Home » උණුදිය උල්පත් ජලයේ රෝග සුවකරන ඔෞෂධීය බලය

උණුදිය උල්පත් ජලයේ රෝග සුවකරන ඔෞෂධීය බලය

by gayan
November 18, 2023 12:30 am 0 comment
හම්බන්තොට මදුනාගල උණුදිය ළිං

ලයෙන් මිනිසාටත් පරිසරයටත් ලෝකයේම පැවැත්ම සඳහාත් ලැබෙන ප්‍රයෝජනය කිව නොහැකි තරම්ය. එසේ වූවත් උණුදිය උල්පත් වටිනා සම්පතක් බව දන්නා අය විරලය. සරලව කිවහොත් ජල උල්පතක්, උණුදිය උල්පතක් බවට පත්වෙන්නේ එම උල්පතේ ජලය සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට වඩා ඉහළ අගයක් ගනු ලැබූ විටය. ජලය එසේ උණුසුම් වන්නේ භූගත උණුසුම නිසාය. භූගත ජලය පාෂාණවල කුස්තුර, විවර සහ පැළුම් මඟින් ඉතා ගැඹුරට ගමන් කිරීමේදී භූ අනුක්‍රමණය නිසා උණුසුම් වෙයි. මෙම උණුසුම් ජලය පෘථිවි අභ්‍යන්තරයේ පීඩනය නිසා කිසියම් තැනකින් පොළොව මතුපිටට පැමිණෙන අතර, ඒවා උණුදිය උල්පත් ලෙස හඳුන්වයි.

උණුදිය උල්පත් මිනිසාගේ සෞඛ්‍යයට හිතකර බව අසා තිබුණද ඒ පිළිබඳ වැඩිදුර විමසන්නට අප අදහස් කළේ මෑත කාලයේ උණුදිය උල්පත් සම්බන්ධයෙන් මෙරට සිදු කළ නවතම පර්යේෂණයක තතු ඔස්සේය.

එම පර්යේෂණය සිදු කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ඒ. එම්. නිවර්තනා බණ්ඩාර වන අතර, වෛද්‍ය බී. බී. කේ.එන්. ලක්රුවන් ද ඊට සහාය විය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උපදේශක වෛද්‍ය කේ. අයි. ඩබ්.කේ. සෝමරත්නගේ අධීක්ෂණය යටතේ හිටපු මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් සහ විශේෂඥ වෛද්‍ය එච්.එම්. සේනාධීරගේ මඟපෙන්වීම යටතේ මෙම පර්යේෂණය සිදු විය.

උණුදිය උල්පත් පිළිබඳ වටිනා කරුණු රැසක් අනාවරණය වූ මෙම පර්යේෂණය වර්ෂ 2019 සිට 2023 දක්වා සිදු කෙරුණේ “ශ්‍රී ලංකාවේ උණුදිය ළිං සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඌන ලෙස ප්‍රයෝජනයට ගන්නා ස්වාභාවික සම්පතක් “යන මාතෘකාව යටතේය. සියලු ජීවින්ගේ ජීවය ප්‍රධාන වශයෙන් ජලය හා ආහාර මත රඳා පවතින බව ආයුර්වේදයේ සඳහන් වනවාක් මෙන්ම නූතන විද්‍යාවේ පැවසෙන්නේ ද මිනිස් ශරීර බරෙන් සියයට 68-71ක් පමණ ජලය අඩංගු වන බවය.

ජලය මිනිස් සිරුරට විශාල කාර්ය භාරයක් ඉටු කරන බව ආයුර්වේද ග්‍රන්ථ රැසක සඳහන් වන අතර, වාත රෝග නැසීමට, ආහාර ජීර්ණයට, මුත්‍රා පද්ධතිය පිරිසුදු කිරීමට, උගුරේ රෝග සහ හතිය වැනි රෝගවලට විශේෂයෙන් උණු වතුර ගුණදායක බව ද එම ග්‍රන්ථවල සඳහන්ය.

ඒ අනුව වෛද්‍ය නිවර්තනා බණ්ඩාර සිය පර්යේෂණයේදී ඊළඟට සලකා බලන්නේ ශ්‍රී ලංකාවේ උණුවතුර ළිං ගැනය. එහිදී දකුණු පළාතේ අම්බලන්තොට සිට නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 360ක පමණ ප්‍රදේශයක් ඔවුන්ගේ පර්යේෂණයට ලක් විය. ඒ අනුව අම්පාර, ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හතරට අයත් ප්‍රධාන උණුදිය උල්පත් 09ක් ඔවුන් විසින් හඳුනාගෙන ඇති අතර, ඊට අමතරව හඳුනා නොගත් උණුවතුර ළිං සහ උල්පත් කැලෑ ආශ්‍රිතව තිබිය හැකිය.

“වහව, මහඔය, කපුරැල්ල, ජයන්තිවැව, මුතුගලවෙල, ගෝමරන්කඩවල, කින්නියා, නෙළුම්වැව, මදුනාගල කියන උණුදිය උල්පත් සහ ළිං පිළිබඳ අපි පර්යේෂණ කළා. බැල්නියෝ තෙරපි ලෙස හඳුන්වන චිකිත්සක ක්‍රමයක් ලෝකයේ තිබෙනවා. එය ලෙඩ රෝග සුව වීම සඳහා උණුවතුර ළිංවලින් ස්නානය කිරීමේ චිකිත්සා ක්‍රමයක්. දැනට මේ ක්‍රමය ජපානයේ ඉතා ප්‍රසිද්ධයි.

ජපානයේ සක්‍රිය ගිනිකඳු ආශ්‍රිතව හදලා තියෙන උණුවතුර ළිංවල බැල්නියෝ තෙරපි චිකිත්සාව සාර්ථකව සිදු කෙරෙනවා. එම චිකිත්සාවෙන් සමේ රෝග, හදවත් රෝග, ආතරයිටිස් වර්ග, හතිය සහ ඇතැම් ආසාත්මිකතා සුව කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම බැක්ටීරියා සහ දිලීර නාශකයක් විදිහටත් උණ රෝගය සමනය කිරීමටත් උණුදිය ළිං ජලය භාවිත කරනවා. එංගලන්තය, ඔස්ට්‍රියාව, හංගේරියාව, ජර්මනිය සහ අමෙරිකාව වගේ රටවලත් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා උණුවතුර ළිං භාවිත කරනවා.

ඉහත සඳහන් කළ රෝගවලට අමතරව කායික ශක්තිය වැඩි කිරීමට, මානසික සුවතාව ඇති කිරීමටත් උණුදිය උල්පත් ජලය උපකාරී වෙනවා. ඒ වගේම සම පැහැපත් කිරීමටත් වයසට යෑම පාලනය කිරීමටත් ලෙඩ රෝගවලින් වැළකී සිටීමටත් උණුදිය උල්පත් ජලය උපකාරී වන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.” වෛද්‍ය නිවර්තනා බණ්ඩාර සඳහන් කළ එම රෝග සුව කිරීමේ හැකියාව උණුදිය උල්පත් සතු වන්නේ කෙසේදැයි අපි ඇයගෙන් විමසුවෙමු.

“එයට එක් හේතුවක් වන්නේ මේ උණුදිය උල්පත් ජලයේ තිබෙන උෂ්ණත්වයයි. එක් එක් උණුවතුර ළිංවල උෂ්ණත්වය එකිනෙකට වෙනස්. ඒ උෂ්ණත්වයෙන් ස්නානය කරද්දි සමේ තිබෙන අහිතකර බැක්ටීරියා, ක්ෂුද්‍ර ජීවින්ගේ විෂ කොටස් ඉවත් වෙනවා සහ අවම වෙනවා. සමහර උණුවතුර ළිංවල ජලයෙන් ස්නානය කළ විට ස්නායු පද්ධතිය ඔස්සේ රුධිර පද්ධතිය යාමනය කරනවා. උදාහරණයක් විදිහට සෙල්සියස් අංශක 40ක පමණ උෂ්ණත්වයක් ඇති උණුදිය උල්පතකින් නෑවොත් රුධිර පීඩනය අඩු කරගන්න පුළුවන්. සෙල්සියස් අංශක 42ක පමණ උෂ්ණත්වයක් ඇති ළිඳකින් නෑවොත් රුධිර පීඩනය වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට රුධිර පීඩනය අඩු, වැඩි දෙපාර්ශ්වයටම මේ උණුවතුර ළිං ජලය පාවිච්චි කළ හැකියි. දින 3ක් හෝ ඊට වැඩි දින ගණනක් උණුවතුර ළිං ජලය ස්නානය කළොත් සමේ හැදෙන පොතුකබර වැනි රෝග තත්ත්වයන් සුවකර ගත හැකියි.

රෝග සුව කිරීමේ සහ අවම කිරීමේ හැකියාව උණුවතුර ළිං ජලය සතුවීමට තවත් හේතුවක් වන්නේ එම ජලයේ අඩංගු ඛනිජ ලවණ සහ වායු වර්ගය. කාබන්ඩයොක්සයිඩ්, ඇමෝනියා, බයිකාබනේට්, ක්ලෝරයිඩ්, සල්ෆේට්, සිලිකන්, පොස්ෆේට්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, ලිතියම් සහ යකඩ එවැනි රසායනික සංයෝග කිහිපයක්. මේ රසායනික ද්‍රව්‍ය නිසයි එම ජලය භාවිත කිරීමෙන් සමේ රෝග, ශ්වසන රෝග, රුධිර සංසරණ පද්ධතියේ රෝග, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, අස්ථි රෝග, ස්නායු රෝග සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සුව වන්නේ. ඒ වගේම ඇතැම් විෂවලට ප්‍රති විෂක් ලෙස භාවිත කිරීමේ හැකියාව ද උණුදිය උල්පත් ජලයට තිබෙනවා. විශේෂයෙන් රසදිය සඳහා ප්‍රති විෂක් ලෙස මෙම ජලය භාවිත කළ හැකියි.

ඒ වගේම එක් එක් උණුවතුර ළිංවල අඩංගු රසායනික වර්ග සහ ප්‍රමාණය ද එකිනෙකට වෙනස් විය හැකියි.

මීයන් යොදා ගනිමින් කළ පර්යේෂණයකදී කාබනේට් අයන වැඩි උණුවතුර ළිං ජලයෙන් සාමාන්‍ය ජලයට වඩා ඉක්මනින් තුවාල සුව වන බව හෙළි වී තිබෙනවා. ඒ වගේම භෞතික චිකිත්සා සඳහාත් උණුදිය උල්පත් ජලය භාවිත කෙරෙනවා.”වෛද්‍ය නිවර්තනා බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ ලෝකයේ ඇතැම් රටවලින් විෂ සහිත උණුදිය උල්පත් සහිත ළිං හමුවී ඇතත් වාසනාවකට මෙන් ලංකාවේ එවැනි විෂ සහිත උණුදිය උල්පත් ළිං මෙතෙක් හමුවූ බවට වාර්තා වී නැති බවයි.

එසේ වුවද ලංකාවේ උණුදිය උල්පත් සහිත ළිං පිළිබඳ ඉතිහාසය බොහෝ අතීතයකට දිවෙන්නක් බව ජනප්‍රවාදවලින් සහ පොතපත ඇසුරෙන් හෙළිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපතිව සිටි (1908 – 1911) ලෙනාඩ් වුල්ෆ් 1910.08.01 දා සිය දිනපොතේ ලියූ සටහනක හම්බන්තොට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ඇති මහපැලැස්සේ හෙවත් මදුනාගල සුප්‍රසිද්ධ උණුදිය උල්පත් ජලයේ ඇති රසායනික සංයුතිය පිළිබඳ දක්වා ඇත.

“ මා මේ පොකුණෙන් ලබාගත් ජලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැව්වා. ඔහුගේ වාර්තාවේ හැටියට ජල කොටස් 10,000ක් ගත්තොත් එයින් කොටස් 534ක ඝන ද්‍රව්‍ය අඩංගු බව දක්වල තියෙනවා. ක්ලෝරින්, මැග්නීසියම්, ලයිම් (හුණු) හා සල්පේට් අඩංගු බව එහි දැක්වෙනවා.”යන්න එම සටහනයි. එමෙන්ම මෙරට සිටි කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රෝහියර් ගේ ‘Seeing Ceylon’ නම් කෘතියේ සඳහන් වන්නේ අලි ඇතුන් සිය අවසන් හුස්ම හෙළීම සඳහා මදුනාගල උණු දිය වළ වෙත පැමිණි බවයි. උණුදිය උල්පත් ආශ්‍රිත පරිසරයේ ඓතිහාසික සහ පාරිසරික වටිනාකම ඉතා ඉහළ අතර, මදුනාගල හා කරඹගල වන සෙනසුන ආශ්‍රිත උණුදිය උල්පත් ජනතාවගේ පරිහරණයට යෝග්‍ය බව සහ ඖෂධීය ගුණයෙන් යුතු බවට මුලින්ම හෙළි වී තිබුණේ කරඹගල ආරණ්‍යය සේනාසනයේ වැඩ විසු චිත්තගුත්ත නම් භික්ෂූන් වහන්සේගේ සමයේදී බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ.

 

උන්වහන්සේට වැලඳුණු බරපතළ චර්ම රෝගයක් කොතෙක් වෙදකම් කළත් සුව නොවූ අතර, මදුනාගල ආශ්‍රිත උණුදිය සහ ඇල්දිය උල්පත්වලින් දිනපතා ස්නානය කිරීමෙන් පසු කෙටි කලකින් උන්වහන්සේ සුවය ලබා ඇත.

උණුදිය උල්පත් ජලයේ රෝග සුව කිරීමේ විස්මිත බලයක් ඇත්නම්, එම හැකියාව සාමාන්‍යයෙන් උණුකර ගත් ජලයේ තිබිය නොහැකි දැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකිය.

” උණුදිය උල්පත් ජලයේ අඩංගු රසායනික සංයුතිය සාමාන්‍යයෙන් උණු කරගත් ජලයේ අඩංගු වන්නේ නැහැ. ඒ නිසයි සාමාන්‍ය උණුවතුරවලින් රෝග සුව කිරීමේ විස්මිත හැකියාව නැත්තේ. ඒ වගේම මෙහිදී විශේෂ කරුණු කිහිපයක් ගැන අවධාරණය කළ යුතුයි. තවමත් අපිට උණුදිය උල්පත් ජලය පාවිච්චි කළ හැක්කේ බාහිර විකිත්සාවක් හැටියට පමණි.

උණුදිය උල්පත් ජලයෙන් ස්නානය කිරීමෙන් රෝග සුව වන බව පැවසුවාට එවැනි රෝගවලින් පෙළෙන අය ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවී මෙම ජලය ස්නානයෙන් පමණක් සුවය බලාපොරොත්තු නොවිය යුතු බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුය.” වෛද්‍ය නිවර්තනා බණ්ඩාර පැවසුවාය. ලෝකයේ මෙවැනි ස්වභාවික උණුදිය උල්පත් ඇත්තේ ස්වල්පයක් වන අතර, ඒවා සොබාදහමේ දුර්ලභ විශිෂ්ඨ නිර්මාණ බව භූ විද්‍යාඥයන්ගේ අදහසයි. එවැනි උණුදිය උල්පතකින් ස්නානය කිරීමට ලැබීම ද දුර්ලභ අවස්ථාවකි. වාසනාවකට මෙන් ලාංකිකයන්ට ඒ මහඟු වරම ලැබී ඇත. උණුදිය උල්පත් යනු රැකගත යුතු සම්පතක් මෙන්ම සංචාරක ප්‍රවර්ධනය සඳහා මහඟු අවස්ථාවකි.

ඉදිරියේදී මේ ස්ථානවල සංවර්ධන කටයුතු සිදුවිය හැකිය. එසේ සංවර්ධනය වන විට ඒ ප්‍රදේශයේ ජනතාවට, විශේෂයෙන් දේශීය සංචාරකයන්ට පරිහරණය කළ නොහැකි තත්ත්වයක් ඇතිවීම සුදුසු නැත.

එබැවින් මේවා සංවර්ධනය කරන විට ඒ ප්‍රදේශයේ ජනතාවගේ අයිතීන් සුරැකෙන පරිදි සිදු කිරීමට බලධාරීන් වගබලාගත යුතුයි. ” ඒ වෛද්‍ය නිවර්තනා බණ්ඩාරගේ අදහසයි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division