකුම් බස්නායක තම තිර පිටපතට දායක වුණු නවක නළු නිළියන්ගේ දස්කම් අගය කළේ මෙලෙසිනි.
“ටෙලි නිර්මාණයක් සඳහා මගේ පිටපතක් යොදාගත්ත පළමු අවස්ථාව මේක. ඇකඩමිය ගැන තිර පිටපතක් ලියමු කියන අදහස ගෙනාවෙ ඒ දවස්වල හිටපු සභාපති අසංක ජයසූරිය. පාඨමාලාව යන අතරෙ ඒ ළමයින්ගෙ ප්‍රායෝගික ක්‍රියාවන් දකිමින් තමයි මගේ අතින් මේක ලියවෙන්නේ. ඒ ඒ චරිත ඔළුවෙ තියාගෙනම ලියන්න ලැබීම මට ලොකු පහසුවක් වුණා. ප්‍රධාන චරිත වන මිහිරි සමරනායක සහ තරූෂ විජේවර්ධනට පණ පොවන්නෙ අපූර්වා ලක්මිණී සහ අසේල වාද්දූවගේ. අපූර්වා බදුල්ලෙ ඉඳන් ඇවිත් අම්මත් එක්ක මෙහේ නැවතිලා ඉඳන් ඇකඩමියට සම්බන්ධ වුණු කෙනෙක්. මනුජ හේවානායක තමයි මේකෙ විලන් චරිතය. මනූජට රංගනයෙන් දායක වෙන්නෙ විදුර රාජපක්ෂ. ඔහු රත්නපුර කලවාන ප්‍රදේශයේ ඉන්න දක්ෂ තරුණයෙක්. තරූෂගෙ ආදරවන්තිය නිෂාට ජීවය දෙන්නේ තරූ අබේරත්න. ඇකඩමියේ ඉන්න ළාබාලම යුවතිය ඇය වීමත් විශේෂත්වයක්. තරුෂගෙ යාළුව විදිහට රඟන සනත් වගේම කංජි රාජු කියන කොමඩි චරිතය ගෙනෙන රියන්සිත් ගොඩක් දක්ෂ විදිහට තමන්ගෙ කාර්ය ඉටු කළා.”
Rupawahini Acting Academy හරහා ප්‍රථම විද්‍යාර්ථීන් පිරිස සාර්ථකව ක්ෂේත්‍රයට දායාද කළ ජාතික රූපවාහිනිය වසරක් පාසා මෙවන් හැකියාවෙන් පිරිපුන් විද්‍යාර්ථීන් බිහිකරමින් අනාගත කලා කෙත සරුවට අස්වැද්දීමේ බලාපොරොත්තුවෙන් සිටී.
නාමලී ගමගේ