ගුවන් තොටුපොළකදී හමු වූ කුඩා දියණිකගේ කතාවක් ගැන අප පසුගිය සතියේ කතා කරන්නට විය. එම දැරිය හේනේපොල හිමියක් නත්තල් සීයා හෝ එබඳු සුරංගනා චරිතයක් යැයි දැරිය සිතුවා විය හැකි බවද අපි කතා කළෙමු.
එමෙන්ම ඊට තවත් වෙනත් අන්දමක හේතුවක් තිබුණා වන්නට ද පුළුවන. මා ඒ බංකුව මත වාඩිවී සිටි කාලය තුළ මෛත්‍රී භාවනාව වඩමින්, සෑම හුස්මක් සමඟම මෙත් සිතුවිලි පතුරුවමින් සිටියෙමි. ඇතැම් විට මේ දැරියට එය දැනුණා විය හැකිය. දරුවන් මෙබඳු දේට ඉතා සංවේදී වන අතර, අවට ඇතිවන මානසික ශක්තීන් උරා ගැනීමේ වැඩි හැකියාවක් ඔවුන්ට ඇත. ඔබ අමනාප වුවහොත් එය වහාම ඔවුන්ට දැනෙයි. ඔබ ආදර කරුණාවෙන් යුක්ත වූ විට ඒ බවද ඔවුන්ට දැනෙයි. මේ දැරිය, ඇයට දැනුන ආදර කරුණා හැඟීම නිසා මා වෙත ඇදුනා විය හැකිය. අප අතර ආදර කරුණාව නිසා ඇති වූ බැම්මක් තිබෙන්නට ඇත.
සතර බඹ විහරණ
මෛත්‍රිය හාස්කම් කරයි. අප තුළ මෛත්‍රී සහගතව ක්‍රියා කිරීමේ හැකියාව ඇත. මෙම ගුණාංගය අප තුළ ඇති බව පවා අප නොදන්නවා විය හැකි නමුත්, මෛත්‍රීය අප හැම දෙනා තුළම පවතී. මෛත්‍රීය, බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද සතර බඹ විහරණවලින් එකකි. අනෙක් තුන කරුණා, මුදිතා හා උපේක්ෂාවයි. මේ සතර එකිනෙක හා බැඳී පවතී. එබැවින් අනෙක් ගුණාංගවලින් තොරව එක් ගුණාංගයක් පමණක් දියුණු කළ නොහැක.
සතර බඹ විහරණ තේරුම් ගත හැකි එක් ක්‍රමයක් නම් මවුපියන්ගේ ජීවිතවල එක් එක් අවධිය සලකා බැලීමයි. තමා දරුවකු බිහිකරන්නට යන බව දැනගන්නා තරුණ මවකගේ සිත, ලැබෙන්නට යන දරුවා කෙරෙහි අසීමිත ආදරයකින් පිරී ඉතිරී යයි. තම ගැබෙහි සිටින දරුවා ආරක්ෂා කර ගැනීමට ඈ සියලු දේ දරයි. දරුවා හොඳින් නීරෝගීව වැඩෙනු සහතික කර ගැනීමට සෑම උත්සාහයක්ම දරයි. ඇගේ සිත ශුභවාදී හා දයාභරිත සිතිවිලිවලින් පිරී පවතී.
නවක මවකගේ සිත තුළ තම දරුවා කෙරෙහි ඇතිවන දයාබරිත හැඟීම් ද සීමා රහිතය. මෛත්‍රිය මෙන්ම එම සිතිවිලි, ලබන්නාගේ ක්‍රියාවන් හා හැසිරීම් මත තීරණය නොවේ. කුඩා දරුවා වැඩෙමින් තමා අවට ලෝකය පිරික්සා බලන විට මවුපියන් තුළ කරුණාව වැඩෙයි. දරුවා, දණහිස සූරාගෙන, වැටී, ඔළුව හප්පාගෙන තුවාලයක් සිදු කරගන්නා සෑම විටම මවුපියන්ට දරුවාගේ වේදනාව තමන්ට වූ වේදනාවක් සේ දැනේ. මේ හැඟීම අනුකම්පාව නොවේ. අනුකම්පාව අප හා අන්‍යයන් අතර පරතරයක් ඇති කරයි. කරුණාව, තැනට සුදුසු පරිදි ක්‍රියාකිරීමට අප යොමු කරවයි. තැනට සුදුසු, කාරුණික ක්‍රියාව යනු දරුවාගේ වේදනාව නැවතී, ඔහු පීඩා නොවිඳිවා යන පිරිසිදු හෘදයාංගම අපේක්ෂාවයි.
කාලය ගෙවීයත් ම, දරුවා පාසල් ගමන ආරම්භ කරයි. නව යෞවනයා මිතුරන් ඇති කරගන්නා සැටි, පාඩම් කටයුතු, ක්‍රීඩා හා අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් හොඳින් කරන සැටි මවුපියෝ බලා සිටිති. දරුවා ඇතැම්විට, අක්ෂර වින්‍යාස තරගයක් ජය ගැනීම, බේස් බෝල් කණ්ඩායමට තේරීම, පන්ති නායකයා ලෙස පත්වීම වැනි ජයග්‍රහණයක් ලැබිය හැකිය. මේ දෙස බලන මවුපියෝ දරුවා කෙරෙහි ඊර්ෂ්‍යාවක් හෝ අහිතක් නොව සතුටක්ම ඇති කර ගනිති. මේ මුදිතාවයි. අපගේ දරුවා කෙරෙහි අප තුළ ඇති කරගන්නා හැඟීමම අනික් දරුවන් කෙරෙහි ද අපට ඇති කර ගත හැකිය.
මේ නිදර්ශනයම තවදුරටත් ගෙන ගියහොත්: අවුරුදු ගණනකට පසුව දරුවා ක්‍රමයෙන් වැඩී ඉගෙනීම් කටයුතු අවසන් කර ස්වාධීන ජීවිතයක් අරඹයි. ඇතැම්විට, ඔහු විවාහ වී පවුල් ජීවිතයකට මුල පුරයි. මේ අවධිය, දෙමාපියන්ට දරුවා කෙරෙහි උපේක්ෂාව වැඩීමේ කාලය වෙයි. ඔවුන් තුළ දරුවා කෙරෙහි ඇතිවන හැඟීම පැහැදිලිවම උදාසීනත්වය නොවේ. එය තමන් විසින් ඔහු වෙනුවෙන් කරන ලද හා කළ හැකිව තිබුණු දේ පිළිබඳ තෘප්තිමත් බවේ හැඟීමකි. ඔවුහු තමන්ගේ අඩුපාඩු තේරුම් ගනියි. දරුවා කෙරෙහි සැලකිල්ල හා ගෞරවය නොකඩවා පවත්වා ගන්නා නමුත්, ඔහුගේ ජීවිතයෙහි වැදගත් තීරණ තමන් විසින් මෙහෙයවනු නොලබන්නේය. එහි වගකීම තමන්ගේ නොවේය යන දැනුමෙන් යුතුව ඔවුහු ජීවත්වෙති. මෙය උපේක්ෂාව පුරුදු කිරීමයි. අපගේ භාවනා පුහුණුවේ අවසාන ඉලක්කය, මෛත්‍රී, කරුණා මුදිතා උපේක්ෂා යන මේ සතර බඹ විහරණ දියුණු කර ගැනීමයි.
“මෙත්තා” යන පාලි වචනය “මිත්ත” යන පාලි වචනයෙන් බිඳී ආවකි. එහි තේරුම මිතුරා හෙවත් යහළුවා යන්නයි. මෛත්‍රිය යන්නට “දයාබරිත මිතුරු බව” යන නිර්වචනය “දයාබරිත කරුණාව” යන නිර්වචනයට වඩා සුදුසු ලෙස මා සලකන්නේ එබැවිනි. “මිත්‍ර” යන සංස්කෘත වචනය සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රගතව සිටින හිරුට යෙදෙන නමකි. හිරු සියලු ප්‍රාණීන්ට ජීව ශක්තිය ලබාදෙයි. එපරිද්දෙන්ම සියලු ජීවීන්ගේ හදවත් තුළ මෛත්‍රියෙහි උණුසුම හා ආලෝකය ගලා යමින් පවතී.
බීජය අප සියල්ලන් තුළම ඇත
විවිධ වස්තු විවිධාකාරයට හිරු රැස් පරාවර්තනය කරයි. එසේම මෛත්‍රිය දැක්වීමට ඇති හැකියාව අතින් මිනිස්සු විවිධය. සමහරු ස්වභාවයෙන්ම උණුසුම් හදවත් ඇත්තෝ වෙති. තව සමහරෙක් තම හදවත විවෘත කිරීමට මැළිකමක් දක්වති. තවත් සමහරෙකුට මෛත්‍රිය ඇති කර ගැනීම මහත් ආයාසකර කාරියකි. තවත් අයෙක් එය පහසුවෙන් වඩවා ගනිති. එහෙත් මුළුමනින්ම මෛත්‍රියෙන් තොරවූ කෙනෙක් නැත. අපි සියලු දෙනාම උපතින් මෛත්‍රියේ අංකුර ගෙන ආවෝ වෙමු. මේ බව කුඩා බිලිඳකු දෙස බැලීමෙන් වටහාගත හැකියි. ඔහු ඕනෑම මිනිස් මුහුණක් දුටු පමණින් සිනාසෙයි. කනගාටුව වන්නේ බොහෝ දෙනා මෛත්‍රි කිරීමට තමා තුළ ඇති හැකියාව නොදැනීමයි. ඇතැම්විට ජීවිත කාලයක් හෝ බොහෝ ජීවිත කාල තුළ රැස් කරන ලද අකුසල කර්ම නිසා හටගත් වෛරය තරහ, අමනාපය ආදිය තුළ ඔවුන්ගේ මෛත්‍රී කිරීමේ සහජ හැකියාව යටපත් වී ගොසින්ය. කුමන තත්ත්වයන් යටතේ වුවද අප සියලු දෙනාටම අපගේ හදවත දියුණු කරගත හැක. අපගේ සියලු කටයුතුවලදී මෛත්‍රියේ පුෂ්පය ඉස්මතුව පෙනෙන ආකාරයට එහි බීජය රෝපණය කර වගා කරගත හැකිය.
බුදුරදුන් දවස අංගුලිමාල නම් එක්තරා මිනිසෙක් විය. ඔහු කෙතරම් අධම වීද යත් තමන් මැරූ මිනිසුන්ගේ ඇඟිලි මාලයක් මෙන් සාදා කරේ පැලඳ ගෙන සිටියේය. බුදුරාජණන් වහන්සේ තමාගේ දහස්වැනි ඉලක්කය ලෙස මරා දැමීමට ඔහු සූදානම් විය. අංගුලිමාලගේ කුප්‍රකට බව හා අප්‍රසන්න පෙනුම කෙබඳු වුවද මෛත්‍රී වැඩීමට ඔහු තුළ තිබූ සහජ වාසනා ගුණය හැඳිනගත් බුදුරජාණන් වහන්සේ, ඔහු කෙරෙහි කරුණාවෙන් – තමන් වහන්සේගේ මෛත්‍රියෙන් මෙම දරුණු මිනීමරුවාට ධර්මය දේශනා කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දමනය වී අංගුලිමාල තමාගේ කඩුව බිම දමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබා ගත්තේය.
පසුව හෙළි වූ පරිදි මෙබඳු අපරාධ රැල්ලකට ඔහු යොමු වූයේ ගුරුවරයාගේ අණට කීකරු වීම නිසා ( තමාගේ අකුසල හේතු නිසාද වේ) ය. අංගුලිමාල සැබැවින්ම දරුණු හෝ නරක පුද්ගලයකු නොවීය. ඔහු කරුණාවන්ත දරුවෙක් විය. ඔහුගේ හදවතෙහි මෛත්‍රිය, මුදුබව මෙන්ම කරුණාව ද විය. පැවිදි බිමට පැමිණි වහාම ඔහුගේ නියම ස්වභාවය එළිදැකීම නිසා නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය.
අංගුලිමාල පිළිබඳ කතාව අපට උගන්වන පාඩමක් වෙයි. ඇතැම් විට සැරපරුෂ ලෙස පිටතින් පෙනෙන මිනිසුන් ඇත්ත වශයෙන්ම එසේ නොවන බවයි. ඔවුන්ගේ ජීවිත සිද්ධීන් නිසා අයහපත් ලෙස හැසිරීමට ඔවුහු පෙලඹෙති. අංගුලිමාල මිනීමරුවකු වූයේ ගුරු ගෞරවය නිසාය. දරුණු අපරාධකරුවන්ට පමණක් නොව අප සියලු දෙනාට, යහපත් මෙන්ම අයහපත් ලෙස ක්‍රියා කිරීමට හේතුකාරක වන, අපමණ කරුණු තිබිය හැකිය.
(භාවනා කිරීමේ තවත් ක්‍රමයක් ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න)