Home » ගොවිපොළට එන හොරු අල්ලන්න මහසෝන් දේවතා නැකතින් සිටවූ පඹරාළ

ගොවිපොළට එන හොරු අල්ලන්න මහසෝන් දේවතා නැකතින් සිටවූ පඹරාළ

by thanushika
December 2, 2023 12:30 am 0 comment

අද කතාබහ හරි සුන්දරය. ගුරුළු බණ්ඩාර දෙවියන් ගැන මාටින් ගුරුන්නාන්සේ කී කතාව සාමාන්‍ය විෂය නොදන්නා කෙනෙක් නම් නොපිළිගන්නවා ඇත. “මහත්තයා මේවා අද්භූතජනකයි. ඒවා කතා කරන්න ඕන කතා කළ යුතු කෙනෙක් සමඟ විතරමයි. එහෙම නොවුණොත් ඒ දෙගොල්ලන්ටම නරකට බලපාන්න පුළුවන්” අද ඉගැන්වීම වෙනුවට සතුටු සාමිචියේ කතාබහක් සිදුවන බව මට පෙනේ. ඉඳින් මම ඔහුට රුකුල් දෙමින් තව පැනයක් නැඟුවෙමි.

“ගුරුන්නාන්සේට තව අත්දැකීමක් කියන්න පුළුවන්ද?” මම දන්න ඉස්කෝලේ මහත්තයෙක් හිටියා ඔය නුවර පැත්තේ වරදිවල කියල හරියක් තියෙනවනෙ. ආ….. මහත්තය දන්නවනේ ඒ පැත්ත“ ඔහු කීයේ මා එම පළාතේ නිසාවෙනි.

“ඔය ඉස්කෝලේ ගබඩා කාමරේ බඩු නිතරම නැතිවෙනවා. ඔය ඉස්කෝලේ මහත්තයත් හොඳ වැඩකාරයෙක්. අන්තිමට ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් කීවලු මේකට මොනවහරි කරන්න කියල. යතුර භාර දුන්නලු ඔය මම කියපු ඉස්කෝලේ මහත්තයට. අර මහත්තයා මොකද දන්නවද කරල තියෙන්නෙ.“ ගුරුන්නාන්සේ මා දෙස බලනුයේ මගේ ඇහුම්කම් දීම නිරීක්ෂණය කරනු පිණිස විය යුතුය. මා ඔහුගේ මුහුණ දෙස නෙත් යොමා උන්නෙමි. ඔහුම කතාව කියයි. “එයා එදා රෑම ඒ ගබඩා කාමරය ඇරල දාලා ඇවිත්. පහුවදා උදේ වෙනකොට ජරමර ගොඩක්ලු. කොහොමහරි එදා රෑත් හොරු ටික වැඩේට බැහැලා. ඒ එනකොට ජටාවක් බැඳගත්ත උස මිනිහෙක් ගබඩා කාමරයේ දොර ගාවලු. අන්තිමට හොරු ටික තමයි එළිවෙනකම් ගබඩා කාමරය මුර කරල තියෙන්නෙ. ඉතින් එදායින් පස්සේ ඒ ඉස්කෝලේ ඒ ඉස්කෝලේ මහත්තයා ඉන්නකන් හොරකම් නම් වුණේ නැහැලු. මේක ඇත්ත කතාවක් මහත්තය, ඕනි නම් හොයල බලන්න. සූනියම් දෙවියන්ගෙ පිරිවරේ කෙනෙකුට ගබඩා කාමරය භාර දීලා. ඕක තමයි වෙලා තියෙන්නෙ.“

“ගුරුන්නාන්සේ මොකුත් හිතන්න. එපා, ඔය ගුරුකම් අද කාලෙටත් ඔට්ටුද? මොකද අද පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස්නේ“ මම ඇසිමි.

“පුළුවන් මහත්මයා! මගේ යාළුවෙක් ඉන්නවා බණ්ඩාරවෙල වගා කරන කෙනෙක්. මිනිහගෙන් මට කරදරේ හැමදාම, මොකද පලදාව කාලෙට හොරෙන් කඩන් යනවලු. ඒ වගේම ඔය කැරට්, අල වගේ ඒව වවපුවාම හාවුන් – මීයන්ගෙන් එහෙමත් හරි කරදරයිලු. ඉතින් බැරිම තැන මම කීවා අපි පඹයෙක් හිටවමු කියලා.“

“පඹයෙක්”? මම පෙරළා ඇසුවේ ප්‍රශ්නාර්ථයක් තබමිනි. “ඔව් මහත්තයා පඹයන් සිටුවීමේ කලාවත් ඔය මහත්තයා දැන් ඉගෙනගෙන යන ඉන්ද්‍ර ගුරුළුවට සම්බන්ධයි. මම කල්පනා කරලා බලලා මහ සොහොන් දේවතාවගේ නැකැත් යෝග බලල පඹයෙක් හදල ජීවම් කරලා ගොවිපළේ හිටුවන්න උපදෙස් දුන්නා. මාත් එහෙ ගිහින් දවසක් දෙකක් උන්නා. මහත්තයට කියන්න ඒ හාදය කියනව එදත් හරි, පඹයා දිරලා විනාශ වෙනකම්ම කිසි ප්‍රශ්නයක් වුණේ නෑලු. රෑට එළවළු කඩපු මිනිස්සු එවා දාලා ගිහිල්ලලු. මහ සොහොන් දේවතාවාගේ පිරිවර ගොවිපළේ ඇවිදිනවා දැකපු අයත් උන්නලු. ඉතින් ඔය දෙවි දේවතා ශක්තිය බොරු නෙමේ මහත්තය. ඔය වගේ ඒව ඉතින් කීවොත් එළිවෙනකම් කියන්න පුළුවන්. මහත්තයට පාඩමක් අලුතෙන් කියල දුන්නෙත් නෑනේ. අද ඔහුගේ හඬ සෞම්‍යය නෑ… නෑ කමක් නෑ මේවත් පාඩම් වගේනේ කොච්චර වටිනවද”? මම කීවෙමි.

“අපි යමු අර පැත්තට” කියන ගමන් ගුරුන්නාන්සේම පෙරටුව “ශාස්ත්‍රාලය” දෙසට ගියෙමු. එතනට ගියහොත් පළමුව නමස්කාර පාඨය සහ “ඉතිපිසෝ භාගවාදී” නවගුණ පාඨය මුලින්ම සජ්ඣායනා කෙරේ. ඊට පසුව ගණ දෙවියන්ට, සරස්වතියට ස්තෝත්‍රය කියා ආශිර්වාද පෙරටුව ශාස්ත්‍ර කටයුතු කෙරේ. ඉතින් පැයක පමණ සංවාදයකින් පසුව අපි ශාස්ත්‍රාලයෙහි කටයුතු ඇරඹුවෙමු. බුදු ගෙට ආසන්නව තිබෙන නිදහස් ගොඩනැඟිල්ලට “ශාස්ත්‍රාලය” යැයි කීම වඩා සුදුසු යැයි මට සිතේ. බොහෝ ශාස්ත්‍රීය කරුණු සාකච්ඡා වන්නේ එහිදීය.

ශාස්ත්‍ර කටයුතු අරඹන්නට පෙරාතුවම මම තවත් ප්‍රශ්නයක් නැඟුවෙමි. “අපි මේ ඉගෙන ගන්නේ ගුප්ත ශාස්ත්‍රනේ, වෛදික ශාස්ත්‍රනේ. එතකොට අපි ඇයි බුදු හාමුදුරුවන්ට එතනදී මුල් තැන දෙන්නේ. උන්වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළානේ?“

“මහත්මයා හොඳයි. බුද්ධිමත්. ඔය ප්‍රශ්නය ඉතා හොඳ එකක්. ඇත්තටම බුදු හාමුදුරුවෝ ශාස්ත්‍ර ප්‍රතික්ෂේප කරල නැහැ. දැන් වෙදකමත් එක පැත්තකින් ගුප්ත ශාස්ත්‍රයත් එක්ක බැඳිලනේ තියෙන්නේ. ඒත් උන්වහන්සේ ජීවක වෛද්‍යතුමාගෙන් ප්‍රතිකාර ගත්තනේ. අර වංගීස බ්‍රාහ්මණයගෙ කතාව.“ ඔහු කතාව නවතා මා දෙසට හැරි “මහත්තය දන්නවද ඒක?“ යැයි ඇසීය.

“අනේ නෑ ගුරුන්නාන්සේ ඒ මොකක්ද?“ මම ඇසුවෙමි. “වංගීස කියන බ්‍රාහ්මණයට පුළුවන්කම තිබ්බලු මැරුණු කෙනෙක්ගේ හිස් කබලක් දුන්නම ඒකට තට්ටු කරල ඔහු ඉපදුණු තැන කියන්න. බුදුන් වහන්සේ එවැනි හිස් කබල් දෙකක් ඔහුට දීලා තියෙනවා. හරියටම කීවලු නැවත ඉපදිලා ඉන්න තැන්. උන්වහන්සේ ඒ හැකියාව ප්‍රශංසා කළා. ඊට පස්සේ දීල තියෙන්නෙ රහතන් වහන්සේ නමකගෙ හිස් කබලක්. හැබැයි බ්‍රාහ්මණයට ඒක කියාගන්න බැරි වුනාලු. අන්තිමට ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න බ්‍රාහ්මණයට ආස හිතුනලු. ඒ කියන්නේ එයාට කියවගන්න බැරි වුණු බුදු හිමියන් පැවසු එක. බුදු හිමියන් කීවලු ඒක ඉගෙන ගන්න නම් ශ්‍රමණයෙක් විය යුතුයි කියා. අන්තිමට ඒ බ්‍රාහ්මණයා ශාසනයට ඇවිත් මාර්ග ඥානය ලබා ගත්තා. ඒ තමයි වංගීස මහතෙරුන් වහන්සේ. ඉතින් බුදු හිමියන් ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කළා නම් මංගල සුත්‍රයේ තියෙන විදිහට ‘බාහු සච්චංච සිප්පංච විනයෝච සුකික්ඛිතෝ‘ ආදී ගාථාව දේශනා කරන්නෙත් නෑනෙ. මේවා මහත්තය අපි ඔක්කොම පටලවන් ඉන්න කතා.“ ඔහු ඉතා උද්‍යෝගයෙන් කැමැත්තෙන් කතා කරයි. මාද අවධානයෙන් ආශාවෙන් අසා සිටියෙමි.

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division