රටකට යුද හමුදාවක් අවශ්‍ය ද? ලංකාවේ යුද හමුදාවේ කේඩරයේ ප්‍රමාණය පිළිබඳ මේ වනවිටත් මතභේදයක් පවතී. ඇතැමුන්ගේ මතය වන්නේ යුද්ධයක් ද නැති බැවින් මෙතරම් විශාල පිරිස් බලයක් මේ රටේ යුද හමුදාවට අවශ්‍ය නැති බවය. සංවර්ධනය වන රටවල යුද හමුදාවක් සිටින්නේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පමණක්ම නොවේ. යුද රථවල නැඟී හමුදා සෙබළුන් එහා මෙහා යාම ආරක්ෂක රාජකාරියේ කොටසකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයේ යුද හමුදාව ඒ රටට විශාල බරක් වනු ඇතැයි දේශපාලනඥයෝ කීහ.
එයට හේතුව වී තිබුණේ පුංචියට තිබු බ්‍රිතාන්‍ය හමුදාව දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟම නව බඳවා ගැනීම් නිසා විශාල වීමට පටන් ගැනීමය. යුද්ධයෙන් පසු විපක්ෂයේ දේශපාලනඥයන්ගේ මතය වූයේ වැඩිපුර හමුදාව ගෙවල්වලට තල්ලු කළ යුතු බවය. එහෙත් දෙවන ලෝක යුද්ධයේ පාර්ශ්වකරුවකු වූ එංගලන්තයේ අගමැති වින්ස්ටන්ට් චර්චිල් මෙයට තරයේ විරුද්ධ විය. යුද හමුදාව රටේ සංවර්ධනය සඳහා යොදාගත හැකි ශ්‍රම බළකායක් බැවින් ඔවුන් තවදුරටත් සේවයෙහි තබාගත යුතු බවටත් අලුත් බඳවා ගැනීම් අත්හිටුවා විශ්‍රාම යන හමුදා සෙබළුන් මඟින් එංගලන්ත යුද හමුදාව ස්වභාවිකව සංකෝචනය වීමට ඉඩහල යුතු බව චර්චිල්ගේ මතය විය. මේ හා සමාන අදහසක් වියට්නාමයේ ජනාධිපති හෝ චි මිං ද පවසා ඇත. ඇමෙරිකාව සහ කොමියුනිස්ට් වියට්නාමය අතර එක්දහස් නවසිය හැට ගණන්වල පැවති යුද්ධයේදී වියට්නාම් ජනතාවගෙන් 50% ක්ම හෝචිමිංගේ ගරිල්ලා හමුදාවට බඳවා ගන්නා ලදී.
යුද්ධය අවසන් වූ පසු ඒ හමුදාව රටේ සංවර්ධන කටයුතු සඳහා වහාම යොමු කරන ලදී. මේ නිසා කවුරුත් හමුදාවෙන් පැන ගියේ නැත. හැමදෙනාටම කිරීමට වැඩක් තිබූ නිසා කිසිදු සෙබළෙක් මංකොල්ලකෑම්වල සහ ස්ත්‍රී දූෂණවල යෙදුණේ ද නැත. යුද හමුදාව පිළිබඳ අප ලියූ ඉහත සඳහන් කොටස පූර්විකාවක් පමණි. ඒ පූර්විකාවට අදාළ කතුවැකිය මෙතැන් සිට ඇරඹේ.
අධිවේගී මාර්ගවල සේවක වර්ජනයක් පසුගියදා පටන් ගත්තේය. මෙයට හේතුව අධිවේගී පාරවල් විකිණීමට හෝ බදු දීමට යන බවට එම මාර්ගවල සේවය කරන තරුණ ශ්‍රමිකයන්ට ආරංචි වී තිබීමය. මේ අනුව වැඩ වර්ජනය පටන් ගත් අතර, වර්ජකයන් කෙතරම් කාලකන්නි සහ තුච්ඡ ලෙස හැසිරුණේ ද යත් අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන කවුළුවල තිබෙන ප්‍රවේශපත්‍ර යන්ත්‍ර ද ඔවුන් ගෙදර ගෙන ගොස් තිබීමය. මෙහි අරමුණ වූයේ වෙනත් පාර්ශ්වයකට අධිවේගී මාර්ගය ටිකට් කැඩීම වළක්වාලීමය.
එහෙත් ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා සාර්ථක ලෙස මේ ප්‍රශ්නයට මුහුණ දුන් අතර, ටිකට් නිකුත් කිරීමේ කවුළුවල රැඳී සිටිමින් අතින් ටිකට් ලියාදී ආණ්ඩුවට එන ආදායම එසේම ලබා ගත්හ. රටකට යුද හමුදාවක් අවශ්‍යය ද? ස්ථිර වශයෙන්ම අවශ්‍යයයි. අධිවේගී මාර්ග වර්ජනයේදී ඒ බව නැවත වතාවක් ඔප්පු විය. ටිකට් කැඩීමේ යන්ත්‍ර ගෙවල්වලට ගෙනයාමෙන් හෝ අන් තැනක සඟවා තැබීමෙන් අධිවේගී මාර්ගවල සේවකයන් කර ඇත්තේ මහාධිකරණයෙන් පමණක් ඇප ලබාගත හැකි වරදක් බව අපගේ වැටහීම වේ. මෙය සමාන වන්නේ ගමනාගමන මණ්ඩලයේ වැඩ වර්ජනයකදී කොන්දොස්තර තැන විසින් ටිකට් මැෂිම ගෙදර ගෙනයාමටය. රියදුරා විසින් බසයේ ස්ටියරින් වීල් එක ගලවාගෙන යනු ලැබීමටය. ගුරුවරුන්ගේ වර්ජනයකදී ගුරුතුමා විසින් පන්තියේ කළුලෑල්ල හිස මත තබාගෙන ගොස් කොහේ හෝ සැඟවීමටය.
හැබැයි මේ සියලුම කඩාකප්පල් ක්‍රියාවලට විවිධ උත්තර තිබේ. ඉන් වඩාත්ම සාධනීය උත්තරය විය හැක්කේ ශ්‍රී ලංකා යුද හමුදාව යොදවා සේවා කටයුතු එසේම පවත්වා ගෙන යාමටය. අධිවේගී මාර්ගය විකිණීමක් හෝ බදු දීමක් කිසිලෙසකින්වත් සිදු නොවන බවත් ඒ කිසිම සේවකයකුගේ රැකියා අහිමිවීමට ඉඩ නොදෙන බවත් ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය 22 දා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී හිටපු මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ තම රැකියා අහිමි වීමේ බියක් සේවකයන් තුළ තිබෙන බවය. මේවා මනෝමූල තත්ත්වයන්ය. මෙවැනි බියවල් පහ කිරීම සඳහා ආණ්ඩුවේ වියදමෙන් තොවිල් නටන්නට බැරිය.
ලංකාවේ සමාජ, ආර්ථික චිත්‍රය මත විශාල කළු පැල්ලමක් තිබේ. මේ වූ කලී වැඩ වර්ජන පැල්ලමය. සංවර්ධනය වෙමින් පවත්නා වෙනත් රටවල මේ පැල්ලම සංකෝචනය වන අතර, ලංකාවේදී එය ප්‍රසාරණය වෙමින් පවතී. මේ ප්‍රසාරණය නිසා කිසිදු ආයෝජකයෙක් මේ රටේ හතර මායිමකට එන්නේ නැත. කාලයක් මේ රටේ වැඩ කරන ජනතාවට ආශීර්වාදයක් වූ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ වන විට රටට හෙණයක් වී තිබේ. මෙවැනි හෙණ පුපුරන විට ට්‍රිප් ස්විච් මඟින් විදුලි පද්ධති පාලනය කළ නොහැකිය. ඒ නිසා මේ රටේ සිටින ස්වදේශික ආයෝජකයන් පවා බංග්ලාදේශය, නේපාලය වැනි රටවල්වලට සිය ආයෝජන මාරු කරමින් සිටිති. ඇතැම් ආයෝජකයෝ නාමික ආයෝජනයක් මේ රටේ බිත්ති හතරක් තුළ තබාගෙන ප්‍රයෝගික සහ සාධනීය ආයෝජනය හෙමිහිට වෙනත් රටවලට මාරු කරති. ලංකාවේ වැඩ වර්ජන සියල්ලම පාහේ දේශපාලන අරමුණු මත පදනම්ව ඇත. ඒවා අතරින් ලොකුම අරමුණ වන්නේ දැනට තිබෙන ආණ්ඩුව ගෙදර යැවීමය. මෙය 1977 න් පසු වඩාත් විස්ථාපනය වූ දරුණු තත්ත්වයකි.
පොලිස් හෝ යුද හමුදා බලය යොදවා වැඩ වර්ජකයන්ගේ අත පය කඩා ඒවා මර්දනය කළ යුතු බවක් අපි නොකියමු. ජේ. ආර්. ජයවර්ධන යුගයේදී වැඩ වර්ජන පමණක් නොව ප්‍රගතිශීලී සාහිත්‍ය සමිති පවා ඒ ආකාරයෙන් මර්දනය කරන ලදී. ප්‍රේමදාස යුගයේ නම් වැඩ වර්ජන කියා ජාතියක් තිබුණේම නැත. වැඩ වර්ජනයක් ගැන හිතන හැම විටකදීම වෘත්තීය සමිතිකාරයන්ට මතක් වූයේ පරණ ටයර් සහ අළු වෙමින් පවත්නා මළ සිරුරුය. එවැනි ප්‍රචණ්ඩ මාර්ගවලට නොගොස් දේශපාලන නායකයන් සහ වෘත්තීය සමිති නායකයන් සමඟ ක්‍රමවත් සංවාදයක් පවත්වා වැඩ වර්ජන නැවැත්විය යුතු බව අපගේ මතය වේ. සිංගප්පූරුවේ නම් වැඩ වර්ජනයක් ගැන හිතන එකා පවා අත්අඩංගුවට ගෙන වේවැල් පහරදී හිරේ දමනු ලැබේ. එවැනි දඬුවම් දීම් මේ බෞද්ධ රටේ නැත.