දින හතක් නෙවෙයි. රූපවාහිනී නාළිකාවක පැය 3ක විවාදයකට එන්න – ඇමැති ආචාර්ය බන්දුල
ආර්ථික විද්‍යාව ගැන දින හතක විවාදයකට මම ලෑස්තියි – විපක්ෂ නායක සජිත්
රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා ය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 /31 යටතේ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ වැදගත් නිර්දේශ කිහිපයක් පිළිබඳ ප්‍රවාහන, මහා මාර්ග සහ ජනමාධ්‍ය ඇමැතිවරයා වන ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමැතිවරයා සමඟ උණුසුම් සංවාදයක පැටලිණි. එහිදී දෙදෙනා අතර ඇතිවු සංවාදය මෙසේය.
ඇමැති බන්දුල ගුණවර්ධන:
දවස් හතක් ඕන නැහැ. පැය තුනක් විවාදයකට එන්න කියලා මම ආරාධනය කරනවා. රූපවාහිනී නාළිකාවක එක පැය
තුනක විවාදයකට එන්න. දින හතක් ඉල්ලුවානේ. ඕන නැහැ. එන්න පැය තුනක්. රාජ්‍ය මූල්‍ය ගැන විතරක් එන්න.
මම මගේ මවු දස මසක් කුසේ තියාගෙන කිරි දීලා හදපු මගේ අම්මගේ භාෂාවෙන්, සිංහල භාෂාවෙන් ඕනෑම වෙලාවක තමුන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම්. විපක්ෂය විසින් දිගින් දිගටම මේ ගැන විරුද්ධව කතා කරන්නේ. එතකොට එතුමන්ලා යම්කිසි දවසක ආණ්ඩුවක් ගත්තොත් අපි හිතමු රටේ අවාසනාවට එවැනි දෙයක් වුණොත්; ඒ කියන්නේ මේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් වෙනස් වුණොත් මුළු රටම කඩා වැටෙනවා. ඒක නිසා අපි විවාදයක් ඇති කරගන්න ඕන; මේකට එකඟ ද නැද්ද කියලා. මේ වාර්තාවට විවාදයක් ඇති කර ගත යුතුයි. කථානායකතුමා එකඟ නම් දවස් තුනක විවාදයක් දෙන්න. අපි යෝජනා කරනවා මේ පිළිබඳ එකඟ ද නැද්ද කියලා විවාදයක් දෙන්න කියලා. ඒක පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව තියෙන වගකීමක්.
එතුමාගේ ප්‍රකාශයෙන් එතුමාගේ ස්වභාවය පිළිබඳ, රටක් භාර ගන්න ඉන්න රාජ්‍ය නායකයෙක්ගේ ප්‍රමාණය පිළිබඳ, මේ රටේ ප්රබුද්ධ ජනතාවට නිගමනයකට එන්නට පුඵවන්. අපිට බොහොම පොඩි දෙයක් පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා. කථානායකතුමනි, ඒ අනුව මේ ආදායම් අඩු වීම එක් දවසකින් සිදු වූ දෙයක් නොවෙන බව මම පැහැදිලිවම ගරු සභාවට කිව්වා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්පූර්ණයෙන් නොසලකා හැරලා ඒක ක්‍රියාත්මක නොකිරීම තුළයි මේ රට බංකොලොත් වුණේ.
මෙය සංඛ්‍යා දත්ත අනුව ඔප්පු කරන්න පුළුවන්. රටේ ආර්ථිකය කඩා වැටුණේ එක දවසක බදු ඉවත් කිරීම නිසා නොවෙයි. එතුමා රජයේ වගකිවයුතු ඇමැතිවරයෙක් ලෙස කැබිනට් එකේ වාඩි වෙලා ඉන්දැද්දි ඒ අවුරුදු 5 තුළම මේ ආර්ථිකය කඩා වැටීම පිළිබඳව මම ඉලක්කම් සහිතව පොතක් ලියලා තියෙනවා ආර්ථික ආසානාසිය නමින්. ආසානාසිය කියන්නේ සම්පූර්ණයෙන්ම කුජිත වෙච්ච එක ගැන තමයි ලියලා තියෙන්නේ.
ඒක නිසා ඉලක්කම් එක්ක බලන්න. ශ්‍රේෂ්ඨාධිකරණය මේ අවස්ථාවේ ඉදිරිපත් කරලා තියෙන කරුණු අනුව තමයි තීන්දුව දීලා තියෙන්නේ. අපි එයට ගරු කරනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ පිළිබඳ නොදැනුවත්ව, ඒ පිළිබඳ න්‍යායාත්මක තත්ත්වය පිළිබඳ අබමල් රේණුවකවත් අවබෝධයක් නැතුව, ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විතරක් මිලියන 12ක් නිකුත් කරන්න අත උස්සලා කියලා. ඒ අත උස්සපු සෛවරි බැඳුම්කර 1919 නිකුත් කරලා තියෙන්නේ; 1929 දී ගෙවන්න තියෙන්නේ. ඒ සියල්ලට අත උස්සපු කෙනා තමයි අද කියන්නේ සියලුම දෙනා වැරැදියි එයා නිවැරදියි කියලා. ඉතින් ආර්ථික විද්‍යාව ගැන අකුරක්වත් දන්නවා ද?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස:
කෝටිපතියන්ට බිලියන 600 පොදු සහන ලබා දෙන්න අත උස්සලා දැන් එනවා ආර්ථික විද්‍යාව උගන්වන්න. මම ලෑස්ති ඔබතුමා එක්ක දින
හතක වාද කරන්න ආර්ථික විද්‍යාව ගැන. ඔයානේ මහ මොළකාරයා. අපි සූදානම්. සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකින්ම ලැස්තියි. ඕන නම් ද්‍රවිඩ භාෂාවෙනුත් ලෑස්තියි.
කථානායකතුමනි, 1919 ඉඳලා 1929 වන කල් මම ඉපදිලත් නැහැ. මොනවද මේ කියන්නේ. මෙතුමාගේ පොතට අනුව තමයි සෞභාග්‍යයේ ඉදිරි දැක්ම කරලා තියෙන්නේ. දැන් කොර ගත්තනේ, රටත් ඉවරයිනේ. රටත් බංකොලොත්නෙ.
අපි සම්පූර්ණ උත්තරය දෙන්නම්. කථානායකතුමත් එකඟ වුණානේ; දවස් තුනක විවාදයට. දවස් තුනක නෙවෙයි ඕන නම් සතියක විවාදයක් දෙන්න. ඒතරම් ම වැදගත්. මම පැහැදිලිව ම ඔබතුමාට කියන්නට ඕන; ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ (මේක පටලවා ගන්න එපා) අහගෙන ඉන්නකො තුන්දෙනකු ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් පෙත්සමකට. විශේෂයෙන්ම හතරෙන් එකේ තීන්දුවක් දුන්නා ඒ අයගේ මූලික අයිතිවාසිකම් කඩ වුණයි කියලා. වැරදි ආර්ථික කළමනාකරණය තුළින් රට බංකොලොත් වීම ගැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නේ. නැතුව මේ අද දවසේ වැඩපිළිවෙළ හෝ ඉදිරියේදී ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ගැන නොවෙයි.
මෙතුමන්ලා ඔක්කොම අත් උස්සලා මේ රටේ පෝසතුන්ට බිලියන 600ක් 700ක් අතර බදු සහන ලබාදීලා, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට සියයට 8 අඩු කරලා. ශ්‍රේණිගත කිරීම්වලින් අපේ රට පහත දමන විට බොරුවට කෑගැහුවා ශ්‍රේණිගත කිරිම් පහළට ගියාට කමක් නැහැ කියලා. ඒක දේශාභිමානය කිව්වා. මම අහන්නේ ගරු කථානායක තුමනි, දෙන්න දින හතක විවාදයක්. දින හතක විවාදයක් අවශ්‍යයි. මම කියන්න කැමැතියි, මෙතුමලා මේ රටේ රාජ්‍ය ආදායම සියයට 12 සිට 8 දක්වා අඩු කරන්නට, කෝටිපතියන්ට බදු සහන ලබා දෙන්නට අත් උස්සපු ආර්ථික විශේෂඥයෝ.