Home » ලෝක කුසලානයේ පහස ගෙන දුන් ඕස්ට්‍රේලියානුවන්ගේ ‘ගෙදර වැඩ’

ලෝක කුසලානයේ පහස ගෙන දුන් ඕස්ට්‍රේලියානුවන්ගේ ‘ගෙදර වැඩ’

මෝදි ක්‍රිඩාංගනයේ තණතිල්ලට බැල්ම හෙලූ කමින්ස්ගේ ‘උකුසු ඇස’

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

දින ගණනාවක් යනතුරු කතා කිරීමට බොහෝ දේ ඉතිරි කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් විය. පැට් කමින්ස් ඇතුළු කණ්ඩායම ලෝක කුසලානය රැගෙන ඔස්ට්‍රේලියාවට ගිය අතර, එය ඔවුන්ගේ කුසලාන කැබිනෙට්ටුවේ 6 වැනි එක්දින ලෝක කුසලානය ලෙස තැන්පත් වනු ඇත. රෝහිත් ෂර්මා ඇතුළු කණ්ඩායම සෑහෙන කාලයකට අමතක නොවන අමිහිරි මතක සමුදායක් ඉතිරි කරගත් අතර, එය සුනාමියකට, භුමි කම්පාවකට සහ සුළි කුණාටුවකට පසුව ඔබට දකින අවාසනාවන්ත දසුන් පෙළකට සමාන ශෝචනීය මතකයක් බවට පත්වනු ඇත.

අවසන් පූර්ව වටයෙන් පරාජයට පත් වූ නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් ද, මූලික වටයෙන් ඉවතට විසි වූ පසුගිය ලෝක ශූර එංගලන්ත කණ්ඩායම ද මුහුණ දුන්නේ එක හා සමාන හැලහැප්පීම් කන්දරාවකටය. පාකිස්තාන කණ්ඩායමේත්, බංග්ලාදේශ කණ්ඩායමේත් තනතුරු රැසක් වෙනස් වූයේ ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමටත් පෙරය. අවසන් කණ්ඩායම් හතරට එක් නොවූව ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ සැබෑ ජයග්‍රාහකයා ඇෆ්ගනිස්ථානය බව බොහෝ විචාරකයෝ කියති. ඔවුන් මූලික වටයේදී එංගලන්තය ලකුණු 69කින් පරාජයට පත් කළ අතර, පාකිස්තානය කඩුලු 8කින් පරාජයට පත් කළේය. ඉන් නොනැවතී ශ්‍රී ලංකාවත්, නෙදර්ලන්තයත් කඩුලු 7කින් පරාජයට පත් කළේය. මේ කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් ලෝක කුසලාන තරග වරම් ලැබූ බැවින් ඒ පරාජයන් දෙකම එතරම් සැලකිය යුතු නැත. එහෙත් මෙවර තරගාවලියේදී මුළු ක්‍රිකට් ලෝකයේම අවධානය තම කණ්ඩායම වෙත යොමු කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වූ බව නම් නොකියාම බැරිය. මුළු ලොවම ප්‍රතික්ෂේප කළ තලේබාන් සංවිධානයේ පාලනයට නතු වූ රටක, දරුණු දේශපාලන හා ආර්ථික පසුබෑමකට ලක් වූ රටක පුහුණුවීමට කිසිදු පහසුකම් නැති රටක, ක්‍රීඩකයන් පිරිසක් විදහා පෑ එම වික්‍රමය දෙවැනි වන්නේ ලෝක කුසලානය ජයගත් ඔස්ට්‍රේලියානු පිලට පමණි.

මූලික වටයේ අවසන් අඩියේ පැවැති තීරණාත්මක තරගයේදී ඔස්ට්‍රේලියානු පිල පවා තිගැස්සීමකට ලක් කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය. එම තරගයෙන් පරාජය වූයේ නම් ඔස්ට්‍රේලියාවේ ඉරණම වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එදා තරගයේදී ඇෆ්ගනිස්තානය දුන් ලකුණු 292ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානුවන්ගේ කඩුලු 7ක්ම ලකුණු 91කට බිඳ වැටී තිබූ මොහොතේ පරාජයෙන් මෙන්ම අවමානයෙනුත් ඔස්ට්‍රේලියානුවන් ගැලවුණේ ග්ලෙන් මැක්ස්වෙල්ගේ අනුකම්පා විරහිත පිති හරඹයට පින්සිදු වන්නටය.

වසර හතරකට වතාවක් පැවැත්වෙන එක්දින ක්‍රිකට් පිටියේ තවත් වසර හතරකට ශූරයන් තීන්දු කරන ලෝක කුසලාන තරගාවලිය අලුත් වීරයන් බිහි කරන තෝතැන්නකි. එමෙන්ම වසර හතරක් එක්දින පිටියේ පෙරළි කළ ක්‍රීඩකයන්ගේ දස්කම් මැන බැලීමේ අපූරු පරීක්ෂණයකි. එහෙත් එහි ප්‍රතිඵල අන්තිම භයානකය. පරාජිතයන්ගේ නායකත්වයේ ඔටුනු ගැලවීම්, කණ්ඩායමේ ස්ථාන අහිමි වීම් පමණක් නොව පුහුණුකරුවන්ට ද ගෙදර යෑමට සිදුවන තීරණාත්මක තරගාවලියකි. කොටින්ම ලෝක කුසලානයට එවැනි අසාර්ථක කණ්ඩායම් තේරූ ඒ ඒ රටවල ක්‍රිකට් තේරීම් කමිටුවල පවා රෙදි ගැලවෙන තරගාවලියකි.

එහෙත් මෙවර තරගාවලියේ එවැනි අලුත් වීරයන් බිහි වූයේ නම් ඒ අතළොස්සකි. නවසීලන්තයට ක්‍රීඩා කරන ඉන්දීය සම්භවයක් සහිත රචින් රවීන්ද්‍ර එවැනි තරුවකි. තරග 10කට ක්‍රීඩා කළ මේ වමත් ආරම්භක පිතිකරුවා ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 578ක් රැස් කරමින් සිය කණ්ඩායම අවසන් පූර්ව වටයට සේන්දු කිරීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේ මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභීන් අතර සිවුවැනි ස්ථානයත් අත් කර ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉවතට විසි වූව ද 23 හැවිරිදි වමත් වේග පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුසංඛ ද එසේ බිහි වූ තරුවකි. තරග 9කට ක්‍රීඩා කළ මේ යොවුන් වේග පන්දු යවන්නා තරගාවලිය පුරා කඩුලු 21ක් දවාලමින් වැඩිම කඩුලුලාභීන් අතර තුන්වැනි ස්ථානය අත්කර ගත්තේය.

ලෝක කුසලානයේ නැඟී එන තරු සහ බැසී යන තරු ගැන කතාව ඉතා ඛේදජනකය. මෙවර තරගාවලිය නියෝජනය කළ රටවල් 10ක ක්‍රීඩකයන් අතුරින් තවත් වසර 4කින් කතා කිරීමට ඉතිරි වන්නේ අතළොස්සක් පමණි. වසර 2027දී දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව කේන්ද්‍ර කරමින් පැවැත්වීමට නියමිත 14 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකරන බොහෝ ක්‍රීඩකයන් මෙවර තරගාවලියේදී දස්කම් දැක්වූවෝ වෙති. ලෝක කුසලානය අහිමි වුව ද මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා 35 හැවිරිදි විරාට් කෝලිය. එම ලැයිස්තුවේ දෙවැන්නා ඉන්දීය පිලේ නායක 36 හැවිරිදි රෝහිත් ෂර්මාය. මේ දෙදෙනාටම මීළඟ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිතය. ඔස්ට්‍රේලියානු පිලේ වැඩිම ලකුණු ලාභියා වූ 37 හැවිරිදි ඩේවිඩ් වෝනර් පමණක් නොව මූලික වටයේ තීරණාත්මක තරගයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළ 35 හැවිරිදි ග්ලෙන් මැක්ස්වෙල් ද මීළඟ ලෝක කුසලානයට ක්‍රීඩා නොකරනු ඇත. එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ 36 හැවිරිදි ඩේවිඩ් මාලන් ද, බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ 37 හැවිරිදි මහ්මුදුල්ලා ද ඒ ඉරණමට ගොදුරු වනු ඇත.

ඒ අතුරින් අවාසනාවන්තම ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ විරාට් කෝලි සහ රෝහිත් ෂර්මාය. මේ දෙදෙනාම මෙවර ලෝක කුසලානයේ ජය පැන් බීමට බලා සිටි ක්‍රීඩකයෝ වෙති. ඇරත් මූලික වටය සහ අවසන් පූර්ව වටය අතරතුර තරග 10ක් අඛණ්ඩව ජයගෙන අවසන් මහා තරගයට පැමිණීමෙන් පසු ඒ බලාපොරොත්තුව අහස උසට විහිදෙන්නට ඇත. එරට කෝටි 142ක ජනතාවගේ අපේක්ෂාවන් ඊටත් වඩා ඉහළ යන්නට ඇත. ඉන්දීය භූමියේදී සිය ක්‍රීඩාලෝලීන්ගේ නොමඳ ජයඝෝෂා මැද කුසලානය කරා ගිය ජයග්‍රාහී ගමන බැලූ විට එවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් තවත් කණ්ඩායමක් ඉතිහාසයේ නැති තරම්ය.

අදහාගත නොහැකි ඉන්දීය පිලේ පරාජය ගැන එරට ක්‍රීඩාලෝලීන් තවමත් කතා කරන්නේ එබැවිනි. අවසන් මහා තරගය දක්වා අපරාජිත ගමනක් පැමිණි රෝහිත් ෂර්මාගේ ඉන්දීය පිල ඔස්ට්‍රේලියාවේ කැන්ගරුවන් හමුවේ දණ ගැසූ අයුරු ඔවුන්ට තවමත් විමතිය දනවන්නකි. පසුගියදා එරට මාධ්‍යවල ඉන්දීය පිලේ පරාජය ගැන පශ්චාත් වාර්තා සිය ගණන් වාර්තා පළ විය. සැබෑව නම් සිය දඟ පන්දු යවන්නන්ට වාසිදායක අයුරින් සකස් කළ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ තණ තීරුවේ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් විශ්මයජනක දස්කම් ඉන්දියාවේ පරාජයට බලපෑ විශාලතම සාධකය වීමය. එය වචනයේ පරිසමාප්තයෙන්ම ඕනෑම ප්‍රධාන තරගාවලියක් ජයගැනීමට හේතු වන ‘ඔස්ට්‍රේලියානුවාදය‘ කදිමට විදහා දැක්වූ තරගයකි.

ඉන්දීය පිලට පරාජයේ සෙවණැල්ල වැටෙන්නට පටන් ගත්තේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ලබා නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කිරීමත් සමඟය. එය කමින්ස් මහත් නොඉවසිල්ලෙන් බලා සිටි කාසියේ වාසියක් බව පසුව ඔහුම කීවේය. සැබෑව නම් ඔස්ට්‍රේලියානුවන් සිය ‘ගෙදර වැඩ‘ වේලාසනින්ම අවසන් කර තිබීමය. ඉන්දීය ක්‍රීඩකයන්ගේ පැටිකිරියට වඩා ඉන්දියාවේ තණතීරු සකස් වන ආකාරය ගැන ඔස්ට්‍රේලියානුවෝ හොඳින්ම දැන සිටියහ. මේ ආසියාතික උපමහාද්වීපික රටවල් සිය දඟපන්දු යවන්නන්ට වාසිදායක ලෙස තණතීරු සකස් කරන බව ඉතිහාසය පුරා සඳහන් වී තිබුණත්, මෙවර තරගාවලියේදී දඟ පන්දුවෙන් නොම්මර එකේ වැඩකාරයා වූයේ ඔස්ට්‍රේලියාවේ දඟ පන්දු තුරුම්පුව වූ ඇඩම් සම්පා ය. හෙතෙම තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලුලාභියා ලෙස කඩුලු 23කට හිමිකම් කීවේය.

ඉන්දියාවට වාසිදායක ලෙස තණ තීරු සකස් කිරීමේ ආන්දෝලනාත්මක කතාව කරළියට එක් වූයේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භයත් සමඟ ය. මේ බෝම්බය පළමුව පුපුරා යවනු ලැබුවේ එංගලන්තයේ ‘ඩේලි මේල්‘ පුවත්පතය. ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් නවසීලන්ත පිල පරාජය කිරීමට සිය කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ට වාසිදායක තණ තීරුවක් භාවිත කිරීමට අයිසීසීයේ අවසරයකින් තොරව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇතැයි ‘ඩේලි මේල්‘ පුවත්පත වාර්තා කළේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරදවා ඉන්දීය පිල ජය ගැනීමත් සමඟ ය. තරගය සඳහා නියමිත වූ තණ තීරුව අවසන් මොහොතේදී වෙනස් කිරීම පිළිබඳ දැඩි කතාබහට ලක් විය. වන්කඩේ ක්‍රීඩාංගණයේ එම තරගයට භාවිත කිරීමට නියමිත තිබූ අංක -7 තණතීරුව වෙනුවට මීට පෙර ලෝක කුසලාන තරගාවලියේ මූලික තරග දෙකකට භාවිත කළ අංක -6 තණතීරුව යොදාගත් බවටත් ඩේලි මේල්‘ පුවත්පත හෙළි කර තිබිණි. ඒ අනුව අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ තණ තීරුවත් වෙනස් වීමට ඉඩකඩ ඇතැයි ‘ඩේලි මේල්‘ පුවත්පත කල්තියාම කීවේය.

ඒ වන විට පැට් කමින්ස් ඇතුළු කණ්ඩායමත්, කළමනාකාරිත්වය සහ පුහුණු කාර්ය මණ්ඩලයත් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට උකුසු ඇස යොමු කර අවසන්ය. කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදි දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් පූර්ව තරගය ජය ගැනීමෙන් පසු අහමදාබාද් නුවරට ගිය සැණින් පැට් කමින්ස් ක්‍රීඩාංගණයේ තණ තීරුව පරීක්ෂා කිරීමට ගියේ එබැවිනි. ඔහු එහි ගියා පමණක් නොව අවසන් මොහොතේ තණ තීරුව වෙනස් නොකරන බව සහතික කර ගැනීමට සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප කිහිපයක් ද ගත්තේය.

ඔස්ට්‍රේලියානු පිල මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණියේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම ලෙසිනි. එහෙත් මෙවර ඔවුන්ගේ ජයග්‍රහණයේ වෙනසක් තිබිණි.

පිතිකරුවන් වඩාත්ම ආක්‍රමණශීලී පිති හරඹයක නිරත වීම සහ පන්දු යවන්නන් වේගය අඩාළ කරමින් පන්දු යැවීම වැනි උපායශීලි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පටන් ගත්තේය. එය සිදු වූයේ ඔවුන් පළමු තරග දෙකම පරාජයට පත් වීමෙන් පසුවය. ඉතා සුපරීක්ෂාකාරී ලෙසත්, සැලසුම් සහගත ලෙසත් තරගයෙන් තරගයට අවතීර්ණ වූහ. ඉන්දීය භූමියේ ජයග්‍රහණය අත් කර ගන්නේ නම් එය කළ යුතු වන්නේ හැකියාව මත පමණක් නොව උපායශීලී ක්‍රමවේදය මත බව සියලු ක්‍රීඩකයන්ගේ මනසට කාවැදී තිබිණි. අවසන් තරගයේදී පිටියට රැස්වන දහස් සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන් හමුවේ ඔවුන්ගේ කණ්ඩායම පරාජය කිරීම අති දුෂ්කර බව කමින්ස් ඇතුළු කණ්ඩායම හොඳින්ම දැන සිටියේය. පිටියෙන් පිටතදී පවා ක්‍රීඩා ලෝලීන්ගේ ඇනුම්පදවලට ලක්වීමට සිදුවීම මේ දුෂ්කර බව දෙගුණ තෙගුණ කර තිබිණි.

‘ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන් නිහඬ කරවීම තරම් සතුටක් තවත් නෑ‘

තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී පැට් කමින්ස් එසේ කීවේ එබැවිනි. සැබැවින්ම ඔස්ට්‍රේලියානුවන්ට තරග වැදීමට සිදුවී තිබුණේ ඉන්දීය පිල සමඟ පමණක් නොව එම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් ද සමඟය. අවසානයේදී

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division