වොන්ඩා මන්ත්‍රී දේවි… ඈ මට හමු වූයේ ලලිත් කොතලාවල පිළිබඳ ලියන්නට, කොතලාවල පවුල් ගසේ අතු ඉති පිරික්සද්දී ය. නම ද තරමක් අමුතු ය. ඈ සොයා ගන්නට හිත බල කළේය.
විවාහ වී නැතැයි බොහෝ කට කතා ඇති, 1953 සිට 1956 දක්වා මෙරට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල ගේ එකම මී මිනිබිරිය ඇය වීම, ඊට තවත් හේතුවකි.
අවසානයේ අපි මුණ ගැසුණෙමු. සමේ පැහැය හැරුණු විට ඇගේ පෙනුම බෙහෙවින් ම සමීප බව පෙනුණේ සර් ජෝන් ටය.
හරියටම කීවොත්, සර් ජෝන් කොතලාවල ගේ එකම දියණිය ලක්ෂ්මිණී කොතලාවල ය. ඇයට සිටියේ එකම පුතෙකි. ඒ එකම පුතු වූ ලක්ෂ්මන් සිසිල් කොතලාවල ගේ එකම දියණිය වන්නී, වොන්ඩා මන්ත්‍රී දේවි ය.
ඒ නෑකම්, පුරසාරම් කොතැනකවත් නොදොඩනා හෙයින් වොන්ඩා පිළිබඳ දන්නේ, දන්නා අය පමණකි. ඈ, කොළඹින් ඈත් වී, ඇයටම කියා හදා ගත් ගහ කොළින් පිරුණු ගෙවත්තක් ඇති නිවහනක නිදහසේ දිවි ගෙවන්නීය.
මේ ඈ ජාතික පුවත්පතකට කතා කරන ප්‍රථම අවස්ථාව ය.
මෙතැන් සිට, වොන්ඩාත් සමඟ ඒ පරම්පරා පහ හයක් අතීතයට යමි.
ඒ ඉතිහාසය බොහෝ දිග වුවත්, මේ කතාව ඇරැඹෙන්නේ සර් ජෝන් ගේ සීයා ජරොනිමස් ආරොන් කොතලාවල ගෙනි. ඔහු විවාහ වූයේ, ඒ. ඩී. ඒ. ගුණවර්ධන ලියූ චරිත කතාවට අනුව පිළියන්දල මඩපාත ආටිගල වෙදැදුරුගේ දුවණිය වූ දෝන කර්ලිනා ආටිගල සමඟ ය. ඔවුන්ට පුතුන් 18 දෙනෙකු සහ දියණියන් දෙදෙනකු විය.
මේ දරුවන් විසි දෙනාගෙන් ම වැඩිමලා වූයේ, සර් ජෝන් ගේ තාත්තා වූ, සීනියර් (ෙෂ්ඨ) ජෝන් කොතලාවල ය. ඔහු ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ නිලධාරියකු බවට පත් වන්නේ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයට මහා හිසරදයක්ව පැවති නෙයිනා තම්බිගේ සූදු පොළ වැටලූවාට පසුව ලද උසස්වීමත් සමඟ ය.
සීනියර් ජෝන් කොතලාවල විවාහ වූයේ, මිනිරන් පතල් රජ්ජුරුවෝ ලෙසින් එකල ලංකාවේ ප්‍රකටව සිටි පිළියන්දල මඩපාත දොන් චාල්ස් ජිමෝරිස් ආටිගල මුදලි ගේ වැඩිමල් දියණී, ඇලිස් එලිසබෙත් ආටිගල සමඟ ය.
සීනියර් ජෝන් සහ ඇලිස් යුවළට දරුවන් තිදෙනකු විය. වැඩිමලා ජෝන් ලයනල් ය. දෙවැන්නා, ලලිත් කොතලාවල ගේ පියා වූ ජස්ටින් කොතලාවල ය. බාලයා, මෙරට කීර්තිමත්ම ආර්ථික විද්‍යාඥයා වූ ආචාර්ය ගාමණී කොරයා ගේ මව ෆ්‍රීඩා (කොතලාවල) කොරයා ය.
එහෙත්, තම බිරියගේ පවුලේ මහා ධනස්කන්ධයට හිමිකම් කියූ ඇගේ එකම මල්ලී ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල මරා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට සීනියර් ජෝන් සිරගත වූ අතර, හිරේදී ඔහු දිවි හානි කර ගත්තේ ය.
සීනියර් ජෝන්ගේ මරණයත් සමඟ වඩාත් අසරණ වූයේ, ඒ වන විට ආටිගල පවුලේ සාමාජිකයන් විසින් ද කොන් කර තිබූ ඔහුගේ බිරිය ඇලිස් ආටිගල ඇතුළු දරු තිදෙනා ය. එවිට වැඩිමල් පුතු ජෝන් ලයනල් ගේ වයස 11කි. අනෙක් දෙදෙනා ම ඊට බාල ය.
දුක් අමාරුකම් මැද වුව ඉද, කොළඹ රාජකීය විද්‍යාලයට ගොස් ජෝන් හොඳින් ඉගෙන ගත් අතර, ඔවුන්ට උදව් කළේත් සොයා බැලුවේත් ජෝන් ගේ අම්මා ගේ බාල නැඟණී, එලන් ආටිගල සහ ඇගේ සැමියා වූ, එෆ්. ආර්. සේනානායක බාප්පා ය.
බෙහෙවින් ක්‍රීඩා කළ සහ අශ්වයන් පැදීමේ සුරයකු වූ කඩවසම් තරුණ ජෝන් ගේ හිත යන්නේ, එවකට අට හැවිරිදි වියේ පසු වූ එෆී හෙවත් ඉයුෆීමියා මන්ත්‍රී ඩයස් බණ්ඩාරනායකට ය.
එෆී යනු, ජෝන්ගේ එලන් පුංචි අම්මා විවාහව සිටි එෆ්.ආර්. බාප්පාගේත්, ඩී. එස්. සේනානායක හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ත්, එකම අක්කා වූ මේරි ෆ්‍රාන්සස් සේනානායකගේ සහ ෆෙඩ්රික් හියූ ඩයස් බණ්ඩාරනායක යුවළගේ දරු හතර දෙනාගෙන් වැඩිමල් දියණියයි.
නෑකම නිසා පවුලේ හමුවීම් සහ සාදවල දී ජෝන් සහ එෆී කොතෙකුත් මුණ ගැසිණි. නිදහසේ කතාබහ කරන්නට ඕනෑ තරම් අවස්ථා ද තිබිණි. එවැනි එක් දවසක ජෝන් ඇයට පොරොන්දුවක් දුන්නේ ය.
‘මම ඔයාව බඳිනවාම යි…’ ඔහු ගේ ඒ පොරොන්දුව හදවත ගැඹුරේ ම තැන්පත් කර ගත් එෆී ඔහුට ද අසීමිතව ආදරය කළා ය. එවිට ඈ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ බාලිකාවකි.
ජෝන්, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලින් අශ්වයා පැද යද්දී, එෆී පාසලේ කොට තාප්පය ළඟට දිව යන්නී, අසු පිට යන ජෝන් දැක ගන්නටය. ඔහුට අත වන්නට ය.
වයස අවුරුදු 8ක පුංචි කෙල්ලක ව සර් ජෝන්ට ආදරය කරන්නට පටන් ගත් ඈ, වයස 16 දී ඔහු ගේ මනාලිය වූවා ය.
ඒ ආදර කතාවේ සමහර තැන් වඩාත් හොඳින් දන්නී, වොන්ඩා ය.
” මගේ නෑයන්ගෙන් මම අහලා තියෙන විදියට ඒ දෙන්නා බඳින කොට, සර් ජෝන්ට වයස 28ක් විතර ඇති. එෆීට 16යි. එෆී හරි ආදරෙන් ඉඳලා තියෙනවා. කසාද බැන්දට පස්සේ සර් ජෝන් නිතර නැවෙන් එංගලන්තේ යනවා. එයාට කොහොමත් වෙනම සමාජයක් තිබුණා. සමහර විට එෆී ගේ පුංචි හිතට ඒ දේවල් දරා ගන්න බැරි වුණා වෙන්න ඇති. 1924 ඒ දෙන්නගේ එකම දූ ලක්ෂ්මිණී ඉපදෙනවා. දරුවා ඉපදෙනවාත් එක්කම වගේ විවාහයත් ඉවරයි. එෆී ආපහු එයාගේ මහගෙදර වෙච්ච ගම්පහ අඹගහලන්ද වලව්වට යනවා. ලක්ෂ්මිණී දුව, සර් ජෝන් ගේ අම්මා ඇලිස් ආටිගල සහ නංගී ෆ්‍රීඩා (කොතලාවල) කොරයා එක්ක, කොළඹ හෝර්ටන් පාරේ, ‘හෝර්ටන් ලොජ්’ මහගෙදර හැදෙනවා. ආච්චි, නැන්දා හිටියට, අම්මා තාත්තා ගේ ආදරය නැතුව සමහර විට දරුවෙක් හැටියට ලක්ෂ්මිණීට පාළුවක් දැනෙන්නත් ඇති. එයා උස් මහත් වුණේ ඒ අසීමිත දරා ගැනීම් එක්ක.
ඒත් එයා කෑම හදන්න සහ පියානෝ වාදනයට හරි දක්ෂයි. ඒ නිසාම එයාගේ වෙඩින් කේක් එක වුණෙත් පියානෝවක්. අනික ලක්ෂ්මිණී තරුණ කාලේ හරි ලස්සනයි. ඒ නිසාම එයාව බඳින්න ගොඩක් අය අහලා තියෙනවා.
අන්තිමේ එයා විවාහ වුණේ, අපේ කොතලාවල පරපුරේම බදුල්ලේ සර් හෙන්රි කොතලාවල ගේ පුතා, ජෙරල්ඩ් කොතලාවල එක්ක. එයා ඉඩම් හිමි වැවිලිකරුවෙක්.
ලක්ෂ්මිණී බඳින දවසේ එයාගේ බාප්පා වෙච්ච, ලලිත් කොතලාවල ගේ තාත්තා ජස්ටින් කොතලාවල පෝරුවේ දී අත පැන් වක් කරන වෙලාවේ, පහළ තිබූ පහනකට ගෑවිලා, ලක්ෂ්මිණී ගේ වේල් එක ගිනි ගත්ත ලු. බඳිනකොට දෙන්නගේ ම වයස 19යි. ඒ මඟුල් ගෙදරට ලක්ෂ්මිණී ගේ අම්මා එෆී ආව ද කියන්න මම දන්නේ නැහැ, සර් ජෝන් නම් වෙඩින් ෆොටෝස්වල ඉන්නවා. මොකද ඒ වෙනකොට එෆී එයාගේ අම්මා තාත්තා සහ ග්වැන්ඩලින් ෆ්‍රාන්සස් අනුලා, ග්ලැඩිස් සිටානෝ නංගිලා දෙන්නා සහ ෆෙඩ්රික් විලියම් රාමචන්ද්‍ර එකම මල්ලි එක්ක අඹගහලන්ද වලව්වේ ජීවත් වුණේ. වෙන් වුණාට පස්සේ දරුවා එක්ක වුණත් ඒ තරම් සම්බන්ධතාවක් නොතිබුණා වෙන්න ඇති.
හැබැයි එෆී වයසට යද්දිත් හරි ලස්සනට හිටියා. එයාට නෑ පරපුරේ හැම ළමයෙක්ම කිව්වේ ‘පාට ඇන්ටි’ කියලා. හේතුව, එයා හැන්දෑ වෙද්දි ලස්සන පාට පාට සාරි ඇඳලා, ඒවාටම ගැළපෙන කරාබු මාල දාලා ගෙදරටත් හරි ලස්සනට හිටියා.
සර් ජෝන් සහ එෆී වෙන් වුණාට දික්කසාද වුණේ නැහැ. සර් ජෝන්ගේ හැම උපන් දිනයකටම එෆී ටෙලිෆෝන් කරලා සුබ පැතුවා ලු. සමහර විට ඒ ආදරය මැරෙන කල්ම එෆී ගේ හිතේ තියෙන්න ඇති. මට සර් ජෝන්ව නම් මතක නැහැ. මොකද, එයා නැති වෙන කොට මට අවුරුදු දෙකයි. 1906 උපන් එෆී, මිය ගියේ සර් ජෝන්ටත් පස්සේ, 1985 නොවැම්බරයේ. එෆී ආච්චි නැති වෙනකොට නම් මට වයස හතක් විතර ඇති.
සර් ජෝන්ට ඒ කාලේ එංගලන්තයේ ඇපල් වත්තක් තිබුණා. නිතර එංගලන්තේ ආවා ගියාට එයා මැරෙනකල් ජීවත් වුණේ රත්මලාන කඳවල වත්ත වලව්වේ. ඒ ගෙදර නිතර පාටි තිබුණා. හැමදාම උදේට බිත්තර ආප්ප සහිත ලොකු කෑම මේසයක් තිබුණා. ඒ උදේ කෑමට එයාගේ යාළු මිත්‍රාදීන් නිතර ආවා. ඒ අයගේ ළමයින්ට සෙල්ලම් කරන්න වෙනම බැඩ්මින්ටන් සහ ටෙනිස් කෝට් තිබුණා. අලි ඇත්තු පවා හිටියා.
හුඟක් අය කතා කරන්නේ සර් ජෝන්ගේ එක පැත්තක් විතරයි. නමුත් එයා, බාල්දු වෙවී බලය පස්සේ ගියේ නැහැ. අගමැතිකමේ හිටියා කියලා, පැරදුණාට පස්සේ ආයේ ඡන්දෙ ඉල්ලුවෙත් නැහැ. ජනතාවට එපා නිසානේ පැරදුණේ කියන එක, තේරුම් ගත්තා. ගරුත්වය තියාගෙන, එයාගේ වැඩක් කරගෙන කඳවල වත්තේ ජීවත් වුණා. බලය තියෙන කාලේ හොඳින් වැඩ කළා. ලක්ෂපාන ව්‍යාපෘතිය කරනකොට කම්කරුවෝ එක දිගට මැරෙන්න ගත්තා. හැමදාම බැමි කඩාගෙන ගියා. අන්තිමේ සර් ජෝන් සිරීපාදෙට බාරයක් වුණා. ඒ, පහන් ලක්ෂයකින් සිරිපාදේ මඟ දෙපස ආලෝකවත් කරන්න. ව්‍යාපෘතිය හොඳින් නිම වුණා.
එයා අගමැති කාලේ තමයි, බුරුම නිකාය ගෙනැවිත් කඳුබොඩ විපස්සනා ධර්මාශ්‍රමය පිහිටෙව්වේ.
එයා නැති වුණේ, හාට් ඇටෑක් එකකින්. ඉස්පිරිතාලේ ගෙනියන්න හදන කොට කාර් එක ඉස්සරහ ගහක් කඩා වැටිලා. අලියා ගෙනැත් ගහ ඉවත් කරලා ඉස්පිරිතාලේ ගෙනියලා තියෙන්නේ ඊටත් පැයකට විතර පස්සේ. ඒ යනකොට හොඳටම ප්‍රමාදයි.
අන්තිමේ 1897 අප්‍රේල් 04 වැනි දා උපන් මගේ මී සීයා සර් ජෝන්, 1980 ඔක්තෝබර් 02 වැනි දා කොළඹ මහ රෝහලේ දී මිය ගියා.
ඒ වෙනකොට එයාගේ දුව ලක්ෂ්මිණී ජීවත් වුණේ විජේරාමේ ලොකු ගෙදර. එයා බොහොම මානසික දුක් විඳපු කෙනෙක්. එයා ගෙවපු කම්පන සහගත ළමා කාලය නිසාම දෝ ලොකු වෙනකොටත් එයා හිටියේ තරමක කම්පනයෙන්. ලක්ෂ්මිණී එයාගේ තාත්තට හුඟක් ආදරෙයි. ඒත් එයාට ආ පිට ඒ ආදරය නොලැබෙන කොට ආතතියට පත් වෙන්න ඇති. නමුත් මම මගේ පවුල්වල කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්නේ නැහැ. ඒවාට මුල් වූ හේතු ඒ ඒ අයට පෞද්ගලිකයි. ඒ නිසා, කිසිම දෙයක් හරි හෝ වැරැදියි කියන්න මට අයිතියක් නැහැ.
කොහොම වුණත් මම අහල තියෙන විදියට ලක්ෂ්මිණී ආච්චි ගේ සැමියා, හෙන්රි බීමත්කමට ඇබ්බැහි වුණා. විවාහ වෙද්දී ඒ දෙන්නට ම 19යි. ලක්ෂ්මිණී ආච්චිට මගේ තාත්තාව ලැබෙන්න ඉන්නකොට, දරුවා හැරිලා නැහැ කියලා එයාව බොම්බායේ රෝහලකට යැව්වා. දරුවා ලැබිලා ආච්චි ලංකාවට එනකොට මෙහෙ දික්කසාදය ලෑස්ති කරලා. ලස්සන තරුණ අම්මෙක් තමන්ගේ පුංචි පුතා එක්ක කොළඹ 7 විජේරාම මාවතේ සුවිසල් නිවෙසක තනි වෙනවා. කම්පන සහගත ළමා කාලයක් ගෙවපු ලක්ෂ්මිණී ඊළඟට මුහුණ දෙන්නේ කම්පන සහගත දික්කසාදයකට. ඇගේ ඒ මානසිකත්වය පුංචි දරුවටත් බලපෑවේ නැහැ කියන්න බැහැ. මගේ තාත්තා බොහොම නිශ්ශබ්ද තමන් වෙතටම නැඹුරු වූ කෙනෙක් වුණේ ඒ නිසා වෙන්න ඇති.
මගේ තාත්තා කවදාවත් එයාගේ තාත්තව දැකලා නැහැ. පාරේ දැක්කත් ඇඳුනුවෙත් නැහැ. ඒ හෙන්රි සීයා 1972 දී, එයාට වයස 48ක් වෙද්දී අකාලයේ මිය ගියා. ලක්ෂ්මිණී ආච්චි තාත්තව සෙන්ට් තෝමස් විද්‍යාලයට යැව්වා; හොඳින් ඉගැන්නුවා. තාත්තා ඉගෙනීමට දක්ෂයෙක්.
කොහොම වුණත් ලක්ෂ්මිණී කියන්නේ, අගමැතිවරයකු ගේ දුවෙක් වෙලා සැප සම්පත් මැද්දේ හුදකලා වූ දරුවෙක්. ඒ හුදෙකලාව එයාගේ දරුවා ලක්ෂ්මන්ටත් ඒ විදියටම විඳින්න සිද්ධ වුණා. ඉතින් තාත්තා ගේ ලෝකය වුණේ පොත්පත්. එයා ස්වයං අධ්‍යයනයේ යෙදිලා, රසායන විද්‍යාව බොහෝ දුරට ඉගෙන ගත්තා. ඊළඟට වයස අවුරුදු 12 වෙද්දී උසස් පෙළ ශිෂ්‍යයන්ට රසායන විද්‍යාව ඉගැන්වුවා. අවුරුදු අටේ පටන් ජ්‍යොතිෂ්‍ය හැදෑරුවා. ගේ ඇතුළේ එයාටම ලැබ් එකක් තිබුණා. විශාල පොත් එකතුවක් තිබුණා. එයාගේ අම්මගේ නිහඬතාව තුළ එයා ජීවිතේ හදා ගත්තේ පොත් සහ ලැබ් එකත් එක්ක කාලය ගත කරලා. එයා Self Taught Man කෙනෙක්. කවදාවත් තමන්ගේ සීයා අගමැති වුණා කියලා විශේෂ සැප සම්පත් ලැබුණේ නැහැ. කිසිම දෙයක් ඉල්ලුවෙත් නැහැ. එයාට අවුරුද්දටම තිබුණේ යුනිෆෝම් තුනයි. එයාව පිටරට විශ්වවිද්‍යාලයකට යවලා උගන්වන්න කවුරුත් ඉදිරිපත් වුණෙත් නැහැ.
පුළුවන් විදියට ඉගෙන ගෙන එයාම ඔඩිට් ෆර්ම් එකක රස්සාව හොයා ගත්තා.
එයාට මගේ අම්මව මුණ ගැහුණේ ඔඩිටින්වලට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගිය වෙලාවක. මගේ අම්මා, තාත්තට වඩා අවුරුදු අටක් වැඩිමල්. තාත්තට අවශ්‍ය වුණේ අම්මෙක් වගේ බිරියක් වෙන්න ඇති. 1977 ඒ දෙන්නා විවාහ වුණා. 1978 මම ඉපදුණා. ඇත්තටම ඒ දෙන්නා අවුරුදු 11ක් හුඟක් ආදරෙන් ජීවත් වුණා.
ඒත් නොහිතපු වෙලාවක මගේ අම්මට කැන්සර් එකක් හැදුණා. තාත්තයි අම්මයි යාළුවෝ වගේ ඉඳලා එහෙම වුණාම තාත්තට දරා ගන්න බැරි වුණා. අම්මා පිළිකාවට බෙහෙත් ගන්න ගමන් උපාධියකුත් කළා. සෑහෙන මහන්සි වෙලා නිබන්ධනයකුත් කළා. ඒ සඳහා රිසර්ච් එක කරද්දී, ඒ ගමන්වලට මාවයි ආච්චිවයිත් ඇදගෙන ගියා. එයා ලෙඩේ එක්ක ලතැවුණේ නැහැ. ප්‍රශ්නවලට මුහුණ දුන්නා.
අම්මා මිය ගිය දවසේ මං හිටියේ ඉස්කෝලේ. ඒ,1988 පෙබරවාරියේ දවසක්. අම්මා නැති වුණා කියලා දැන ගත්තම අවුරුදු 10ක මට හිතුණේ ‘අනේ අම්මා දුකෙන් නිදහස් වුණා…’ කියලා. මොකද අම්මා දුක් විඳින හැටි මම දැකපු නිසා.
ඒත් අම්මා නැති වෙලා අවුරුදු තුනකින්, 1991 මැයි 13 වැනිදා බලංගොඩ අපේ වත්තට යන දවසේ, සපත්තු පාලමකින් එගොඩ වෙද්දී මහා ජල කඳකට ගහගෙන ගිහින් තාත්තත් නැති වුණා. තාත්තා කොළඹින් පිටත් වුණේ හවස හතරට විතර. එදා මහ වැහි දවසක්. ඒ හරියට ගිහින් තිබුණේ රෑ නමයට විතර. ඒ සමනල වැව ප්‍රොජෙක්ට් එක කරන කාලේ. පළාතම යට වෙන්න වතුර තිබිලා තාත්තට පාලම පෙනිලා නැහැ. තාත්තව වාහනෙත් එක්කම ගහගෙන ගිහින්. දවස් දෙකක් ගියා හොයා ගන්න. එතකොට තාත්තට වයස 39යි. තාත්තා ගංවතුරේ ගහගෙන ගිහින් කියලා ඇහුවම මම හොඳටම ඇඬුවා. මොකද, තාත්තයි මායි හිටියේ යාළුවෝ වගේ. මට වයස 11දී අම්මා නැති වුණා. 13 වෙද්දී තාත්තත් නැති වුණා.
ලංකාවට කම්පියුටර් ආපු මුල් කාලේ, තාත්තා කම්පියුටරේ තනියම අධ්‍යයනය කළා. තනිවම ප්‍රෝග්‍රෑම් හැදුවා. ජ්‍යොතිෂ්‍ය ගැන, පරිගණක ගැන, රසායන විද්‍යාව ගැන, ඕනෙ තරම් මාතෘකා තිබුණා, තාත්තටයි මටයි කතා කරන්න. පොඩි වුණත් මමත් ඒ විෂයයන් ගැන තාත්තගෙන් දැනගෙන, පණ්ඩිත වෙලා හිටියේ.
හැබැයි, මං ඉපදිලා මාස ගාණේ ඉඳන් අවුරුදු පහක් වෙනකල් හැදුණේ අම්මගේ අම්මා, හැරියට් සුගුණවතී අමරසිංහ ආච්චිත් එක්ක. ඒ මීරිගම, හකුරු කුඹුර ගමේ. අම්මයි තාත්තයි රස්සාව කරන නිසා මාව එහේ නැවැත්තුවා. අවුරුදු පහේදී ඉස්කෝලේ යන්න මං ඒ දෙන්න හිටපු බොරැල්ලේ ගෙදරට ආවා.
ඔය කාලේ බොරැල්ලේ, ‘කුකී මේට්’ එකෙන් කුකීස් අරගෙන ලක්ෂ්මිණී ආච්චි එනවා මාව බලන්න. එයා ගේන කුකීස් හරි රහයි. එයා හිටියේ විජේරාමේ ලොකු ගෙදර තනියම.
1989 අවුරුද්දේ ජේවීපී කලබල කාලේ එක රෑක ලක්ෂ්මිණී ආච්චිගේ රත්තරන් බඩු සියල්ල සොරාගෙන, ඔළුවට ලොකු ගලකින් ගහලා කවුදෝ කෙනෙක් එයාව මරා දමා තිබුණා. සිදුවීම වෙලා තිබෙන්නේ රෑ. ගෙදර වැඩ කරන කෙනා තාත්තට පණිවිඩය ගෙනාවේ උදේ. එතකල් මුළු රැයක් හිසෙන් ලේ ගිහින් තිබුණා.
පව්! මට එයා ගැන හරිම දුකයි. සතුටුදායක ළමා කාලයක්වත්, ලස්සන තරුණ කාලයක්වත් නැතිව, අන්තිමේ සාහසික මනුස්සයකුගේ ගල් පහරකින් සර් ජෝන් ගේ එකම දුව ඒ විදියට දුක් විඳලා මැරිලා ගියා.
මගේ අම්මයි තාත්තයිත් මිය ගියාම, මට ඉතුරු වුණේ පුංචි කාලේ ඉඳලා මාව හදපු ගමේ ආච්චි විතරයි. මං ආච්චි එක්ක ආයෙත් ජීවිතේට මුහුණ දෙන්න ගත්තා. තනියම තීන්දු තීරණ ගන්න පුරුදු වුණා. මට හයිය දුන්නේ ආච්චි.
ඒ වෙනකොට මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙන ගනිමින් හිටියේ. මම උසස් පෙළට කලා විෂයන් තෝර ගත්තා. ඊට පස්සේ මොඩ්ලින් කළා. නීතිය හදාරන්න එංගලන්තේ ලිවර් පුල් විශ්වවිද්‍යාලයට ගියා. මේ හැම තීරණයක්ම ගත්තේ තනි කැමැත්තට.
ආච්චි නැති වුණාම මට මහා හුදෙකලාවක් දැනුණා. එයාට ඕනෙ වුණා මාව බන්දන්න. මමයි, පස්ස ගගහා හිටියේ.
මමත් මගේ සීයා සර් ජෝන් වගේ කිසි දේකට බය නැහැ. සෘජු තීරණ ගන්නවා. “ළමයි වුණාම නෑයො අඳුනගන්න ඕනේ…”
මේ අපේ ආච්චි නිතර මට කියපු දෙයක්. ආච්චි නිසා මම සියලුම නෑදෑයින් ගේ ගෙවල්වල ආවා ගියා. මට බණ්ඩාරනායක, ඩී එස් සේනානායක සහ කොතලාවල පරම්පරා තුනටම නෑ සම්බන්ධකම් තිබෙනවා. පරම්පරාව කොච්චර විශාල වුණත් බොහෝ නෑයින්ව මම අඳුරනවා. ඒ නිසා මේ අතීත සිදුවීම් කිසිම දෙයකින් මගේ නෑයින්ට සිත් රිදවීමක් වත් වනවාට මම කැමැති නැහැ…”
කෙසේ වෙතත්, සර් ජෝන් තම බූදලය සහ දේපල පැවරුවේ ඔහුට කැමති විදියට ය. ඒ අනුව ලක්ෂ්මිණීට සිදු වූයේ තාත්තා දුන් දෙයක් ගන්නට ය. ලක්ෂ්මන්ට ලැබුණේ ඒ අම්මා දුන් දෙයකි. පරම්පරාවේ උරුමය කියා ඔවුන්ට තිබෙන වටිනාම ඉඩම ඇත්තේ පිළියන්දල මඩපාත ය. එහෙත් ඒ කොතලාවල සොහොන් කොත් සහිත උරුමය ගන්නට අද වොන්ඩා ට නඩු කියන්නට සිදුව තිබේ.
දෛවය හරි පුදුම සහගත ය. අවසානයේ සර් ජෝන්ට ආදරය කළ එෆී තනි වූවා ය. සර් ජෝන් ගේ දියණිය ලක්ෂ්මිණී, අම්මා තාත්තාගේ සහ සැමියාගේ ද ආදරය නොලබා තනි වූවා ය.
ධනවත් පවුලක ඉපදුණත් ලක්ෂ්මිණී ගේ එකම පුතුටත් පිය සෙනෙහස ලැබුණේ නැත. එනිසා ම අසාමාන්‍ය හැකියා තිබුණත් ඔහුට බැබලුණු ජීවිතයක් ලැබුණේ ද නැත.
වොන්ඩා මේ සියල්ල දකින්නේ උපේක්ෂාවෙනි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර, ඡායාරූප - චින්තක කුමාරසිංහ