මා ඔය තැනින් තැන පිටාර ගලා තිබේ. පස් කැපීම සඳහා සෑරූ වළවල් නාය යමින් ගංගාව ගොඩබිම ආක්‍රමණය කර තිබෙනු දැකීම කිසිවෙකුගේ සතුටට හේතු නොවනු ඇත. එහෙත් අප සිටින ඉසව්ව ආරක්ෂිතය. දෛනික වැඩ කටයුතුවල බාධාකාරී ස්වභාවයක් පැවතුණේ නමුදු හැම දෙනාම පාහේ ජීවිතය සරි කර ගන්නට වෙර දරනු ලබන බව පෙනේ. අද අඟහරුවාදාය. සවස් වරුවේ නොවැස්සොත් නම් අගනේ යැයි සිතුණේ සවස මාටින් ගුරුන්නාන්සේ හමුවීමට යා යුතු නිසාවෙනි. එසේ සිතමින් මා පාසල කරා පිය මැන්නෙමි.
උදෑසන සිතුවාට පැතුවාට වඩා කාලගුණය වෙනස් විය. වැස්ස මැද්දේම කුඩයක්ද රැගෙන මම ගුරුන්නාන්සේ බැහැදැකීමට පිටත් වීමි.
“මම හිතුවා කමල් මහත්තය වැස්සෙ නමුත් එයි කියලා” ගුරුන්නාන්සේ එසේ කීයේ මාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බව නොකියාය. මගේ සිතේ සතුටක් ද ඒ සතුටට සිනහවක්ද මතු වී “ඔව්… ගුරුන්නාන්සේ මේ අවස්ථාව මඟ හැර ගන්න බෑනේ. මේ වගේ කාලයක් ආයෙ එයිද දන්නෙත් නැහැනේ” මම කීවෙමි. ඉදින් වෙනදාට වඩා වෙනසකි. වෙනදා අපි අධ්‍යාපන කටයුතු සඳහා ගුරුන්නාන්සේගේ එළිමහන් ස්ථානයට යන්නෙමු. එතනට උණු උණුවේ තේ කෝප්පයක් හෝ ඖෂධ කෝප්පයක් ලැබෙයි. “අපි තේ එකක් බීලම ඒ පැත්තේ යමු” ගුරුන්නාන්සේ කීවේ මට වාඩිවීමට අතින් සන් කරමිනි. ඔහුද හාන්සි පුටුවට බර දුන්නේය.
“කොහොමද මහත්තය ඉඩමේ වැඩ ටික සේරම අහවරයිනේ” ඔහු අපේ ඉඩම් නඩුවට කර දුන් ගුරුකමෙන් පසු සැරින් සැරේ මම ගුරුන්නාන්සේට විස්තර කීමි. “ඔව් ගුරුන්නාන්සේ. ඒක අප්පච්චි අපිට ලියලා දුන්නා. දැන් තියෙන්නෙ ඉතින් විවාහය තමා… ඒකට නැකත් ටික හදාගන්නත් අප්පච්චි ගුරුන්නාන්සෙව හමුවෙන්න එනවයි කීවා” මම එක දිගට කියාගෙන ගියෙමි. “ඇත්තටම ගුරුන්නාන්සේ දෙවියන් ඉන්නවද… ඔය සමහරු කියනවනෙ සූනියම් දෙවියන්ව එහෙම දැක්ක කියලා.“ මා ඇසුවෙමි. “ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒත් මහත්තයගේ පළමු ප්‍රශ්නෙට උත්තරේ නම් ඔව්. දෙවියන් ඉන්නවා. ඒ ගැන විවිධ ආගම් දර්ශනවල වගේම බෞද්ධාගමෙත් සාක්ෂි තියෙනවානේ” යැයි ඔහු කිවේය.
අපි කණ්ඩායමක් අවුරුද්දකට සැරයක් දෙකක් විශේෂ පින්කමක් කරනවා. ඊළඟ පාර මහත්තයාවත් එකතු කරගන්නම්. අපි සැරයක් කැකිරාවේ නඛා වෙහෙරෙ පහන් පින්කමක් කළා. අබතෙල් පහන් 2500ක පූජාවක්. ඉතින් ඔය කටයුතු අස්සේ ඒ ප්‍රදේශය බාර ‘ගුරුමා බණ්ඩාර’ කියලා දෙවි කෙනෙකුට බවත් උන්වහන්සේ ගමේ අයට උදවු කරන බවත් කැලේ ඇතුළෙදී උන්වහන්සේව දුටු කීප දෙනෙක් ඉන්නා බවත් ලොකු හාමුදුරුවො කීවා. මටත් ඉතින් ආශාවක් ආවා ‘ගුරුමා බණ්ඩාර’ දෙවියන්ව දකින්න. ඒ දවස්වලත් මෙන්න මේ වගේම වහිනවා. අපි පන්සලට ගියේ පින්කමට දවසක් කලින්. ඇයි ඉතින් පහන් පත්තු කරන්න හැඩතල හදන්න ඕනි නිසා. කොහොමහරි එදා හවස මම පන්සලේ තිබුණු පොඩි දේවාලෙට ගියා. ගිහින් කන්නලව් කළා. අපි මේ පින්කම කරන්නෙ තුණුරුවන් වෙනුවෙන්, දෙවියන්ට අපට පින් පිණිස, ඔබ වහන්සේටත් මේ පින් ලැබෙනවා. මේ වැස්ස පායල කරදරයකින් තොරව මේ පින්කම නිමාකර ගන්න පරිසරය හදල දෙන්න කියලා. ඒ එක්කම ඔබ වහන්සේව දුටු ගමේ අය ගැන මට අහන්න ලැබුණා. ඔබ වහන්සේ මේ මට සමාවෙලා කැමති නම් පෙනී සිටින්නැයි කීවා. කට ගන්න හම්බවුණේ නැහැ මහත්තය ඡායාමාත්‍රික රූපයක්. ඒත් අංගෝපාංග සමන්විත රූපයක් දිස්වෙලා අතුරුදන් වුණා. අපි පහුවදා හොඳින් පින්කම කළා අපි එදා රෑත් පන්සලේ නැවතුණා. හොඳම කතාව මේකයි.“ ඔහු ඉරියවු වෙනස් කරමින් “කෝ අපේ තේ එක ප්‍රමාදද” අසා මා දෙස බැලීය. “තේ එක නොව කතාවේ ඉතුරු හරිය මට වැදගත්” බව ගුරුන්නාන්සේ තේරුම් ගත්තා විය යුතුය.
පහුවදා උදේ තරුණ ගැටයෙක් ආවා පන්සලට. පන්සලේ ලොකු හාමුදුරුවො මිනිහව පෙන්නල “මහත්තයා අර ගුරුමා බණ්ඩාර දෙවියන් දැකපු කෙනෙක් තමයි මේ” කියා කීවා. මම ඔහු සමඟ කතාබහ ඉක්මනින්ම ආරම්භ කළා. “ඇත්තටම ගුරුමා බණ්ඩාර දෙවියන්ව දැකලා තියෙනවද?“ මා ප්‍රශ්නාර්ථ මුහුණින්ම ඔහු දෙස බලා සිටියා. ඔහු නිශ්ෂ්බ්දය. “කමක් නැහැ… ඔය මහත්තයට කියපන්” ලොකු හාමුදුරුවෝ ඔහුට කළේ නියෝගයකි. “ඔව්… මහත්තය කැලේදී දෙපාරක් තුන් පාරක් මට පෙනිලා තියෙනවා.” ඒ පැත්තේ වන අලි ගැවසෙනුයේ රන්චු පිටිනි. “මහත්තය අපිත් ඒක දැක්කා. ඉතින් ඒ කොලුවා ගොඩක් දේවල් කීවා. වැදගත්ම දේ මම කලින්දා ඒ දේවාලයේදී දැකපු රූප ලක්ෂණයි. අර කොලුව කියපු ලක්ෂණයි හරි අපූරුවට ගැළපුණා. එකයි ඉතින් ඕවා ඔප්පු කරන්න බැරි නිසා නිශ්ශබ්දව ඉඳීමයි නුවණට හුරු.” ගුරුන්නාන්සේ එසේ කීවේ සුසුමක් පිට කරමිනි.
පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු