පැරීසියට පියඹමි
මහ වැස්සට
තටු පෙඟුනත්
සුළි සුළඟට
තටු ගැහුනත්
ඉර ගිනිගෙන
තටු දැවුනත්
මම පියඹමි
මොනවා වුණත්
පැරිස් අහස
උස වැඩි මුත්
පැතුමන් ඇත
ඊට උඩත්
මායිම් බැමි
කඩා වුවත්
පියඹා එමි
මොනවා වුණත්
මියෙන්න පෙර
එකම වරක්
නුඹ දකින්න
තත්පරයක්
නොතකා මං
දිවා රැයක්
පියඹන්නෙමි
මොනවා වුණත්
උපුලී කටුවාවල
ෆෝන් විත්ති
තරුණ කමට ආභරණය ෆෝන් එක
අතට මිටට හරියන එක ෆෝන් එක
කෙල්ලො කොල්ලො එක්කළ මේ ෆෝන් එක
විස්ම කර්ම වැඩ කළ හැකි ෆෝන් එක
බටන් ටච් කියා එන මේ ෆෝන් එක
මිරිකන පහුරු ගානා මේ ෆෝන් එක
ඇටැච් බාත්රූම් පමණක් නැති ෆෝන් එක
විස්ම කර්ම වැඩ කළ හැකි ෆෝන් එක
එගොඩ මෙගොඩ යා කරනා ෆෝන් එක
හදවත් එකට බන්දන මේ ෆෝන් එක
පවුල් අවුල් කරනා මේ ෆෝන් එක
නොදකින් නොදෝකින් මට නම් ෆෝන් එක
පත්මසිරි කුරුප්පු
වසිලිස්සාට පසු වදනක්
මානව දයාවේ උදාරත්වය
නැත පේන ඉසව්වක
එනමුත් ඇත
තවමත් නුඹ
මගේ හද ගැඹුරෙහි
දෑස පේන මානයේ
කඳුළු කැට අග…
චාන්දනී දේවිකා පුංචිහේවා
නිරාමිස සුවය
නොබිඳෙයි නිහඬ බව මුළු පරිසරය අගේ
මතුවන නිරාමිස සුවයක ගතිය හැඟේ
කෙතරම් නිදහස් ද අද ජීවිතය මගේ
ගතවෙයි තවුස් කෙනෙකුගේ අසපුවක වගේ
අයි. ඩී. නන්දාවතී
අහිමි වූ ඇය
පෙරදා කෙළි දෙෙළන් සෙල්ලම් කරන විට
ඉඳහිට දබර වී නෙතගින් කඳුළු කැට
වැටුණත් නැවත පිසදා ඇය පෙර ලෙසට
නොසැලෙන සෙනෙහසක් පෑවා එක දිගට
කල් ගත වෙලා අපි වෙනදා මෙන් එකට
හමුවී කතා බහ නොකළෙ අපෙ හොඳට
මතකය අවදි වී දුක් දෙන විට සිතට
කඳුළැලි නැඟෙනවා සැමදා මගෙ නෙතට
අවනත නොවී ඇය දෙගුරුන්ගේ බහට
අදිටන් කළා සැමදා තනිවම ඉන්ට
මා වෙනුවෙන්ම කැප කළ ඇගෙ හෙට දිනට
සැමදා තනි රකිමි සෙවණැල්ලක් ලෙසට
අමරසිංහ එච්. ගමගේ
ප්රකම්පනය
බොහෝ නෑයන් යහළු
යෙහෙළියන් එන්න ඇති
ඒ සැවොම ඔබ තනිව
මෙහි දමා යන්න ඇති
පෙම්වතුන් ඒ කියන
අය අතර ඉන්න ඇති
ඔහු කොහේ ගියා දැයි
නිනව්වක් නැතිව ඇති
සැවොම අතහැර ගොසින්
පාළු සොහොනක මෙසේ
තනිව ඔබ නිදනු දුටු
මගේ සිත තැවෙනවා
තනිව නිදනා ඔබේ
සොහොන මත මල් මිටක් තබා
මේ පහන් සිල දල්වන්න
අවසරයි දයාබර සොයුරියේ
දීප්ත කරුණාරත්න
දවසක නිමාව
හැන්දෑ කොරේ හිරු මහ මුහුදෙහි ගිලිලා
බටහිර අහස වැලපෙයි ලේ කඳුළු සලා
තරු කුමරියෝ හැම දෙන එකතු වෙලා
මිනි කැට නොවෙයි ඒ තරුකැට නොවනු මුළා
වෙරළේ හවස පොඩි දරුවන් ගැවසෙනවා
ඔවුනගේ සරුංගල් අහසේ පා වෙනවා
සියතුන් කැදලි සොයමින් පියඹා යනවා
මුළු ලොව හෙමින් රෑ අඳුරට සැරසෙනවා
හුණුපොල මොරගොල්ලේ සෙනෙවිරත්න
සාක්ෂිය
සාක්කි කූඩුවෙ
හිටගෙන
සියැසින් දුටු
දේ දිවුරමි…
අත්තනගලු
ගං කොමලී
ගම්දොර
හයියෙන් හැඬුවා…
කිරි කැකුළක්
රළ පතරට
නොදනිත්
ඇකයෙන් වැටුණා…
වියරු සිනා පා
ඔරුවක්
ආපසු
මෙතෙරට ඇදුනා…
මහගම සීලානන්ද හිමි
සරුංගල්
එදා ඔබේ සවිය ලැබ
ළපටි මම හද තුටින්
සරුංගල් යැවුවෙමි
වලාකුළටත් උඩින්
නෑසේවි සරසරය
හඬ නැඟුම රැලි වෙතින්
ඔබ නැතුව ගෙබිම මත
වැතිරිලා එය දුකින්
වලාකුළකට උඩින්
සුර කුමරුවෙක් වෙලා
ඔබේ රුව දකින්නෙමි
අද අහස දෙස බලා
පියසීලි විජේනායක