– මම දැකපු පිරිමි අයගෙන් ලස්සනම කෙනා තමා මගේ තාත්තා
– පවුලේ ඔක්කොම එකතු කරගෙන ප්‍රසංගයක් කරන්නයි බලාපොරොත්තුව
ප්‍රසංග වේදිකාව පමණක් නොව සියලුම විද්‍යුත් මාධ්‍යයන් තුළින් ඒ ගී හඬ නොඇසූ කෙනෙක් නැති තරම්ය. ආකර්ෂණීය ගී හඬ හිමි ඇය සංගීත පරපුරකට නෑකම් කියන තෙවැනි පරම්පරාවේ ජනප්‍රිය ගායන ශිල්පීනියකි. එකිනෙකට බැඳී ඇති දම්වැලක පුරුක් ලෙස සංගීත ලොව දැවැන්ත පවුල් රැසකටම ඇය නෑකම් කියන්නීය. මෙවර අපේ කතා බහ ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පිනි සුප්‍රියා අබේසේකර සමඟයි.
සුප්‍රියා ඔබ පරම්පරාවෙන්මද ගායනයට එන්නේ?
මම තුන්වැනි පරම්පරාවේ ගායන ශිල්පිනියක් ලෙස තමා ක්ෂේත්රයට එන්නේ. මගේ ආච්චි වසන්තා සන්දනායක. ඊට පස්සේ මගේ අම්මා, තාත්තා. දයා හේමන්තා අබේසේකර, ශාන්ති අබේසේකර යන ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී හා චිත්‍රපට පසුබිම් ගායිකා. මගේ තාත්තා නර්තන හා රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් හා නිෂ්පාදකවරයෙක්. මම දැකපු පිරිමි අයගෙන් ලස්සනම කෙනා තමා මගේ තාත්තා. එයාගේ ලස්සන කොහොමද කියනවනම් හරියටම ඉන්දියාවේ නළුවෙක් වගේ. තුන්වෙනි පරම්පරාවේ තමා මම.
ඔබේ ගායන දිවියේ ආරම්භය ගැන මතක් කළොත්?
1980 විතර තමා මගේ මේ ගමනේ ආරම්භය සිදු වුණේ. ගුවන්විදුලියේ ළමා පිටිය වැඩසටහනෙන්. මගේ ආච්චි, ලොකු මාමා, ලොකු අම්මා, අම්මා, තාත්තා යන මේ අයගේ ජාතික ගුවන්විදුලියේ තිබුණු විවිධ සංගීත හා ගායන වැඩසටහන්වලට මම අත්වැල් ගායනයෙන් එක්වුණා. මගේ ආච්චි ප්‍රවීණ ගායිකා (වසන්තා සන්දනායක) ගී ප්‍රසංගයක් ඇයට උපහාර ලෙස මම මුල් වෙලා පැවැත්තුව. එදා එයට ප්‍රධාන ආරධිතයා ලෙස ආවේ ආචාර්ය අමරදේව මාස්ටර්, එතුමා එතැනදි කිව්වා මගේ ආච්චි තමා ඔහුව ගායන ක්ෂේත්රයට ගෙනාවේ කියලා. ඒක විශේෂ සිදුවීමක්. ඒ ප්‍රසංගයේ මම ගීත ගායනා කළා. එදායින් පස්සෙ තමා විවිධ මාධ්‍ය වැඩසටහන්වලට ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයත් දිගටම කරගෙන යන්න වැඩි ඉල්ලුමක් ලැබුණේ. අදටත් මම ක්ෂේත්රයේ රැඳී ඉන්නවා.
ඔබ වේග රිද්ම ගී ගයන ප්‍රසංග වේදිකා ගායන ශිල්පිනියක් ලෙසින් නේද වඩා ජනප්‍රිය?
ඇත්තටම මම ගායනයට ආවේ ගුවන් විදුලියෙන් අපේ පරම්පරාවේ ආභාසයත් එක්ක එහි වැඩසටහන්වලට දායක වෙමින් ඊට පස්සේ මට ප්‍රසංග වේදිකාවෙන් තමා වැඩි ඉඩ කඩක් ලැබුණේ.
අපි දැකලා තියෙන්නේ ඔබ වඩාත්ම ජනප්‍රිය ඔබේම නොවන ගීතවලින් කියලා?
මගේම ගීත හැත්තෑ පහක් විතර තියෙනවා. ඒත් ප්‍රසංග වේදිකාවේදී මගෙන් ඉල්ලන්නේ මගේ ආච්චිගේ හා අම්මාගේ, ලොකු අම්මගේ ගීත. උදාහරණ ලෙස කීව්වොත්, දොළ ළඟ ගුරු පාර දිගේ ඒවි, රඟන රැගුම් ගයන ගැයුම්, සරිගම ප ප ප, මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා, මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා, හතර වටින් කළු කරගෙන වහින වෙලාවේ, ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා, බොලං පොඩි නන්ගි ටිකක් හිටපන්, අද හවසට මා හමුවනු මැනවි, නෙත් වසා සවනින්, මන්දාරමේ….(මගේම ගීතයක්) වගේ ගීත කිහිපයක්ම ඒවා අතර තියෙනවා. ඔවුන් ඉල්ලන්නෙත් ඒ ගීත. එනිසා මට ප්‍රසංග වේදිකාවේ දී ඒ ගීත ගායනා කරන්නම සිදු වෙලා තියෙනවා. ඒක තමා ඇත්තම තත්ත්වේ.
සුප්‍රියා හැමදාමත් එකම විදිහට ලස්සනයි. වෙනස් නොවන අයුරින් එහෙම ලස්සනට සිටීමේ රහස මොකක්ද?
අපේ අම්මයි තාත්තයි හරි ලස්සනයි. තාත්තා ඉන්දීය ආභාසය සහිත කෙනෙක්. ඒ ආභාසය තමා මටත් ඇවිත් තියෙන්නේ. මම කවදාවත් කිසිවෙකුට කැපිලි කෙටිලි කරන කෙනෙක් නෙමෙයි. මම විශ්වාස කරනවා ඒක තමා හැමදාමත් එකම විදිහට ඉන්න එකේ රහස කියලා.
එදා සහ අද ගායන කලාව පිළිබඳ ඔබේ අදහස කිව්වොත්?
අද තාක්ෂණය පැත්ත ගොඩක් දියුණු වෙලා. ඒක තමා මම දකින ලොකුම වෙනස. ඊළඟට සංගීතවේදියා, පද රචකයා, ගායකයා තුන් දෙනාම එකට එකතු වෙලා තමා එදා මහන්සි වෙලා ගීතයක් හැදුවේ. අද ඒක වෙන වෙනම සිදු වෙනවා. එදා චිත්‍රපට ගීතයක වුණත් එයට පසුතල සෙවීම ආදියට පවා ඔක්කොමලා එකට එකතු වුණා. මට මතකයි මගේ තාත්තගෙ චිත්‍රපටයකටත් එහෙම හැමදෙනාම එකතු වෙලා තමයි වැඩේ සාර්ථකව අවසන් කළේ. තව දෙයක් එදා ජාතික ගුවන් විදුලිය විතරයි තිබුණේ. ඒවා තමයි අදටත් මිනිස්සුන්ගේ මතකයේ රැඳිලා තියෙන්නේ.
අද රූපවාහිනී ගායන රියැලිටි වැඩසටහන්වල නවක ගායික ගායිකාවන් දක්ෂයින් ලෙස ක්ෂේත්රයට එනවා. ඔවුන් මුලින්ම ඒ වැඩසටහන්වලදි කියන්නේ මං අර මුලින් කිව්ව අපේ කනට ඇහුණ ගීත. පස්සේ ඔවුන් වේදිකාවට ගොඩවෙලා දිගටම කියන්නෙත් ඒ ශිල්පීන්ගේ ගීත. අද ප්‍රවීණ ගායිකාවන්ගේ ගීත පිරිමි අය කියනවා. මං ඒ දෙකම අනුමත කරන්නේ නෑ.
ඔබ විවාහකයි. සැමියා ගැනත් විස්තර කියමු නේද?
ඔහු කලාවට ගොඩක් කැමතියි. මගේ වැඩකටයුතුවලට සහ මට නිරන්තරයෙන් අතහිත උදවු උපකාර ලබාදෙන අයෙක්. අපේ පවුලේ ප්‍රසංගවලට මෙන්ම විවිධ වැඩසටහන්වලටත් ගීත ගායනයෙන් ඔහු දායක වෙලා තියෙනවා.
අවසාන වශයෙන් සුප්‍රියාට කියන්න තියෙන්නේ මොනවද?
මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ පවුලේ උදවියත් පවුලට එකතු වුණ අයවත් සම්බන්ධ කරගෙන ප්‍රසංගයක් කරන්න. ඒ ඔක්කෝම එකතු කරගන්න එක අමාරු කාර්යයක්. ඉදිරියේදී ඒ ප්‍රසංගය කරන්න මම බලාපොරොත්තු වෙනවා.
හේමන්ත බණ්ඩාර