ජනාධිපති සිනමා සම්මාන ඉතිහාසයේ මුල්වරට යුගාභිමානි නමින් සම්මානයක් මෙවර පිරිනැමිණ. එය මෙරට සිනමාව ගොඩනැඟීමෙහිලා කැපවුණ පුරෝගාමි සිනමා නිෂ්පාදකයකු හට පිරිනැමෙන්නකි. මෙවර මුල්වරට එය පිරිනැමුණේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයකුව සිටි කේ. ගුණරත්නම්ටය. මෙම සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අතින් ගුණරත්නම්ගේ දියණියන් වන ප්‍රියා කිංග් ගුණරත්නම් හා විජයා ගුණරත්නම්ට පිරිනැමිණ. මෙම සම්මානය තම අභවප්‍රාප්ත කීර්තිමත් පියාණන් වෙනුවෙන් පුදකිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්නට ගුණරත්නම් දියණියන්ගේ ප්‍රණාමය පුද කළාය. ඉතිහාසයේ අමතක කරන්නට ඉඩ හැරෙමින් තිබූ තම පියාණන් වෙනුවෙන් පුදන ලද සම්මානය ඔහු දේශීය කර්මාන්තය උදෙසා කළ මෙහෙය මුල්වරට රාජ්‍යතාන්ත්‍රිකව ඇගැයූ බව ඔවුහු ගෞරවයෙන් සඳහන් කරති.
දේශීය චිත්‍රපට ව්‍යාපාරය නව මඟකට යොමු කරමින් එනම් මෙරට සිනමාව නූතන තරගකාරි ව්‍යාපාර රටාවට භාජනය කරමින් කේ. (කනගසබේ) ගුණරත්නම් සීමාසහිත සිනමාස් සමාගම බිහි කරනුයේ 1947 වසරේය. ලංකාවේ උතුරු ප්‍රදේශයේ උපත ලැබ මෙරට චිත්‍රපට කර්මාන්තයට අවතීර්ණ වන තුන්වැන්නා ඔහු වන අතර මෙරට සිනමාවේ ජනප්‍රිය නිර්මාණ විලාසයේ සියලු හැඩතල සැකසෙනුයේ හෙතෙම ව්‍යාපාරයට අවතීර්ණය වූ පසුවය. ‘ගෘහ ප්‍රවේශම්’ චිත්‍රපටය මන ප්රයත්නය නමින් සිංහලට දෙබස් කැවීමට මුල්වරට හවුල් වන හෙතෙම අනතුරුව චිත්‍රපට ආනයනයෙන් ද පසුව සිනමාහල් හිමිකාරිත්වයෙන් ද නොනැවතී චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණය වූයේය. ඔහු මුල්වරට ආනයනය කළ වාල්ගෙයි නම් දෙමළ චිත්‍රපටය එකල අතිශය සාර්ථක වූයේ ගුණරත්නම් දේශීය සිනමා ව්‍යාපාරයේ ස්ථාපිත කරමින්ය. පැවැති සිනමා ව්‍යාපාරයේ ඒ්කාකාරි ස්වරූපයට අභියෝගයක් කරමින් 1950 වසරේ දී ‘හදිසි විනිශ්චය’ චිත්‍රපටය බෙදා හැරීම සමඟ සිංහල චිත්‍රපට බෙදා හැරීමට එක්වන ඔහු සෘජුවම දේශීය චිත්‍රපට ව්‍යාපාරයේ තරග වදින්නට පටන් ගනියි. පසුව මරදානේ පැවැති නැෂනල් රංග ශාලාව සිංහල චිත්‍රපට තිරගත කරවන ප්‍රධාන සිනමාහලක් ලෙස පත් කරන ඔහු, එය සිංහලයේ මහ රජු ගාමිණී නමින් නම් කරන ලද්දේ දේශීය සිනමා ව්‍යාපාරය කෙරෙහි මහත් බලාපොරොත්තු ඇතුවය.
1951 ගාමිණී සිනමාහල කේන්ද්‍ර කොට ගෙන මුල්වරට වසරේ සීදේවි චිත්‍රපටය තිරගත කරවමින් මෙරට නිශ්චිත සිනමාහල් සමූහයක් සහිත සිනමා ප්‍රදර්ශක මණ්ඩලයක් ගොඩනඟන්නට ගුණරත්නම් සමත් විය. අනතුරුව දේශිය ජනාකර්ෂණීය චිත්‍රපට ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන සුජාතා චිත්‍රපටය 1953 වසරේ නිපදවනුයේ මෙරට චිත්‍රපට නිෂ්පාදනයට එතෙක් නොවුණු නැවුම් සංකල්ප රැසක් හඳුන්වා දෙමින්ය. ඇබ්බැහි වී පැවැති වේදිකා නාට්‍ය සිනමාවට නැංවීමේ සම්ප්රදාය බැහැර කරමින්, විනෝදාත්මක චිත්‍රපට සම්ප්රදායක් ගොඩ නංවමින්, ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරිඩා ජයලත් ප්‍රධාන චරිතයට එක් කරමින්, සිනමා තරු සංකල්පය ද මුල්වරට පූර්ව ප්රචාරක පට හා සිනමා විලාසිතාවන් ද බිහි කරන ලද්දේ ඔහු සුජාතා නිෂ්පාදනයෙනි. ඉක්බිතිව වරද කාගෙද, රදල පිළිරුව, දුප්පතාගේ දුක, සූරයා, වනමෝහිනි, සන්දේශය. වීර විජය, අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, ධීවරයෝ, චණ්ඩියා, අල්ලපු ගෙදර, ඔබ දුටු දා, සූර චෞරයා, අටවෙනි පුදුමය, ආත්ම පූජා. හොඳයි නරකයි, අප්සරා යන චිත්‍රපට නිෂ්පාදනය කළ ඔහු මෙරට ජනප්‍රිය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය රාශියකට දායක වූයේය. ඔහු දොස්තර චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ඉන්දියාවේ සුප්‍රකට ඒ්. වී. ඒම්. සමාගම සමඟ එක්වෙමින්ය. අංගුලිමාල, පතිවත, වීර පුතා, සුදු නංගී දෙබස් කවන ලද්දේ ද ඔහුගේ නිෂ්පාදන හැටියටය. කහ බළල්ලු ජාත්‍යන්තර චිත්‍රපටය සඳහා මෙන්ම රන්මුතුදූව වැනි චිත්‍රපට කිහිපයක් සඳහාම ඔහු නිෂ්පාදනයෙන් දායක විය.
1961 වසරේ දී හැඳල විජයා චිත්‍රාගාරය ගොඩනැඟු ඔහු එමගින් දකුණු ආසියාවේ අංග සම්පූර්ණ චිත්රාගාරයක් ගොඩ නැංවූයේය. එහි පැවැති රසායනාගාරය ආසියාවේ පැවැති හොඳම කළු සුදු රසායානාගාරවලින් එකකි. චිත්‍රපට නිෂ්පාදනයට, කාන්ති ගුණතුංග, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, සන්ධ්‍යා කුමාරි, ජීවරාණි කුරුකුලසූරිය, විජිත මල්ලිකා, වීණා ජයකොඩි ආදි සිනමා තාරකාවන් රැසක් හඳුන්වා දුන් ඔහු තම චිත්‍රපට හරහා ගාමිණී ෆොන්සේකා, හා ජෝ අබේවික්‍රම සිනමා තාරකා ලෙස ඉස්මතු කරවන්නට ද සමත් විය. සිය චිත්‍රපට ප්‍රචාරය සඳහා ඔහු කලා නමින් සිනමා පුවත්පතක් ද පවත්වා ගෙන ගියේය.
වෘත්තීය චිත්‍රපට නිෂ්පාදක යන අර්ථයෙන් හඳුන්වා දිය හැකි එකම ශ්‍රී ලාංකේය සිනමා ව්‍යාපාරිකයා වූ ඔහු චිත්‍රපට නිෂ්පාදනයේදී තිර රචනයේ සිට තිරගත කරවීම දක්වා සියලු කටයුතු සැලසුම් කළේය. තම නිෂ්පාදනය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවේ නම් ඔහු එය අංග සම්පූර්ණ වනතුරුම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළේ ද නැත. කොළඹ ගාමිණී, ලිඩෝ, සැෆයාර්, කිංස්ලි, කැපිටෝල් , මීගමුවේ රාජ්, අම්පාර විජයා, ඇතුළු සිනමාහල් රැසක් ඔහු සතු විය. චිත්‍රපට නිෂ්පාදනය, ප්‍රදර්ශනය, බෙදාහැරීම, ආනයනය හා චිත්රාගාර යන සිනමාවේ සියලු අංග සහිත අපේ සිනමාවේ ස්වර්ණමය යුගයේ සැබෑ සැලසුම්කරු වූ ඔහු 1917 ජූලි මස 30 වැනි දින උපත ලැබ 1989 අගොස්තු මස 09 වැනි දින මෙලොවින් සමුගත්තේය.
අරුණ ගුණරත්න