Home » හැමෝම බණිනවා අඬන්නවත් බෑ කියලා

හැමෝම බණිනවා අඬන්නවත් බෑ කියලා

by thanushika
November 18, 2023 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය ඉතිහාසය ආවර්ජනය කරමින් හෙළ රජවරුන්ගේ පාලනය නිර්මාණාත්මක කතා පුවත් ලෙසින් රිදී තිරයට ගෙන ඒම වර්තමානයේ සුලබව දක්නට ලැබෙන්නකි. ශ්‍රී වික්‍රම රාජසිංහ කතා පුවත ද එලෙස සිනමාපටයක් ලෙසින් පසුගියදා රිදී තිරයට ගෙන එනු ලැබුවේ මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණයෙනි. අජිත් ධර්මසූරියගේ තිර පිටපතට නිෂ්පාදන දායකත්වය වෙන්ඩෝල් ලංකා වෙතින් ගිහාන් ගොඩකන්දගේය. මෙහි ගැබ්වන්නේ රාජ අණින් හිස ගසා දැමූ මද්දුම බණ්ඩාරගේ අනුවේදනීය කතා පුවතයි. මද්දුම බණ්ඩාරගේ මෑණියන් වන ඇහැලේපොළ කුමාරිහාමිට පණ පොවමින් තම කුලුඳුල් සිනමා රංගන අත්දැකීම විඳගනිමින් සිනමාවට පිවිසි ඇය තුලනි රනුරිකාය.

මේ දිනවල තිරගත වන ශ්‍රී වික්‍රම රාජසිංහ සිනමාපටයේ ඇහැළේපොළ කුමාරිහාමි ඔබ. කොහොම ද ඒ අවස්ථාව ලැබෙන්නේ?

ඒක මට ලැබුණු අහඹු අවස්ථාවක්. ෆේස්බුක් එකේ ගිය මගේ ෆොටෝ ෂූට් එකක් දැකලා සුගත් ජානක අයියා මට මැසේජ් එකක් දාල තිබුණා නංගි හදිස්සියක් මේ නොම්මරේට කෝල් එකක් ගන්න කියලා. කතා කළාම මට කිවුවා මේ වගේ අවස්ථාවක් තියෙනවා කැමැතිද කියලා. පහුවෙනිදම ඔහු මාව මොහාන් සර්ට අඳුන්වල දුන්නා. කොහොමහරි ඔඩිෂන් එකට එන්න කිවුව දවසෙ මට යන්න බැරි වුණා. මං හිතුවෙ නෑ මට නැවත අවස්ථාවක් ලැබෙයි කියලා. පස්සෙ දවසක මොහාන් සර්ම මට කතා කරල කිවුවා පුතේ ඔයාව ෆිල්ම් එකට තෝරගත්ත ඒකට රෙඩි වෙන්න කියලා. ලොකේෂන් එකට යනකලුත් මං දැනගෙන හිටියෙ නෑ මගෙ කැරැක්ටර් එක මොකක්ද කියලා. එතැනදි තමයි දැනගත්තෙ ඇහැලේපොළ කුමාරිහාමිගෙ චරිතය කියලා.

ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම ඉතිහාසගත ප්‍රෞඪ චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?

රාජ අණින් ඇහැලේපොළ කුමාරිහාමි, දරුවන් තිදෙනා සහ ඥාති පිරිසට මරණ දඬුවම නියම වෙනවා. මද්දුම බණ්ඩාරගෙ හිස ගසා දාද්දි මට විලාප තියලා අඬන්න තිබුණා. මේක මගේ පළමු සිනමා අත්දැකීම. මට ලොකුවට ඇඬුණෙ නෑ. තුන් පාරක් ගත්තා ඒත් හරිගියේ නෑ. දැන් හැමෝම මට බණිනවා අඬන්නවත් බෑ කියලා. මේක කරන්න බෑ නංගි. මොකක්ද මේ. හරියට කොල්ල බූට් එක තිබ්බ වගේනෙ කියලා අන්තිමට කැමරා ශිල්පියා නැගිටලා ගියා. මොහාන් සර් මට සැරෙන් කෑගැහුවා. එතකොට මට ලැජ්ජාවටම කෑගහල ඇඬුණා. එවෙලෙ නම් ඇත්තටම ඒක දාල එන්න හිතුණා. ෂූට් එකෙන් පස්සෙ මොහාන් සර් කිවුවා තරහට නෙවෙයි පුතේ එහෙම බැණ්නෙ නැත්නම් ඔයාට ඇඬෙන්නෙ නෑ කියලා. අවුරුදු 8ක් ගිහිල්ලත් මට ඒක තාම මතකයි. එදා ෆිල්ම් එක දකිද්දි හරිම සතුටුයි. හැමෝම බැණ්නෙ මගෙ හොඳටනෙ කියල හිතුණා.

ඈත පිටිසර ගමක ඉපදුණු තුලනි කලා ක්ෂේත්‍රයට පිවිසුණු විදිහත් කියමු නේද?

මගේ ගම තිස්සමහාරාමය. දවසක් රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ ඩ්‍රාමා එකක් තිබුණා. අපේ අම්ම හරිම ආසාවෙන් හිටියා මාවත් රංගනයට යොමු කරන්න. ඒක බලන්න ගිහින් තමයි අම්ම මහේන්ද්‍ර සර්ගෙන් මං ගැන අහල තිබුණේ. පස්සෙ දවසක ඒකෙ ඇසිස්ටන් ඩිරෙක්ටර් වාසල බණ්ඩාර අයිය මට කතා කරලා කිවුවා මහනුවර මුල්ගම්මන මෙහෙම ඩ්‍රාමා ක්ලාස් එකක් තියෙනවා. ඒකට යන්න කියලා. ප්‍රසන්ටින් සහ ඩ්‍රාමා තමයි එතැන කළේ. ඒ වෙද්දි මං රැකියාවක් කළ නිසා මාස 6 සම්පූර්ණ කරන්න බැරි වුණා. ඒ අතරේ දැන්වීම්වලට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. ඊටත් පස්සෙයි මහේන්ද්‍ර සර්ගෙ පන්තිවලට සම්බන්ධ වුණේ. ඒ කාලෙමයි මොහාන් සර්ව අඳුනගන්න ලැබිල ශ්‍රී වික්‍රම ෆිල්ම් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. සුදත්ත තිලක්සිරි අයියගෙ රෝද තුනේ මනමාලි සහ මහේන්ද්‍ර කුලසිංහ අයියගෙ මේඝවර්ෂා ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා.

තුලනි කියන්නෙ බියුටි පැජෙන්ට්වලින් ජයග්‍රහණ ලබපු කෙනෙක්?

2018 වසරේ රාජ් රණසිංහ සර්ගෙ ගෙදර අපට ඩ්‍රාමා ප්‍රැක්ටිස් තිබුණා. පරාක්‍රම ජයසිංහ සර් තමයි කළේ. එතුමා අද ජීවතුන් අතර නැහැ. ඒ දවස්වල මං හරි කුලෑටියි. ඉස්කෝලෙ වුණත් නර්තන කණ්ඩායමේ පිටිපස්සෙ ඉන්නෙ. රාජ් සර් දවසක් උදාර රාජපක්ෂ අයියට කිවුවා මෙයාව මිස් ශ්‍රී ලංකා වගේ එකකට යැවුව නම් හරි යයි කියලා. දවසක් මොඩ්ලින් කරන නික් ජයමහ සර් මට කතා කරල කිවුවා මගේ ගෝලයෙක් ඉන්නවා ඩොක්ටර් ප්‍රසාද් කියලා එයා බියුටි පැජන්ට් එකක් කරනවා මං ඔයාගෙ පොටෝ එයාට යැවුවා, ඔයා ඒකට යන්න කියලා. සර් තමයි මාව ප්‍රැක්ටිස් කළේ. 2018 මිස් ඕෂන් ගර්ල් පැජන්ට් එකට ඉදිරිපත් වෙලා තෙවැනි ස්ථානය හිමිවුණා. ඒ වගේම 2019 ඩොක්ටර් නුවන්දිකා සංවිධානය කළ මිස් බ්‍රිටිෂ් එම්පයර් පැජන්ට් එකෙන් දෙවැනි ස්ථානය ලැබුණා. මං ඒවට ඉදිරිපත් වුණේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නෙවෙයි. අත්දැකීම් ලබා ගන්න හිතාගෙනයි.

තුලනිගෙ පවුලෙ විස්තර ටිකකුත් කියමු නේද?

මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි මල්ලියි. මං විවාහකයි. මට පුතෙක් ඉන්නවා. මගේ කලා කටයුතුවලට මහත්තයගෙන් ලොකු සහායක් ලැබෙනවා. පුතාව දාල යන්න බැරි නිසා ආරාධනා ලැබුණු ගොඩක් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ වගේම මගේ මල්ලිවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. එයා තමයි මගෙත් එක්ක හැමදේටම ඇවිත් ලොකුම කට්ට කෑවෙ.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division