වැසි වසින්නට ආසන්න වූ අහස් කුස අඳුරු වලාකුළෙන් වැසී ගොස්ය. අප එහි යන විටත් තනුෂගේ මළගම වෙනුවෙන් සැරසුණු සුදු පාට කොඩිවැල් මාලිගාතැන්න මඟ දිගේ තවමත් මලානික සුළඟින් සැලෙයි. සුදු හැඳගත් පිරිස අතරින් බැනරයක නිල්පාට ඉරි වැටුණු කමිසයකින් සැරසී ගෙන හිනැහෙන තනුෂ්ගේ රුව දිස්වෙයි. දින කිහිපයක් ගත වුවද තම පුතු මියයෑමේ ශෝකය දරාගත නොහැකිව තනුෂගේ මව සාලයේ කොනකට වී වැලපෙයි. පපු කුහර තුළට කාවැදුණු දරුපෙම නිහඬව දරාගන්නා පියවරුන්ගේ රිඳුම් දෙන වේදනාවේ තරම තනුෂ්ගේ පියාගේ දෙනෙතින් පෙනෙයි. අම්මා සිය පණනල මෙන් ආදරේ කළ චූටි පුතු මේ තරම් වේදනාවක් දෙතැයි කිසිදු දිනක ඇය නොසිතුවාය.
සියල්ලම දමා නික්ම යන්නට පෙර අවසන් දින උදෑසන 6.10ට මාලිගාතැන්න ඔහුගේ නිවෙස අසලින් වේයන්ගොඩ බලා යන බස් රථයට ගොඩ වී චූටි එක් වතාවක් අම්මා දෙස හැරී බැලූ හැටි ඇයට සිහි වෙයි. ’චූටි පරිස්සමෙන් ගිහින් එන්න පුතේ ඒ ඇගේ සුපුරුදු වදන් පෙළයි.’ මාලිගාතැන්න සිට වේයන්ගොඩට යන බස් රථය නොපෙනී යන තෙක් ගෙමිදුලේ සිට බලා සිටීම ඇගේ පුරුද්දයි. “යන්නම් අම්මේ කිව්වා මිසක චූටී කවදාවත් ගිහින් එන්නම් කියලා නැහැ. එයා අම්මා හැමදාම කියන පරිස්සම මොකක්ද කියලා එදා හිතුණේ නැද්ද දන්නේ නැහැ. ඒ දවස 13වැනිදා. කිසිම අම්මා කෙනෙකුට අහන්න වෙන්න එපා ඒ වගේ දවසක් ගැන. එදා පුතා පුරුදු විදිහට උදේ 6.10යේ බස් එකේ ගියේ. හවස 7.10 බස් එකේ ආවේ නැති වුණාම මට බය හිතුණා. පරක්කු වෙන කොට මගේ හිතට මොකක්ද බයක් දැණුනා. 7.10 බස් එකේ එයිදෝ කියලා බැලුවා. ඒ බස් එකෙත් නැති නිසා අපි කලබල වුණා. වෙනදාට ඉස්සරහා ගෙදර ලයනල් අයියා එන කෝච්චියේ පුතා එන්නේ. චූටි පරක්කු වෙද්දි ඒ අයියා ගෙදර ඇවිත් ද කියලා සෝදිසි කරලා බැලුවා. එයා ගෙදර ඇවිත් හිටියා. රාගම කැලණිය අතරදි කෝච්චියෙන් කවුද වැටුණා කියලා ඒ වෙලාවේ එයා කිව්වා. මගේ හිත තවත් ගැස්සුණා. මම ඇහුවා ලයනල් අයියේ ඒ වැටුණ කෙනා චූටි වෙන්න බැරිද කියලා. ලයනල් අයියටත් පුතා පරක්කු වෙද්දි එහෙම හිතුණලු. ඒත් එයා අපිට කිව්වේ නැහැ. පුතා කොටුවෙදි හම්බ වුණා කියලා විතරයි අපිට කිව්වේ. පුතාට කරදරයක්ද කියලා මට හිතුණා. මට එහෙම හිතුණේ ඇයි ද කියලා හිතා ගන්නත් බැහැ”දුක දරා ගනිමින් සිටින අම්මාට ඇසිල්ලකින් පපුවට හී පහරක් වැදුණා සේ වේදනාවක් දැණිනි. දරු ගින්දර දරාගත නොහැකිව ඇය හඬන්නට වූවාය.
“මට නැති වුණේ බෝසත් පුතෙක් එයා හරිම හොඳ දරුවෙක්. අපි එපා කිව්වොත් චූටි ඒ දේ කරන්නේ නැහැ. ආපහු හැරෙනවා මිසක අපිට විරුද්ධ වෙලා නැහැ. ඒත් එයා හුගාක් වෙලාවට කෝච්චියේ පාපුවරුවේ යනවා කියලා යාළුවො කියනවා. අපි දැනගෙන හිටියේ නැහැ. ඒක හොඳ පුරුද්දක් නොවෙයි කියලා ගිය සතියේ ඥාති කෙනෙක් දැකලා අවවාද කරලා තියෙනවා. ඒක පුතාගේ වෙලාව. ඒත් එයාට තිබුණා එයාගේ ජීවිතේ ගැන මීට වඩා හිතන්න.”
කොටුව සිට පොල්ගහවෙල දක්වා දිවෙන දුම්රියෙන් පැමිණි තම පුතු කැලණියත් දෙමටගොඩත් අතරතුරදි දුම්රියෙන් ඇද වැටී ඇති බව නිසැකයෙන් දැන ගන්නා විට රාත්‍රිය උදාවී තිබිණි. කොළඹ විශ්වවිද්‍යාලයේ පුහුණු පාඨමාලාවට සහභාගි වී වෙනදාට කොටුවෙන් 4.10 දුම්රියට නැඟ ගන්නා තනුෂ් එම දුම්රියෙන් සවස 6.30 වනවිට වේයන්ගොඩින් බැස මාලිගාතැන්න බස් රථයකට ගොඩවී හෝ එසේ නොමැති නම් මිතුරකුගේ බයිසිකලයකින් නිවෙසට පැමිණෙයි.
“අපි පුතාගේ ෆෝන් එකට කෝල් ගත්තා. රින් වුණාට කවුරුත් කතා කළේ නැහැ. අපි පොලිසියටවත් කියමු ද කියලා කතා වුණා. ඉන් පස්සේ අපිට කොළඹ ජාතික රෝහලෙන් කතා කරලා කිව්වා; පුතා කෝච්චියෙන් වැටිලා දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ කියලා. ක්ෂණයකින් තනුෂ්ගේ මවුපියන්ගේ පපුව හීයකින් පසාරු කරගෙන යන්නා සේ වේදනාවක් දැනුණි. “ ඒ මගේ පුතා කියලා එදා දැන ගත්තාම මට මුළු ලෝකයම නැති වුණා වගේ දැනුණා. මට කතා කර ගන්න බැරිව මම පුතාලගේ තාත්තට ෆෝන් එක දුන්නා. ඒ වෙලාවෙම පුතාලාගේ තාත්තා වාහනයක් අරන් ගියා මට යන්නම ඕන කියලා. මම පහුවදා උදේ ගියා” මව ඉකිබිඳිමින් කිවාය.
පසුවදා උදෑසන පිවිසුම් දොරටුව අසලින් රෝහල ඇතුළු වන විට ඇගේ සිතට චකිතයක් ඇති විය. තනුෂ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව සිටින බව දැනගත් විට මවට වේදනාව දරාගත නොහැකිය. “මට ඒ වෙලාවේ පුතාව දැක්කම දරා ගන්න බැරිව ගියා. ඒක අම්මා කෙනකුට පැහැදිලි කරන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. දරාගන්නම බැරි වේදනාවක්” එහෙත් තම පුතු මිය යතැයි ඇය සිතුවේ නැත. ඇය දැඩි සත්කාර ඒකකයේ අසල වූ කණුවකට වාරු වූවාය.
තනුෂගේ පියා තම පුතු දැකීමෙන් දැඩි කම්පාවට පත්වී සිටියේය.“ ඒ වේදනාව අපිට වචනවලින් කියන්න බැහැ. අපි දැනගත්තා දවස් තුනකට පස්සේ පුතාගේ මොළේ මිය ගිහිල්ලා කියලා. රෝහල් වෛද්‍යවරයකු අපට කිව්වා පුතාගේ සිරුරු කොටස් පරිත්‍යාග කරන්න කැමති නම් රෝගීන් රැසකට ජීවත්වීමේ වාසනාව ලබාදිය හැකි බවට අපි දෙවරක්ම නොසිතා පුතාගේ සිරුරු කොටස් දන්දීමට කැමැත්ත දුන්නා. අපේ මේ පුතා ද ජීවත්ව සිටියදී තමන් හදිසි අනතුරකින් මිය ගිය හොත් සිරුරු කොටස් දන්දෙන ලෙසත් ඉල්ලීමක් කර ඒ බව ඔහුගේ සමීප මිතුරන්ට දැනුම් දී තිබුණා. ඒ නිසා අපි වෛද්‍යවරුන්ට කිව්වා අපේ පුතාගේ අවයව දන් දෙන්න අපි කැමති කියලා. මොනවා කරන්න ද දරුවා ජීවත් කරන්න බැරි නම්. පුතාගේ මරණය අපට දරා ගන්න බැහැ. පුතා ගැන මතක් වෙන මොහොතක් පාසා අපේ හදවත් පැළී යන තරම් මහා වේදනාවක් දැනෙනවා. පුතාට පින් සිද්ධ වෙන්න කියලා හිතලා ආයේ මෙවන් අකල් මරණයක් නොවෙන්න කියලා අපි එයාගේ අවයව පරිත්‍යාග කරන්න කැමැති වුණා. මුලින් අපි විශ්වාස කළේ නැහැ දරුවා නැති වෙයි කියලා. අපි දැන ගත්තාට පස්සේ හිත හදාගත්තා දරුවා නැතිවුණත් එයා නිසා මේ ලෝකයේ කවුරු හරි ජිවත් වුණොත් ඒ පින අපේ දරුවට අත්වෙයි නේද කියලා.
පුතාගේ සිරුරෙන් ලබාගත් කොටස් රෝගීන් ගණනාවකට බද්ධ කරලා ඔවුන් සුවපත් වෙමින් සිටින බවට වෛද්‍යවරුන් දැනුම් දුන්නාට පස්සේ අපේ හිතට ටිකක් හරි සැනසිල්ලක් ආවා. ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් ගණනාවකට අපේ පොඩි පුතා නිසා ජීවිතය ලැබුණු එක අපිටත් පිනක්”යැයි තනුෂගේ පියා නිමල්සිරි දැඩි ශෝකයෙන් පැවසුවේය.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය කරුණාරත්න පතිරන්නැහැලාගේ තනුෂ ඉසංක රණසිංහ 23 හැවිරිදි සිසුවාගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අග්න්‍යාසය සහ අක්මාව ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස් දෙනෙකුට බද්ධ කිරීම සිදු විය. මීට අමතරව එම සිසුවාගේ ඇස් දෙක දෙනෙත් නොපෙනෙන දෙදෙනකුට ආලෝකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ගනු ලැබ ඇති අතර, අවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ සම, රුධිර නාළ සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම එම සිසුවාගේ මවුපියන්ගේ කැමැත්ත මත දන් දී ඇත.
තනුෂ ඉසංක තරුණයා දුම්රියකින් ඇදවැටී මොළේට හානි වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 13 වැනිදාය. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ විශේෂඥ වෛද්‍යවරුන් පරික්ෂා කර බැලීමෙන් අනතුරුව ඔහුගේ මොළේ මියගොස් ඇති නිසා ජීවත් කිරීමට නොහැකි බවට තීරණය කර තිබේ.
වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ අංක 51/03 නිවසේ ජීවත්වූ ව්‍යාපාරිකයෙකු වන කරුණාරත්න පතිරන්නැහැලාගේ නිමල්සිරි රණසිංහ (63) සහ මව නැණතුංග ලියනගේ චන්ද්‍රිකා රංජනීගේ (58) බාල පුතු ලෙස මෙලොව උපන් තනුෂ ඉසංක රණසිංහට ඉමල්ක කසුන් (29) නමින් එක් වැඩිමහල් සහෝදරයෙකි. තනුෂ වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේය. බාහිර ක්‍රියාකාරකම්වලට වඩා දක්ෂතාවක් දැක්වූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ තොරතුරු තාක්ෂණවේදය පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරුවේය. මේ අනතුර සිදුවන අවස්ථාව වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ එම පාඨමාලාවට අදාළ ව ප්‍රායෝගික පුහුණුවක් ලබමින් සිටියේය.
අවයව දන්දීමෙන් කලාතුරකින් කරගත හැකි පිනක් අත් කර ගත හැකි වීම නිසා හිතේ කකියන මහා වේදනාව යම් තරමකින් හෝ තුනී කරගත හැකි වූ බවත් එයින් හිත සනසා ගන්නට උත්සාහ කරන බවත් මිය ගිය තරුණයාගේ මවුපියෝ පැවැසූහ. නෙතින් ගලා හැලෙන කඳුළුවලට ඉඩ හැර ඔවුහු තවමත් නිවෙස ඉදිරිපිට බැනරයේ වූ පුතුගේ රුව දෙස බලා සිටින්නෝය.
මවුපියන්ට තමන් ජීවත් ව සිටියදී දරුවන් මොලොව හැර යන තරම් වේදනාවක් තවත් වෙත්ද? ඉගෙනීමට වඩා දක්ෂයකු නොවුවත් විෂය බාහිර ක්‍රියාකාරකම්වලට උපන් හපනෙක් වූ තනුෂ තමා කරන වැඩෙහි අවසාන ඵලය දක්වා උත්සාහවන්තයෙකි. විදෙස්ගත වීම ඔහුගේ එකම අරමුණ වී තිබිණි. එකම සොහොයුරු ඉමල්ක කසුන් පවසන ආකාරයට මියගිය තම බාල සොහොයුරාට මිතුරන් බොහෝය. “මල්ලිගේ මරණයට කර ගහන්න මට ලැබුණේ එක වතාවයි. සුසාන භූමියට යන කල් මල්ලිගේ දේහය රැගෙන ගියේ යාළුවන්ගේ කරපිටින්. එයාට යාළුවෝ හුඟක් ආදරෙයි. ඒ ගැන අපිත් දැන ගත්තේ මල්ලි නැති වුණ වෙලාවේ යැයි වැඩිමල් සොහොයුරු ඉමල්ක පැවැසුවේය.
තනුෂ සිය මුහුණු පොතේ එක් තැනක මීට සතියකට පෙර සටහනක් තබා තිබිණි. ඒ සටහන ඔහුගේ මිතුරන්ටය. එහි සඳහන් වූයේ ඔහු හදිසියේ මිය ගියහොත් ඔහුගේ අවයව සියල්ල දන් දිය යුතු බවයි. එදා තනුෂ එම සටහන තැබුවේ නිකමට විය හැකියි. අද එය සැබෑවී ඇත. තනුෂට එම මහ කුසල කර්මයට හිමිකම් කීමට හැකි විය. ඒ පින ඔහුගේ සාංසාරික ජීවිතය සුවපත් කරවීමටත් මෙවැනි අකල් මරණයකට උපදින කිසිදු ආත්මයක ගොදුරු නොවීමටත් හේතුවනු ඇත.
“ මවුපියන්ගේ එකම බලාපොරොත්තුව දරුවෝය. “අපි හිතුවේ පුතා කැමති නිසා ජපන් භාෂා පාඨමාලාවක් කරවලා රට යවන්න. ඒත් ඒ කිසිම දෙයක් කරන්න අද පුතා නැහැනේ. ඒ සිහිනය එක් මොහොතකින් බොඳ වෙලා ගියා. එයා නැති වුණ දවසේ මේ ගෙදර අතුරු සිදුරු නැතිව පුතාගේ යාළුවන්ගෙන් පිරී ඉතිරිලා ගියා. එයාට හැමෝම ආදරෙයි. එයා හුඟක් හොඳ දරුවෙක්. චුටි පුතා අපිට නැති වුණා. අපිට කියන්න තියෙන්නේ තරුණ ළමයිට පාපුවරුවේ යන්න එපා. තමන්ගේ ජීවිතය පරිස්සම් කරගන්න. වරදින්න ටික වෙලාවයි යන්නේ. කවදාවත් මේ වගේ දුකක් මවුපියන්ට දෙන්න එපා. දරුවෙක් නැති වුණාම ඒ වේදනාව උහුලන්න මවුපියන්ට බැහැ. හුඟක් දුක් විඳලා හැම අම්මා කෙනෙක්ම දරුවෝ හදන්නේ. මට චිත්‍රපටියක් වගේ මැවිලා පේනවා එයා ඉපදුණ දවසේ ඉඳලා වෙච්ච සිදුවීම්. ඒ වගේම එයා මාත් එක්ක කියපු දේවල්. මේ දුක දරා ගන්න බැහැ. මම හිතන්නේ මම හුඟක් කල් ජීවත් වෙන එකක් නැහැ. මට නැති වුණේ බෝසත් පුතෙක්. මගේ පුතා ලොකු දාන පාරමිතාවක් සම්පූර්ණ කළා කියලා මම හිතන්නේ. එයා නිසා පස්දෙනෙකුට ජීවිතය හම්බ වුණා මට ඒ ගැන සැනසිල්ලක් තියෙනවා. ආයේ නම් මේ සසරේ අකල් මරණයක් අත් වෙන්න එපා මගේ දරුවට“. නැවත තනුෂගේ මවගේ නෙතින් කඳුළු කඩා වැටෙන්නට විය.
තනුෂගේ අනාගතය ගැන බොහෝ බලාපොරොත්තු තිබෙන්නට ඇත. ඒ සියල්ල එක් මොහොතකින් සුණුවිසුණු වී ඔහුට අවසන් ගමන් ගොස් ඇත. ඒත් තනුෂ ඔහු කළ හොඳ පමණක් රැගෙන ගිය බව අපි දනිමු. තනුෂගේ මිතුරන් ඔහුට බොහෝ ළෙන්ගතුය. ඔහු තරම් හොඳ ගතිගුණ ඇති මිතුරකු දැක නැති බව කුඩා කල සිට ඇසුරු කළ ශාලුක දේශාන් අපි සමඟ පැවැසුවේය.
සැඳෑ සේල පටලය දකුණු පස අහස වෙලා ගෙන ඇත. එහි චමත්කාරය රිසි සේ විඳින විහඟුන් පිළිබඳ කිසිවකුට හැඟීමක් නැත. අඳුර වෙනදා මෙන් නිවෙස තුළට පැමිණෙයි. චුටි පුතු එන වේලාව ආසන්නව ඇත. වෙනදා මෙන් පුතු එන පෙර මඟ බලන්නට ඇයට සිහි වෙයි. වෙනදා මෙන් එළිපත්තට වී පාළු පාර දිගේ යන මිනිසුන් දෙස ඇය හිස් බැල්මකින් බලා සිටින්නීය. පොල්ගහවෙල දුම්රියෙන් වේයන්ගොඩින් බැස 6.10 බස් රියෙන් මාලිගාතැන්න නිවෙසේ අම්මා බලන්නට චූටි පුතු යළි කිසිදු දිනක නොඑන්නේය. තම පුතු මිය යෑමෙන් මවුපියන්ගේ සිතට දැනෙන පශ්චාත්තාපය පිළිබඳව පැවැසීමට වදන් පෙළගැස්විය නොහැකිය.
තනුෂ පුතේ ඔබට නිවන් සුව!
ගයාන් පුෂ්පික
සුභද්‍රා දේශප්‍රිය